අද (21) රාත්‍රි 11 සිට සංචරණ සීමා

අද (21) රාත්‍රි 11 සිට සංචරණ සීමා

*********************************************

අද (21) රාත්‍රි 11 සිට සංචරණ සීමා

(21.05.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

අද (21) රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, 25 වනදා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම (25) රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.

එය ඉවත් කෙරෙන්නේ 28 වනදා සිකුරාදා අලුයම 4 ටයි.

මීට පෙර සංචරණ සීමා පැනවූ ආකාරයටම අද (21) පනවන සංචරණ සීමාද බලාත්මක වන අතර ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිවෙස්වලින් පිටව යා හැකියි.

එම කාලසීමාව තුළ මේ දිනවල ක්‍රියාත්මක ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් පිටතට යාමටද හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතර, සංචරණ සීමා හේතුවෙන් අද (21) සිට 24 වන සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනවා.

එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා ෴

පසුගිය පැය 24 තුලදී නිරෝධායන නීතිය කඩකළ 414 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදෙකලා කෙරේ

(21.05.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරෙනවා.

මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවනගල, බහිරාව, හබරත්තවෙල, හබරුගල, මහගම සහ ඉදිකොලපැලැස්ස අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලා කෙරෙනු ඇති.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 16 ක් අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරෙනවා.

ඒ අනුව කැස්බෑව දකුණ, මාකන්දන නැගෙනහිර, දම්පේ, බටකැත්තර උතුර, මඩපාත, හල්පිට, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, නිවුන්ගම, පොල්හේන, හොන්නත්තර දකුණ, හොන්නත්තර උතුර, දැල්තර නැගෙනහිර, දැල්තර බටහිර, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසමද හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ මගුල් පොකුණ ගම්මානය සහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරෙන ප්‍රදේශවලට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ සහ මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත හා කැන්දාව ග්‍රාම නිලධාරී වසම්ද අද (21) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.

පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැදකිරිමැටියාන, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටස, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ බටුවන්හේනද හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාභාවයෙන් නිදහස් කළ ප්‍රදේශවලට අයත්.

මීට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුල්ලයාවෙලි පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 11 ක් හැර අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් අද (21) උදෑසන 06:30 සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.

වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++++++++++

ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා වෛරසය සියයට 99.9 ක් විනාශ කළහැකි ප්‍රතිවෛරසයක්

(21.05.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ලොවපුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට එරෙහිව නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එහිදී පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන්ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සියයට 99.9 ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය ‘තාපය පසු පස හඹා යන මිසයිලයක්’ ලෙස පෙනහළු වල තැන්පත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා.

එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේ.

පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic_Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.

කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරිමට බලාපොරොත්තුවන බව පවසන මහාචාර්ය නයිජල් මැකලමින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවට විශ්වසය පලකර සිටිනවා ෴

+++++++++++++++++++++++

(21.05.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය විසි හතරක (24) කාලය තුළත් මෙරටින් කොරෝනා ආසාදිතයන් 3,443 වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 154,786 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30,000 සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1051 ක් වන අතර, එම මරණවලින් සියයට 42.44 ක් වාර්තා වී ඇත්තේ අවුරුදු 61 ත් 75 ත් අතර වයසේ පසුවන්නන්.

ඊට අමතරව සියයට 27.69 ක් වාර්තා වී ඇත්තේ අවුරුදු 76 ත් 90 අතර වයසේ පසුවන්නන් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

මේ වනවිට ‘අලුත් අවුරුදු පොකුරේ’ කොරෝනා ආසාදිතයන් 56,605 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම කොරෝනා ආසාදිතයන් වාර්තාවූයේ දින 35 ක් පමණ කෙටි කාලයක් ඇතුළත වීමද විශේෂත්වයක්.

මීට පෙර මෙරටින් වාර්තා වී ඇති විශාලතම කොරෝනා පොකුර ලෙස වාර්තා වූයේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරයි.

එම සංඛ්‍යාව 82,785 ක්.

මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 42,247 ක්.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 28,306 ක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයන් 12,707 දෙනෙකු මේ වනවිට වාර්තාවී තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, පුත්තලම, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාදිතයන් 2,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මේ අතර, කළුතර – නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ රෝහලින් පැනගොස් තිබෙනවා. රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ. ඒ අතර කාන්තාවක්ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකරන තෙක් නිවසේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට අවශ්‍ය රෝගී සත්කාර සේවා ලබාදීමට අදාළව සකස් කළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ වනවිට යොමුකර තිබෙනවා.

විශේෂ කණ්ඩායමක් මගින් සකස් කළ අදාළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලද වහාම ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සහකාර කළමනාකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුවආවරණ ලබා නොදීම මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් අදාළ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ගේ කොරෝනා පරීක්ෂණ වාර්තා සඟවාගෙන කටයුතු කිරීම ඇතුලු චෝදනා ඔහුට එල්ලවී ඇති බව සඳහන්.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් එන්නත් ලබාදීම ඊයේ (20) ආරම්භ කෙරුණා.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙලෙස එන්නත් ලබාදීම ආරම්භ කෙරුණේ ෴

+++++++++++++++++++

(21.05.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෑම කොරෝනා පරීක්ෂණ හතකටම (7) එක් ආසාදිතයෙකු හමුවන බවට අනාවරණ වනවා.

ඒ, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතන විසින් සිදුකළ නවතම සංඛ්‍යා විශ්ලේෂණයට අනුවයි.

මේ අතර කොරෝනා පරීක්ෂණ වාර්තා දින 10 ක පමණ කාලයක් ප්‍රමාදවීමේ තත්වයක් මේ වනවිට උද්ගතව ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

මෙම තත්වය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනාත්මක සිද්ධිවලටද මුහුණදීමට සිදුව ඇති බවයි එම සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා සඳහන් කළේ.

කොරෝනා පරීක්ෂණ වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ රැකියා පුහුණුවකට පැමිණි 60 ක පමණ පිරිසක් අපහසුතාවට පත්වීමේ සිද්ධියක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා ෴

+++++++++++++++++++

(21.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කළුතර – නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) ඊයේ (20) රාත්‍රියේ රෝහලින් පැනගොස් තිබෙනවා.

රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ.

ඒ අතර කාන්තාවක්ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වනවිට අලුත් අවුරුදු පොකුරේ කොරෝනා ආසාදිතයන් 56,605 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම කොරෝනා ආසාදිතයන් වාර්තාවූයේ දින 35 ක් පමණ කෙටි කාලයක් ඇතුළත වීමද විශේෂත්වයක්.

මීට පෙර මෙරටින් වාර්තා වී ඇති විශාලතම කොරෝනා පොකුර ලෙස වාර්තා වූයේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරයි.

එම සංඛ්‍යාව 82,785 ක්.

මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර, එම සංඛ්‍යාව 42,247 ක්.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 28,306 ක් වාර්තාවන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයන් 12,707 දෙනෙකු මේ වනවිට වාර්තාවී තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, පුත්තලම, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද කොරෝනා ආසාදිතයන් 2,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකරන තෙක් නිවසේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට අවශ්‍ය රෝගී සත්කාර සේවා ලබාදීමට අදාළව සකස් කළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ වනවිට යොමුකර තිබෙනවා.

විශේෂ කණ්ඩායමක් මගින් සකස් කළ අදාළ උපදෙස් මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලද වහාම ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++

(21.05.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++++

20-05-2021

@@@@@@@@@@@@@@

(21.05.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 12,852 ක මුදලක් වැය කර සකස් කෙරුණු දැදුරුඔය, ගලිගමුව, හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රම අද (21) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ජනතා අයිතියට පත් කෙරෙන මෙම ජල යෝජනා ක්‍රම මගින් පානීය ජල ගැටළුවට මුහුණ දී සිටි කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයන් හි 1,90,000කට ජල පහසුකම් ලැබෙන බවයි ජල සම්පාදන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ තුළින් අදාළ දිස්ත්‍රික්ක තුනෙහි (3) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක ග්‍රාම නිලධාරී වසම් 377 ක් ආවරණය වනවා ෴

******************************************

(21.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කළ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි ඔහු විසින් මුතූර් සහ ඔලුවිල් ප්‍රදේශවල 2018 වසරේදී අදාළ පන්ති සංවිධාන කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(21.05.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හෙට (22) දිනය වනවිට අඩුපීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් පසු එය අනිද්දා (23) වනවිට පීඩන අවපාතයක් දක්වාත්, ලබන සඳුඳා (24) වනවිට සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව සඳහන්.

මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර ලබන 26 වැනිදා වනවිට ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ගමන් කිරීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ නිසා අද (21) සිට නැවත දැනුම් දෙනතුරු එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරනවා.

එමෙන්ම, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හා දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *