මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

*********************************************

මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

(28.05.2021 – 10:11 +0530 – sinhala.adaderana.lk)

‍මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, ඔහු අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

මෙම එන්නත්කරණ වැඩසටහන අතරතුර මොරටුව නගරාධිපති වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු අතර එම ස්ථානයේ සිටි බොහෝ පිරිසකගේ දෝෂ දර්ශනයට ලක් වුණි.

අත්අඩංගුවට ගත් සැකකාර නගරාධිපති අද (28) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

++++++++

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (27) මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

නගරාධිපතිවරයා අද (28) උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම සිදුවීම සම්බන්ධයෙන් අප හිරු පුවත් තුලින් ගෙන ආ වාර්තාව පහතින් :

++++++++++

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (27) මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහු පොලිසියට භාරවූවා.

නගරාධිපතිවරයා අද (28) උදෑසන නීතීඥවරයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(28.05.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල බලපත්‍ර ලබාගෙන විවෘත කර, අධික මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වෙළඳසැල් වල භාණ්ඩ මිල ගණන් පිළිබදව පරීක්ෂාවකට එක්වෙමින්.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල එක් එක් ග්‍රාමසේවා වසමක් තුළ වෙළඳසැල් 2 බැගින් විවෘත කිරීම සදහා මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.

එලෙස විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඒ ඒ ග්‍රාම සේවා වසම තුළ තෝරාගත් වෙළඳසැල් 2 ක් සදහා පමණයි.

පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් එලෙස එක් ග්‍රාමසේවා වසමක් තුල කොන්දේසිවලට යටත්ව වෙළඳසැල් 2 ක් පමණක් විවෘත කිරීමට අවසර ලබා දුන් බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.

එමෙන්ම, විශේෂ බලපත්‍ර සහිතව ජංගම රථ මගින් වෙළදාම් කිරීම සඳහාත් දුරකථන මාර්ග සහ ඔන්ලයින් ක්‍රමයට ඩිලිවරි සේවාවන් මගින් ආහාර ද්‍රව්‍ය වෙළදාම් කිරීම සඳහාත් මේ වන විට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස වෙළදාම් කරන වෙළඳසැල් සහ වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන බවටයි පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වී ඇත්තේ.

එවැනි පැමිණිලි පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකියි.

ඊයේ (28) දිනයේ මෙරටින් නව ආසාදිතයන් 2,584 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 174,861 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,572 කු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 12 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 29,747 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1,43,789 ක්.

ඊයේ (28) දිනයේ කොරෝනා මරණ 27 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1,325 ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණවලින් 12 ක් පෙරේදා වාර්තාවී ඇති අතර, 25 වනදා වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7 ක්. ඊට අමතරව පසුගිය 24 වනදා මරණ 2 ක් සහ පසුගිය 22, 23 යන දිනවල එක් මරණය බැගින් වාර්තාවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ ඉදිරි සති දෙකෙන් (2) පසු මෙරට කොරෝනා අසාදිතයින් වාර්තාවීම පාලනය වනු ඇති බවයි.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හා එන්නත්කරණ වැඩපිළිවෙළ හමුවේ මෙම උපකල්පනයට පැමිණිය හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(28.05.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ගැනෙන තීරණාත්මක සාකච්ඡාව මීට ටික වෙලාවකට පෙර ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ලබන ජුනි මස 07 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේදැයි යන තීරණය මෙම සාකච්ඡාවේදී ගැනීමට නියමිතයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුලදී ලබාදුන් සහන කාලය තුල ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොතිබූ බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ආරක්ෂක සහ වෛද්‍ය අංශ අවධාරණය කරන්නේ ඉදිරියේදී ලබාදීමට නියමිත සංචරණ සීමා ලිහිල් කළ දින දෙක (2) සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මේ මොහොතේ ජනාධිපතිවරයා සහ කොවිඩ් කාර්ය සාධන බලකා සාමාජිකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති ෴

+++++++++++++++++++++

(28.05.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

උතුරු ඉන්දියාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ ළමයින් අතර ‘බහු ඉන්ද්‍රිය ඉදිමීම’ හෙවත් ‘එම්.අයි.එස්.සී.’ රෝගී තත්වයට ගොදුරු වූ සියයකට (100) වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වයස අවුරුදු 4 ත් 18 ත් අතර ළමයින් අතර එම රෝගී තත්වය දක්නට ලැබෙන බවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩිරෙන් ගුප්තා ප්‍රකාශ කර ඇත්තේ අදාළ රෝගී තත්වය වකුගඩු, පෙණහළු සහ මොළයටද බලපෑම් එල්ලවිය හැකි බවයි ෴

+++++++++++++++++++++++

මිනිසුන් කැමති වෛද්‍ය ක්‍රමයකට යාමට ඉඩ දිය යුතුයි. මේ කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් – හිටපු ආයුර්වේද කොමසාරිස් (26.05.2021)

++++++++++++++++++++++

(28.05.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

රජයේ කොවිඩ්-19 මර්ධන එන්නත් වැඩපිළිවෙලේ දෙවන (2) මාත්‍රාව ලබාදීමේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලද එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් රජය විසින් පළමුව මහජනතාව වෙත සහ කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙළ ගැටෙන්නන් වෙත ලබාදීමට කටයුතු කළා.

මෙලෙස පළමු (1) මාත්‍රාව ලෙස ලබාදුන්නේ ඉන්දියාවේ සීරම් සමාගමේ නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්ධන එන්නතයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ කොවිඩ් වසංගතය බරපතළ ලෙස පැතිර යාමත් සමඟ සීරම් සමාගමට ලෝක සෞඛ්‍ය සංවිධානයට පොරොන්දු වූ පරිදි අවශ්‍ය එන්නත් ලබාදීම සිදුකල නොහැකි වූයේ එහි ඉල්ලුම ඉන්දියාව තුළ සැපයිය නොහැකි මට්ටමට ඉහල යාම හේතුවෙන්.

මේ සමඟ කොවැක්ස් ජාත්‍යන්තර සහනාධාර වැඩපිළිවෙල යටතේ එන්නත්කරණයට එළඹුණු රටවල් 80 ක් පමණ දැඩි අසීරුතාවයට පත්වුනා.

පළමු වටයේම එම පහසුකම ලැබූ ශ්‍රී ලංකාවත් මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා දෙවන (2) මාත්‍රාව ලබාදීමේ බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මේ අනුවයි සෞඛ්‍ය අංශ මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අතිරේක තොග මිලදීගෙන ඇති රටවල් සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා උත්සාහ දරනු ලැබුවේ.

ඒ අනුව මැදපෙරදිග රාජ්‍යයක් සමඟ සිදුකළ සාකච්ඡාවකදී දෙවැනි (2) මාත්‍රාව සඳහා රජයට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී ගැනීමට තීරණය කෙරුනා.

ඒ එක් එන්නත් මාත්‍රාවක් ඩොලර් 20 ක් බැගින්.

කෙසේ වෙතත් මේ වනවිට එම එන්නත් මිලදීගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගැනීමේ දුෂ්කරතාවයකට රජය මුහුණ දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වනවිට රජය එම එන්නත් මාත්‍රා ප්‍රමාණය ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදිය හැකි දේශීය හෝ විදේශීය දානපතියෙක් ස්වේච්ඡා සංවිධානයක හෝ එවන් ක්‍රියාමාර්ගයක සහය ලබාගැනීමට උත්සහ දරනවා.

මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබාගැනීම සඳහා රජයට වැයවෙතැයි අපේක්ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්.

එය මෙරට මුදලින් රුපියල් කෝටි 200 කට අධිකයි ෴

++++++++++++++++++++++++

(28.05.2021 – 12:08 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා විශාල සංඛ්‍යාවක් බිලිගෙන ඇති කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග කිරීම, චීනය හෙළා දැක තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දේශපාලනික අරමුණු මත තම රටට මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

2019 වසරේ අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැක මතුවීමත් සමඟයි ඇමරිකානු ජනාධිපතිවරයා එරට බුද්ධි අංශ වෙත ඊයේ (27) අදාළ නියෝගය සිදුකරනු ලැබුවේ ෴

@@@@@@@@@@@@@@@@

ගිනි ගත් නැව මුහුදුබත් වුවහොත් පරිසර හානිය අවම කරගැනීමට සැළසුම්

(28.05.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදුබත් වුවහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානිය අවම කරගැනීම සඳහා මේ වනවිට විශේෂ අවධානයක් යොමුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් පරිසයරට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිම සඳහා කොළඹ වරාය පොලීසිය වෙත එම අධිකාරිය පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

නෞකාවෙන් සාගර ජලයට අපද්‍රව්‍ය එකතුවීම නිසා මීගමු කලපුව ආරක්ෂා කර ගැනීමට එම මුහුද සීමාව අතර කොටසට ඊයේ (27) වැලි කොට්ට දමා වෙන් කරනු ලැබුවා.

මේ වනවිට නෞකාවේ ඉංජිනේරු කුටිය සහ පාලක මැදිරිය ඇතුළු බහාලුම් සියල්ලම පාහේ ගිනිගෙන අවසන්.

මේ අතර, නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා මතුව තිබෙනවා.

කොළඹ වරායේ සිට වයඹ දෙසට නැංගුරම් ලා තිබියදී මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වුයේ පසුගිය 19 වනදායි.

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදට වැටී මීගමුවේ සිට පුත්තලම දක්වා වෙරළ තීරයට ගොඩගසන ලද සුන්බුන් වෙන් කිරීමේ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන බල සේනාංකය විසින් ඊයේ (27) ආරම්භ කරනු ලැබුවා.

සමුද්‍රිය පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන අතර, 450 ක පමණ භට පිරිසක් සහ නිලධාරීන් මෙම කටයුත්ත සඳහා යොදවා ඇති බවයි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා මහතා සඳහන් කළේ.

++++++++++++++++++

(28.05.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට වයඹ දෙසට වන්නට නංගූරම් ලා තිබියදී ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මෙරට සමුද්‍ර කලාපයට යාත්‍රා කිරීමට අවසර ලබාගෙන ඇත්තේ කුමන පුද්ගලයෙකුගෙන් ද යන්න අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අදාල සිදුවීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාල පාර්ශව වලට විධිමත්ව දැනුම්දීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව කඩිනමින් අනාවරණ කලයුතු බවයි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට අදාල සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ නිවේදනය පහතින් :

= උපුටා ගැනීම =

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු. එක්සප්‍රේස් පර්ල් නැව මැයි මස 10 දින ඩුබායි හි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළුව බහලුම් 1486 ක් පටවා ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත ආරාබි මුහුදේ හෝමූස් සමූද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ. ඇසිඩ් කාන්දුව වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ Hamad වරාය වෙත යාමට උත්සාහ කොට ඇති අතර, නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැත. එවන් තත්වයක් තුළ මෙවැනි අවධානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. ඒසේනම් ඊට අවසරය ලැබුණේ කෙසේද? කාගෙන්ද? යන බරපතල ප්‍රශ්නය මේවනවිට පැන නැගී තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?

අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු කිහිපයක් වේ.

විශේෂයෙන්ම මේ ගිනිගැනීම හේතුවෙන් අදාල සමූද්‍රීය කලාපයට දැඩි හානි සිදුවීමත් ඒ හේතුකොටගෙන සෟජු සහ අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වීමත් නොවැලැක්විය හැකි කරුණකි. මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු වී ඇත. නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීමද අනතුරුදායක බවටද විශේෂඥ මත ඉදිරිපත්ව ඇත. කොරෝනා උවදුර නිසා මේ වන විට ලංකාවේ ලක්ෂ 10 කට පමණ ‍රැකියා අහිමිව ඇති අතර මෙම නාවික අනතුර නිසා තවත් ලක්ෂයකගේ පමණ රැකියා අවධානමකට ලක්ව තිබේ. අදාල නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්කර ඇති බව පැවැසෙන අතර ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරටට එක් වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත. රසායන ද්‍රව්‍ය සහිත ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බව විශේෂඥ මතය යි.

වායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව (? Nitrogen oxides) ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති වන ස්වභාවයක් ගන්නා අතර එලෙස ඇති වන වායුව හේතුවෙන් අවට ප්‍රදේශවල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක තත්ත්වය යි.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඒකිනෙකට පරස්පර මත ආණ්ඩුවේම පාර්ශව විසින් ඉදිරිපත් කරන අතර එය මේ සිදුවීම පිළිබඳව දැඩි සංකීර්ණතාවයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අදාල නෞකාව මෙරට සමූද්‍ර කලාපයට යාත්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාල පාර්ශව වලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ සඳහා වගකීම භාර ගන්නේ කවුද? සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාල නෞකාව අයත් ආයතනය ශ්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද? එම වන්දිය ලැබෙන බව විශ්වාසද?

ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38 කට එපිටින් ‘නිව් ඩයමන්ඩ්’ නමැති නැව ගිනිගෙන විනාශ වූ අතර ඊට ඩොලර් මිලියන ගානක වන්දියක් දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

ඒ මුදල් පවා ලැබුණාද නැද්ද යන්න තවමත් නිෂ්චිතව පවසා නැත.

මේ සියලු කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හොළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

******************************************

(28.05.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – රිදීමාලියද්ද – ඇකිරියන්කුඹුර ගම්මානයේ ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ගම්වැසියන් පවසන්නේ විධිමත් අලි වැටක් නොමැති වීම හේතුවෙන් නිල්ගල – පුවක්පැල වන රක්ෂිතයේ සිට වන අලි ගම්මානයට පිවිසෙන බවයි.

එලෙස පැමිණෙන වන අලි හේතුවෙන් ප්‍රදේශයේ වට්ටක්කා, මෑ, කව්පි, කුරක්කන්, කෙසෙල් සහ මඤ්ඤොක්කා ඇතුලු සියලු වගාවන් විනාශයට පත්ව ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.

එම වගාවන් මෙන්ම තම ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ස්ථීර විධිමත් අලි වැටක් සකස් කර දෙන ලෙසටයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

(28.05.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක කටයුතු සතියක කාලයක් සඳහා තාවකාලිකව අක්‍රිය කර තිබෙනවා.

කෙසේ වෙතත් එමඟින් විදුලි බල සැපයුමට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි එම විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

තාප සහ ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍රයක් මෙලෙස අක්‍රිය කර ඇති අතර, පවතින වැසි තත්වය හේතුවෙන් අවශ්‍ය විදුලිබල ධාරිතාව ජල විදුලි බලාගාරවලින් සපයා ගන්නා බවයි නොරොච්චෝලේ බලාගාරයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණයත් සමඟ පසුගිය දින කිහිපයේ දිවයිනේ විදුලි පාරිභෝගිකයන් 177,000 කට පමණ විදුලිය අහිමිවූ අතර, මේ වනවිට ඉන් බහුතරයක් යථා තත්වයට පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය කියා සිටියා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ තවත් පාරිභෝගිකයන් 9,800 කට පමණක් විදුලිය අහිමිවී ඇති අතර, කඩිනමින් එයද යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *