‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

*********************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

(27.05.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකකට (2) ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් එම වරායන් දෙකෙන්ම (2) මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බවයි වාර්තා වන්නේ.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටිම් හාර්ට්නොල් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

මේ අතර නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා.

හාර්ට්නොල් පවසන්නේ මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි.

කෙසේ වෙතත් අනතුර හඳුනාගත් අවස්ථාවේදීම නෞකාව බටහිර ඉන්දියාවේ හසීරා වරායට ඇතුළුවීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

නමුත් හසීරා වරායෙන් මෙම නෞකාවේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව කටාර් රාජ්‍යයේ හාමඩ් වරායට මෙම නෞකාව ඇතුළුවීමට උත්සාහ කළත් එම වරායත් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඉන්පසුවයි නෞකාව එහි ඊලඟ ගමනාන්තය වන ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කිරීමට පටන් ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පිළිගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ නෞකාව කලින් ඇතුළුවීමට උත්සාහ කළ ඉන්දීය හෝ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් එකක් නෞකාවට එම වරායන්ට ඇතුළුවීමට අවසර දුන්නේ නම් මේ විනාශයෙන් බේරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි.

වෙළඳ නෞකා රක්ෂණය කරන ලන්ඩනයේ පී ඇන්ඩ් අයි ක්ලබ් (P&I CLUB) රක්ෂණ සමාගම මෑතකදී නිකුත් කළ වාර්තාවක දැක්වුණේ අද වන විට සෑම සති දෙකකට ම වරක් මෙලෙස ලොව කොතැනක හෝ වෙළඳ නෞකාවක් ගිනි ගැනීමට ලක් වන බවයි.

ඔවුන් මෙලෙස ගිනි ගැනීමට ලක් වන ප්‍රධාන කාරණා තුනක් හෙළිදරව් කර තිබෙනවා.

ඒවා නම් ගල් අඟුරු ප්‍රවාහනයේදී සිදුවිය හැකි අධික උෂ්ණත්වය නිසා සිදුවන ගිනි ගැනීම්, රසායන ද්‍රව්‍ය නිසි පරිදි ගබඩා නොකිරීම නිසා සිදුවන ගිනි ගැනීම් සහ බැටරි ප්‍රවාහනයේ දී අධික ලෙස උණුසුම් වීම හේතුවෙන් සිදුවන ගිනි ගැනීම් යනුවෙනුයි.

මේ වසරේ ජනවාරි මස 28 වනදා වැඩ නිමා කළ අප්‍රේල් මස තුන් වැනිදා (03) සිය කුලුඳුල් ගමන ඇරඹූ සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ තෙවැනි වෙළඳ සංචාරය මෙයයි ෴

(27.05.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්ව ඇති ‘එම් වී එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ මේ වනවිට පිටතට දර්ශනය වන ගිනිදලු ප්‍රමාණය අඩු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අද (27) උදෑසන වනවිට නෞකාවේ ගින්නේ ප්‍රභලත්වය පහල ගොස් ඇති අයුරු නිරීක්ෂණය වූ බවයි.

කෙසේවෙතත් පවතින අයහපත් කාලගුණය සහ දැඩි සුළං හේතුවෙන් තවමත් ගින්න සහමුලින් පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

මේ හේතුවෙන් තවමත් නෞකාව අවධානම් තත්වයේ පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා වැඩි දුරටත් පැවසුවේ.

+++++++++++++++

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 26 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

(27.05.2021 – news.navy.lk)

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වන අතර, එම නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් කොටස් වෙරළ තීරයට පාවි ඒම හේතුවෙන් වෙරළ තීරයට සිදුවන බලපෑම අවම කිරීම සහ එම ද්‍රව්‍යන්ගේ අඩංගුවිය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ෂ වීමෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලදී.

ඒ අනුව ආපදාවට පත් නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් හා සුන්බුන් ඇතුළු ද්‍රව්‍ය කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවක් ඇති දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන ප‍රිදි 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරිමේ හා එම සුන්බුන් ඇතුළු විවිධ ද්‍රව්‍ය ජනතාව විසින් එක්රැස් කිරීම වැළැක්වීම සඳහා වූ විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙම වැඩපිළිවෙල කොල්ලුපිටිය සිට පානදුර දක්වා වෙරළ තීරයේද ක්‍රියාත්මක වේ.

MV X-PRESS PEARL නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවෙමින් පවතින හානිය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් අද (2021 මැයි 27) නාගරික සංවර්ධන වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා මහතා, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය, ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව නාවික හමුදාධිපති වෙරළ තීරයේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වී වෙරළ පරිසරයට සිදුවන පාරිසරික බලපෑම පාලනය කිරීම සඳහා වැඩි දුර උපදෙස් ලබා දීමට ද කටයුතු කෙරිණි.

මේ වන විට ශ්‍රිලංනානෞ ‘ගජබාහු’ නෞකාව හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාගර පරිසර හානි පාලනය කිරීමේ හැකියාවෙන් සමන්විත ‘වජ්රා’ (ICGS Vajra) සහ ‘වයිබාව්’ (ICGS Vaibhav) යන නෞකා ද්විත්වය ආපදාවට පත් MV X-PRESS PEARL නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ආපදා මර්ධන මෙහෙයුමට දායකත්වය ලබා දෙමින් සිටී. තවද, මෙම ආපදා තත්ත්වයට සහය වීම සඳහා පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වජ්රා’ (ICGS Vajra) නෞකාව වෙතින් ගිනි නිවීම සඳහා භාවිතා කරන AFFF, OSD සහ DCP වර්ගයන්ට අයත් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය තොගයක් 2021 මැයි මස 26 වන දින කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමෙන් පසු නැවතත් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත්ව යන ලදි.

‍එමෙන්ම ඉන්දීය ‍වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝණිය (Dornier) වර්ගයේ ගුවන් යානාවක් පෙර දින සහ අද (2021 මැයි 27) ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි ගුවන් නිරික්‍ෂණ චාරිකාවාරයක් සිදු කර සාගරික දුෂණය පාලනය කිරීමේ මෙහෙයුම සදහා අවශ්‍ය තොරතුරු ලබා දීමට ද කටයුතු කෙ‍රිණි.

තවද, ආපදාවට පත් නෞකාවෙන් වෙරළට පාවී එන බහාලුම් හා සුන්බුන් කොටස් වෙරළ තීරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ අවධානයකින් යුතුව තවදුරටත් කටයුතු කරනු ලබයි.

[ සේයාරූ ]

++++++++++

[ Photos from FB : Sri Lanka AirForce ]

++++++++++++++++

(27.05.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානියට නීතිමය පියවර ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කොළඹ වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම පැමිණිල්ලට අදාළව සාගරයේ ජල සාම්පල ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සාගර ජලයට අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් මීගමු කලපුව ආරක්ෂා කර ගැනීම සඳහා සාගරය ජලය සහ මීගමුව කලපුව ජලය එකතුවීම පාලනය කර ගැනීම සඳහා එම ස්ථානය වැලි කොට්ට දමා වෙන් කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

මේ වනවිට නෞකාවේ ඉංජිනේරු කුටිය සහ පාලක මැදිරිය මුළුමනින්ම ගිනිගෙන අවසන්.

තවදුරටත් ගින්න නෞකාවේ පවතින අතර, එය පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වජ්රා නෞකාව ඇතුළු නාවික හමුදා යාත්‍රා සහ වරාය අධිකාරියේ ටග් යාත්‍රා යොදවා තිබෙනවා.

මේ අතර, කොළඹ වරායට පැමිණීමට පෙර ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් 2 කට ඇතුලුවීමට අවසර ලබා නොදුන් බවට පළ වන වාර්තා අසත්‍ය බව එම නැව් සමාගම තහවුරු කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී ප්‍රතිචාර දක්වමින් එම ගිනි ගත් නැව අයත් සිංගප්පුරු නැව් සමාගම සඳහන් කළේ ඉන්දියාවේ හසීරා වරායට සහ කටාර් රාජ්‍යයේ හමාඩ් වරායට නෞකාව ඇතුළු වී බහාලුම් ගොඩබෑමේ කටයුතු සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, එහිදී නයිට්‍රික් අම්ල කාන්දුවන බහාලුමක් නෞකාවේ ඇති බවට එහි කපිතාන්වරයා ඉන්දීය සහ කටාර් වරාය බලධාරින්ට දැනුම් දී තිබෙනවා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ එවැනි රසායනික ද්‍රව්‍යයක් කාන්දුවන බහාලුමක ගින්නක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා තාක්ෂණයක් තම වරාය සතුව නොමැති බවයි. ඉන් පසු නෞකාව භාණ්ඩ ප්‍රවාහනය සඳහා කොළඹ වාරයට ඇතුළුවිමට නැංගුරමි ලා තිබියදිගිනි ගැනිමට ලක් වුයේ.

මේ අතර, නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

මෙම නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වෙරළතීරයට ඊයේ (26) අලුයම සිට ගොඩගසා තිබුණා. පසුව නිරෝධායන රීති හා සංචරණ සීමා පවා උල්ලංඝණය කරමින් එම ද්‍රව්‍ය එක්රැස් කල පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

මෙම සුන්බුන් සමග ඉන්දියාවේ කලු දිලීර රෝගය පවා සම්ප්‍රේෂණය විය හැකි බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතු බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දුන්නේ.

මේ අතර මෙම තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශ වලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මේ දින වල වර්ෂාවට ඍජුව නිරාවරණය නොවන ලෙසද එම අධිකාරිය සඳහන් කළා.

කෙසේ වෙතත් ගිනි ගත් නෞකාවෙන් සාගර ජලයට සිදු වු හානිය සමඟ මත්ස්‍යයින් ආහාර ගැනිම සුදුසු නොවන බවට පැතිර යන ප්‍රචාර ද නාරා ආයතනය ප්‍රතික්ෂේප කරනවා.

එහි පරිසර අංශයේ ඡ්‍යෙෂ්ඨ විඳ්‍යඥ දිප්ත අමරතුංග මහතා සඳහන් කළේ ධිවරයින්ට එම මුහුදු ප්‍රදේශ භාවිත නොකරන ලෙසට දැනුම් දි ඇති බැවින් ඒ පිළිබඳව මත්ස්‍යයින් ආහාර ගැනිම පිළිබඳව බියක් ඇති කර නොගත යුතු බවයි ෴

+++++++++++++

(27.05.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම්ලා තිබියදී ගිණිගැනීමට ලක්වූ මෙම නෞකාවේ ගින්න තවමත් ක්‍රියාත්මකයි.

නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුලු පාර්ශව එම ගින්න මැඩපැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරමින් පවතිනවා.

මෙම නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වෙරළතීරයට ඊයේ (26) අලුයම සිට ගොඩගසා තිබුණා.

නිරෝධායන රීති හා සංචරණ සීමා පවා උල්ලංඝණය කරමින් එම ද්‍රව්‍ය එක්රැස් කල පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ.

මෙම සුන්බුන් සමග ඉන්දියාවේ කලු දිලීර රෝගය පවා සම්ප්‍රේෂණය විය හැකි බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දුන්නා

මෙලෙස වෙරළට ගසාගෙන ආ සුන්බුන් ද්‍රව්‍ය නිසා අපවිත්‍රවූ මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල උස්වැටකෙයියාව සිට දුන්ගල්පිටිය දක්වා වෙරළතීරයේදී, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (27) පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තෙල් විසිරීම දැඩි වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා සහ සමූද්‍රාරක්ෂා යන නෞකා 2ක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා පවතිනවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ තෙල් විසිරීමකදී ඊට ප්‍රතිචාර දැක්විය හැකි සීමිත පහසුකම් මෙම නෞකා 2 සතුව පවතින බවයි.

මේ අතර මෙම තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශ වලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මේ දින වල වර්ෂාවට ඍජුව නිරාවරණය නොවන ලෙසද සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙන්නේ.

මේ අතර, ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් 2 කට ඇතුලුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.

එහෙත්, එම වරායන් දෙකම (2) ඊට අවසර ලබා දී නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය වල හටගත් කාන්දුවක් බව එක්ස්ප්‍රස් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටින් හාර්ට් නොල් ප්‍රකාශ කර තිබෙනවා.

++++++++++++++

******************************************

(27.05.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර විධිමත් ක්‍රමවේදයක් යටතේ හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දිමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරින්ට උපදෙස් ලබා දි තිබෙනවා.

නිරෝගි සහ ඵලදායි පුරවැසියන් බිහි කිරිම සඳහා වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ගන්නා ලබුවා.

එය යතාර්ථයක් බවට පත් කිරීම උදෙසා මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

******************************************

(27.05.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් 177,000 ක පමණ විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ඇණ හිට තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාතලේ, නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, කළුතර, කොළඹ, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ රැසකින්ම මෙම තත්ත්වයන් වාර්තා වන බවයි.

මේ වනවිට ඇණහිට ඇති විදුලි පද්ධති යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

උතුරු ප්‍රදේශය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් පවුල් 110 කට අයත් පුද්ගලයින් 379 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර, නිරිත දිග මෝසමේ සක්‍රිය වීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@@

(27.05.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ෆයිසර් කොරෝනා එන්නත ඉන්දියානු කොරෝනා විකෘති ප්‍රභේදයට එරෙහිව ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වන බව අනාවරණ වී තිබෙනවා.

දැන් ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ලට හේතුවී ඇත්තේ සීඝ්‍ර ව්‍යාප්තියක් මෙන්ම රෝගීන් වැඩි පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් කරන මෙම නව ප්‍රභේදයයි.

ෆයිසර් සමාගම ප්‍රකාශ කරන්නේ සිය කොරෝනා එන්නත වයස අවුරුදු 12 ඉක්මවූ සියල්ලන් සඳහා සුදුසු වන බවයි.

එමෙන්ම, සිය එන්නත දැන් සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකි බව ද එමගින් සඳහන් කළා.

ඉන්දියාව ද මේ වනවිට ෆයිසර් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වන අතර, ජූලි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා එන්නත් මාත්‍රා කෝටි 5 ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

සිය එන්නත සඳහා ෆයිසර් සමාගම අපේක්ෂා කරන වන්දි පූර්ණය ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම එන්නත ලබා ගැනීමට පවතින බාධාවයි.

එහෙත්, ඉන්දීය රජය එම කොන්දේසි ඉදිරියේදී ලිහිල් කරනු ඇතැයි අපේක්ෂිතයි.

අද (27) උදෑසනින අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 211,000 ක් වාර්තා වුණා.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂය (2,73,00,000) දක්වා ඉහළ යනවා.

ගත වූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා මරණ 3847 ක් සමගින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 3,15,000 ඉක්මවූවා ෴

++++++++++++++++++++

(27.05.2021 – 12:19 +0530 – hirunews.lk/sinhala)

ස්පුට්නික්-v කෝවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 50,000 ක් අද (27) රාත්‍රියේ දිවයිනට ලඟා වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ රජය විසින් රුසියාවෙන් ඇනවුම් කල ස්පුට්නික්-v එන්නත් මාත්‍රා තොගයේ දෙවැනි (2) කොටස ලෙසටයි ෴

මිලියන 5 ඉක්මවූ ජනගහනයක් සහිත ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් අද (27) නැවතත් සතියක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගත්තා. ඒ ආසාදිතයන් 26 ක නව කොරෝනා රැල්ලක් වාර්තා වීමත් සමඟයි. එන්නත්කරණය පමාවීම සහ හෝටල්වල නිරෝධායන කටයුතුවල පවතින අඩු ලුහුඩුකම් නව කොරෝනා රැල්ලට හේතුව ලෙස සැලකෙනවා ෴

+++++++++++++++++++++

(27.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී අද (27) පෙරවරුවේ නොසන්සුන්තාවක් හට ගත්තා.

ඒ, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ජනතාව පැමිණෙන අනුපිලිවෙල අනුව එන්නත් ලබාදෙන බවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 341,541 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 521,470 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් ගණන 14,984 ක්.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 30 ක් සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට ලබාදී ඇතැයි පළාත් ‍ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයකම එන්නත්කරණ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද මධ්‍යස්ථාන දෙකකදී එන්නත්කරණ කටයුතු යුද හමුදාවේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළෙඳ සේවකයින් ඇතුළු 1610 දෙනෙකුට එන්නත් ලබාදුන් අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *