මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම්

මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම්

*********************************************

මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම්

(18.05.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) ඇතුලු 10 දෙනෙකුට එරෙහිව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වවුනියාව මූලස්ථාන පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුවයි.

දෙමළ ජනතා මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනායි (2).

මීට අමතරව යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම වළක්වාලමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබූ අධිකරණ නියෝගය සංශෝධනයට ලක් කර තිබෙනවා.

ඒ, කොන්දේසි දෙකක් (2) මත සැමරුම් පැවැත්වීමට අවසර ලබාදෙමින්.

අද (18) දින මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අදාළ සැමරුම් උත්සවය සංවිධාන කරන බවට මුලතිව් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැමරුම් පැවැත්වීම තහනම් කරමින් පසුගිය 14 වනදා 27 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා දී තිබුණා.

කෙසේ වෙතත් අදාළ 27 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කණ්ඩායමක් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසු එම තහනම් නියෝගය සංශෝධනය කරමින් කොන්දේසි දෙකක් (2) මත සැමරුම් පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත තත්වය හමුවේ පනවා ඇති නිරෝධායන නීති ආරක්ෂා කිරීම සහ ත්‍රස්තවාදී හැඟීම් යළි මතුවන ආකාරයට කටයුතු නොකිරීම යන කොන්දේසි මතයි.

කෙසේ වෙතත් දෙමළ ජාතික පක්ෂයේ ලේකම් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පසුගියදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීමට කටයුතු කර තිබුණා.

මේ අතර යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. සංවිධාන සාමාජිකයින් සිහි කර මුලතිව් – මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් පැවැත්වීම වළක්වාලමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්ද ඊයේ (17) තහනම් නියෝගයක් ලබාදී තිබුණා.

ඒ, පුද්ගලයන් 26 දෙනෙකුට එරෙහිවයි ෴

******************************************

සහරාන්ගේ බෝම්බ අරන් කාත්තන්කුඩි ගිය රියදුරුගේ පාපොච්චාරණය – Truth with Chamuditha (16.05.2021)

******************************************

(18.05.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිවලට මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

කෙසේ වෙතත් මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක මහතා කියා සිටියේ අද (18) උදෑසන එල්ලවූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ අංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම්දුන් බවයි ෴

******************************************

(18.05.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වනවා ෴

******************************************

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

(18.05.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ ඇතැම් වගන්ති සංශෝධනය කෙරෙන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායකවරයා සඳහන් කළේ සිය නිවේදන යටතේයි.

ඒ අනුව පනත් කෙටුම්පතේ 3 – 6, 30 – 3 දෙවැනි අතුරු විධානය, 55 – 2 සහ 58 – 1 හි විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 – 1 ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර, එම විධි විධාන වලංගු ලෙස සම්මත කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවයි ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී ඇත්තේ.

පනත් කෙටුම්පතේ 3 – 5 අතුරු විධානය, 3 – 7, 6 – 1 ආ, 30 – 3 පළමුවැනි අතුරු විධානය 71 – 1 සහ 74 අර්ථ නිරූපනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 – 1 ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වනවා.

පනත් කෙටුම්පතේ 30 – 1, 33 – 1, 40 – 2 සහ 71 – 2 (ඕ) වගන්තිවල විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 – 1 (ඌ) ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වනවා.

60 (ඇ), සහ 60 (ඊ) වගන්තිවල විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර, එය ද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

37 වැනි වගන්තියේ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 – 1 සහ සහ 14 – 1 (උ) ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වනවා.

මේ අතර, ජනමත විචාරණයක් පැවැත්විය යුතු වගන්ති ලෙස 3 – 4, 6 – 1 (ද), 68 – 1 (ඊ) සහ 68 – 3 (අ) යන්න වගන්තිවල විධි විධාන මෙන්ම 52 – 5 සහ 71 – 2 (ජ) වගන්ති සමග කියවිය යුතු 52 – 3 වගන්තියේ විධි විධාන ද, 53 – 3 (ආ) වගන්තිය සමඟ කියවිය යුතු 53 – 2 (ආ) වගන්තිය දක්වා තිබෙනවා.

කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දැනුම් දීමෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පවතින බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එය රීති ප්‍රශ්ණයක් නොවන බවයි.

මේ අතර, කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදය හෙට (19) පාර්ලිමේන්තුවේදී ආරම්භවීමට නියමිතයි.

විවාදයේ දෙවන දිනය වන අනිද්දා (20) පස්වරු හතරට (4) ඊට අදාළව ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත වනවා.

කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (18) පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රිෂාඩ් බදියුදීන් සහ බන්ධනාගාර ගතකර සිටින ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රිවරුන් අද (18) දිනයේ පාර්ලිමේන්තුවට රැගෙන ආ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

[ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සම්පුර්ණ පිටපත මෙතැනින් ]

******************************************

බියගම සහ කළුතර ප්‍රදේශ රැසකට හෙට (19) සහ අනිද්දා (20) ජල කප්පාදුවක්

(18.05.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද විදුලි උපපොලෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජලපවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට හෙට (19) පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (19) පෙරවරු 08:30 සිට පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.

මේ අතර වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත යන ප්‍රදේශවලටද අනිද්දා (20) උදෑසන අටේ (08:00) සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙනවා ෴

******************************************

(18.05.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අද (18) දිනයේ අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාළයේ දී හෝ රාත්‍රී කාළයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ ෴

******************************************

(18.05.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

කැළණිමුල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා අදාල සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනතුරුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

මොහුගෙන් ලද තොරතුරු මත හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනකු (2) කොච්චිකඩේ, රත්නම් මංසන්ධියේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලි ග්‍රෑම් 600 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 38,000 ක මුදලක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

******************************************

(18.05.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

නිවසක උළුවහු තුනක් (3) ගලවාගෙන ගොස් අලෙවි කරන ලද සැකකරුවන් තිදෙනෙක් (3) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

ගිංතොට, ඇලබඩ ප්‍රදේශයේ වසා දමා තිබූ නිවසක සවිකර තිබූ රුපියල් හැටදහසක් (60,000) පමණ වටිනා උළුවහු තුනක් (3) සැකකරු විසින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් මෙම උළුවහු රුපියල් විසිදහසක (20,000) මුදලකට අලෙවිකර ඇති අතර එලෙස අලෙවි කළ උළුවහු ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරයෙකුට අයත් නිවසක උළුවහු මෙලෙස සොරාගෙන ඇති අතර ගුරුවරයා එම නිවස වසා හපුගල ප්‍රදේශයේ නිවසකට ගොස් සිටියදීයි මෙම සොරකම සිදුව ඇත්තේ ෴

@@@@@@@@@@@@@@

(18.05.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් 2,456 ක් ඊයේ (17) හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 145,202 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 2,433 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 23 දෙනෙකු ද නව ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 24,592 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 119,629 ක්.

එමෙන්ම ඊයේ (17) මරණ 19 ක් වාර්තාවී ඇති අතර, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 981 ක් දක්වා ඉහළ ගියා.

මියගිය අයගෙන් 12 දෙනෙකුගේ මරණ සඳහා කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42 ත් 89 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර මුලතිව් පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් සඳහා සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී 261 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් ඊයේ (17) දිනයේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි මුලතිව් සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබුණේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ගුරුවරුන්ටද කොරෝනා එන්නත ලබාදීමට කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා රුපියල් දස දහසක් (10,000) වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් ලබාදීමට පියවර ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර නිරෝධායන නීති කඩකළ 223 දෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම පිරිස අතර ජාතික හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සංචරණය කළ 141 දෙනෙකුද ඇතුළත් බවයි ෴

++++++++++++++++++++++++

එංගලන්ත මනසින් තීන්දු ගන්නා නිළධාරින් ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීමට ගත් තීරණය මගින් ආසාදිතයන් සමූහ වශයෙන් මිය යාමට සලස්වනවා – රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍යය පී හේවාගමගේ

(18.05.2021 – 07:26 +0530 – lankaleadnews.com)

දේශීය වෛද්‍යය ක්‍රම සුරැකීමේ ජාතික විද්වත් සංවිධාන එකමුතුව විසින් ඊයේ (17) කොළඹදී පවත්වන ලද මාධ්‍යය සාකච්ඡාවකදී රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ මහතා පවසා සිටියේ පවතින වසංගත රෝග තත්වයට මුහුණ දීමට දේශීය වෛද්‍යයවරුන්, අයූර්වේද වෛද්‍යයවරුන් සහ රාජ්‍යය සේවය තුළ සිටින සියළුම කණ්ඩායම් එකට ගොනු වීමෙන් පමණයි මෙම ගැටළුවට රටක් ලෙස මුහුණ දිය හැක්කේ කියන පණිවිඩය වසරක් තිස්සේ ලබා දෙමින් සිටි බව අවධාරණය කළේය.

ඒ සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් විය යුතු බව දිගින් දිගටම බලධාරින්ට පෙන්වා දුන් බව පවසා සිටි ඒ මහතා මෙම රෝගය මර්ධනය කිරීම පිණිස එන්නත පිළිබඳව පමණක් විශ්වාසය තැබූ රටවල් විශාල වශයෙන් අර්බූදයට ලක්ව ඇති බවද අවධාරණය කළේය.

එබැවින් දේශීය වෛද්‍යය අමාත්‍යාංශය සතු ආයුර්වේද රෝහල් සතු 5000 ක් පමණ වන ඇඳන් සංඛ්‍යාව සහ එම කාර්ය මණ්ඩලය මෙම වසංගතයෙන් රෝගීන් සුවපත් කරවීම සාඳහා යොදා ගැනීමට ඉටුවිය යුතු නෛතික වටපිටාව සැකසිය යුතු බවද අවධාරණය කළේය.

එංගලන්ත මනසින් තීරණ ගන්නා නිළධාරින් ගත් මුග්ධ තීන්දුවක් වන කොවිඩ් වෛරසය ආසාදිතයන් නිවෙස් තුළම රඳවා තබා ගැනීම මගින් ප්‍රාසාද වල ජීවත් නොවන දුප්පත් මිනිසුන් සමූහ වශයෙන් මිය යාමට සැලැස්වීමක් බව අවධාරණය කරන බවද පවසා සිටියේය.

+++++++++++++++++++++++

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කරයි

(18.05.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ලබන 24, 25 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි.

ඊට අදාල චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසිමකදි සදහන් කළේ.

මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඔහු කියා සිටියා.

මේ අතර මැයි 21 වනදා සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වනදා අඟහරුවාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (17) ප්‍රකාශ කළා.

යළිත් එදිනම රාත්‍රී 11 සිට මැයි 28 සිකුරාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++++++

(18.05.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය බගවන්තලාව, සිරිපුර ප්‍රදේශයේ අඹුසැමි යුවළකගේ පවුලේ සාමාජිකයින් 06 දෙනාට ද කොවිඩ් ආසාදනයව ඇති බවට තහවුරු වී ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසනවා.

නිරෝධානයට යොමු කර සිටි මොවුන් හට සිදුකළ කොවිඩ් පරීක්ෂණ වලදී මේ බව තහවුරු වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව කොවිඩ් වෛරසය අසාදනය වී දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පවුලේ සමාජිකයන් තිදෙනෙකුට (3) සහ නිවසේ සේවයට සිටින සේවිකාවකට ද වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *