මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20)

මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20)

*********************************************

මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාව ඊයේ (20)

(21.05.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (20) මෙරටින් වාර්තා වුණා.

එම සංඛ්‍යාව 38 ක් වන අතර ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගියා.

දැනට මෙරට සිදුව ඇති කොරෝනා මරණ අතර වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින් 534 දෙනෙකු සිටිනවා.

එසේම, මියගිය පුද්ගලයින් අතරින් 300 දෙනෙකු වයස අවුරුදු 61 ත්, 70 ත් අතර වන වයස්වල පසුවන්නන්.

153 දෙනෙකු වයස අවුරුදු 51 ත්, 60 ත් අතර වයස්වල පසුවන අතර, වයස අවුරුදු 41 ත්, 50 ත් අතර පසුවන 79 දෙනෙකුද කොරෝනා වෛරසයට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේම, මියගිය පුද්ගලයින් තිස් දෙදෙනෙකු (32) වයස අවුරුදු 31 ත්, 40 ත් අතර වයස්වල පසුවනවා. මේ අතර, ඊයේ (20) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,443 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව හඳුනාගෙන තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 822 ක්.

ආසාදිතයින් 674 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, ආසාදිතයින් 287 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 248 දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 204 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 190 දෙනෙකුද ඊයේ (20) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

එම ආසාදිතයින් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,54,786 ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව උච්චතම අවස්ථාවක පවතින බැවින් ඉදිරියේදී එය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වීමේ අවධානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

ඇඟළුම් කම්හල් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යන පසුබිමක බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදුකළ කොරෝනා පරීක්ෂණ 300 කින් 150 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොත්මලේ නියගම්දොර – මැද්දේතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනුණු අතර, මීට පෙර එම කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් අසූ දෙදෙනෙකු (82) හඳුනාගෙන තිබුණා.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා, නාගරික මන්ත්‍රීවරියන් දෙදෙනෙකු (2) සහ එහි සේවකයින් 07 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවේ සිටි රෝගීන් පස් දෙනෙකු (5) ස්ව කැමැත්තෙන් රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, රෝහලෙන් ඔවුන්ව නීත්‍යානුකූලව පිටත්කර හැරීමක් සිදුකර නොමැති අතර, මේ වනවිට ඔවුන්ගෙන් එක් අයෙකු යළිත් රෝහලට පැමිණ තිබෙනවා. සිදුකළ සොයා බැලීමකදී අනෙක් පුද්ගලයින් සිව් දෙනා (4) ඔවුන්ගේ නිවෙස්වල සිටින බව තහවුරු කරගත් බවයි කළුතර දකුණ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව සයිනොෆාම් කොරෝනා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (20) දිනයේදී පුද්ගලයින් 18,988 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඒ අනුව එම එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,85,373 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ඊයේ (20) දිනයේදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 8,738 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව එහි දෙවන (2) මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 3,13,699 කට ලබාදී තිබෙනවා.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 9,25,242 ක්. ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද මේ වනවිට පුද්ගලයින් 14,941 දෙනෙකුට ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, ඉදිරියේදී මෙරටට ලැබෙන එන්නත් තොග නියමිත ප්‍රමුඛතා අනුපිලිවෙලකට අනුව බෙදාහැරිය යුතු බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මේ අතර, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදී දරුවන්ටද එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ගතවූ පැය 24 දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 414 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++

+++++++++++++++++++++

(21.05.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

අද (21) රාත්‍රී 11 සිට ලබන 25 වනදා අලුයම 4 දක්වා පැනවෙන සංචරණ තහනම් කාලසීමාව තුලදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය මෙන්ම මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනතාව ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී දැන් පැවැත්වෙනවා.

+++++++++++++++++++++

(21.05.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් හුවමාරුවේ සාමාන්‍ය ගනුදෙණු මේ මස 24, 25 සහ 28 යන දිනවලදී පෙරවරු 11 සිට පස්වරු 02:30 දක්වා සුපුරුදු ආකාරයෙන් සිදුකෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කළා.

කෙසේවෙතත් වෙසක් පොහොය නිමිත්තෙන් 26 සහ 27 යන දෙදින තුල පමණක් කොටස් වෙළඳපොල වසා තැබෙන බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

(21.05.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවරයින්ට සිය වෘත්තීයේ යෙදීමට අවසර හිමිවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මත්ස්‍ය තොග අලෙවිසැල් පවත්වාගෙන යාම සඳහා වෙළෙඳුන්ට ද අවසර හිමිවන බවයි.

මේ අතර, 24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව ද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

++++++++++++++++++++++

(21.05.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මහබැංකු අධිපතිවරයා සහ මහබැංකුවේ උසස් නිලධාරින් ඊට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ මෙහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මහබැංකුවෙන් ඉටුවිය යුතු කාර්ය නොපිරිහෙලා ඉටු කරන ලෙසයි උපදෙස් ලබාදුන්නේ ෴

+++++++++++++++++++

(21.05.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස 3 ක කාලයක් යන තෙක් කිසිදු භාණ්ඩයක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මේ දිනවල ලෝක වෙළඳපොල තුල ඛනිජ තෙල් සහ ගෑස්වල මිල ද අසාමාන්‍ය ලෙසට ඉහළ යාමක් පවතින බවයි.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ භාණ්ඩ ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදු නොවීමෙන් මතුව ඇති කන්ටේනර් හිගය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් ද අන්තර්ජාතිකව අසීමිත ලෙසට ඉහළ ගොස් ඇති බව ඔහු කියාසිටියා.

මේ අතර ලබන 24 සහ 25 දෙදින තුල සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

එමෙන්ම එම මධ්‍යස්ථාන වෙත ගොස් භාණ්ඩ රැගෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත නිවෙස් වෙත ගොස් බෙදාහැරීමට වෙළඳුන්ට අවස්ථාව හිමිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

+++++++++++++++++++

(21.05.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළැඹ තිබෙනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතු වනවා.

ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමටයි ද ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමට ද උපදෙස් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමට මෙන්ම, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසටයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණයි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිත අතර එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව වන අතර ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(21.05.2021 – 17:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1828 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 125,360 ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 154,786 ක් හමුවී ඇති අතර ඉන් 28,337 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 1089 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2891 ක් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 157,677 ක් ලෙසටයි ෴

@@@@@@@@@@@@@@@@

(21.05.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

‘තෙල් කළාඳුරු’ නම් වල් පැලෑටි උවදුරක් හේතුවෙන් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරණ ඉලුක්වැව මහසෙන්ගම ජනපදයේ ගොවින් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් කුඹුරු අක්කර 200 කට අධික ප්‍රමාණයක් මේ වනවිටත් විනාශවී අවසන්.

නිල්ලට පිරුණු මේ ගොයම ගොවි ජීවිත රැසකගේ බලාපෙරොත්තු සමග දවසින් දවස වැඩෙන ආකාරයයි මේ.

නමුත් ‘තෙල් කළාඳුරු’ නමින් ගොවියන් අතර ප්‍රචලිත වල් පැලෑටියක් හේතුවෙන් මෙම ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

කොවිඩ් වසංගතයෙන් ගොවිතැන් කටයුතු අඩාල වූ පසුබිමක මෙම වල් පැලෑටි උවදුරද ගොවීන් පත්කර ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

ප්‍රදේශයේ ගොවි නියාමකවරුන් දැනුවත් කළද ගැටළුවට විසඳුම් ලබා දීමට බලධාරීන්ට මේ දක්වා හැකියාව ලැබී නැහැ.

******************************************

(21.05.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුලු චෝදනා යටතේ ගොනුකර තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර තිබෙනවා ෴

******************************************

(21.05.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (22) දිනයේ නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රකාශ අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව කලින්ම නිල වශයෙන් දැනුම් දෙන බවයි ෴

******************************************

(21.05.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ජයන්තිපුර මංසන්ධිය අසල උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කණ්ඩායමක් ඇතුළු තවත් පාර්ශව කිහිපයකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළ බවට තලංගම පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, රූපවාහිනි නාලිකා සතු සංස්කරණය නොකළ දර්ශන උපයෝගි කර ගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ලෙසටයි අධිකරණ පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ ෴

******************************************

(21.05.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

වැලිගම නගරයේදී පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා (2) ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයයි අද (21) මෙම නියෝගය ලබාදුන්නේ.

රාජකාරී පැහැර හැරීමේ චෝදනා යටතේයි මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (20) රාත්‍රියේ මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුගිය 17 වනදා වැලිගම බස් නැවතුම්පොළට ආසන්නයේදී මිදිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඥාතීන් චෝදනා කළේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට පොලිසිය පිළිබඳව සැකයක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙක් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *