කොරෝනා ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක්

කොරෝනා ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක්

*********************************************

කොරෝනා ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක්

(17.05.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන තෙක් නිවසේ සිටින අයෙක් නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වුවහොත් 011 796 6366, 1999, 1906 අමතනන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඉල්ලා සිටිනවා.

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1307 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 119,629 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(17.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

2020 වර්ෂය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කරන ලද ජනමාධ්‍ය හැදුනුම්පත් වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් නව හැඳනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි ෴

+++++++++++++++++++++++

(17.05.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පාසල් ඉක්මනින් විවෘත කිරීමට නම් පාසල් තුළ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂණය සුරක්ෂිත කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පාසල් ගුරුවරුන්ට එන්නත ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇති බවයි.

මේ වනවිටත් බස්නාහිර පළාතේ ගුරුවරුන්ට එම අවස්ථාව ලබා දී ඇති අතර අනෙකුත් පළාත්වල ගුරුවරුන්ටත් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදට එක්වමින් කියා සිටියේ ෴

+++++++++++++++++++++++

21 වනදා සිකුරාදා රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අළුයම 4 තෙක් සංචරණ සීමා පනවයි

(17.05.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වනදා සිකුරාදා රාත්‍රී 11 සිට 25 වනදා අඟහරුවාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

යළිත් එදිනම රාත්‍රී 11 සිට 28 වනදා සිකුරාදා අලුයම හතර (4) දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුදිකුඩිඉරිප්පු, මුල්ලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදෙකලා කිරීමට ද පියවර ගන්නා බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

++++++++++++++++++++++

(17.05.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි හට නව කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා. ඔහු මේ වනවිට කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(17.05.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

අද (17) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 1579 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 144, 325 දක්වා ඉහළ ගියා.

මේ අතර අද (17) දිනයේත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 1307 සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,19,629 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 854 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (17) දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2433 ක් ලෙසටයි ෴

විදෙස් ගතව සිට මෙරටට පැමිණි 23 දෙනෙකු කොවිඩ් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (17) දිනය තුල මෙතෙක් වාර්තා වූ මුළු කොවිඩ් අසාදිතයින් ගණන 2,456 ක් ෴

+++++++++++++++++++++++

(17.05.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන්, ඔවුන් පදිංචි ප්‍රදේශයට ආසන්නම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ කොවිඩ් නයින්ටීන් විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව අද (17) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයෙකුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇතිවන දැඩි මානසික පීඩනය සළකා බැලීමෙන් අනතුරුවයි.

අද (17) පැවති මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා. එහි පළමු (1) අදියර ලෙස දැනට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන විසිඑක් දහසක (21,000) රෝගීන් ප්‍රමාණ්‍ය වර්ගීකරණය කර රෝග ලක්ෂණ නොපෙන්වන පිරිසට නිවසේ සිට ප්‍රතිකාර සිදුකරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන මේ වනවිටත් සකස් කරමින් තිබෙන බව ඇය කියා සිටියා.

එමෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනතෙක් නිවසේ සිටින ආසාදිතයෙකුට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වුවහොත් 011 796 6366, 1999 හෝ 1906 යන දුරකථන අංක අමතන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

(17.05.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් නිවසට වී සිටි මවක් අධික රුධිර පීඩනය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

ඇය නිවුන් දරු උපතක් සදහා සූදානම්ව සිටියදීයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සහ කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ වෛරසයට බිය වී ප්‍රතිකාර ලබා ගැනීමකින් තොරව නිවෙස් වලට වී නොසිටින ලෙසයි.

මේ අතර ගර්භනී මව්වරුන් 160 කට මේ වන විටත් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා ෴

(17.05.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී අඹුසැමි යුවළක් මියයෑමේ පුවතක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තාවනවා.

කාන්තාව පසුගිය 13 වනදා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඇය එදිනම මියගොස් තිබුණා.

අදාළ කාන්තාවගේ කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබුණේ ඊයේ (16) දිනයේදියි. ඒ අනුව ඇයට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබූ අතර, ඊයේ (16) රාත්‍රියේ ඇයගේ ස්වාමි පුරුෂයාද මියගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(17.05.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අද (17) දිනයේ ක්‍රියාත්මක වූ අතර, එන්නත් ලබාගැනීමට පැමිණි ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන අයුරුද දක්නට ලැබුණා.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් එලෙස එන්නත් ලබාගතහොත් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

(17.05.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කරන ලද ප්‍රදේශ සඳහා බෙදා හැරෙන 5000 සහන මල්ල සම්බන්ධ අක්‍රමිකතා පවතින බව පිළියන්දල ප්‍රදේශයේ ජනතාව අදත් චෝදනා කළා.

මේ අතර 5000 සහන මල්ල සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරිනියකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් උකුවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

+++++++++++++++++++

රජය ගිලන් රථ 10 ක් වෙනුවෙන් කළ වියදම විපක්ෂයේ සැකයට

(17.05.2021 – 19:27 +0530 – sinhala.adaderana.lk)

ගිලන් රථ 10 ක් ගෙන්වීම සඳහා කොවිඩ්-19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 19 කට අධික මුදලක් යෙදවීම සැකයට තුඩු දෙන බව විපක්ෂය පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ රජය වහාම මෙය රටට පැහැදිලි කළ යුතු බවය.

කොවිඩ්-19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ වියදම් පිළිබඳව පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේය.

ගිලන් රථ 10 ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 19 කෝටි 40 ලක්ෂයක මුදලක් එම අරමුදලෙන් ගෙවීමට ඇති බව එහි සඳහන් කර තිබුණි.

ඒ අනුව එක් ගිලන් රථයක් සඳහා රුපියල් ලක්ෂ 194 ක් වැනි මුදලක් රජය දරන බවත් ගිලන් රථයක් වෙනුවෙන් එතරම් විශාල මුදලක් දැරීම සැකයට තුඩු දෙන බවත් විපක්ෂය පැවසීය.

“මම දන්නේ නෑ මේවා මොනවගේ ගිලන් රථ ද කියලා. සුව සැරියේ සියලු පහසුකම් තිබුණා. මේවයේ ඊට වැඩිය විශාල පහසුකම් තියෙනවා ද?” යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

“නෑ, හංගන්න කිසිදෙයක් නෑ. ඒ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු දීලා තියෙනවා,” යැයි ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

++++++++++++++++++++

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම සෞඛ්‍යය ට අහිතකරයි – මරණ වැඩිවීමටත් හේතුවක්

(17.05.2021 – 12:02 +0530 – sinhala.adaderana.lk)

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම හේතුවෙන් වාර්ෂිකව සිය දහස් දෙනෙක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව එවැනි පර්යේෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ 2016 වසරේදී පුද්ගලයින් 216,000 ක් ආඝාතය සහ හෘද රෝග නිසා මියගොස් ඇති බවත් එම රෝග තත්ත්ව වලට හේතුව ලෙස දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීම හඳුනාගෙන ඇති බවත්ය.

ඉන් බහුතරයක් ගිනිකොණ ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපීය රටවල වැසියන් බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවය.

එම පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ සතියකට පැය 55 ක් හෝ ඊට වැඩියෙන් වැඩකිරීම නිසා ආඝාතය ඇතිවීමට ඇති හැකියාව 35% ඉහළයන බවත් හෘද රෝගයක් නිසා මියයාමට ඇති හැකියාව 17% ක් වැඩිවන බවය.

සාමාන්‍යයෙන් සතියකට වැඩකළ යුතු පැය ගණන දක්වා ඇත්තේ පැය 35 ත් 40 ත් අතරය.

එම හේතු නිසා මියගොස් තිබූ බහුතරය මැදි වයසේ හෝ වයස්ගත පුද්ගලයින් බව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක සිදුකර තිබූ එම පර්යේෂණයේ වාර්තාව අනුව දැක්වේ ෴

@@@@@@@@@@@@@@@@@

(17.05.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ස්භාවික තල් රා වෙනුවට කෘත්‍රීම රා දේශීය වෙළඳපල ආක්‍රමණය කිරීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව තල් රා මදින්නන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තම නිෂ්පාදන විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

******************************************

(17.05.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයකින් යුත් කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය අදියර දෙකකින් (2) ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවට රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සභාපතීත්වය දරණ මෙම මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අනාවරණ වුණේ පළමු අදියර, අන්තර්ජාතික ඒ ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණකින් ද, උසස් ස්තරයේ නිවාස කුළුනු දෙකකින්ද, සිල්ලර වෙළඳ පීඨිකාවකින්ද සමන්විත බවයි.

දෙවන අදියර ද අන්තර්ජාතික ඒ ශ්‍රේණියේ මහල් සමූහයකින් යුතු නවීන කාර්යාල කුළුණුකින්ද, සිල්ලර වෙළද පීඨිකාවකින්ද යුක්ත බව එහිදී හෙළි වී තිබෙනවා.

බදු සහන රාශියක් ලබාදෙන මෙම ව්‍යාපෘති අනිවාර්යෙන්ම රටේ සමස්ත ආර්ථිකයට ඍජු දායකත්වයක් දැක්විය යුතු බව ආයෝජන මණ්ඩලය වෙත අවධාරණය කර සිටි රජයේ මුදල් කාරක සභාව ඊට සිය අනුමැතිය ලබා දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියා සිටියේ ෴

******************************************

(17.05.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින හින්දු සංස්කෘතික අරමුදල සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයින් සංඛ්‍යාව හතක් (7).

1985 අංක 31 දරණ පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අරමුදල පිහිටුවා තිබෙනවා ෴

******************************************

(17.05.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ 95 ක් පමණ වටිනා හෑෂ් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් අද (17) පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, කොළඹ – මෝදර – බෝධිය හන්දිය ප්‍රදේශයේදියි.

මේ අතර නව උපකරණ දෙකක් (2) භාවිත කරමින් හෙරොයින්, ගංජා සහ අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන පදවන පුද්ගලයින් අත්අඩංගුව ගැනීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ අද (17) සිට ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවෙන් එම උපකරණ ලබාදී ඇති බවයි ඔහු සඳහන් කළේ ෴

******************************************

(17.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවාදය ලබන 19 වනදා සහ 20 වනදා විවාදයට ගැනීමට නියමිත අතර, ඡන්ද විමසීම ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇති.

පසුගිය අප්‍රේල් අටවනදා (08) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොනු කෙරුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට (18) උදෑසන කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති.

******************************************

(17.05.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන සංචාරක නගර යාවන මාර්ග පද්ධතිය ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින් සමන්විත සංචාරක සේවා මධ්‍යස්ථාන ඉදිකිරීමට සංචාරක අමාත්‍යාංශය සූදානම් වනවා.

මුල් අදියර යටතේ නුවරඑළිය, මහනුවර, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික් ආශ්‍රිතව මධ්‍යස්ථාන 28 ක් ඉදිකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *