ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

*********************************************

ඊයේත් (22) වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(23.05.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව, ආසාදිතයින් 556 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 354 ක් වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 556 අතුරෙන් 127 දෙනෙකුම වාර්තා වන්නේ නාරාහේන්පිට ප්‍රදේශයෙන්.

ඊට අමතරව පාදුක්ක ප්‍රදේශයෙන් ආසාදිතයින් 81 ක් සහ හෝමාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වනවා ෴

++++++++++++++++++++++

(23.05.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ලබන අගහරුවාදා (25) දිනයේ සංචරණ සීමා ලිහිල් වීමෙන් පසු පළාත් සංචරණ සීමාවන්ට යටත්ව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා.

ඒ අනුව අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 3 ක් සහ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා දුම්රිය ගමන් වාර 3 ක් සිදු කෙරෙනු ඇති.

අලුත්ගම සිට මරදාන දක්වා සහ මහනුවර සිට පොල්ගහවෙල දක්වා එක් දුම්රිය ගමන් වාරය (1) බැගින් ධාවනය කෙරෙනවා.

කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 2 ක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා ගමන් වාර දෙකක් (2) සිදු කෙරෙන බවයි දුම්රිය සේවය සඳහන් කළේ.

ලබන 25 වනදා සංචරණ සීමා ලිහිල් වීමෙන් පසු අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් සිදු කෙරෙනු ඇති.

එමෙන්ම බෙලිඅත්ත සිට ඉඳූරුව දක්වා සහ ඉඳුරුව සිට බෙලිඅත්ත දක්වා එක් දුම්රිය ගමන් වාරය බැගින් ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

++++++++++++++++++++++

(23.05.2021 – 12:15 +0530 – hirunews.lk/sinhala)

මේවන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන අගහරුවාදා (25) අලුයම 4 ට ඉවත් කළ ද සාමාන්‍ය දිනයක් ලෙසට සංචරණ කටයුතු සිදු නොකරන ලෙසට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්දෙනවා.

අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම වෙනුවෙන් තම නිවස හෝ නවාතැන ආසන්නයේම ස්ථානයකින් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

පසුගිය සිකුරාදා (21) රාත්‍රී 11 සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා ලබන අඟහරුවාදා (25) අලුයම 4 ට තාවකාලිකව ලිහිල් කර එදිනම රාත්‍රී 11 ට යළි පැනවීමට නියමිතයි.

යුද හමුදාපතිවරයා අවධාරණය කරන්නේ අඟහරුවාදා (25) දිනයේ සංචරණ සීමා ලිහිල් කරනු ලබන්නේ ආහාර ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යවශ්‍යම භාණ්ඩ සහ සේවා ලබාගැනීමට ඉඩ ලබාදීම වෙනුවෙන් බවයි.

එහිදී සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

සංචරණ සීමා ලිහිල් වන කාලය තුල විවෘතව තැබීමට ඉඩ ලැබෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල් මෙන්ම ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදෙන ආයතන පමණයි.

එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් (1) අයෙකුට පමණක් බවයි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මත්පැන් අළෙවිසල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශී වීම් සඳහා ඉඩ නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

මීට අමතරම මැයි 28 සිකුරාදා දිනයේදී සංචරණ සීමා යළි ලිහිල් කළ විට ද මෙම නියමයන් එලෙසින්ම ක්‍රියාත්මකයි.

29, 30 සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබඳ 27 වනදා තත්වය සමාලෝචනය කිරීමෙන් පසු තිරණය කරන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මේ අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු ආශ්‍රිතව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පස්වරුව වනතෙක් ඩ්‍රෝන තාක්ෂණයෙන් මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

++++++++++++++++++++++

(23.05.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනුයි විපක්ෂ නායකවරයා මේබව ප්‍රකාශකර ඇත්තේ.

තම බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) රෝහල් ගත කළ බව ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබෙනවා.

ඒ හේතුවෙන් තමා ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්වූ අතර මීට ටික වේලාවකට ලැබුනු එහි ප්‍රතිඵල අනුව තමා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

තම බිරිඳට කොරෝනා වෛරස් ආසාදිත රෝග ලක්ෂණ පැවතිය ද තමාට කිසිදු රෝග ලක්ෂණයක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් තමා ද මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි විපක්ෂ නායකවවරයා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනේ දැක්වෙන්නේ.

මේ අතර විපක්ෂ නායකවරයාගේ සමීප ආශ්‍රිතයන් වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට ලක්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

තමා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක්වීමට ද නියමිත බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ විපක්ෂ නායකවරයාගේ සමීප ආශ්‍රිතයන් වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට ලක්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

තමා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක්වීමට ද නියමිත බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ ෴

මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්‍රීවරුන්ට කොරෝනා පරීක්ෂණ වෙනුවෙන් යොමුවන ලෙසට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම්දී තිබෙනවා ෴

+++++++++++++++++++++

(23.05.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (22) තහවුරු කරන ලද කොරෝනා ආසාදිත පුද්ගල මරණ 46 අතරින් වැඩිම සංඛ්‍යාවක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම මරණ අතරින් 17 ක්ම එලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර, ඔවුන් මීටියාගොඩ, අක්මීමන, රත්ගම, හව්පේ, ගාල්ල, බද්දේගම, හල්විටිගල, උණවටුන, ඉමදුව, අහංගම, කරන්දෙනිය, දොඩන්දූව සහ බටපොල ප්‍රදේශවල පදිංචිකරුවන්.

දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ ගණන ලෙස මරණ 46 ක් ගතවූ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළ අතර, ඉන් 42 කටම හේතු වී ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියාව’ යි.

මෙම මරණ 46, පසුගිය 16 වනදා සිට ඊයේ (22) දක්වා සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ඊයේ (22) තහවුරු කරන ලද එම මරණ සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 1,178 ක් ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ නිවෙස්වල සිටින ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඇති ප්‍රමාදය මෙලෙස දිනෙන් දින මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බවයි.

ඊයේ (22) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 2,909 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,61,242 ක් දක්වා ඉහළ ගියා.

එම ආසාදිතයින් අතරින් 03 දෙනෙකු විදේශගතව සිට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර සෙසු 2,906 දෙනා අලු‍ත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින්.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 556 දෙනෙකු වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් 124 ක්ම වාර්තා වුණේ නාරාහේන්පිට ප්‍රදේශයෙන් වන අතර එය ගතවූ දිනයේ මෙරටින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවූ ප්‍රදේශයයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407 ක් වාර්තා වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 354 ක්.

මීට අමතරව කුරුණෑගල හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 200 ඉක්මවා වාර්තා වුණා.

හික්කඩුව – ඌරවත්ත – ධීවර නිවාස සංකීර්ණයේ සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී ආසාදිතයින් 27 දෙනෙක් හඳුනා ගත්තා.

මීට පෙරද එම නිවාස සංකීර්ණයෙන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැණුනු අතර, අලු‍තින් හඳුනාගත් ආසාදිතයින් 27 දෙනාද මේ වන විට පොල්වත්ත, බෙන්තර සහ ගාල්ලේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන – ඩයගම රජයේ සත්ත්ව ගොවිපොළේ සේවකයින් 37 දෙනෙකුට කොරෝනා ආසාදිත බව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වුණා.

වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ එම ආසාදිතයින් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනවශ්‍ය ඒකරාශිවීම්වලින් වළකින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

++++++++++++++++++++

(23.05.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ඇති විද්‍යාත්මක ක්‍රමය වන්නේ දින 14 ක දැඩි සංචරණ සීමා පැනවීම බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා අවධාරණය කරනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

@@@@@@@@@@@@@@@@

(23.05.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමෙන් ඇතිවූ තත්ත්වය හෙට (24) දිනය වන විට සුළි කුණාටුවක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියාසිටියේ හෙට (24) එම සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර (නැගෙනහිර ?) ප්‍රදේශයට ඇතුල් වන බවයි.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට වැසි ඇතිවිය හැකියි.

මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑම ඇති වන්නේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශයට වන අතර එහි නාවික සහ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

පවතින වැසි තත්ත්වයත් සමඟ බදුල්ල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලත් රත්නපුරය, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල පස් කඳු කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

******************************************

(23.05.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

පාදයකට වෙඩි වැදීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවන ඇතෙක් වෙනුවෙන් පිරිත් සජ්ඣායනාවක් සිදු කිරීමේ පුවතක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු 12 ක් පමණ වන මෙම ඇතා වැවක් ආසන්නයේ වැටී සිටින අතර ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ද දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති හිමියන් පිරිත් සජ්ඣායනාව සිදුකර ඇති අතර එම අවස්ථාවට වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා වනජීවී නිලධාරීන් මෙන්ම වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ද එක්ව තිබෙනවා.

දින 15 ක පමණ කාලයක සිට තුවාල ලබා වැටී සිටින ඇතාට උතුරු පළාත් භාර පශූ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතිනවා.

ඇතාගේ ආරක්ෂාව වන්නි යුද හමුදා නිලධාරීන් විසින් සිදුකරන අතර එම සත්වයා මේවන විට බරපතල තත්වයේ සිටින බවයි වනජීවී නිලධාරී ප්‍රකාශකර ඇත්තේ.

මෙම ඇතාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණීමට නියමිත බව ද සඳහන්.

[ සේයාරූ ]

******************************************

(23.05.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දිවයිනට පැමිණි නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම ලබා දෙන වාර්තාවලට අනුව, ඉදිරි පියවර වලට එළඹෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපතිනී, දර්ශනී ලහඳපුර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ විශේෂඥ කණ්ඩායම මේ වනවිට එම නැවේ ගින්න නිවන ටග් යාත්‍රා වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ගින්නෙන් නැවට සිදුව ඇති හානිය සහ ඉදිරි කටයුතු විමර්ශනය සඳහා ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණි මෙම නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම අද අලුයම නෞකාව ආසන්නයට ළගා වුණා.

නෞකාවේ හට ගෙන ඇති ගින්න මේ වනවිට පාලනය කර ඇතත්, එය මුළුමනින්ම නිවා අවසන් නොමැති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවේ.

මෙම සිද්ධියේදී සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිලිබඳව පරීක්ෂා කිරීමට ඊයේ (22) දිනයේ ලබා ගත් ජල සාම්පල ඉදිරියේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරවන බව ද ඇය කියා සිටියා.

නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

පසුගිය 19 වැනිදා කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහාළුම් 1,486 ක් අඩංගු වනවා. එහි නයිට්රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා රූපලාවණ්‍ය ද්‍රව්‍යද ඇතුළත්.

‘මැරිටයිම් එක්සෙකටිව්’ නැමැති නෞකා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය සඳහන් කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ අලුතෙන්ම නිෂ්පාදනය කළ නෞකාවක් වන අතර, එය හිමිකාර සමාගම වෙත ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරියේදී බවයි.

******************************************

(23.05.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

යාපනය – තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 131 යි ග්‍රෑම් 800 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (22) දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී පාර්සල් 4 ක බහා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව සඳහන්.

එහි වටිනාකම රුපියල් මිලියන 39 ක් වන අතර, සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නැහැ.

එම කේරළ ගංජා තොගය අද (23) පෙරවරුවේ උතුරු නාවික විධානයේදී ගිනි තබා විනාශ කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

******************************************

(23.05.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කොටගල – ඩ්‍රේටන් වතු යායේ දුරකථණ රැහැන් කුළුණකට එල්ල වූ අකුණුසැර වැදීමකින් එහි සිටි කම්කරුවන් 17 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද (23) පෙරවරුවේ එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම අකුණුසැර වැදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් කම්පනයට සහ සුළු පිලිස්සුම් තුවාල ලැබූ කම්කරුවන් පසුව ඇතුළත් කෙරුණේ කොටගල ප්‍රාදේශීය රෝහලටයි.

******************************************

(23.05.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට හෙට (24) දිනයේ සිට දින 3 ක් මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්වය මේවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ හේතුවෙන් ඉදිරි දින තුන (3) තුල දිවයින හරහා හමන සුළං තත්වයේ සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් සිදුවිය හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *