අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

*********************************************

අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(22.05.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

මෙම පක්ෂයේ නායකත්වය දරන්නේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින්.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නීතිඥ එන්.එම් සහීඩ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී තීරණය කරනු ඇති බවයි.

******************************************

(22.05.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වැලි පැටවූ ලොරි රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය වෙඩි තබා තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ මාර්ග බාධයකදී මෙම රථය නැවැත්වීමට සංඥා කර ඇති අතර, එය අණ නොතකා ධාවනය කර ඇති බව සඳහන්. එහිදී ලොරි රථයට වෙඩි තබා ඇති අතර, එය මාර්ගයේ පසෙකට ඇදී ගොස් නැවතී ඇති බව පොලිසිය සඳහන් කළා. රථය පැදවූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පේදුරුතුඩුව පොලිසිය සඳහන් කළේ.

******************************************

(22.05.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (22) අලුයම සිදුවූ මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැක කරන්නේ වෑන් රථයේ රියදුරාට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවයි.

අනතුරෙන් පසු ලොරි රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ බෝක්කුවක ගැටී නිවසක් ඉදිරිපිටට පෙරලීගොස් තිබුණා.

******************************************

(22.05.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ රසායන ද්‍රව්‍ය ප්‍රවාහන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට, මුහුදේ ජල සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් (1) ද එක් කර තිබෙනවා.

මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඊයේ (21) එක්වූ අතර, බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යොදවනු ලැබුවා.

එමඟින් ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425 ක් සාර්ථකව නෞකාව මතට හෙලූ බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා නිවේදනය කළා.

සිංගප්පූරු සමාගමකට අයත් මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව බව සඳහන්.

පසුගිය 20 වනදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කර තිබූ නෞකාව මේ වනවිට කොළඹ, වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් නැංගුරම්ලා තිබෙනවා.

නෞකාව පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.

එහි නයිට්රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් තිබෙන බව සඳහන්.

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පැතිරීම වේගවත් වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එසේම, නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් නෞකාව අවට සාගර කලාපයට යම් බලපෑමක් සිදුව ඇති බව ද ඔහු කියා සිටියා.

එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායමක් අද (22) දිනයේදී නෞකාව වෙත ළගා වූ බවයි.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි ෴

කොළඹ වරායට ඔබ්බෙන් මුහුදේ නැංගුරම්ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් දැන් කොළඹ වරාය දෙසට ළගා වෙමින් පවතිනවා.

එමෙන්ම, ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් අද (22) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි නෞකාවේ දේශීය නියෝජිතයන් ප්‍රකාශ කළේ.

ගින්න හට ගත් නෞකාව අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිරීක්ෂණයට ද ලක්වුණා ෴

******************************************

(22.05.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ඩිලිවරි සේවා පවත්වාගෙන යන මුවාවෙන් යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ සැකකරුවෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුප්‍රසිද්ධ ඩිලිවරි සමාගමක නම සඳහන් ඇසුරුමක් තුල මත්කුඩු ඇසුරුම් කර ප්‍රවාහනය කරමින් සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු සතුව තිබී රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනා හෙරොයින් මත්කුඩු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොහු පාතාල සාමාජිකයෙකු වන බඩෝවිට අසංක නමැත්තාගේ ගෝලයෙකු බවයි වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

කිඹුලාඇලේ ගුණා නම් ඉන්දීය අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (21) අත්අඩංගුවට ගත්තා.

මොහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙන අතර සැකකරු කොළඹ ප්‍රදේශ ගණනාවකට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු බවට හෙළිවී තිබෙනවා.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ යෙදී සිටියදී වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි හැඳුනුම්පත අවභාවිත කරමින් මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අලුත්ගම – දර්ගා නගර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(22.05.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ලබන 25 සහ 26 යන දෙදින තුල නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය සතියේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග අවදානම් ප්‍රදේශ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව, යළි එවැනි අවදානමක් මතුවුවහොත් ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර, උතුරු අන්දමන් දූපත් ප්‍රදේශයේ ඇතිව තිබෙන කැළඹිලි ස්වභාවය හේතුවෙන් අනිද්දා (24) දිනය වනවිට සුළි කුණාටුවක් නිර්මාණය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

දැනට පවතින අඩු පීඩන තත්ත්වය හෙට (23) දිනය වනවිට පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා (24) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට නියමිතයි.

මෙම පද්ධතිය වයඹ දිසාවට ගමන් කර ලබන 26 වනදා වනවිට ඉන්දියාවේ – ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ගමන් කිරීමට ඉඩ ඇති අතර, නැවත දැනුම්දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

(22.05.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක හා අන්දමින් දූපත් ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය මෙන්ම, නිරිත දිග මෝසම සක්‍රිය වීම ද ඉදිරි දින කිහිපයේදී එකවර , ශ්‍රී ලංකාවට බලපෑම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් හෙට (23) සිට ඉදිරි දින කිහිපය තුල දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර, ත්‍රිකුණාමලයට ඊසාන දිගින් වන මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකියි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු වලින් වැළකිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

බෙංගාල බොක්ක හා අන්දමන් දූපත ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මෙම අඩු පීඩන තත්ත්වය ඉන්දීය කාලගුණ විද්‍යා අංශ හඳුන්වා ඇත්තේ ‘යාස්’ ලෙසයි.

එය ලබන 26 වනදා ඉන්දියාවේ ඔඩිසා හා බටහිර බෙංගාල ප්‍රාන්ත හරහා ගමන් කිරීමට ඉඩකඩ පවතින බවයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා ෴

******************************************

(22.05.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

සම්බුදු තෙමඟුල සිහි කෙරෙණ පින්බර වෙසක් මංගල්‍යය සඳහා​ තවත් ඇත්තේ දින තුනක් (3) පමණයි.

රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේදීත් පහන් කූඩු නිෂ්පාදකයින් බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිනවා.

******************************************

(22.05.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුවේ පසුගියදා විවෘත කෙරුණු විද්‍යුත් පුස්තකාලයේ සමරු ඵලකය යළි ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ එම විවෘත කිරීමේ පුවරුවේ සටහන දෙමළ භාෂාවෙන් දක්වා නොතිබීම හේතුවෙන්.

එය සටහන් කර තිබුණේ සිංහල, ඉංග්‍රීසි සහ චීන භාෂාවලින්.

මෙම විද්‍යුත් පුස්තකාලය ස්ථාපිත කිරීම සඳහා අනුග්‍රහය දක්වා තිබුණේ චීන රජයයි.

මෙරට චීන තානාපතිවරයා ද එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා.

කෙසේ නමුත්, දෙමළ භාෂාව ද ඇතුළත් නව සමරු ඵලකය එහි දැන් ස්ථාපිත කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

මේ අතර එම ඵලකයේ දෙමළ භාෂාවේ පිටපතක් නොමැති බවට අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්තිල් තොන්ඩමන් අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි දැනුම්වත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව එය නිවැරදි කරන බවට අධිකරණ අමාත්‍යවරයා තමන් සමඟ ප්‍රකාශ කර සිටි බව අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්තිල් තොන්ඩමන් ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කර සිටියා.

[ සේයාරූ ]

******************************************

විභාග දෙපාර්තමේන්තුවේ ජංගම දුරකථන යෙදවුම එළි දකී

(22.05.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

විභාග දෙපාර්තමේන්තුවේ සියලු සේවා නිවසේ සිට ජංගම දුරකථන මාර්ගයෙන් සිදුකර ගැනීමට හැකි යෙදවුමක් එළිදක්වා තිබෙනවා.

එම යෙදවුමට අනුව මාර්ග ගත ක්‍රමයට සහතික පත්‍ර අයදුම් කිරීම, ප්‍රතිඵල තහවුරු කිරීම, විභාග අංකය සෙවීම, ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම, ආයතනික විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම ද සිදුකළ හැකියි.

එමෙන්ම, ඇගයීම් වාර්තා සහ ආසන්න වසර 05 ක විභාග ප්‍රශ්න පත්‍ර බාගත කර ගැනීම ඇතුළු සේවා රැසක් සිදුකර ගැනීමට මෙම ජංගම දුරකථන යෙදවුම මගින් අවස්ථාව සැලසෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත මෙම යෙදවුම නම් කර ඇත්තේ ‘එක්ස්සෑම්ස් ශ්‍රී ලංකා ඩී.ඕ.ඊ’ ( Exams Sri Lanka DoE ) යනුවෙන්.

******************************************

(22.05.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල පළාත් මහරෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී සිය අවධානය යොමුකර තිබෙනවා.

ඒ අනුව, ඉඩම් පවරා ගැනීම, ගොඩ කිරීම සහ නව රෝහල් ඉදිකිරීම් කටයුතු ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශවයන්ගෙන් තොරතුරු විමසා සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එසේම, කුරුණෑගල පළාත් රෝහලේ දැනට පවතින සේවාවලට බාධාවක් නොවන පරිදි නව ඉදිකිරීම් ඉටු විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(22.05.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3547 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඊයේ (21) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 800 දෙනෙකු හඳුනා ගත් බවයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 74 ක්.

ඊට අමතරව, නාරාහේන්පිටින් ආසාදිතයින් 73 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන්.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 617 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 ක් ද ඊයේ (21) හඳුනාගනු ලැබුවා.

පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා ගෙවුණු සතිය තුළ දි පමණක් කොරෝනා ආසාදිතයින් 17,862 දෙනෙකු වාර්තා වි තිබෙනවා.

මරණ 211 ක් එම සතිය තුළ වාර්තා වුයේ අද (22) දිනයේ වාර්තා වු නව කොරෝනා මරණ 44 ත් සමඟයි.

ඊයේ (21) වාර්තා වු නව ආසාදිතයින් 3547 දෙනා අතරින් වැඩිම පිරිස වන 800 දෙනෙකු වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 617 දෙනෙකු සහ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 297 වාර්තා වු බවයි කොවිඩ් නයින්ටින් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 278 දෙනෙකු වාර්තා වනවා.

ඊයේ (21) වාර්තා වූ ආසාදිතයින් අතරින් 09 දෙනක් විදේශගතව සිට පැමිණි අය වන අතර සෙසු 3,538 දෙනා අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,58,333 ලෙසයි.

නව කොරෝනා මරණ 44 ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,132 ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගතවූ දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 44 න් ,30 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 14 දෙනා කාන්තාවන්.

එමෙන්ම පස්වන ගැබිණි කාන්තා මරණය ලෙස 40 හැවිරිදි කුරුණැගල නක්කාවත්ත ප්‍රදේශයේ ද කාන්තාවක් මිය ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගතවූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මලු බෙදාදිමේදි ග්‍රාම නිලධාරිවරයෙකුගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත දඹුල්ල අටුබැදියාව වල්ගම වැව ප්‍රදේශයේ පුද්ගයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අද (22) උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 2,57,000 ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුල සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4194 ක්.

සතියක පමණ කාලයක් තිස්සේ මෙලෙස ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ හාරදහස (4000) ඉක්මවන අතර, පසුගිය අඟහරුවාදා මරණ 4529 ක් වාර්තා වූයේ ලොව ඕනෑම රටක වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින්.

ඊට පෙර දෛනික කොරෝනා මරණ 4468 ක් පසුගිය ජනවාරියේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබුණා.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි හැටදෙලක්ෂය (2,60,00,000) ඉක්මවා ඇති අතර, සතියකට වැඩි කාලයක් තිස්සේ දෛනික ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂය (2,00,000) ඉක්මවා තිබෙනවා.

ගත වූ සතිය තුල ඉන්දියාවේ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 30,000 කට අධිකයි ෴

++++++++++++++++++++

(22.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මාර්ග සෝදිසි කිරීම් ඉහළ නංවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

කෙසේ වෙතත්, රජය මේ වනවිටත් නිවේදනය කර ඇති පරිදි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම සංචරණ සීමාවන් බලපැවැත්වෙන්නේ නැහැ.

ඊයේ (21) රාත්‍රී 11 සිට එළඹෙන 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන අතර, යළි එදින රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමට නියමිතයි.

මෙම සංචරණ සීමා කාලසීමාව තුල කිසිදු ලෙසකින් සාමාන්‍ය සංචරණයට අවස්ථාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළේ.

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද, ලබන 24, 25, 27 සහ 28 දිනවල ගොවීන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් විවෘතව තැබෙනවා.

එමෙන්ම, ධීවර කටයුතුවලට මෙන්ම, මත්ස්‍ය තොග වෙළඳාමට ද සංචරණ සීමා බලපාන්නේ නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *