සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ

*********************************************

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ

(24.05.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය දීර්ඝ කිරීමට රජය අද (24) තීරණය කළා.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (24) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුවයි.

හෙට (25) දිනයේ මෙන්ම, ලබන 31 සහ ජුනි මස 4 වනදා එම සීමා ලිහිල් කෙරෙන අතර, එම දිනවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් ජනතාවට අවස්ථාව හිමිවනවා.

ළඟම ඇති වෙළඳසැලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුතු බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) ගත් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවට එක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සංචරණ සීමා තාවකාලිකව ඉවත් කෙරෙන හෙට දිනයේදී වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ පාගමනින් පමණක් බවයි.

එසේම, මාර්ගයේ හා වෙළඳසැල් වල වාහන නැවැත්වීම තහනම් බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, සංචරණ සීමා කඩ කරන්නන් පිලිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර, සංචරණ සීමා තාවකාලිකව ඉවත් කෙරෙන හෙට (25) දිනයේදී කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද (24) මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.

මේ අතර, දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හෙට (25) අලුයම 4 සිට හුදකලා කර තිබෙනවා.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට 155 සහ දෙල්ගමුව ග්‍රාම නිලධාරි වසමේ නගර කොටස මෙලෙස හුදකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

එසේම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ – ඌරවත්ත සහ කිරිබත්ගොඩ – ඊරියවැටිය මෙන්ම, නුවරඑළිය – ඩයගම – සන්දිරිගම සහ එහි සත්ත්ව ගොවිපොල කොටස මෙලෙස හෙට සිට හුදකලා කෙරෙනවා.

++++++++++++++++++++

(24.05.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනයට අදාළ සියලු‍ කටයුතුවලින් හෙට (25) සිට ඉවත් වන බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අනතුරු අඟවනවා.

ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින්.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවධානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් බැවින් සියලු‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.

කොළඹ ජාතික රෝහලේ මෙන්ම මීගමුව මහ නගර සභා පරිශ්‍රයේදීද වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (24) සිදුකෙරුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් මෙම තීරණයට විරෝධය පළ කරමින් හෙට (25) සිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වන බව ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කොළඹ අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මතුව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර, කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, තුෂාර ඉඳුනිල් අමරසේන, දිලිප් වෙදආරච්චි, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ අශෝක් අබේසිංහ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ඔවුන් ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සිදුකර ගැනීමටද නියමිතයි.

එසේම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු (2) ද විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලය ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හෙට (25) දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මේ අතර, අද (24) මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2283 දෙනෙකු වාර්තා වුණා.

අද (24) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 687 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (24) දිනයේ මේ දක්වා වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2970 ක් ෴

++++++++

+++++++++++++++++++

(24.05.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය තේරුම් ගෙන ජනතාව සංචරණ සීමා නිසි පරිදි අනුගමනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේදී අද (24) රැස්වූ අවස්ථාවේදීයි.

+++++++++++++++++++

24-05-2021

+++++++++++++++++++

(24.05.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය වටවෙල පොලිස් වසමේ ලොනැක් හා වැලිඔය ග්‍රාම නිලධාරී වසම නුවරළිය ගිනිගත්හේන පොලිස් වසමේ මොරගහහේන සහ මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

හුදෙකලා කෙරෙන සහ හුදෙකලා බව ඉවත්කළ ප්‍රදේශ පහතින් :

+++++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ‘කළු දිලීරය’ ආසාදිත රෝගීන් ගැන අනාවරණයක්

(24.05.2021 – 12:14 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිත සමහර රෝගීන්ට වැළඳී ඇති ‘කළු දිලීර රෝගය’ ගැන මේ දිනවල අප සමාජයේ කථාබහක් ඇතිවී තිබේ.

ඒ ගැන සමාජයේ යම් බියක් ද ඇතිවූයේ එම දිලීරය ආසාදිත රෝගියෙක් අම්පාර ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තාවීමත් සමගය.

නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය පවසන්නේ වෙනත් දෙයකි. එහි දත්ත අනුව මෙරටින් 2019 සිට කළු දිලීරය ආසාදිත පුද්ගලයින් හමුවී තිබේ.

වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය ඒ පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසුවාය :

“ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මේ කළු දිලීරය ගැන අපේ සමාජයේ කථා වෙනවා. මියුකොමයිකොසිස් කියලා අපි මේකට කියනවා. ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. අපිට 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42 ක් වාර්තා වෙලා තියෙනවා. 2020 දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ්-19 ආසාදනය වෙලා නැහැ. මෙතෙක් මෙරටින් කොවිඩ්-19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. එය වර්ධනය අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා. එම දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට.”

+++++++++++++++++++

(25.05.2021 – 06:24 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 745 දෙනෙක් ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන නීතිය ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුල එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ෴

+++++++++++++++++++++

(25.05.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, විදේශයන් හි සංචාරය සඳහා 04 වන මට්ටමේ අවදානම් නියෝගයක් නිකුත් කරමින්.

කොවිඩ්-19 වසංගතය, ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට අමෙරිකාව දක්වා ඇති ප්‍රධාන හේතුවයි.

සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සඳහා 04 වන මට්ටමේ සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමකින් පවතින බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක දත්ත කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සිය වෙබ් අඩවියට එක්කර තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිත මරණ 33 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අතර ඊයේ (24) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 05 ක් වන අතර, මැයි 17 වැනිදා සිට 23 වැනිදා දක්වා සිදුවූ මරණ 28 ක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර මෙරට වයස්ගතම කොවිඩ් මරණය තහවුරු වී තිබෙනවා. එලෙස මියගොස් තිබුණේ ගාල්ල, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 104 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්. කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඇය නිවසේදී මියගොස් ඇති බවයි රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++++

(25.05.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (25) අලුයම 4 ට ලිහිල් කෙරුණා.

ඒ අනුව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන අතර, අද (25) රාත්‍රී 11 ට යළි බලාත්මක කෙරෙන සංචරණ සීමා ජුනි 07 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අතරතුර මැයි 31 සහ ජුනි 04 වනදා ද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් සංචරණ සීමා ලිහිල් කෙරෙනු ඇති.

අද (25) සංචරණ සීමා ලිහිල් කළද නිවසෙන් පිටවීමට කොන්දේසි කිහිපයක් බල පැවැත්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සංචරණ සීමා තාවකාලිකව ඉවත් කළද, වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ පාගමනින් පමණක් බවයි.

එසේම, මාර්ගයේ හා වෙළඳසැල් වල වාහන නැවැත්වීම තහනම් බවද ඔහු සඳහන් කළා.

මේ අතර, සංචරණ සීමා කඩ කරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ඊයේ (24) දිනයේදී එලෙස නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 745 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම, අද (25) දිනයේදී කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (24) මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක 04 ක ප්‍රදේශ කිහිපයක් අද (25) අලුයම සිට හුදෙකලා කෙරුණා.

ඒ අනුව, අම්බලන්ගොඩ – ඌරවත්ත , කිරිබත්ගොඩ – ඊරියවැටිය, නුවරඑළිය – ඩයගම – සන්දිරිගම සහ එහි සත්ත්ව ගොවිපොල කොටසද අද (25) අලුයම සිට හුදෙකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ෴

සංචරණ සීමා පවතින ජුනි 07 වන දින දක්වා කාල සීමාව තුල සුපිරි වෙළඳසැල් වල මත්පැන් අලෙවියට අවසර නොලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++

(25.05.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පන්දහසේ (5000/-) දීමනාව ආර්ථික අපහසුතා ඇති අයට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යළි යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවු සංචරණ සිමා සමඟ කිසිදු ආර්ථික හැකියාවක් නොමැති පිඩාවට පත්ව සිටින පවුල් වෙත මෙම දීමනාව ලබාදීමටයි ඊයේ (24) රැස්වු කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා වී ඇත්තේ ෴

++++++++++++++++++++

(25.05.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2971 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,67,172 දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ (24) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1296 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 1,29,903 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මර්දනයට අදාළ සියලු‍ කටයුතුවලින් අද (25) සිට ඉවත් වන බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් ඊයේ (24) අනතුරු අඟවනු ලැබුවා.

ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින්.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් ද ඊයේ යොමුකරනු ලැබුවා.

මේ අතර, හුදකලා කරන ලද ප්‍රදේශවල නිවෙස්වල එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් රජය මගින් ආරම්භ කර තිබෙනවා.

නිවෙස්වල එක්තැන් වී සිටින රෝගීන් සම්බන්ධයෙන් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(25.05.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

(25.05.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිට නාවික සැතපුම් නවයක් (9) පමණ දුරින් නැංගුරම් ලා ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න මේ වන විට තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

සිංගප්පූරුවේ සිට ඉන්දියාව බලා රසායන ද්‍රව්‍ය තොගයක් රැගෙන යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව කොළඹ වරායට පැමිණීමට පිටත වරායේ නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණේ මීට දින 5 කට පෙරයි.

නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සිංගප්පූරු සමාගමක් ද හවුල් වී තිබෙනවා.

(25.05.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු (2) ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, නෞකාවේ ගින්න වර්ධනය වීමත් සමඟ එහි තිබූ බහාළුම් 08 ක් මේ වනවිට මුහුදට වැටී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළා.

කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1,486 ක් සමන්විත අතර එහි ගින්නක් හට ගනු ලැබුවේ පසුගිය 19 වනදායි.

නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සිංගප්පූරු සමාගමක් ද හවුල් වී තිබෙනවා ෴

ගිනි ගැනීමකට ලක්වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න පාලනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගන තිබෙනවා.

******************************************

(25.05.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව එම පද්ධතිය උතුරට බරව වයඹ දිසාවට ගමන් කර හෙට (26) දිනයේ ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය වෙත ගමන් කිරීමට නියමිතයි.

එහි බලපෑම් හේතුවෙන් අද (25) සහ හෙට (26) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

යාස් චන්ඩමාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ පැයට කිලෝමීටර් 155 ත් 185 ත් අතර වේගයක් සහිත චන්ඩමාරුතය අද (25) සවස් කාලයේදී ඉන්දීය වෙරළ තීරයෙන් රට තුලට ඇතුළු වනු ඇති බවයි.

මේ අතර, නිරිත දිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, මධ්‍යම, උතුරු, උතුරුමැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි අතිවනවිට සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වලට යළි හෙට (26) පස්වරුව දක්වා නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

රත්නපුර – ගලේබොඩ ප්‍රදේශයට ඊයේ මිලිමීටර් 181.5 ක ඉහළ වර්ෂාපතනයක් ලැබුණු අතර, කෑගල්ල – දෙහිඕවිට ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 173.5 ක්.

රත්නපුර – වේවැල්වත්ත ප්‍රදේශයට මිලිමීටර් 157 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

එමෙන්ම, කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඉදිරි පැය 03 ක කාලය තුළ රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

(25.05.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් පසුගිය මැයි 08 වැනිදා සොරාගත් රුපියල් තුන්කෝටි හයලක්ෂයකට (3,06,00,000) අධික මුදලකින් කොටසක් සමඟ ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් මෙහිදී සැකකරු ළඟ තිබී සොයාගෙන ඇති බවයි.

සැකකරු පදිංචි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ සඟවා තිබියදීයි සොරා ගත් මුදල් සහ භාණ්ඩවලින් කොටසක් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත්තේ.

සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් අදාළ විමර්ශන සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

24-05-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *