PCR සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

PCR සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

*********************************************

PCR සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

(22.05.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතයන් හඳුනා ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිශ්චිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත සතරවිධ මාර්ගෝපදේශ අද (22) දිනයේ ලිඛිතව දැනුම්දුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව පෞද්ගලික රෝහල් විසින් අදාළ පරීක්ෂණ සිදු කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණයි.

සාම්පල ලබාගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තෙක් තම නිවස හෝ ආයතනය ඇතුලත හුදෙකලාව රැඳී සිටින ලෙසට රෝගියාට නියම කළ යුතු වනවා.

රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරියාගේ වගකීමක්.

ආසාදිත රෝගීන් වගකිව යුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතු බවට ද අදාළ මාර්ගෝපදේශවල දැක්වෙනවා.

කිසියම් පෞද්ගලික රෝහලක් මෙම නියමයන් කඩ කරන්නේ නම් කොවිඩ්-19 පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදු කිරීමට එම රෝහලට ලබාදී ඇති අවසරය අවලංගු කරන බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්දී ඇත්තේ ෴

++++++++++++++++++++++++

(22.05.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් අප්‍රේල් මස 05 වනදා හෝ ඊට පසුව නිකුත් කර ඇති එහෙත් මෙතෙක් ගෙවීමට නොහැකිවූ දඩ පත්‍රිකා ගෙවීම වෙනුවෙන් සහන කාලයක් ලබාදීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ නොයෙක් හේතූන් මත ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීමට අවස්ථාව ලබාදීමටයි මුදල් අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම මෙම වසංගත කාලය තුල ඉදිරියේදී නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා ද ගෙවීමට සම්මත දින 14 ක කාලසීමාව ඉක්මවා ගිය ද දිවයින පුරා ඕනෑම තැනැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් අතිරේක දඩ මුදලක් රහිතව ගෙවීමට මහජනතාවට අවස්ථාව හිමිවනවා.

මෙම සහන කාලය නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කළේ ෴

++++++++++++++++++++++

(22.05.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1635 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 126,995 ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 158,333 ක් හමුවී ඇති අතර ඉන් 30,206 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1132 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2145 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 160,478 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(22.05.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ තහවුරු කර ප්‍රකාශයට පත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවන්නේ පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියේ දෛනිකව ප්‍රකාශයට පත් කෙරෙන කොරෝනා ආසාදිත මරණවල දින ගණනාවක් පැරණි තොරතුරු ද ඇතුළත් වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි ෴

++++++++++++++++++++

(22.05.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා කඩ කරන්නන් සොයා දිවයින පුරා මාර්ග බාධක 600 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලබන 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස සංචරණ සීමා පැනවීමත් සමඟ මාර්ග සෝදිසි කිරීම් ඉහළ නංවා ඇති බවයි.

25 වනදා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර යළි එදිනම (25) රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.

එය ඉවත් කෙරෙන්නේ 28 වනදා සිකුරාදා අලුයම 4 ටයි.

කෙසේ වෙතත්, සංචරණ සීමා පැනවූ කාලයේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිවෙස්වලින් බැහැර වීමට අවසර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

සංචරණ සීමා ක්‍රියාත්මක වුව ද ලබන 24, 25, 27 සහ 28 යන දිනයන්හි ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙනවා.

සංචරණ සීමා පැනවුව ද, ධීවර කටයුතු සහ මත්ස්‍ය තොග වෙළඳාම බාධාවක් නොමැතිව කරගෙන යාමට මේ වනවිටත් අවස්ථාව සලසා ඇති බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ අද සංචාරයක නිරත වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

මේ අතර, නැවත දැනුම්දෙනතුරු අප්‍රේල් 5 වනදා හෝ ඊට පසු නිකුත් කළ මෙන්ම, වසංගත කාලය තුල ඉදිරියේදී නිකුත් කරන රථ වාහන දඩ පත්‍රිකා සඳහා සම්මත දින 14 ඉක්මවා ගිය ද අතිරේක දඩ මුදලක් රහිතව ගෙවීම් සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කළේ දිවයින පුරා ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් එම දඩ පත්‍රිකා ගෙවීමට හැකියාව පවතින බවයි.

මේ අතර, කෘෂිකාර්මික කටයුතුවලට අවසර හිමිව තිබීම නිසා පොළොන්නරුව, ඕනෑගම – වෙහෙරගොඩ ගොවීන් පිරිසක් අද (22) දිනයේ වෙහෙරගොඩ වෙල්යායේ ගොවිතැන් කටයුතු ආරම්භ කළා.

කෙසේ වෙතත්, ඔවුන්ට ඒ සඳහා වනජිවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණේ නැහැ. එහෙත් ගොවීන් සඳහන් කළේ ජනාධිපතිවරයා පසුගියදා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ගොවිතැන් කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කිරීම නිසා තමන් ගොවිතැන් කටයුතු ආරම්භ කළ බවයි ෴

++++++++++++++++++++

(22.05.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දින 21 ත්, 28 ත් අතර කාලයක් ආවරණය වන ආකාරයෙන් සංචරණ සීමා පැනවීමකට යා යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා පවසනවා.

අද (22) දිනයේදී කොරෝනා ආසාදිතයින් 2145 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,60,478 ක්.

එසේම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 1,635 දෙනෙකු අද (22) පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,26,995 ක්.

මේ වනවිට රෝහල්ගතව ආසාදිතයින් 32,351 ක් ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම දින 21 ත්, 28 ත් අතර කාලයක් ආවරණය වන පරිදි සිදුකළ යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි මහතා ප්‍රකාශ කළා.

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග ප්‍රමාණවත් රුධිර සංචිත පවත්වාගෙන යෑමේ ගැටලු‍වකට ජාතික රුධිර පාරවිලයන සේවය මුහුණ දී සිටින්නේ ජංගම රුධිර කඳවුරු නොපැවැත්වීම හේතුවෙන්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහරගම අපේක්ෂා රෝහලේ රුධිර අවශ්‍යතාව සපුරාලීම සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් කොළඹ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා.

මීට අමතරව සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 4 තෙක් දිවයින පුරා පිහිටි ලේ බැංකුවලදී රුධිරය පරිත්‍යාග කිරීමට ද අවස්ථාව සලසා දී ඇති අතර, දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ඒ සඳහා වේලාවක් වෙන් කර ගත හැකි වනවා.

ජාතික රුධිර පාරවිලයන සේවය අවධාරණය කරන්නේ පවතින කොරෝනා තත්ත්වය තුළ ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස පවත්වා ගැනීමට ලේ බැංකු කාර්යමණ්ඩලය කටයුතු කර ඇති බැවින් පරිත්‍යාගශීලීන් අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බවයි ෴

දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවල කිසිදු වෙනසක් නොමැති බව යුද හමුදාපතිවරයා පවසනවා. ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 25 වනදා අලුයම 4 දක්වා බලපැවැත්වෙන අතර යළිත් එදින රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4 දක්වා බලපැවැත්වෙනු ඇති ෴

සංචරණ සීමා ලිහිල් කෙරෙන ලබන අඟහරුවාදා (25) දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබෙනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 761 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (22) දිනයේ පමණක් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2906 ක් ෴

++++++++++++++++++++

(22.05.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක්ව සිටින මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා නැවතත්, ණය සහන අදියරක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, රජයෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති, කැනීෂියස් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මීට අදාළව කර්මාන්තකරුවන් රැසක් තම සංගමය වෙත තම ගැටලු ඉදිරිපත් කර ඇති බවයි ෴

++++++++++++++++++++

(22.05.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම – මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගිය 20 වැනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කළා.

එහිදී මියගිය පුද්ගලයා බස් රථයකට යටවන දර්ශන පෙළක් පමණක් නිකුත් වීම සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා එල්ල කළේ වැලිගම පොලිසිය වෙතයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) බලා සිටියදී අදාළ පුද්ගලයාට පහරදීමක් සිදුවන ආකාරයත් ඉන් අනතුරුව ඔහු බස් රථයකට යටවන ආකාරයත් දැක්වෙන දර්ශනපෙළක් අපවෙත ලැබී තිබෙනවා.

47 හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමැති තිදරු පියෙක් අදාළ සිද්ධියේදී මියගොස් තිබුණා.

එම පවුලේ මව හා තවත් දරුවන් දෙදෙනෙකු නිවසේ නිරෝධානයට ලක්කර තිබුණේ ඔහුගේ දියණියක් කොග්ගල ඇගලුම් කර්මාන්ත ආයතනයක සේවයේ නියුතු අතර ඇය කොවිඩි ආසාදිත වීම හේතුවෙන්.

නමුත් දින කිහිපයක් තිස්සේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් නොමැති වීම හේතුවෙන් දරුවන් හා බිරිඳට රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණ තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රීයේයි.

එහිදි කිසියම් පිරිසක් මොහුට පහරදී ඇති බව වාර්තා වුණා.

ඔහුගේ බිරිඳ හා දරුවන් පැවසුවේ වැලිගම පොලිසිය විසින් ඔහුට පහරදි ප්‍රධාන මාර්ගයට ගෙනවිත් දමා තිබියදි බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

++++++++++++++++++++

කොරෝනා වෛරසයට බටහිර වෛද්‍ය ප්‍රතිකාරය කුමක්ද ? විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මධ්‍ය වේදියාගෙන් අසයි (22.05.2021)

https://www.youtube.com/watch?v=fR_X0OynwGY

++++++++++++++++++++

අම්පාර ට ආ ඉන්දියාවේ කළු දිලීරය

(22.05.2021 – 19:13 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.”

මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 40 ක් මැයි මාසයේ ගෙවුණු දින 21 තුළ සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වෙයි.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන්ගේ සංකූලතා හා ඔක්සිජන් අවශ්‍යතා ඉහළ යමින් පවතින බැවින් දිවයිනේ රෝහල් රැසකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා උපකාර කරන ලෙසට ඉල්ලා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

උතුරු පළාත, නැගෙනහිර පළාත, කෑගල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල රෝහල් සඳහා දැනට අඩුපාඩුවක්ව පවතින ඔක්සිජන් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ 2500 ක පමණ ලැයිස්තුවක්ද එම ලිපියට ඇතුළත්ය ෴

++++++++++++++++++++

දින 14 ක අඛණ්ඩ සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යයි – මහාචාර්ය අර්ජුන ද සිල්වා

(22.05.2021 – 18:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14 ක අඛණ්ඩ දැඩි සංචරණ සීමාවක් පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා විද්‍යාත්මක පදනමක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

‘අද දෙරණ 24 පැය’ නාලිකාවේ විකාශ වූ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට සහභාගී වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ බව කියාසිටියේ.

“මේ වෛරස් එක පාලනය කරන්න හොඳම ක්‍රමය තමයි එන්නත්කරණය. එතන තර්කයක් නෑ. හැබැයි දැන් අපි ඉන්න අවස්ථාවෙන් ගොඩ එන්න අපිට සංචරණ සීමා කරන්න ඕනේ. එතකොට අඛණ්ඩව දවස් 14 ක් සංචරණ සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. වෛරසය ශරීරය තුළ තිබිලා රෝග ලක්ෂණ නැතුව තියෙන්න පුළුවන්. වාහකයින් බවට පත්වෙන්න පුළුවන්. සංචරණ සීමා කැඩුවොත් වෙන්නේ එළියට ගිය පුද්ගලයා, වෙනම පිරිසකට ආයම කොවිඩ් පොකුරක් හැදෙනවා. එතකොට තව පොකුරු බිහිවෙනවා.”

ආර්ථික ක්‍රියාවලිය කෙසේවෙතත් සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත අනුව වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ ගියද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙනයාම අත්‍යවශ්‍ය කරුණක් බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

++++++++++++++++++++

සංචරණ සීමා 28 වනදා තෙක් දිගටම – අවශ්‍ය දේ ගැනීමට එක් අයෙකුට 25 සහ 28 නිවසින් බැහැරට යෑමට අවසර

(22.05.2021 – 20:30 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව ඊයේ (21) රාත්‍රී 11:00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි මස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය අද (22) නිවේදනය කළේය.

මීට පෙර මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණද එම දිනවල සංචරණ සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

එසේ වුවද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකිය.

කෙසේ වෙතත් එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොළඹට පිවිසෙන සහ පිටවන ප්‍රධාන ස්ථානවල අද (22) උදෑසන වන විට දිස්වුයේ දැඩි පාලු ස්වභාවයකි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින් පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බවද බලධාරීන් පවසයි ෴

@@@@@@@@@@@@@@@@

(22.05.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ දෙවන වර ඡන්ද විමසීමේදී සිදුවූ බව කියන දෝෂය නිවැරදි කිරීමට යළි ඡන්ද විමසීමක් සිදු නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

කතානායකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එවැන්නක් සිදුකිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ඉඩක් නොමැති බවයි.

කෙසේ වෙතත්, පනත් කෙටුම්පතක් සම්බන්ධ ඡන්ද විමසීමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙකුට නොහැකි වූ බව පවසන්නේ නම් ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එවැනි පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තාක්ෂණික අංශයේ සහභාගිත්වයෙන් එය සිදුකෙරෙනු ඇති බවයි.

එදින පැවති වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 147 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 59 ක්.

මෙම ඡන්ද විමසීමෙන් පසු ආණ්ඩු පක්ෂය කතානායකවරයාට පැමිණිලි කර ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඡන්දය මෙලෙස ගණනය නොවූ බවයි.

මේ අතර, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බවත් අද වාර්තා වුණා ෴

******************************************

(22.05.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් අද (22) පස්වරුවේ ළගා වුණා.

අදාළ ටග් යාත්‍රාව මගින් නෞකාවේ ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු අද (22) දෙවන දිනට තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වී සිටිනවා.

අද (22) දහවල් නෞකාවේ ගින්න දැඩි ලෙස ව්‍යාප්ත වු අතර පස්වරුවේ එය යම්තාක් දුරට පාලනය වුණා.

එසේම අද (22) ශ්‍රි ලංකා වාරය අධිකාරිය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නැව් සමාගමේ මෙරට නියෝජිතයන් ඇතුළු කේෂ්ත්‍රයට ආදාළ පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡා 4 ක් පැවැත් වුණා.

ඒ ගිනි ගැනිමට ලක් වි ඇති නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි.

එමෙන්ම, ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අද (22) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි නෞකාවේ දේශීය නියෝජිතයා ප්‍රකාශ කළේ.

මෙරට සාගර කලාපයට සිදු වි ඇති හානි සොයා බැලිම සඳහා ගින්න හට ගත් නෞකාව අවට සාගරයේ ජල සාම්පල රැගෙන ඒම අද (22) සිදු කෙරුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ෴

******************************************

සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහන් ඉවතට – ගුවන් විදුලියේ මුස්ලිම් සේවය යලිත් අන්තවාදී ග්‍රහණයට

(22.05.2021 – colombotoday.com)

පසුගිය කාලය පුරාම ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය තුලින් අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවිය. එවන් අවස්ථාවක ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් පසු අන්තවාදීන් විසින් ග්‍රහණයට ගෙන තිබූ මුස්ලිම් සේවය සුද්ධ කිරීමට ඔහු මහත් පරිශ්‍රමයක් දැරීය.

කෙසේ වෙතත් කුමන්ත්‍රණකාරී ලෙස විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

= ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක =

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මුස්ලිම් සේවයට උපදෙස් ලබා දීම සඳහා උපදේශන මණ්ඩලයක් පත් කල අතර ඒ සඳහා පාස්කු කොමිෂන් සභා වාර්තාව විසින් පරීක්ෂණ කල යුතු බවට නම් කර ඇති මුස්ලිම් සේවය තුල අන්තවාදී දේශනා පැවැත්වීමට කටයුතු කල අහමඩ් මුනව්වර් නැමැත්තාද සිටීම විහිලු සහගතය.

= පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා =

කෙසේ වෙතත් යලි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය අන්තවාදීන්ගේ තෝ තැන්නක් බවට පත්වෙමින් පවතී.

ඒ සඳහා මෙවර පෙරමුණ ගෙන ඇත්තේ මුස්ලිම් සලහුදීන් සහ අහමඩ් මුනව්වර් යන දෙදෙනායි. පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් සඳහා බාවිතා කල හෙලිකොප්ටර්වල බිල්පත් ගෙවා දමා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු ලෙස සැලකෙන මුස්ලිම් සලහුදීන් නැමැත්තායි. මුස්ලිම් සේවයේ උපදේශන මණ්ඩලයට ඔහුව පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කර ඇත්තේ සලහුදීන් අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු වූ බැවිනි.

අහමඩ් මුනව්වර් මුස්ලිම් සේවයේ අන්තවාදී වැඩසටහන් ප්‍රචාරය කිරීමේ පිටුපස සිටින බවත් ඔහු පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසටත් පාස්කු කොමිසම නිර්දේශ කර තිබියදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමනෝඥ තීරණයෙන් මුස්ලිම් සේවයේ උපදේශන මණ්ඩලයට පත්කර ඇත. ඔහු යලි තමාගේ කාර්යභාරය ආරම්භ කර ඇත.

මුස්ලිම් සලහුදීන් සතු අසීමිත ධනස්කන්දය හමුවේ මේ දෙදෙනාට මුස්ලිම් සේවයේ ඩෙගා නැටීමට සම්පුර්ණ සහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යි. ඔහු ද අග්‍රාමාත්‍යවරයාගේ මිතුරෙකු බව කියවේ. මොහුට විරුද්ධව 2015 ට පෙර පැවති රජය යටතේ දුෂිත චෝදනා රැසක් එල්ල විය.

මේ අතර, ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ වැඩසටහනක් ලෙස පවත්වාගෙන ගිය ඉර්ෆාන් මවුලානා ඉදිරිපත් කල ‘යා ෆාතිමා’ වැඩසටහන උපදේශන මණ්ඩලයේ තීරණයට අනුව නැවත්වීමට සිදුවන බව මුස්ලිම් සේවයේ අධ්‍යක්ෂිකා රෙනෝශියා විසින් පසුගිය දා ඉර්ෆාන් මවුලානාට දන්වා ඇති බව වාර්තා වේ.

විශාරද ජගත් වික්‍රමසිංහ මහතා සභාපති ලෙස කටයුතු කරන සමයේදී සාම්ප්‍රධායික මුස්ලිම් වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කළ රලීම් නැමති මුස්ලිම් සේවයේ සේවකයාට සලහුදීන්, මුනව්වර් සහ චන්ද්‍රපාල තර්ජනය කර ඇති බව ද මුස්ලිම් සේවයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

අප මෙම ක්‍රියාකාරකම් පිළිබඳව හෙළි කරනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා හෝ ජනමාධ්‍ය අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට නොවෙයි.

‘වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කිරීම’ නමැති එකම හේතුව මත පිහිටා අන්තවාදීන්ට බල්ටි ගැසීමට ඉඩ දීම 69 ලක්ෂයක ජනතා අපේක්ෂාවන් විනාශ කර දැමීමකි.

අගමැතිතුමනි, ජනමාධ්‍ය ඇමතිතුමනි අන්තවාදීන් ඔබලා අසලටම රිංගගෙන සිටියි. ප්‍රවේසමින්… !

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *