ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු

ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු

*********************************************

ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු

(29.05.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට එක්ව ඇති අඩු ඝණත්වයකින් යුත් පොලිතීන් කැට, රට වටා පැතිර යා හැකි බව සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටියආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගිනි ගනිමින් පවතින නෞකාව පිහිටි ප්‍රදේශයේ දියවැල් උතුරේ සිට දකුණට ගමන් කරමින් පවතින බැවින් අදාළ පොලිතින් කැට වැඩි වශයෙන් මේ වනවිට දකුණු ප්‍රදේශයට ගමන් කරමින් පවතින බවයි.

ඒ හේතුවෙන් කැළණි ගඟ ඇතුළු ගංඟාවලටද නොදිරන මෙම පොලිතින් කැට එක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර, නෞකාවෙන් මුහුදට ඇද වැටුණු හානි වූ බහාලුම් තුළ තිබූ රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් ආදී ද්‍රව්‍ය වත්තල සිට කල්පිටිය දක්වා වයඹදිග මුහුදු තීරයට ද පැමිණ තිබෙනවා.

මීට අමතරව විවිධ රසායනිකයන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මිය ගිය මුහුදු ජීවීන් වැල්ලවත්ත, දෙහිවල, කළුතර සහ පානදුර යන ප්‍රදේශවල වෙරළ තීරයන් වෙත අද දිනයේත් ගොඩ ගසා තිබුණා.

එමෙන්ම නෞකාවේ රසායනික ද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන බැරලයක් පානදුර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ අතර එය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් අද (29) නිරීක්ෂණයට ලක් කළා.

මීට අමතරව ඔවුන්, භූගත ජලයට බලපෑමක් සිදුවී ඇත්ද යන්න පරීක්ෂා කිරීමට පමුණුගම සහ උස්වැටකෙයියාව ආදී ප්‍රදේශවල ළිං ජලය ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් නිපදවී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව මාර්ගෝපදේශ සහ යෝජනා 11 ක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුලු ආයතන වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර, ජනතාවට එම අපද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙස දැනුම්දිය යුතුයි.

එක්රැස් කරන අපද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පොලීසිය හෝ නාවික හමුදාව යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළ යුතු බව අදාළ මාර්ගෝපදේශවල දක්වා තිබෙනවා.

නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් අවදානමට ලක්ව ඇති කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව සදහන් කළේ නෞකාවේ රසායනික අපද්‍රව්‍ය මීගමුව කළපුවට මුසුවීම වැළැක්වීම සඳහා යොදා ඇති බාධකය නිරීක්ෂණය කිරීම සඳහා අද (29) පැමිණි අවස්ථාවේදියි.

මේ අතර, විනාශ වූ නෞකාවෙන් මුහුදට එක්වූ අපද්‍රව්‍ය හේතුවෙන් තම දැල් විනාශ වී ඇති බවට උස්වැටකෙයියාව, තල්දියවත්ත, ලුනාව ප්‍රදේශවල ධීවරයින් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29), උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ ජීවනෝපාය සිදුකරගෙන යෑමට නොහැකිව සිටින ධීවරයින්ට කඩිනම් සහන සළසන ලෙසයි.

එමෙන්ම මෙවැනි ආපදාවන්ට මුහුණදීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර ගින්නෙන් දුෂ්කරතාවට පත්ව සිටින ධීවරයින් සඳහා රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ රටවල් කිහිපයක් භාර නොගත් අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුල් කරගැනීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඩුවම් ලබා දිය යුතු බවයි.

******************************************

(29.05.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු 5 කට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230 කට ද නිලධාරීන් පත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ සඳහා දැනටමත් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු අදාළ පත් කිරීම් සිදුකරන බවද ඔහු කියා සිටියා ෴

******************************************

(29.05.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

මාතර සිට ගාල්ල බලා ධාවනයවු භාණ්ඩ ප්‍රවාහන සේවාවකට අයත් වෑන් රථයක් වැලිගම නගරයේ මුහුදු මාවතේදි විදුලි කණුවක හැපි අද (29) සවස අනතුරට ලක්වුණා.

විදුලි කණුව තුනට කැඩි පාර හරහා වැටි තිබුණු අතර එම නිසා ගමනා ගමනයටද බාධා පැමිණියා.

අනතුරින් වෑන් රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

@@@@@@@@@@@@@@@@

(29.05.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කළුතර – උතුර නිවාස සංකීර්ණයේ 107 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ, පසුගිය 22, 23 සහ 25 යන දිනවල සිදුකළ කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි.

එසේම බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන හා විශේෂිත අංශවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් 341 දෙනෙකුට තුන්වන (3) රැල්ල තුළ වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර අතුරුගිරිය – ශාන්තාලෝකගම ප්‍රදේශයේ නිවසකදී මියගිය කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී එම පවුලේ තවත් 3 දෙනෙකුද ආසාදිත බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ මෘතදේහය නිවසේ තිබූ අවස්ථාවේ නිවසට පැමිණි පිරිස් හඳුනාගනිමින් නිරෝධයනයට යොමු කිරීම මේ වනවිට සිදු කෙරෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

++++++++++++++++++++++

(29.05.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 788 ක් වාර්තා වනවා.

ඒ අනුව අද (29) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2827 ක්.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 180,538 ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

එසේම බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන හා විශේෂිත අංශවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් 341 දෙනෙකුට තුන්වන (3) රැල්ල තුළ වෛරසය ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම අද (29) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 2029 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 148,391 ක් වනවා.

මේ අතර ගෙවුණු දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අලුතින් කොවිඩ් මරණ 38 ක් වාර්තා කළා.

ඉන් මරණ 35 ක් අප්‍රේල් 29 සහ මැයි 27 දක්වා කාලය තුළ සිදුව ඇති අතර ඊයේ (28) දිනය තුළ පමණක් මරණ 3 ක් සිදුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 18 ක් සහ පිරිමි පුද්ගලයන් 20 දෙනෙක් ෴

++++++++++++++++++++++++

(30.05.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ජයවීර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. වසර 30 ක කාලයක් දේශපාලනයේ නිරත වූ ඔහු මියයනවිට 60 හැවිරිදි වියේ පසුවුණා.

ඊයේ (29) දිනයේදීත් මෙරටින් ආසාදිතයන් 2,882 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ දහසේ (1,80,000) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 180,593 ක් ලෙසයි.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ 42 ක් ඊයේ (29) දිනයේදී වාර්තාවුණා.

ඊයේ (29) හඳුනාගත් නව ආසාදිතයන්ගෙන් 2,827 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන්හි සිට පැමිණි 55 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 30,797 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 148,391 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය 14 වනදා සිට පෙරේදා (28) දක්වා කාලය තුළ කොවිඩ් මරණ 36 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බවයි.

ඊයේ (29) දිනයේදී පමණක් මරණ 6 ක් සිදුව තිබෙනවා. ඊයේ (29) තහවුරු කළ මරණවලින් 10 ක් ම සිදුව ඇත්තේ නිවසේදී වීම විශේෂත්වයක්.

මේ අතර දැඩි සත්කාර ඒකකවල මේ වනවිට කොරෝනා ආසාදිතයින් 86 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++++

(30.05.2021 – 06:26 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 914 දෙනෙකු ඊයේ (29) දිනය තුල අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ 2020 වසරේ මාර්තු මස 18 වන දා ශ්‍රී ලංකාව තුල සංචරණ සීමා පැනවීම ආරම්භ කිරීමෙන් පසු ගතවූ මාස 14 ක කාලය තුල පැය 24 ක් තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාවට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (30) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුලදීයි.

ඊයේ අත්අඩංගුවට ගත් 914 දෙනාගෙන් 171 දෙනෙකු මාතලේ ප්‍රදේශයෙදී සහ 116 ක් නිකවැරටිය ප්‍රදේශවලින් අත්ඩංගුවට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් 2020 වසරේ ඔක්තෝම්බර් 30 වනදා ආරම්භ කිරීමෙන් පසු එදින සිට මේ දක්වා පුද්ගලයන් 17,300 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ඊයේ (29) දිනය තුල බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුම්වලින් ත්‍රී රෝද රථ 4324 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් අනවසරයෙන් ගමන් කළ ත්‍රී රෝද රථ 20 ක් සහ ඒවායෙහි ගමන් කළ 35 දෙනෙකු අත්අඩංගුවට ගනෙ තිබෙනවා.

මේ අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී අත්‍යවශ්‍ය සේවා ඇතුලු සේවා සඳහා නිකුත් කර ඇති අවසරපත් සහ සේවා හැඳුනුම්පත අවභාවිත නොකරන ලෙසටයි.

ඊයේ (29) දිනයේදීත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තාවුණා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උපදේශන ඇතුලත් ශිෂ්‍ය අත්පොත් අලෙවිය සඳහා අවශ්‍ය තොග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ ලබාගත හැකි බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පොත් අලෙවිකරුවන්ට දැනුම්දීමක් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *