දෛනික කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වෙයි – තවත් මරණ 46 ක්

දෛනික කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වෙයි – තවත් මරණ 46 ක්

*********************************************

දෛනික කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වෙයි – තවත් මරණ 46 ක්

(23.05.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුල එක් (1) දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් කරමින් ඊයේ (22) දිනයතුල මරණ 46 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ සිදුවී ඇත්තේ පසුගිය 16 වනදා සිට ඊයේ (22) දක්වා වන කාලය තුලයි.

මෙම මරණවලින් 36 කට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව බව ද සඳහන්.

ඊයේ (22) වාර්තාවූ මරණ වයස අවුරුදු 29 ත්, 93 ත් අතර වයස්වල පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1178 ක්.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් මේ වනවිට 161,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ, ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,909 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟයි.

අද (23) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 161,242 ක්.

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 126,995 ක් ලෙස සටහන් වනවා.

++++++++++++++++++++++

(23.05.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 12,130 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙම නිරෝධායන මෙහෙයුම් තවදුරත් ක්‍රියාත්මකයි.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතර වී සිටි ඇමරිකානු ජාතිකයෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඇප බැඳුම්කරයක් මත නිදහස් කර ඇති අතර ලබන 28 වනදා සිද්ධියට අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

මෙම ඇමරිකානු ජාතිකයාට දැඩිව අවවාද කළ ද එම අවවාද නොසලකාහරිමින් නිරෝධායන නීති උල්ලංඝණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ සාද පැවැත්වීම කණ්ඩායම් වශයෙන් පුද්ගල එක් රැස්වීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් බවයි.

මෙවැනි කටයුතු පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබෙනවා.

අද (23) දිනයේදී පොලිසිය විසින් මාර්ග බාධක ජංගම සංචාර මෙන්ම පාමුර සංචාර ද ක්‍රියාත්මක කරනු ලබනවා.

දැඩි සංචරණ සීමා අද (23) දිනයේත් ක්‍රියාත්මක වන අතර ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධනහල් විවෘත කර තැබීමට අවස්ථාව හිමිවනවා.

++++++++++++++++++++++

(23.05.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සයිනොෆාම් කොරෝනා එන්නත් ලක්ෂ 05 ක තොගය මේ වනවිට නැව්ගත කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

අදාළ එන්නත් තොගය චීන රේගුවේ සෞඛ්‍යාරක්ෂණ සහ භාණ්ඩ නිරෝධායන ක්‍රියාවලිය ඊයේ (22) පස්වරුවේ අවසන් කළ බවයි එමඟින් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට එම ලක්ෂ 05 ක සයිනොෆාම් කොරෝනා එන්නත් තොගය කඩිනමින් ලබාදීම සඳහා පැය 24 පුරා නිෂ්පාදන කටයුතු සිදුවූ බවද එහි සඳහන්.

ඒ අනුව අපේක්ෂිත අන්දමින් එම එන්නත් තොගය ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති.

මේ අතර, ජංගම රුධිර කඳවුරු නොපැවැත්වීම හේතුවෙන් පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග ප්‍රමාණවත් රුධිර සංචිත පවත්වාගෙන යෑමේ ගැටලු‍වකට ජාතික රුධිර පාරවිලයන සේවය මුහුණ දී සිටිනවා.

සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 4 තෙක් දිවයින පුරා පිහිටි ලේ බැංකුවලදී රුධිරය පරිත්‍යාග කිරීමට ද අවස්ථාව සලසා දී ඇති අතර, දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ඒ සඳහා වේලාවක් වෙන් කර ගත හැකියි.

ජාතික රුධිර පාරවිලයන සේවය අවධාරණය කරන්නේ පවතින කොරෝනා තත්ත්වය තුළ ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස පවත්වා ගැනීමට ලේ බැංකු කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බැවින් පරිත්‍යාගශීලීන් අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නොමැති බවයි ෴

++++++++++++++++++++++

(23.05.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මැයි 25 වනදා අළුයම 4 ට සංචරණ සීමා ඉවත් කර, යලි එදිනම (25) රාත්‍රී 11 සිට 28 වනදා සිකුරාදා අළුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව 25 වනදා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර යළි එදිනම (25) රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 ටයි.

කෙසේ වෙතත්, සංචරණ සීමා පැනවූ කාලයේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිවෙස්වලින් බැහැර වීමට අවසර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

සංචරණ සීමා කඩ කරන්නන් සොයා අද (23) දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ.

ලබන 24, 25, 27 සහ 28 යන දිනයන්හි ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබෙනවා.

ධීවර කටයුතු සහ මත්ස්‍ය වෙළඳාම බාධාවක් නොමැතිව කරගෙන යාමටද ඉඩ ලැබෙනවා.

කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සංචරණ සීමා ලිහිල් කෙරෙන 25 වනදා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබිය යුතු බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කෙරෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ ඊයේ (22) දහවල් රිජ්වේ ආර්යා ළමා රෝහල අසලදී මෙම ඡායාරූපය ගෙන ඇති බවයි.

සීමාසහිත බස්රථ සංඛ්‍යාවක් ධාවනයට යෙදවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව පසුව වාර්තා වාර්තා වුණා.

මේ අතර, සංචරණ සීමා පනවා තිබියදී අලුත්ගම දර්ගා නගරයේ ඊයේ (22) පස්වරුවේ සිදු කරන ලද ශ්‍රමදානයක් අලුත්ගම පොලිසියේ නිලධාරීන් විසුරුවා හැර තිබෙනවා.

එසේම, මුඛ ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු ඊයේ (22) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(23.05.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

බටහිර වෛද්‍යවරුන් දේශීය ඖෂධ කොරෝනා රෝගීන්ට ලබාදීමට අවසර ලබා නොදෙන බවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා සුව කිරීමට දේශීය ක්‍රම භාවිත කිරීමට ඉඩ නොදීම බරපතල වරදක් බවයි ෴

+++++++++++++++++++++++

(23.05.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් මුදාහරින කොරෝනා රෝගීන්ට යළි සිය නිවෙස් බලා යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමේදී කූට ජාවාරම් සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණ කළා.

එහි උප සභාපති එස්.ඒ.යූ.පී. කුලරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

එබැවින් බලධාරීන් වහාම මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ඔහු සඳහන් කළා ෴

++++++++++++++++++++

(23.05.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස මෙන්ම වතු ආශ්‍රිතව අද (23) දිනයේදී ඩ්‍රෝන තාක්ෂණය මගින් ආවේක්ෂණය කරන බව පොලීසිය පවසනවා.

එම ප්‍රදේශවල ජනතාව පසුගිය දිනවලදී නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවට නිරීක්ෂණය වීම මීට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කණ්ඩායම් ලෙසට එක්රැස් නොවී ඉදිරි දින කිහිපය තම නිවසට වී ගත කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

ඊට අනුගත නොවන පුද්ගලයන් සිටී නම් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ඩ්‍රෝන තාක්ෂණය මගින් ආවේක්ෂණය කරන මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්වීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@

(23.05.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිතදිග මෝසම් කාලගුණික තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම මීට හේතුවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

උතුර සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා වැඩිවිය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් 55 ක් දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතිනවා.

මේ අතර, හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

ඊයේ (22) දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිටත් නිවේදනය කර තිබෙනවා ෴

******************************************

(23.05.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

තලාව මොරගොඩ ප්‍රදේශයේදී ගංජා සහ ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) සවස තලාව පොලිසියේ නිලධාරීන් විසිනුයි වැටලීම සිදුකර තිබුණේ.

ගංජා ග්‍රෑම් 403 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී ඔහු තාවකාලිකව නතර වී සිටි නිවසේ තිබී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 12 ක් මෙන්ම අත් විලංගුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම 36 හැවිරිදි සැකකරු එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (23) තඹුත්තේගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(23.05.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා මේ සතියේදී ධූරයේ දිවුරුම්දීමට නියමිතයි.

ඔහුගේ පත් කිරිමට පසුගියදා පාර්ලිමේන්තු සභාවේ අනුමැතියද හිමි වුණා. නීතිපති දප්පුල ද ලිවේරා මහතා හෙට (23) එම ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

වසර දෙකක (2) පමණ කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන තනතුර සඳහා වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර තිබුණා.

අනතුරුවයි එම යෝජනාව පාර්ලිමේන්තු සභාවට අනුමැතිය සඳහා යොමු කළේ ෴

******************************************

(23.05.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට සිදුව ඇති හානිය ඇගයීම සඳහා දිවයිනට පැමිණි නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම අද (23) අලුයම එම නෞකාව ආසන්නයට ළඟා වී තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් ඊයේ (23) පස්වරුවේ ළගා වුණා.

නෞකාවේ ගින්න තවදුරටත් විටින් විට දැකිය හැකි අතර, එහි ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වුණා.

පසුගිය 19 වැනිදා කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාළුම් 1,486 ක් අඩංගු වනවා.

එහි නයිට්රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා රූපලාවණ්‍ය ද්‍රව්‍යද ඇතුළත්.

මෙම රසායනික ද්‍රව්‍ය, පොහොර මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහාද යොදා ගැනෙන අනතුරුදායක භාණ්ඩ ගණයට අයත් වන බව සඳහන්.

‘මැරිටයිම් එක්සෙකටිව්’ නැමැති නෞකා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය සඳහන් කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ අලුතෙන්ම නිෂ්පාදනය කළ නෞකාවක් වන අතර, එය හිමිකාර සමාගම වෙත ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරියේදී බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *