ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව රුපියල් 5000 යි – GMOA අනාවරණයක්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව රුපියල් 5000 යි – GMOA අනාවරණයක්

*********************************************

ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව රුපියල් 5000 යි – GMOA අනාවරණයක්

(20.05.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා රුපියල් 5000 ක මුදලක් අයකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ අනාවරණයක් සිදුකලා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ එම කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තම සංගමය සතු බවයි.

අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව සඳහා මේ වනවිට ඇත්තේ සීමා සහිත තොගයක් බවයි.

එය 50,000 ට වඩා අඩු බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව එන්නතේ දෙවන (2) මාත්‍රාව සඳහා ඇති ඉල්ලුම මුදලට විකිණීමේ කිසියම් ජාවාරමක් ක්‍රියාත්මක වනවාද යන්න සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවා.

+++++++++++++++++++++++

මේ මොහොතේ සිට ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ – ග්‍රාම නිලධාරී වසම් 38 ක හුදෙකලා භාවය ඉවතට

(20.05.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු ග්‍රාම නිලධාරී වසම් අද (20) පෙරවරුවේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම දිස්ත්‍රික්කයේම කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙන්දූර්, කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ගම් හුදෙකලා කර ඇති බවයි.

ඊට අමතරව දිස්ත්‍රික්ක 6 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව, ගොරකපිටිය, මාවිත්තර උතුර, පැලැන්වත්ත බටහිර සහ පැලැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි.

එමෙන්ම, මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරවත්ත සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාම නිලධාරී වසම්වලට පැනවූ හුදෙකලා භාවය ද ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව ගම්පහ, කළුතර, නුවරඑළිය, වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ සහ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පැනවූ හුදෙකලාභාවය ද ඉවත් කරනු ලැබුවා.

මේ අතර, හෙට (21) රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් 25 වන දා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 යි.

මීට පෙර සංචරණ සීමා පැනවූ ආකාරයටම හෙට (21) පනවන සංචරණ සීමා ද බලාත්මක වන අතර ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් නිවෙස්වලින් පිටව යා හැකියි.

එම කාලසීමාව තුළ මේ දිනවල ක්‍රියාත්මක ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් පිටතට යාමට ද හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතර, සංචරණ සීමා හේතුවෙන් හෙට (21) සිට 24 වන සඳුදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බව මීට පෙර නිවේදනය කළා.

25 වනදා පෙරවරු හතරට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල විවෘත කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඉන් අනතුරුව යලි 26 වනදා බදාදා සිට 28 වනදා සිකුරාදා දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනු ඇති.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල අද (20) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබා ගත යුතු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී දිනවල උදෑසන 8 සිට පස්වරු 04:30 දක්වා දුරකථන මගින් සහ විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති කඩ කල තවත් පුද්ගලයින් 493 දෙනෙකු අත්අඩංගුවට ෴

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත පාරේ, 233 වත්ත මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(20.05.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංගණය වන ආකාරයට විරෝධතාවයක් පැවැත්වූ බවට ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අධිකරණයට කරනු ලැබූ කරුණු වාර්තා කිරීම් වලට අනුව එය මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිවයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (19) පෙරවරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

150 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතා නිරෝධායන නීති උල්ලංගණය කරමින් පැවති බවට වැලිකඩ පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා ෴

++++++++++++++++++++

(20.05.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 140 ක් මෙරටට කඩිනමින් ලබාදීම සඳහා චීනය කටයුතු කරමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ එන්නත් මාත්‍රා තොගය ඇණවුම් කර ඇති අතර, ඒ අනුවයි එම එන්නත් ලබාදීමට චීනය තීරණය කර ඇත්තේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් කළේ.

එමෙන්ම, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (19) ප්‍රකාශ කළේ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පමණ චීනය විසින් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදී ඇති බවයි.

මේ අතර ඊයේ (19) සවස චීන තානාපති Qi Zhenhong ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡාවක් සිදුකලා.

+++++++++++++++++++++

(20.05.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඊයේ (19) වාර්තා වුණා.

ඒ අනුව කොරෝනා පළමු, දෙවන සහ තුන්වන රැල්ලේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසයි ඊයේ (19) වාර්තා වූ ආසාදිතයින් හැදින්වෙන්නේ.

ඊයේ (19) මෙරටින් ආසාදිතයින් 3623 දෙනෙකු හදුනා ගැනුණු අතර, ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,51,343 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 3591 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 32 නෙකු ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 27,925 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 1,22,363ක් .

මේ අතර, ඊයේ (19) වාර්තා වූ මරණ 36 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1051 ක් දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 33 කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

අවුරුදු 27 ත්, 96 ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස මිය ගොස් තිබෙනවා ෴

+++++++++++++++++

(20.05.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළු වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනවා.

මේ අතර, රාජ්‍ය අංශය විසින් ගැබිණි මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන ගැබිණි මව්වරුන්ට ද ලබාදිය හැකි නම් එය අතිශයින්ම අගය කරන බවයි කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කොරෝනා වාතාවරණය හමුවේ ඇති විය හැකි සංකූලතා හේතුකොටගෙන රජය විසින් ගැබිණි මව්වරුන් සේවයට වාර්තා කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන සේවක සේවිකාවන්ට කොරෝනා ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, ඊයේ (19) දිනයේදී ආසාදිතයින් 400 ක් පමණ හඳුනා ගත් තුල්හිරිය කර්මාන්ත ජනපදයේ එක් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසිරී ඇති ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන ලෙසට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

ලේ හිඟයක් ඇති බවට ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයකට අනුවයි අදාළ පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන පළාත් වශයෙන් ස්ථාන ගත කර තිබෙනවා.

ගුවන් මගින් රටට ඇතුළුවීම හෙට (21) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා තිබුණ ද ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරන ගුවන් යානා සඳහා අවස්ථාව හිමි වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම ගුවන් යානා හදිසි ගොඩබැස්සවීම්, මගීන් රහිත ගුවන් යානා සහ පැය 12 ක් ඇතුළත නැවත පිටත්වීමට යෝජිත ගුවන් ටිකට්පතක් සහිත ගුවන් මගීන් සඳහා ද අවසර හිමි වන බව ද එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙරටින් විදේශගත වන ගුවන් මගීන් සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බව ද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, පවතින සෞඛ්‍ය අවදානම කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පවුලේ සියළු දෙනා සමග නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම, සියළු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ නිවාස බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වන අයුරින් වෙසක් සැරසිලිවලින් අලංකාර කරන ලෙස ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංගණය කළ 493 දෙනෙකු ද ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

පොලිස් බල්ලන්ගේ පහරකෑමට ලක්ව මියගියේදැයි සැකයක් ?

(File Photo)

(20.05.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ හදිසි මරණයක් සම්බන්ධයෙන් පොලිසිය සැක බවට ඥාතීන් විසින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ රිය අනතුරකින් මියගිය බව පවසන තම ඥාතියා ඝාතනය කර එම ස්ථානයට ගෙන ගොස් දමා ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය විසින් ඔවුන් වෙත CCTV දර්ශන පෙළක් ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මාර්ගයේ වැටී සිටින අදාළ පුද්ගලයාගේ සිරුර මතින් බස් රථයක් ධාවනය වන ආකාරයයි.

කෙසේ වෙතත් ඥාතීන් පවසන්නේ තමන් වෙත ලබාදුන් CCTV දර්ශන පෙළෙහි මුල් කොටස තමන්ට ලබාදීමට කටයුතු නොකළ බවයි.

අදාළ CCTV දර්ශනවල පුද්ගලයන් කිහිපදෙදෙනෙකු සිටින අතර ඔවුන් යතුරුපැදිවල නැගී එම ස්ථානයෙන් පිටව යන අයුරු ද සටහන් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණියක් කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇති අතර ඇයට කොරෝනා අසාදනය වීම හේතුවෙනුයි පවුලේ සෙසු සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇත්තේ.

එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙකු (2) නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය 17 වනදා රාත්‍රියේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම හේතුවෙන් මියගිය පුද්ගලයා වැලිගම නගරයට ගිය බවයි ඥාතීන් පවසන්නේ.

එහිදී මෙම පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවත් පොලිසිය 19 වනදා උදෑසන තමන් වෙත දැනුම්දුන් බවයි ඥාතීන් පවසන්නේ.

ඒ අනුව මාතර රෝහලේ පැවැත්වෙන මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය රැගෙන යන ලෙසට දැනුම් දුන්නද එදිනම දහවල් යළි පොලිසිය විසින් දැනුම්දී ඇත්තේ ඔහුට කොරෝනා අසාදනය වී ඇති බැවින් දේහය ලබාදිය නොහැකි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දමිල තරුණයෙක් අත්අඩංගුවට ගත් බවයි වැලිගම පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වැලිගම පොලිසිය සැක බවයි.

+++++++++++++++++++

(20.05.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වූ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.

අසාදිතයන් අතර අවුරුදු 2 සහ අවුරුදු 5 ක ළමුන් දෙදෙනෙකු (2) ද සිටිනවා.

එම පවුලේ එක් අසාදිතයෙකු හඳුනාගැනීමෙන් අනතුරුව පවුලේ අනෙක් සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව අනෙක් අසාදිතයන් 05 දෙනා හදුනාගැනිමට හැකි වී තිබෙනවා.

එම අසාදිතයන් පදිංචි නිවාසයට ආසන්නයේම තවත් අසාදිතයෙකුද හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා ෴

+++++++++++++++++++

(20.05.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ගතවූ සතිය තුළ සිදුකර කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙලෙස රෝගීන් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 80 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 16 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

සේවකයින් 281 දෙනෙකුට සිදුකල කොරෝනා පරීක්ෂාවකින් මෙලෙස ආසාදිතයින් හමුවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.

එම ඇගලුම් කර්මාන්තශාලාවේ මේ වන විට පුද්ගලයින් 100 කට පමණ ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදිත වී තිබෙනවා ෴

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් හට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා ෴

+++++++++++++++++++

බැසිල්ට සහ උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(19.05.2021 – newsfirst.lk/sinhala)

කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමට කටයුතු කළැයි බැසිල් රාජපක්ෂට සහ උදයංග වීරතුංගට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ගොනු කර තිබේ.

ඒ, ඔවුන්ගේ මැදිහත් වීමෙන් යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම ඇතුළු ක්‍රියා කිහිපයක් හේතුවෙන් කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුළ මෙතරම් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බව පවසමිනි.

නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ මහා පරිමාණ වංචා දූෂණ සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා අද මෙම පෙත්සම ගොනු කළේය.

@@@@@@@@@@@@@@@

(20.05.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවකින් රුපියල් ලක්ෂ පහළොවක් (15) වටිනා නිමි ඇදුම් කට්ටල තොගයක් සොරකම් කර තිබෙනවා.

මෙලෙස අවස්ථා ගණනාවක දී මෙම ගබඩාවෙන් වරින් වර කාන්තා නිමි ඇදුම් කට්ටල 1079 සොරාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

එලෙස සොරාගත් නිමි ඇඳුම් කට්ටල අතරෙන් 162 මේ වනවිටත් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ පරීක්ෂණ වලින් අනතුරුව මෙම නිමි ඇඳුම් සොරා ගැනීම පිළිබඳව සැකපිට එම කර්මාන්තශාලාවේ ම සේවය කරන සේවකයින් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ෴

******************************************

(20.05.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ඇමරිකාවේ ප්‍රමුඛතම ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුනා.

කොළඹ දී අත්සන් කෙරුණු එම නව ගිවිසුම මගින් දෙපාර්ශවයටම ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් යානා උපාංග නඩත්තු කිරීම, පුහුණුව සහ වෙනත් වාණිජ අවස්ථා සපුරා ගැනීමට හැකි වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ.

අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ බෝයිං සමාගමේ විකුණුම් අධ්‍යක්ෂවරයා යි ෴

******************************************

(20.05.2021 – 10:53 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල සිට ලුණුගම්වෙර හා මත්තල ප්‍රදේශයට ගංජා බෙදාහැරීමේ ජාවාරමක නිරත වු සැකකරුවෙකු ගංජා කිලෝ 04 යි ග්‍රෑම් 200 ක් සමග අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල කිතුල්කොටේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

සැකකරු පිළිබඳව හම්බන්තොට නාවිකා හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අම්බලන්තොට විශේෂ
කාර්ය බළකා නිළධාරින් විසින් වැටලිම සිදුකළා.

පොහොර උරයක ඔතා තණමල්විල සිරිනන්දපුර ප්‍රදේශයේ සිට අදාළ ගංජා තොගය රැගෙන එමින් සිටියදියි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ සිට මත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීම සඳහා මෙම ගංජා තොගය රැගෙන ආ බවයි.

තණමල්විල පොලිසියට බාරදුන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *