දින 100 ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි GMOA අනතුරු අඟවයි

දින 100 ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි GMOA අනතුරු අඟවයි

*********************************************

දින 100 ක් ගතවන විට ආසාදිතයින් මිලියනයක් – ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි GMOA අනතුරු අඟවයි

(18.05.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100 ක් ගතවන විට කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර, අඛණ්ඩව 2000 සේ සීමාව ඉක්මවා කොරෝනා ආසාදිතයින් 09 වන දිනටත් ඊයේ (17) වාර්තා වූ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 254 දෙනා වාර්තා වූයේ මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන්.

ඊයේ (17) දිනයේ ආසාදිතයින් 2456 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,45,202 ක් දක්වා ඉහළ ගියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 677 ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස වන 136 දෙනෙකු බියගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම, නිට්ටඹුව ප්‍රදේශයෙන් 83 දෙනෙකු, කඩවතින් 72 කු අලුතින් සොයාගැනුනා.

ඊයේ (17) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 320 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයෙන් ආසාදිතයින් 52 ක්, බොරලැස්ගමුවෙන් ආසාදිතයින් 25 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයින් ආසාදිතයින් 315 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259 ක් ඊයේ (17) අලුතින් සොයාගැනුනා.

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන්ගෙන් බහුතරයක් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් බවයි මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඊයේ (17) දිනයේදීත් මෙරටින් මරණ 19 ක් වාර්තා වූ අතර, මරණ 13 කටම හේතු වී ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වයයි.

කොරෝනා ආසාදිතව කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් ජීවිතක්ෂයට පත්වුණා.

මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර, හුදෙකලා කර ඇති ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාම සඳහා ඒවාට සේවකයින් ප්‍රවාහනය කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ ඉදිරි සති දෙක (2) තීරණාත්මක බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බවටයි.

++++++++++++++++++++++++

(18.05.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබාදීමට රජය තීරණ කර තිබෙනවා.

ඒ අනුව මේ මසට අදාළ වැටුප ලබන 21 වන සිකුරාදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පවතින කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදී තිබීම ඊට හේතුවී තිබෙනවා ෴

++++++++++++++++++

(18.05.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොරෝනා එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

++++++++++++++++++++

(18.05.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් වැයකර අධික මිල ගණන් යටතේ ගිලන් රථ 10 ක් පමණක් ගෙන්වීමේ අරමුණ රජය පැහැදිලි කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සියලු පහසුකම් සහිත සුව සැරිය ගිලන් රථයක් ගෙන්වීම සඳහා වැයවූයේ ද රුපියල් මිලියන 07 ක් පමණක් බවයි.

+++++++++++++++++++++

(18.05.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ට සහන මළු බෙදීමේදී ඇල්කඩුව – තාලිංගාමඩ වසමේ ග්‍රාම නිලධාරීවරියට, පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිනී එරන්දිකා කුමාරිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පසුගිය 16 වන දා මෙම පහර දීම සිදුකර තිබූ අතර, සැකකාර මන්ත්‍රීවරිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිලධාරීන් ඊයේ (17) දින සේවා කටයුතුවලින් ද ඉවත් වුණා.

පොලීසිය මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට තීරණයකට පැමිණෙන තෙක් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

++++++++++++++++++++++++++

(18.05.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දෙන ගැටළු සහ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිත්‍යාග ලබා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 070 632 6363 හෝ 070 632 6364 යන ක්ෂණික දුරකථක අංක ඔස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++

(18.05.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් එන්නත්, වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට හැකි වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රමවේදය සංශෝධනය කරමින් මෙම නව මාර්ගෝපදේශ නිකුත් කරනු ඇති.

වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සෞඛ්‍ය, ආරක්ෂක අමාත්‍යාංශ සහ ඒවාට අනුබද්ධව පවතින රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව සපයා ගැනීම මෙහි අරමුණයි ෴

@@@@@@@@@@@@@@@@@

(18.05.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 452 දෙනෙකු සහ සෙසුනිලයින් 4,289 දෙනෙකු මීළඟ නිලයට උසස්කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් උසස්කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ.

ඊට අමතරව බලලත් නිලධාරි II, 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටද 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් පිරිනමා තිබෙනවා ෴

******************************************

(18.05.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව, කල්කුඩා ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සැමරුමක් සිදුකිරීමට උත්සාහ කළ කණ්ඩායමක ප්‍රධානියෙකු අද (18) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ 38 හැවිරිදි විමලසේන ලවකුමාර් නැමති පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(18.05.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

12 වන විජයග්‍රහණයේ සැමරුම යෙදෙන අද (18) දිනයේ රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී වුණා.

මීට පෙර වසරවල ද මැයි 18 වනදා මෙරට වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයට ලක්වූ අතර, මෙවර හැකර්වරුන්ගේ ප්‍රහාරයට ලක්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රජරට විශ්වවිද්‍යාල වෙබ් අඩවි මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියයි.

කෙසේ වෙතත් අඩපණ වූ මෙම වෙබ් අඩවි මේ වනවිට යථා තත්වයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ අංශය ප්‍රකාශ කළේ කොටි හිතවාදී හැකරුන් පිරිසක් විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ අතර මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මීට දින කිහිපයකට පෙර සිය සංගමය විසින් අනතුරු ඇඟවීමක් සිදුකළ බව ‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය’ කියා සිටියා.

ඔවුන් සඳහන් කළේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ ‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්’ නැමති කණ්ඩායම ඉදිරි දින කිහිපයේදීත් මෙවැනි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි ෴

******************************************

(18.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයේදී එරෙහිවූ අයුරින් රටට, ජාතියට ද්‍රෝහි බලවේග, කොරෝනා වසංගතයට එරෙහිව ත්‍රිවිධ හමුදාව යෙදවීමට විරෝධය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

විජයග්‍රහණයේ 12 වන සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමත්‍යවරයා සඳහන් කළේ රණවිරුවන්, සුව විරුවන් බවට පත්ව රට කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට මේ වනවිට සටන් වදින බවයි.

මේ අතර යුද සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 452 කුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එලෙස උසස්වීම් ලැබූ පිරිසට බ්‍රිගේඩියර්වරුන් 12 දෙනෙකු, කර්නල්වරු 37 දෙනෙකු සහ ලුතිනන් කර්නල් 39 දෙනෙකු ද වන බවයි හමුදා මාධ්‍ය ඒකකය කියා සිටියේ.

******************************************

(18.05.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

දශක තුනක් (3) පුරා මෙරට ජනතාව පෙලූ ත්‍රස්තවාදයට නැවතීමේ තිත තබා අදට (18) වසර 12 ක් සපිරෙනවා.

මේ ලක්මවට ජයග්‍රහණය දිනා දෙමින් අවසන් වූ ඒ යුද්ධයේදී දිවි කැප කළ රණවිරුවන් පිළිබඳව අප සිත්තුළ තවමත් ඇත්තේ ඉමහත් ගෞරවයක්.

ඒ ගෞරවය මුසු හැඟීමෙන් හිරු ප්‍රවෘත්ති අංශය අද (18) එක්තරා සුවිශේෂී ස්ථානයකට ගියා.

******************************************

(18.05.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමඟ කැඩී ගිය බේරගම – උඩුවෙල මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පෙරේදා (16) හිරු ප්‍රවෘත්ති වෙත සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මාසයකට පමණ ඉහතදී අලුතින් ඉදිකළ කළුතර – අගලවත්ත – බේරගම – උඩවෙල මාර්ගය වර්ෂාවත් සමඟ මෙලෙස කැඩී ගොස් තිබුණා.

******************************************

(18.05.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ව්‍යාපෘතිය හරහා විදෙස් ආයෝජන ලබාගැනීම වත්මන් රජයේ මූලික අපේක්ෂාව බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයේ ඇතැම් අය වරාය නගර ව්‍යාපෘතියට එරෙහි වන්නේ දේශපාලන යටි අරමුණු හේතුවෙන් බවයි.

++++++++++++

******************************************

(18.05.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, පූවරසන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කලයක් පූවරසන්කුලම පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ මෙම කලය වගාවන් වෙනුවෙන් ඉඩමක් සකස් කිරීමේදී හමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ගෙහිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිසිය අත්බෝම්බ පිරවු කළය ගොඩගෙන තිබෙනවා.

මෙම කලය තුළ පැරණි අත්බෝම්බ 20 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය සඳහන් කළා.

යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අදාළ අත්බෝම්බ නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ අත්බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

******************************************

වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ සහ සංශෝධනවලට රජය එකඟ වෙයි

(18.05.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ සහ සංශෝධනවලට රජය එකඟ වී තිබෙනවා.

ඒ අනුව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවටත් ඒවා සංශෝධනය කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව අද (18) දින කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කථානායකවරයා කියා සිටියේ ෴

******************************************

(18.05.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමටත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිහිටි ඉඩම මිශ්‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

වැලිකඩ බන්ධනාගරය අක්කර 42 ක භූමි භාගයක පිහිටා ඇති අතර හොරණ මිල්ලෑව ඉඩම අක්කර 200 ක් පමණ වෙයි.

බන්ධනාගාරය මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසුව වැලිකඩ භූමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන තෝරාගත් දේශීය හා විදේශීය ආයෝජකයින් වෙත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දිගු කාලීනව බදු පදනම මත ලබාදීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *