පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නීතිපති කළ හෙළිදරව්ව !

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නීතිපති කළ හෙළිදරව්ව !

*********************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නීතිපති කළ හෙළිදරව්ව !

(17.05.2021 – newsfirst.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

නිව්ස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු සුල්ෆික් ෆර්සාන් සමග සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවය.

මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළ ද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියා සිටියේය.

මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බව ද නීතිපතිවරයා පැවසුවේය.

දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේ ඇතැම් විට කිසිදු අවස්ථාවක් විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවය.

******************************************

පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ

(17.05.2021 – 19:42 +0530 – lankadeepa.lk)

වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ.

තමන්ගේ කටයුතු පවා කරගත නොහැකි තරම් දුර්වල මෙම දෙමාපිය යුවල තමන් මෙහි හැරදමා ගිය දරුවන්ගේ නමක් කියා ඔවුන්ගේ ගරුත්වයට හානි කිරීමට හෝ අකමැති අතර තමන් පදිංචිව සිටියේ හොරණ ප්‍රදේශයේ බව පමණක් පවසයි.

ප්‍රදේශවාසීන් දෙන දෙයක් කෑමට ගෙන සිටින මෙම දෙමාපිය යුවල ඉතා අසරණව එම කඩපිලේ වැතිර සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

******************************************

ජාතික සංවිධාන එකමුතුව සැකසූ රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් (12) උපාය මාර්ගික ප්‍රවේශය

(17.05.2021 – 22:28 +0530 – lankaleadnews.com)

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් රසායනික පොහොර තහනම යථාර්තයක් කර ගත හැකි දොලොස්වැදැරුම් (12) උපාය මාර්ගික ප්‍රවේශය සහිත ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යවන ලද එම ලියවිල්ල පහත දැක්වේ.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

රසායනික පොහොර ආනයනය සීමා කිරීම මගින් නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම

රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නැවත්වීම සදහා ඔබතුමා විසින් ගනුලැබූ තීරණය ඉතා ධෛර්යමත් සහ නිර්භිත දේශපාලන තීන්දුවක් ලෙස අපි සළකමු. විවිධ පාර්ශ්ව වල ප්‍රතිචාර කුමක්විය හකිදැයි මානසික බාධක පනවා ගැනීමෙන් තොරව එවැනි තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීම මගින් ඔබතුමා විසින් පෙන්වා අති නායකත්ව පෞරුෂයද අපි අගය කරමු. විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්වය තුළ ජාතියක් ලෙස නැවත නැගී සිටීම සදහා එවැනි බරපතළ වෙනස්කම් කිරීමට ද සිදුවන බව අපි කල්පනා කරමු. මෙතෙක් අපි විසින් නඩත්තු කළ නිෂ්පාදන පද්ධතිය සහ ජීවන ක්‍රමය හෙවත් සමස්ථ මොඩලයම වෙනස් කිරීමෙන් තොරව අපට ජාතියක් ලෙස නැවත නැගී සිටිය නොහැකි බව දැන් සක්සුදක් සේ ඉතා පැහැදිළිය.

ඇත්ත වශයෙන්ම ඔබතුමා විසින් ගනුලබූ තීන්දුව අප වසර 20-30 ක කාලයක් තිස්සේ දකිමින් සිටි සිහිනයකි. ඒ නිසා එම තීන්දුව යථාර්ථයක් බවට පත් කිරීම සදහා, විශේෂයෙන්ම ඊට එරෙහිව කටයුතු කරන මහා සමාගම් හෝ ඔවුන්ගේ උවමනාවන් ඉටුකරන දේශපාලන පක්ෂ වලට ඊට එරෙහිව කටයුතු කිරීමට අවස්ථාව ලබානොදීම සදහා, ජාතික සංවිධාන එකමුතුව ලෙස අපි දොළොස් වදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් ඔබතුමා වෙත මෙසේ ඉදිරිපත් කරමු.

මේ වගට

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021.05.17

ආනයනික රසායනික පොහොර භාවිතය අවසන් කිරීම සහ පළිබෝධනාශක භාවිතය අවම කිරීම සදහා වන දොලොස්වැදැරුම් උපාය මාර්ගික ප්‍රවේශය

  1. ආනයනික රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය දැඩි සීමාවකට යටත් කරන බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් ආනයනික යෙදවුම් මත පදනම් වන කෘෂි නිෂ්පාදන පද්ධතිය ක්‍රමානුකූලව පරාධීනත්වයෙන් ගලවා ගැනීම සහ වස විෂ නොමැති දේශියව නිපදවන ආහාර ප්‍රචලිත කිරීම මගින් මහජන සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා නිශ්චිත කාල පරාසයකදී ක්‍රියාත්මක කෙරෙන මහා සැළසුමක් රටට ඉදිරිපත් කිරීම සහ මහජන සංවාදයකට පසුව අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කිරීම.
  2. එම සැළසුම තුළ ආනයනික සහ විවිධ වස විෂ සහිත රසායනික පොහොර ආනයනය වෙනුවට දේශිය අමුද්‍රව්‍ය යොදාගනිමින් පොස්පේට් සහ පොටෑසියම් අඩංගු රසායනික පොහොර දේශියව නිපදවීම සහ එසේ දේශියව නිපදවන රසායනික පොහොර දේශියව නිපදවන කාබණික පොහොර ගොවිබිමේ උනතාවයන් අනුව ප්‍රසස්ථ ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සදහා ප්‍රචාරාත්මක සහ අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම. එහිදී නයිට්‍රජන් සහිත රසායනික පොහොර වායුගෝලයේ පවතින නයිට්‍රජන් වලින් ස්වභාවිකවම නිපදවිය හැකි බැවින් ඒවා රසායනික පොහොර ලෙස බාහිරින් යෙදීම අවශ්‍ය නොවන බව ගොවියාගේ මනසේ තවහුරු කිරීම වැදගත්වේ.
  3. කෙටිකාලීනව නිෂ්චිත කාලයක් සදහා අනයනය කිරීමට ඉඩ දෙන රසායනික පොහොර සදහා විනිවිද භාවයෙන් යුතුව කෝටා ක්‍රමයක් සහ බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම සහ වෙළදපල තුළ කෘතිම ලෙස හිඟයක් මවාපාමින් මිල ඉහළ දැමීම සදහා සිදුකරන කූඨ වෙළදපොල උපක්‍රම මැඩලීම සදහා නිසි යාන්ත්‍රණයක් හදුන්වාදීම. එමෙන්ම එම කෙටි කාලය තුළ වෙළදපල තුළ මිල පාලනයක් හදුන්වාදීම.
  4. දැනට ගොවියාට ලබාදෙන පොහොර සහනාධාරය යම් නිෂ්චිත කාලයක් සදහා ඍජුව මුදල් ලෙස ගෙවීම සහ එම අරමුදල් ගොවිජන බැංකුව හරහා ගෙවියාට ගෙවීම මගින් ඒවා ගොවියාගේ ඉතිරිකිරීම් ලෙස සලකා කෘෂි යෙදවුම් සදහා පමණක් අවශ්‍යතාවය අනුව මුදල් නිදහස් කිරීම. ඒ මගින් එක් පැත්තකින් ගොවිජන බැංකුවට නැවත පණදීම සිදුවන අතර අනෙක් පැත්තෙන් රසායනික පොහොර භාවිතය අඩු කිරීම මගින් තම ඉතිරි කිරීම් වැඩි කිරීම සඳහා ගොවියා දිරිමත් කිරීම හරහා ස්වෙච්ඡාවෙන් ආනයනික පොහොර භාවිතය අධෛර්යමත් කිරීමට හැකිවේ.
  5. ගොවිජන බැංකුවට නවත පණදීම මගින් සහ පොහොර සහනාධාරය ලෙස බැංකුවට ලැබෙන රුපියල් මිලියන 50,000 කට අධික ප්‍රාග්ධනයට අවශ්‍යතාවය අනුව අමතර ප්‍රාග්ධනය ලබාදීම මගින් ගොවියා ක්ෂද්‍රමුල්‍ය ණය උගුලින් ගලවා ගැනීම සදහා ජාතික වඩපිළිවෙලක් සකස් කිරීම මගින් සබෑ ලෙසම ගොවියාගේ විශ්වාසය දිනාගැනීම. එමගින් සහ පොහොර භාවිතය සීමා කිරීමේ තීන්දුව රජය විසින් සද්භාවයෙන් ගනු ලබූ තීන්දුවක් මිස පොහොර සහනාධාරය කපාහැරීම සදහා ගනුලැබූ තීන්දුවක් නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය හැක.
  6. කෙටි කාලයක් සදහා භාවිතයට අවසර දෙන ආනයනික රසායනික පොහොර සහ දීර්ඝකාලීනව දේශියව නිපදවන පේස්පේට් සහ පොටැසියම් අඩංගු රසායනික පොහොර යෙදීමේදී අදාල භූමියේ පවතින ඌණතාවයන්ට අනුව පමණක් එම රසායනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කිරීම. ගොවියාගේ ඉතිරිකිරීම් හෙවත් පොහොර සහනාධාරය පොහොර මිලදී ගැනීම සදහා නිදහස් කළ යුත්තේ එම පරීක්ෂණ වාර්තාවන්ට අනුවය. එසේම වගාභූමි යාය වශයෙන් සළකුණු කොට පස් පරික්ෂා කිරීම සදහා යාන්ත්‍රණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවීම
  7. රසායනික පොහොරවලට විකල්ප ලෙස කාබනික පොහොර (කොම්පොස්ට් හෝ ජෛව පොහොර යන දෙවර්ගයම) ආනයනය කිරීම හෝ කාබණික පොහොර ගොවීන්ට සහනාධාර යටතේ බෙදාහැරීම වැනි වැරදි ක්‍රියාමාර්ග සදහා කිසිලෙසකින්වත් ඉඩ ලබා නොදීම.
  8. දේශියව මහා පරිමානයෙන් ජෛව පොහොර නිෂ්පාදනය කරන ආයතනවල ධාරිතාව වැඩිකිරීම සහ මිල අඩු කිරීම සදහා රජය විසින් එකගතාවයන්ට අනුව සහන ලබාදීම. එසේම නාගරික අපද්‍රව්‍යය හෝ කෘෂි අපද්‍රවශ යොදාගනිමින් කොම්පොස්ට් පොහොර වානිජ වශයෙන් නිපදවන ආයතන සදහා ප්‍රමිතීන් නියම කිරීම සහ අවශ්‍ය පුහුණුව මෙන්ම සහතික කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම. එසේ වුවත් කාබනික පොහොර ප්‍රධාන වශයෙන් කොම්පොස්ට් පොහොර ගොවිබිමේදී සාදාගත යුතුය.
  9. කාබනික වගාවන් හෙවත් ස්වභාවික ගොවිතැන්ක්‍රම වලට මාරුවන ගොවීන් දිරිමත් කිරීම සදහා එසේ රසායනික පොහොර භාවිතය අඩු කිරීම නිසා අස්වනු අඩුවීමක් සිදුවුවහොත් ඒ පිළිබදව ගොවියාට සහනයක් ලබාදෙන බව සහතික කිරීම සදහා රජයේ පූර්ණ දායකත්වය සහිතව කෘෂි රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම. එසේම වී සදහා වන සහතික මිල රු. 60 දක්වා ඉහළ දැමීම. (එමගින් සහල් මිල රුපියල් 105 මට්ටමේ තබාගත හැක)
  10. ස්වභාවික ගොවිතැන් ක්‍රම විශේෂයෙන්ම ඉන්දියාවේ සුභාෂ් පලයේකාර් විසින් ගොම සහ ගව මුත්‍රා යොදාගනිමින් හදුන්වාදී ඇති ගොවීන් මිලියන 40 ක් විසින් භාවිතා කරන ශූන්‍යය අයවැය ගොවිතැන්ක්‍රම හදුන්වාදීම සදහා ජාතික මට්ටමින් විධිමත් ගොවි අධ්‍යාපන වැඩසටහනක් හදුන්වාදීම සහ ඒ තුළ භොග වගාව සමග කිරිගොවිතැන ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යාපනය සහ දිරිගන්වීම් ලබාදීම සදහා ප්‍රම්‍රඛතාවයක් ලබාදීම. එසේම එම ක්‍රියාවලිය තුළ දේශීය බීජ ප්‍රභේද ප්‍රචලිත කිරීම සහ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව අතීතයේදී කළ පරිදි බීජ ගොවිපළ ජාලයට සහ බීජ වැඩසටහනට නැවත පණදීම.
  11. රසායනික පොහොර භාවිතය සීමා කිරීමට සමගාමීව පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සඳහා ඊට අදාල පනත් සංශෝධනය කිරීම මගින් අලෙවිකරුවන්ට ප්‍රමිතීන් පැනවීම සහ කෘෂි නිලධාරියෙකුගේ නිර්දේශයකට අනුව පමණක් පළිබෝධනාශක නිකුත් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීම මෙන්ම එම ක්‍රියාවලිය නිසිලෙස නියාමනය කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීම.
  12. ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ වස විෂ නොමති ආහාර පරිභෝජනය උසස් ක්‍රියාවක් ලෙස සමාජගත කිරීම සහ එවැනි ජීවන ක්‍රමයක් ප්‍රචලිත කිරීම මෙන්ම කුඩා පරිමාන ගෙවතු වගාව සහ ආහාරයේ විවිධත්වය වැඩි කිරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම පිළිබදව රාජ්‍ය මැදිහත්වීමෙන් පුළුල් අධ්‍යාපන සහ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම. එසේම රුක් රෝපණ වැඩසටහන් වලදී බහු වාර්ගික ආහාර භෝග වගාව විශේෂයෙන්ම කොස්, දෙල්, පළතුරු ආදී ශාඛ වලට පූමුඛතාවය ලබාදීම සහ ඊට පහසුකම් සැළසීම සඳහා පලතුරු වගාකරුවන් දිරිමත් කිරීම සඳහා වැඩසටහන් හඳුන්වා දීම. වස විෂ නැති උසස් ගොවිතැන් ක්‍රම සහ දේශීය බීජ ප්‍රභේද භාවිතා කිරීමේදී අස්වැන්න අඩුවීමක් සිදුවේ නම් එය තුලනය කළ හැක්කේ ආහාර විවිධත්ත්වය වැඩිකිරීම මගින් බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ආහාර විවිධත්ත්වය ආහාර සුරක්ෂිතතාවය සඳහා වන අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.

******************************************

eBay එකෙන් ගෙන්වන බඩු මගදී උස්සන ජාවාරමක්! ඔන්ලයින් බඩු ගන්න අයට නිවේදනයක්!

(18.05.2021 – am.lk)

අන්තර්ජාලය හරහා භාණ්ඩ අළෙවි කිරීම සිදුකරන ලොව ප්‍රමුඛතම සමාගම්වලින් මෙරටට ඇණවුම් කරන භාණ්ඩ අතරමග දී සොරකම් කරන ජාවාරමක් හසු කරගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

මෙරට පුද්ගලයින් විසින් ඊබේ (eBay), ඇමසෝන් (Amazon) සහ අලි එක්ස්ප්‍රස් (AliExpress) යන ලෝපතල වෙබ් අඩවිවලින් ඇණවුම් කරන භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ අදාළ විදෙස් ආයතනවල මෙරට නියෝජිතවරයෙකු ලෙස කටයුතු කරන සමාගමකට සම්බන්ධ කිහිපදෙනෙකු මෙම ජාවාරම සිදු කර තිබීම යි.

විදෙස් රටවල්වල සිට පැමිණෙන පාර්සල්වල සියළු තොරතුරු මොවුන් සතුව ඇති බැවින් වටිනා භාණ්ඩ ඇති පාර්සලයක් පැමිණෙන බව දැනගත් පසු ගුවන් තොටුපොළට ගොස් ඒවා සොරකම් කිරීම මොවුන් විසින් සිදු කර තිබෙනවා.

CCTV කැමරා නොමැති ස්ථානයක දී මෙම සොරකම සිදු කිරීමට වගබලාගන්නා මෙම පුද්ගලයින්, පසුව අදාළ පාර්සලය ගුවන්තොටුපොළට නොපැමිණි එකක් ලෙසට ද වාර්තා වෙනස් කොට ඇති බව සඳහන්.

භාණ්ඩය තමන් වෙත නොලැබීම සම්බන්ධයෙන් එය ඇණවුම් කළ තැනැත්තා අදාළ විදෙස් සමාගමෙන් විමසූ විට, පාර්සලය මෙරටට නොපැමිණ ඇති බවට වාර්තාවල සටහන්ව ඇති බැවින් එම ආයතන සිය රෙගුලාසිවලට අනුව කටයුතු කරන අතර ඒවාට අනුව බොහෝ විට නැවත මුදල් ගෙවීම හෝ වෙනත් භාණ්ඩයක් එවීම හෝ සිදුවන බවයි වාර්තා වන්නේ.

ඇණවුම් කර නවතම ‘ඇපල් අයිෆෝන්’ ජංගම දුරකතනයක් තමන් වෙත නොපැමිණීම සම්බන්ධයෙන් තරුණියක විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කොට ඇති අතර ඒ හරහා සිදු කළ විමර්ශන ඔස්සේ මෙම ජාවාරම හසු කරගෙන තිබෙනවා.

සැක පිට අත්අඩංගුවට පත් අදාළ දේශීය සමාගමෙහි කළමණාකාරවරයෙකුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී ඔහු විසින් මෙම ජාවාරම සිදු කරන ආකාරය පාපොච්චාරණය කර ඇති අතර ඔහු පවසා ඇත්තේ සිය ආයතනයේ තවත් කළමණාකරුවෙකු සහ සේවකයින් තිදෙනෙකු මෙයට සම්බන්ධ බවයි.

ඒ අනුව එම සිව්දෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස සතුව තිබී ඉහත ආකාරයෙන් ඇපල් වර්ගයේ ජංගම දුරකතන 19 ක් ද සොයාගෙන ඇති අතර මොවුන් වසර ගණනක සිට මෙම කාර්යය කරගෙන ගොස් ඇති බවත්, සොරකම් කරන භාණ්ඩ විකුණා ඒ හරහා මුදල් ලක්ෂ ගණනින් උපයා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මොවුන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සඳහන්.

මේ අතර ඊබේ (eBay), ඇමසෝන් (Amazon) සහ අලි එක්ස්ප්‍රස් (AliExpress) වැනි සේවා හරහා ඇණවුම් කළ භාණ්ඩ තමන් හට නොලැබී ඇත්නම් ඒ පිළිබඳව තමන් දැනුවත් කිරීමට වහාම කටයුතු කරන ලෙසට පොලීසිය පවසා සිටිනවා ෴

******************************************

(18.05.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා රටට සැබෑ නිදහස උදා කළ රණවිරු විජයග්‍රහණයට අදට (18) වසර 12 ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් මිය යාමත් සමඟ වසර 30 ක සිට මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදයට මානුෂීය මෙහෙයුමකින් පසු තිත තබන්නට මෙරට රණවිරුවන්ට හැකියාව ලැබුණා.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා ෴

******************************************

(18.05.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

වවුනියාවේ රක්ෂිත ප්‍රදේශ දෙකකින් (2) පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන බලඇණිය මගින් සිදුකළ දැනුම්දීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ අංශයේ නිලධාරී කණ්ඩායමක් විසිනුයි.

වවුනියාව – උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මන්නකුලම් රක්ෂිතයේ තිබී ක්‍රිස්තු වර්ෂ අට (8) සහ නවය (9) සියවස්වලට අයත් ටැම් ලිපියක් හමුවී ඇති අතර, නයිනමඩු රක්ෂිතයේ බිමක චෛත්‍ය කොටසක් සහ ගල්කණු සොයාගෙන තිබෙනවා ෴

******************************************

(18.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මහජන අයිතියට පත් කළ පසු මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව පොදු ස්ථානවල නාමපුවරු සහ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනයට පියවර ගන්නා බව වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ මැද උයන නම් ස්ථානයේ දෙමළ භාෂාවෙන් නාම පුවරුව සටහන් නොකිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යයන් තැබු ට්විටර් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදියි.

රාසමානික්කම් සානක්‍යයන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට ඒ පිළිබඳ සටහනක් එක් කරමින් අදාළ නාමපුවරුවෙහි සිංහල, සහ ඉංග්‍රීසි පමණක් නොව චීන භාෂාව ද ඇතුළත් කර තිබියදී දෙමළ භාෂාව ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණා.

කෙසේ වෙතත් වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා ගෙන් අප මේ පිළිබඳව කළ විමසීමකදී කියා සිටියේ දැනටමත් අදාළ නාම පුවරුව ගළවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

@@@@@@@@@@@@@@@@

(18.05.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 981 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 19 ක් වාර්තා වීමත් සමගයි ෴

++++++++++++++++++++++

(18.05.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (18) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක දෙකකට (2) අයත් ග්‍රාම නිලධාරී වසම් 03 ක් මෙලෙස හුදෙකලා කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

මේ අතර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 08 ක් හුදෙකලා භාවයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම්වල එලෙස හුදෙකලා භාවය ඉවත් කෙරෙනු ඇති :

++++++++++++++++++++++

(18.05.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායනය නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 223 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ සමඟ මේ දක්වා නිරෝධායනය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073 ක් දක්වා ඉහළ ගිය බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(18.05.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ජාතික හැඳුනුම්පතේ අවසන් අංක ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 141 දෙනෙකු ඊයේ (17) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අද (18) දිනය ඉරට්ටේ දිනයක් බැවින් ජාතික හැඳුනුම්පතේ අවසානයට 0,2,4,6,8 යන අංක ඇති පුද්ගලයින්ට අවශ්‍යතාවන් සඳහා නිවසෙන් බැහැරව යාමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *