කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක්

කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක්

*********************************************

කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමෙන් ගැටළු මතුවිය හැකියි – මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ප්‍රකාශයක්

(16.05.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත පුද්ගලයින් ඉදිරියේදී නිවෙස්වල රඳවාගෙන ප්‍රතිකාර කිරීමට කටයුතු කළහොත් ගැටළු පැනනැගිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (15) සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිවීම එමඟින් ගැටළු මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

++++++++++++++++++++

(16.05.2021 – 12:16 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණය මතුපිට නිතර නිතර අතින් ස්පර්ශ කිරීම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.

මුව ආවරණය පැළඳීමේ මූලික අරමුණ වන්නේ පරිසරයේ පැවතිය හැකි වෛරස මුව හා නාසය ප්‍රදේශයේ ස්පර්ශ වීම වළක්වා ගැනීමයි.

යම් ආකාරයකින් එම වෛරස් අප පැලඳ සිටින මුව ආවරණයේ තැවරී තිබුණහොත් මුව ආවරණය නිතර ඇල්ලීමෙන් එම වෛරස ශරීරයට ඇතුළු වීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මූලික උපක්‍රමය වන මුව ආවරණය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් වන අතර මුව ආවරණ පැළඳීම තුළින් මේ වන විට මුළු ලෝකයේම පවතින වෙනත් ශ්වසන රෝග ද අවම වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

එකම මුව ආවරණය බොහෝ කලක් පාවිච්චි කළ නොහැකි අතර එය සෝද සෝදා පාවිච්චි කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

රෙදි මුව ආවරණ නම් සෝදා භාවිත කල හැකි වුවද එවැනි අවස්ථාවක මුව ආවරණ දෙකක් පැළඳිය යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

භාවිතා කළ මුව ආවරණ මතුපිට විෂබීජ තැවරී තිබිය හැකි බැවින් ඒවා ගලවා මේස මත තැබීමෙන් වැලකිය යුතු බව ද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.

එමෙන්ම භාවිත කළ මුව ආවරණ ද ඉතා ප්‍රවේශමෙන් බැහැර කළ යුතු අතර මුව ආවරණය පැළඳීමෙන් වෛරසය ඇති පුද්ගලයා අන් අය ආරක්ෂා කරනවා මෙන්ම මුව ආවරණය පළඳින පුද්ගලයා අන් අයගෙන් ආරක්ෂා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++

(16.05.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන්ගෙන් නියුමෝනියාව වැළඳුණු රෝගීන් වෙන් කර හඳුනාගෙන රෝගී තත්වය උත්සන්නවීම වැළැක්වීමට පියවර ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙනවා.

කොවිඩ් නියුමෝනියාව වැළඳීමෙන් කොරෝනා රෝගීන් බහුලව මියයාම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියේ ෴

++++++++++++++++++++

(16.05.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

සංචරණ නීති උල්ලංඝනය කරමින් ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයින් හත්දෙනෙකු (7) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි සිටි සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සොයාගෙන ඇති අතර, ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(16.05.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා හෙට (17) අලුයම හතරට (04:00) ලිහිල් වනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරට යාමට හෙට (17) සිට අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

හෙට දිනය 17 වනදා බැවින් නිවෙස්වලින් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් (1, 3, 5, 7, 9) නම් පමණයි.

එය උල්ලංඝනය කරමින් ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කළා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් අංකයට අනුව පිටතට යාමේ නීතිය බලාත්මක නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

@@@@@@@@@@@@@@@@@

(16.05.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අපතේ යන මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල් පිලිබදව තොරතුරු වාර්තා වී ඇත්තේ වරක් දෙවරක් නොවේ.

නමුත් ඒ බොහෝමයක් අවස්ථා බීරි අලින්ට ගැයූ වීනා ගැයුම් මෙන් නෑසුකන්ව සිටීමට මෙරට බලධාරීන් මෙන්ම දේශපාලන බලවතුන් ද කටයුතු කරන්නෙ ඒවා කාලයේ වැලි තලාවෙන් වැසී යන නිසයි.

නමුත් සොබාදහම විසින් නිර්වස්ත්‍ර කල එවැනි බාල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වුනේ පසුගිය දිනවල දිවයිනට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගයි.

අගලවත්ත බෙරගම අළුතෙන්ම කාපට් කළ මාර්ගය එක වැස්සට සේදී ගොස් තිබුනේ මෙලෙසින්.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මාර්ගය සංවර්ධනය කර තවමත් මසක්වත් ගතවී නැති බවයි.

මේ ආකාරයට නම් මාසයක් තුල මෙරට මහා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් නොව ලක්ෂ දහයක වුව ද කාර්පට් එලීම සිදු කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙලෙසින්ම තවමත් ඉදිවෙමින් පවතින පිටිගල – මාපලගම මාර්ගයේ කාර්පට් කොටස් ඈතිවූ දැඩි වර්ෂාවත් සමග ගැලවී ජලයේ පාවී ගියා.

ඒ එම මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමිතීන් පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් මතු කරමින්.

මෙම සෑම සංවර්ධන ව්‍යාපෘතියක් හරහාම කොමිස් කුට්ටි වලින් සාක්කු පුරවා ගන්නා ප්‍රාදේශීය දේශපාලකයින් සහ සහචරයින් සෑම විටකම රවටන්නේ මෙරට මහජනතාව බව රහසක් නොවේ.

මෙවැනි ප්‍රෝඩාකාරී සංවර්ධන ව්‍යාපෘති නිසා අපතේ යන මහජන ධනයට වග කියන්නේ කවුද ?

ව්‍යසන අවස්තාවක කඩිමුඩියේ කූඩාරම් ගසා ඉදිකෙරුණු හදිසි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවා පීත්ත පටි කපා විවෘත කරන දේශපාලන අඳබාලයින් සිටින රටක මෙවැනි අපරාධ පිලිබදව සාධාරණයක් බලාපොරොත්තු තැබිය හැකි ද ?

++++++++++

******************************************

(16.05.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට සිදුවූ හානි පිළිබඳව තක්සේරු වාර්තා අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා වන්දි ලබා දීමට සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළා.

අයහපත් කාළගුණයත් සමඟ නිරිත දිග ගංගා ද්‍රෝණි 6 ක් ආශ්‍රිතව පැවති ගංවතුර තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් තිබෙනවා.

පැවති වර්ෂාවත් සමඟ උඩවලව ජලාශය වාන් මට්ටමේ පවතින බැවින් එක් දොරටුවක් අඩිය බැගින් අද (16) අලුයම සිට විවෘත කර ඇති බව අපාදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ගත වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයට වාර්තා වන අතර එය මිලිමීටර 62 ක්.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම – ආරච්චිකට්ටුව මුතුපන්තිය දූපත දරුණු ලෙස ඛාදනයට ලක්ව තිබෙනවා.

මීට පෙර වෙරළ ඛාදනයෙන් ආරක්ෂාවීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දමා තිබූ ගල් වැටිද මේ වනවිට මුහුදට ගසාගෙන යමින් පවතින බවයි එම දූපත්වාසීන් සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *