නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

*********************************************

නවක මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම – ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

(26.05.2021 – 22:56 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ගේ වාහන අවශ්‍යතාව සම්බන්ධ ඉල්ලීමක් කථානායකවරයා වෙත යොමු කර ඇති බව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍ර වෙනුවට, වාහන ගෙන්වා දී එම වාහනවල තීරුබදු රහිත වටිනාකම පමණක් අය කිරීමට මීට පෙර රජය ගෙන තිබූ තීරණය අත්හිටවූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළා.

පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන තීරණය කර තිබුණේ ද සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට පැවති යෝජනාව අත්හිටුවීමටයි.

තමන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන වාහන සහ කොළඹින් නිවාස පහසුකම් ලබා දෙන ලෙස නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව අප පසුගියදා වාර්තා කළා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු අදාළ පාර්ශ්ව වෙත යොමු කළ බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ රටේ වත්මන් තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය අත්හිටුවීමටයි.

මේ අතර ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකර සිටියා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා බැංකුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බැවින් එවැනි තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කළ නොහැකි බවයි.

මේ අතර තීරු බදු රහිත බලපත්‍ර ක්‍රමය වත්මන් රජය අහෝසි කර ඇති නිසා ඒ වෙනුවට රජය විසින් වාහන ආනයනය කර තීරුබදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට මිලදී ගැනීමට හැකි සැලසුමක් තිබූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ද මේ මොහොතේ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කළ බවයි ආටිගල මහතා සඳහන් කළේ.

නමුත් අවශ්‍යතාව මත ගිලන් රථ, බවුසර් ආදිය ගෙන්වීමට රජය අවසර ලබා දී තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

******************************************

නෞකාවේ ගින්න මතට ගුවනින් ‘ගිනි නිවන පවුඩර්’ කිලෝ 850 ක්

(26.05.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ ගින්න නිවීම සඳහා සිදු කෙරෙන ගුවන් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

මේ සඳහා අද (26) දිනය තුලදී බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් රසායනික ගිනි නිවීම් සඳහා භාවිත කෙරෙන වියළි රසායනික ද්‍රව්‍ය පවුඩර් (dry chemical powder) කිලෝග්‍රෑම් 850 ක් අවස්ථා දෙකකදී (2) ගින්න මතට හෙළා තිබෙනවා.

මීට අමතරව නෞකාවේ ගින්නේ වර්තමාන තත්වය පිළිබඳ සිදුකළ නිරීක්ෂණයන් පිළිබඳ තොරතුරු අදාළ අංශ වෙත දැනුම්දීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම පිළිස්සුනු නෞකාවෙන් ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුනු බහාලුම් සහ සුන්බුන් ආදිය පිළිබඳවත් ගුවන් හමුදා ඩ්‍රෝන යානා මගින් අඛණ්ඩ නිරීක්ෂණයක් සිදුකරන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.

******************************************

(26.05.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

යාස් සුළි කුණාටුව ඉන්දියාවේ උතුරු ඔඩීස්සා වෙරළ තීරයේ ගොඩබිමට ඇතුළු වීමත් සමඟ එහි පැල්පත් නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, මෙම සුළු කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල පැවති සුළං සහිත කාලගුණය ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව, හෙට (27) දිනයේදී දිවයින වටා මුහුදේ සුළඟේ වේගය 60 ත් 70 ත් වන සහ ඇතැම්විට එය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිසා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල අනිද්දා දක්වා ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

******************************************

(26.05.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔහු මෙරට 48 වන නීතිපතිවරයායි. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34 ක් සේවය කර ඇති ඔහු මීට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන තනතුරු හොබවා තිබෙනවා.

******************************************

(26.05.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සැරසිලි කිරීමට නිවසේ විදුලි බුබුළු වැලක් අදිමින් සිටි, 17 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදී අද(26) පස්වරුවේ මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අහංගම කොටේගොඩ පදිංචිව සිටි සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදී වැටි සිටි ඔහු, අහංගම ග්‍රාමිය රෝහල වෙත ගෙනගොස් ඇති අතර එසේ ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

තවත් මව් සෙනෙහසක කතාවක්

(26.05.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

තම පුතුන් දෙදෙනෙකු (2) සසුනට පූජා කළ මවක්, කුඩා දියණිය සමග සසුන්ගත වීමට සූදානම්ව සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මිනිසුන් මත්පැනට ලොල්වීම සහ වගකීම් පැහැර හැරීම නිසා ඔවුන්ගේ දරුවන් සහ සමීපතමයන් සදාකාලික ජීවිත ගැටලුවලට මුහුණ දෙනවා.

දුප්පත්කම ඒ හැම ගැටලුවටම ඉදිරියෙන් බලපෑම් කරන බව ද රහසක් නොවේ.

දඹුල්ල – ලේනව ගම්මානයේ පදිංචි මේ අම්මා නමින් අනුලාවතී අමරසේකර.

පාසලේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන පුංචි දියණිය සමඟ ඇය මහණදම් පුරන්නට තීරණය කරන්නේ සසුනට දායද කළ තම පුතුන් දෙදෙනා (2) අතරින්, වැඩිමහල් පුතු සිවුරුහැර දමා යළි නිවසට ඒමේ සූදානමක් පිළිබඳව අසන්නට ලැබීම හේතුවෙන්.

දුප්පත්කමෙන් මිරිකුණු අම්මා සහ නංගී දුක්විඳිමින් සිටින නිසා ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් සසුනට සමුදීමට උන්වහන්සේ තීරණය කර තිබෙනවා.

ආරක්ෂිත දොරක්වත් නොමැති කටුමැටි නිවසක අපහසුවෙන් වේල සරිකර ගන්නා මෙම මව තම දරුවා උපැවිදි වීම දරාගත නොහැකි නිසාවෙන්ම දියණිය සමඟ සසුනට ඇතුළත් වීමට තීරණය කර ඇති බව අපට පැවසුවා.

සැමියාගේ බීමත්කම නිසාම දරුවන් සමඟ ඇය ඔහුගෙන් ඉවත්ව ධර්මයේ පිහිට විශ්වාස කර ජීවත් වෙමින් සිටිනවා. පුතු තමන් සහ දියණිය වෙනුවෙන් එලෙස කැපවනු දැකීමට අකමැති බව ඇය පවසන්නේ අපිරිමිත දරු සෙනෙහසින්.

වෙසක්පුර පසලොස්වක පොහෝ දිනය යෙදෙන අද (26), අපට වාර්තා වූ මේ කතාව දහමට බැඳුණු මවකගේ සෙනෙහස පිලිබඳව මෙන්ම, බුදු සසුනට ඇතුළත්ව මහණදම් පුරන මහා සංඝරත්නයේ කරුණාව පිළිබඳව ද මනාව පැහැදිලි කරනවා.

මව්පියන් ලෙස දරුවන් වෙනුවෙන් වූ යුතුකම්, වගකීම්, ඉටු කිරීම පිළිබඳව මෙන්ම, රටේ දුප්පතුන් බොහෝ දෙනා මුහුණදෙන නොපෙනෙන සමාජ ආර්ථික ගැටලු පිලිබඳව ද මේ අම්මාගේ කතාව අපට හෙළි කරනවා නොවේ ද ?

******************************************

(26.05.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගනිමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

මේ අතර, නාවික හමුදාව සඳහන් කළේ නෞකාවේ ගින්න එහි පාලක මැදිරිය දක්වා තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුළු පාර්ශව මේ වනවිටත් ගින්න පාලනය කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘වෛයිභව්’ සහ ‘වජ්‍රා’ නෞකාව මෙන්ම ‘ඩෝනියර්’ ගුවන් යානය නෞකාවේ ගින්න නිවීමේ ඒකාබද්ධ මෙහෙයුමට එක් වූ බවයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘බෙල් 212’ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් අද (26) අවස්ථා දෙකක (2) දී නෞකාව මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 850 ක් හෙලනු ලැබුවා.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට අද (26) අලුයම සිට ගොඩගසා තිබුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දිගින් දිගටම ජනතාවට දැනුම් දුන්නේ අදාළ කොටස් ශරීර සෞඛ්‍යට අහිතකර බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

කෙසේ වෙතත්, එම උපදෙස් නොපිළිපදිමින් ඇතැම් පිරිස් අද (26) පෙරවරුවේ උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ කපුගොඩ, සෙත්තප්පාඩුව, දුංගල්පිටිය හා තලාහේන යන වෙරළ තීරයන්ට එක්රැස්ව නෞකාවෙන් වෙරළට ගසාගෙන ආ සුන්බුන් රැස්කරනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම පිරිස සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට අම්ල වැසි ඇති වීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි.

ගිනි ගනිමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු අබලි ද්‍රව්‍ය පාවී එනු ඇති බවට අපේක්ෂා කරන දික්ඕවිට සිට හලාවත දක්වා සහ වැල්ලවත්ත සිට පානදුර දක්වා මුහුදු තීරයේ නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බවයි. එසේම පාවී එන ද්‍රව්‍ය පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මේ අතර, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ද පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරය කළු පැහැයකින් දිස්වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පමුණුගම සිට මීගමුව දක්වා මුහුදු වෙරළේ තැන තැන පිලිස්සී ගිය ප්ලාස්ටික් කොටස් ගොඩ ගැසෙමින් තිබෙන අතර, මේ වනවිට එම රසායනික ද්‍රව්‍ය වඩදිය සමග මීගමුව කලපුව තුලට ගලාඑමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සිද්ධියත් සමඟ දැනට මෙරට වායු දූෂණයට බලපෑමක් සිදුව නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර, නෞකාව අවට මුහුදේ තෙල් පැතිර යාමක් සිදුවුවහොත් පවතින තත්ත්වයට මුහුණදෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

@@@@@@@@@@@@@@@@@

(26.05.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය යටතේ පාර්ලිමේන්තුව රැස් කිරීමේ අවධානම නොතකා රජය කල ක්‍රියාවන් හි ප්‍රතිවිපාක විපක්ෂයට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට විඳීමට සිදුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ද සාකච්චාවේදී විපක්ෂයේ මතයට කිසිසේත් කන් නොදුන් බවයි.

මේ සම්බන්දයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සම්පුර්ණ නිවේදනය පහතින් :

++++++++++++++++++++++

(26.05.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1581 ක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම අද (26) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1203 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 132,334 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 744 ක් වාර්තා වනවා. ඒ අනුව අද (26) මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2325 ක් ෴

විදේශගතව පැමිණි අයගෙන් 52 නෙකු කොරෝනා ආසාදිත ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (26) මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2377 ක් ෴

+++++++++++++++++++++

(26.05.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට අද (26) අලුයම රැගෙන ආ මාත්‍රා ලක්ෂ 5 ක සයිනොෆාම් එන්නත් තොගය අද (26) සිටම එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එම එන්නත් තොගය සෞඛ්‍ය අංශ නිර්දේශවල ප්‍රමුඛතාව අනුව දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදත්, සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් 1,203 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1,269 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ මරණ 28 ක්ද ඒ අතර වනවා.

දිනෙන් දින වාර්තා වන කොරෝනා මරණ අතරින් නිවෙස් තුළදී සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

පසුගිය 20 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ කොරෝනා මරණ 221 න් 54 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස් තුළයි.

ඉන් 22 දෙදෙනෙකුම ඊයේ (25) සහ අද (26) තහවුරු කළ මරණ අතරට අයත්වීම විශේෂත්වයක්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියා කළහොත් ඉදිරි සති කිහිපයේදී ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබිය හැකිවනු ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ සහ කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි මෙලෙස ඔවුන් කොරෝනා පරීක්ෂණවලට භාජනය කරනු ලැබුවේ.

එසේම, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සාමාජිකයින් සිටී නම්, අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කළ බවයි.

එසේම, ස්වයං නිරෝධායනයට යොමුව සිටි විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයෙකු වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්‍ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව හෙලි වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණීම වළක්වාලමින් පනවා තිබූ තාවකාලික තහනම ලබන පළමු වනදා සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, පසුගිය දින 14 තුල ඉන්දියාවට ගොස් සිටි පුද්ගලයන් සඳහා එම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම, සංචාරක ගුවන් යානයක සමස්ත මගී සංඛ්‍යාව 75 කට නොවැඩි විය යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.

මේ අතර, කිලිනොච්චිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (26) ඉන් පළාගොස් තිබෙනවා.

එසේම, බූස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටි කොරෝනා ආසාදිත රැඳවියෙකුද මාතර – වල්ගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයෙන් ඊයේ (25) පළාගොස් තිබුණා.

කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින්ද කොරෝනා ආසාදිතයෙකු ඊයේ (25) පස්වරුවේ පළාගොස් තිබූ අතර, ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයන්ට කොවිෂිල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් කොළඹ අක්ෂි රෝහලේ දී අද (26) සිදුකෙරෙන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

වසංගත රෝග විද්‍යා අංශය විසින් තෝරාගත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ස්ථානවල එන්නත්කරණය අරඹන ලෙස ජනපති උපදෙස් ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(26.05.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ගතවු දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අද (26) දිනයෙත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහයුම් ක්‍රියාත්මකයි.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (25) රාත්‍රී 11ට පැනවුණ සංචරණ සීමා ජුනි 7 වැනිදා දක්වා බලපැවැත්වෙනවා.

ඒ අතර තුර මැයි 31 සහ ජුනි 04 යන දිනවලදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා පමණක් සංචරණ සීමා ලිහිල් කිරිමට නියමිතයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදි නිරෝධායන නීතින්ට අනුකුලව සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුගමනය කරමින් ජනතාව නිවසේම රැඳි සිටිය යුතු අතර නිවෙස්වෙතින් බැහැරවිමට අවසර හිමිවන්නේ අත්‍යවශ සේවා සඳහා පමණයි.

මේ අතර, ගතවූ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

අද (26) දිනයේත් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මේ අතර අද (26) උදෑසණ කොළඹට පැමිණෙන රථවාහන පරීක්ෂා කිරිම හේතුවෙන් ඇතැම් ස්ථානවල තදබදයක් දක්නට ලැබුණා.

මේ අතර ඊයේ (25) දින සංචරණ සීමා ලිහිල් කල අවස්ථාවේ මුඛ අවරණයක් නොමැතිව අලුත්ගම දර්ගා නගරයේ වෙළඳ සැලකින් භාණ්ඩ මිලට ගෙන වීල්බැරෝවකින් ප්‍රවාහන කළ පුද්ගලයෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ 40 හැවිරිදි මෙම පුද්ගලයාට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බවයි.

මේ අතර සංචරණ සීමා ලිහිල් කල ඊයේ (25) දිනයේ සංචරණ සීමා උල්ලංඝණ කරමින් ත්‍රිරෝද රථවල ගමන් ගත් පුද්ගලයින් 50 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද රථ 42 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර සංචරක සීමා පැනවිමත් සමග අම්බලන්ගොඩ නගරයේ අසරනවි සිටින යාචකයින්ට ආහාර ලබාදිමට අම්බලන්ගොඩ පොලිසය කටයුතු කළා.

+++++++++++++++++++++

(26.05.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට උපදෙස් ලබා දෙමින් 04 වන මට්ටමේ අවදානම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචාරක සීමා අනුව ත්‍රස්තවාදී කාණ්ඩයට ඇතුලත් කිරීම පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොවන බවයි.

ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව ඇතුලුව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන අනෙකුත් ආයතන විසින් ආරක්ෂාව මනාව තහවුරු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වර්තමානයේ රට තුල පවතින කොවිඩ්-19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙලෙස 4 වන මට්ටමේ සංචරණ සීමා නිකුත් කර තිබුනද එහිදී ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් අඩංගු වීම එම වර්ග කිරීමේ ක්‍රියා පිළිවෙතට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

එබැවින් ජාතික ආරක්ෂාව පිළිබඳ අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටින්නේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පසුගියදා එරට පුරවැසියන්ට උපදෙස් ලබාදී තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසටයි.

ඒ, විදේශයන් හි සංචාරය සඳහා 04 වන මට්ටමේ අවදානම් නියෝගයක් නිකුත් කරමින්.

කොවිඩ්-19 වසංගතය, ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට අමෙරිකාව දක්වා තිබු ප්‍රධාන හේතුව වුනා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක දත්ත කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවියට ද එක්කර තිබෙනවා.

+++++++++++++++++++++

(26.05.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 29 ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 1298 ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 172,277 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 28,601 ක්.

සුවය ලැබූ 142,978 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

අද (26) දිනයේ පමණක් ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 2377 ක් වාර්තාවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *