ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම

*********************************************

ජනාධිපති මාධ්‍ය අංශය ‘FM කරණය’ වීම

(15.05.2021 – 22:37 +0530 – lankaleadnews.com)

අදින් විසි හත් (27) වසරකට පමණ පෙර, 1994 වර්ෂයේ දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ‘ලොව කෙටිම වීථි නාට්‍යය’ (?) රඟ දැක්විණ. ප්‍රේක්ෂක වර්ගයා වට වී බලා සිටින අතරේ, රංග භූමිය මැදට වීථි නාට්‍ය නළුවා කඩා වදින්නේ මෙසේ කියමිනි.

“අසූ අටයි….. දශම අටායි…
එකසිය හයයි… දශම පහායි…
බුදු අම්මෝ…
ඔලුව! ”

ඉනික්බිති ඔහු සිය ‘ඔලුව’ හෙවත් ‘සිරස’ බදාගෙන ඇද වැටෙයි. ප්‍රේක්ෂකයින්ගේ සිනාව පුපුරා යයි. නාට්‍යය හමාරය.

එදා ඒ නාට්‍යය එලෙස තත්පර කිහිපයකින් නිමා වුවද, ‘හැබෑ නාටකය’ එතරම් කෙටි නොවනවා සේම තවම රඟ දැක්වෙමින්ද තිබෙන්නේය. වෙනසකට ඇත්තේ අංක හා දශම ගණන් තරමක් එහා මෙහා වී තිබීමත්, නළුවා වෙනුවට ප්‍රේක්ෂකයින්ට ඔලුව බදාගෙන ඇද වැටෙන්නට සිදුව තිබීමත්ය.

ගුවන්විදුලි සංස්ථාවේ අවගමනය

දශක හතකට (7) ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ ගුවන්විදුලි මාධ්‍යයේ ඒකාධිකාරය තිබුණේ රජයටය. මෙම තත්ත්වය තුළ අඩු වැඩි වශයෙන් සාධනීය හා නිශේධනීය ලක්ෂණ මෙරට ගුවන්විදුලියේ උද්ගතව පැවතිණි. කෙසේ වුවද, දශක කිහිපයක් තිස්සේ රජයේ ගුවන්විදුලි සේවා විසින් මෙරට සමාජය තුළ කරන ලද ප්‍රමුඛ සංස්කෘතික කාර්යභාරයක් තිබිණ. පක්ෂ දේශපාලනය සම්බන්ධ කාරණයේදී සෑම විටම ආණ්ඩු බලය හොබවන දේශපාලන පක්ෂයේ හඬ බවට පත් වුවද, සංස්කෘතිය සම්බන්ධ කාරණයේදී සෑම විටම ස්වදේශීය සංස්කෘතික කතිකාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් සැපයූ බව සත්‍යයකි. මේ තත්ත්වය තුළ ගුවන්විදුලි ශ්‍රාවක සංස්කෘතියක් සමාජයෙහි ගොඩනැඟී තිබිණ. සමකාලීන විද්වතුන්, කලාකරුවන් ගණනාවක් ගුවන්විදුලිය සඳහා විවිධ වැඩසටහන් සම්පාදනයට දායක විණි. මහගම සේකර, මඩවල එස්. රත්නායක, සුගතපාල ද සිල්වා මේ අතරින් කිහිප දෙනෙකි. අනෙක් අතට ගුවන්විදුලිය හා ශ්‍රාවකයා යා කළ පුරුක වූ නිවේදකයාගේ භූමිකාව අතිශයින්ම වැදගත් විණි. ඔවුන්ගේ කටහඬ පෞරුෂයකින්ද, විශ්වසනීයත්වයෙන්ද, අනන්‍යතාවකින්ද යුතු විය. ප්‍රේමකීර්ති ද අල්විස්, මේ නිවේදක වර්ගයාගේ පොදු හැඩයක් නියෝජනය කරයි. එම නිවේදකයින් තමන් සිටින ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් – කියවීමක් සහිත, සමකාලීන කලා සංස්කෘතික කතිකාව පෝෂණයට විවිධ අයුරින් දායක වූ බරසාර චරිත වූහ. ඔවුන් ඉදිරිපිට තිබුණේ ‘ටාගට් මාකට්’ එකක් නොව ශ්‍රාවක සමාජයකි. ඔවුහු නිවේදකයින් ලෙස කිය යුතු දේ මෙන්ම, නොකිය යුතු දේ දැන සිටියහ. හ‍‍ඩෙහි වටිනාකමට වඩා ඔවුහු නිහඬතාවයෙහි වටිනාකම දැන සිටියහ. එබැවින් ඔවුන් වචන වැය කළේ අරපිරිමැස්මකිනි. අනෙක් අතට, ශාස්ත්‍රීය සංවාද වැඩසටහන්, ගුවන්විදුලි නාට්‍ය, සංගීත වැඩසටහන්, වෙළෙඳ වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, විනෝදාස්වාද වැඩසටහන්, ආගමික වැඩසටහන්, ළමා වැඩසටහන්, කාන්තා වැඩසටහන්, ප්‍රවෘත්ති, ධර්ම දේශනා යනාදී විවිධ වැඩසටහන් කේන්ද්‍ර කොටගත් ශ්‍රාවක සමූහ සමකාලීන ලාංකේය සමාජයේ ගොඩනැඟී තිබිණ. මේවා විසින් එවක සමාජයේ රස වින්දන හැඩ තල නිර්මාණය කරමින් තිබිණි.

කෙසේ නමුත්, 1990 ගණන් වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවා සීමාන්තික රාජ්‍ය මැදිහත්වීම් අතිනුත්, සාම්ප්‍රදායික ආකෘති තුළ එක තැන පල්වීම අතිනුත් කූටප්‍රාප්තියට එළඹ සිටියේය. සමාජයීය හා තාක්ෂණික වර්ධනයන්ට සාපේක්ෂව එම ගුවන් විදුලි නාලිකා පැවතියේ බොහෝ පසුපසිනි. තාක්ෂණික – ආකෘතික – අන්තරගත පැත්තෙන් මෙරට ගුවන්විදුලි සේවාවල සාධනීය වෙනසක් සිදු විය යුතු බවට අභ්‍යන්තරිකවත්, බාහිරවත් හේතු සාධක රැසක් පෙළ ගැසී තිබිණ. කෙසේ වෙතත් රජයේ සීමා මායිම් දේශපාලන අතපෙවීම් තුළ එවක ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු ප්‍රචාරය වූ අවමංගල්‍ය දැන්වීම් පමණක් විශ්වාස කරන තත්ත්වයට මෙරට ශ්‍රාවක සමාජය පත්ව තිබූ බව අතිශයෝක්තියක් නොවේ.

ජාතික ගුවන්විදුලිය මුහුණ පා සිටි මේ අර්බුදයට විසඳුම ලෙස එවක රජය තෝරාගත්තේ, වෙළෙඳපොළ ආර්ථිකය තුළ රජයේ ප්‍රකට ආර්ථික උපායමාර්ගයමය. එනම්, ගුවන්විදුලි මාධ්‍යයේ ඒකාධිකාරය රජය යටතේම පවත්වාගනිමින් ගුවන්විදුලි සේවාවන් ගුණාත්මකව සංවර්ධනය කරනු වෙනුවට, පෞද්ගලික ප්‍රාග්ධන හිමිකරුවන්ට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ආරම්භ කරමින් ගුවන්විදුලි මාධ්‍යයට ඇතුළුවීමට අවස්ථාව සලසා දීමය. ගුවන්විදුලි මාධ්‍යය තවදුරටත් මහජන සේවාවක් නොව වෙළෙඳපොළක් බවට පත්වීම තුළ මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රාග්ධන හිමිකරුවෝ තම ප්‍රාග්ධනය ආයෝජනය කිරීම සඳහා තවත්, අලුත් ව්‍යාපාර ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තෝරාගත්හ.

‘සිරස’ හෙවත් මහරාජා ආගමනය

1994.03.02 මෙරට විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂ දිනයකි. ඒ, මෙරට පළමු පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව ලෙස මහරාජා සමූහ ව්‍යාපාරය විසින් ‘සිරස එෆ්.එම්.’ නාලිකාව එදින ආරම්භ කිරීම හේතුවෙනි. (මෙම ලිපියේ ආරම්භය සනිටුහන් කළ වීථි නාට්‍යය නිර්මාණය වූයේ ‘සිරස’ නාලිකාව ඇරඹුණු අලුතය. ඒ නාට්‍යයේ වන විරෝධාකල්පය එකී නාලිකාවට හරයාත්මක වශයෙන්ම එල්ල වූවකි.)

සිරස ගුවන් විදුලි නාලිකාව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථාපිත වෙන්නේ ව්‍යාපාරික උපාය මාර්ගයක් – ව්‍යාපාරික න්‍යාය පත්‍රයක් තුළය. එහිදී මහරාජා සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික උපාය මාර්ගය සමග මාධ්‍ය උපාය මාර්ගය සමපාත කළ මහ මොළකරු වූයේ නිමල් ලක්ෂපති ආරච්චි මහතාය. රටක් ලෙස – සමාජයක් ලෙස සවිඥානික තරුණ පරම්පරාවක් ලෙයින් යකඩින් මර්දනයට ලක් වීමෙන් පසු, දේශපාලනය පිළිබඳ දැඩි භීතියකින් පෙළෙන රටක ගොඩනැඟෙන නව යොවුන් පරම්පරාවක කුළුඳුල් සිතිවිලි – සමාජ මනෝභාවයන් – රස වින්දන නිලයන් කළමනාකරණය කිරීමේ මාධ්‍ය වගකීම මෙතැන් සිට දෝත පුරා භාරගත්තේ සිරස ගුවන්විදුලි නාලිකාවයි.

සිරස ගුවන්විදුලි නාලිකාව ඇරඹුණේ ප්‍රධාන වශයෙන්ම වෙළෙඳපොළ සමීක්ෂණ කොට, එවැනි නාලිකාවකට ඇති සමාජමය ඉඩ පිළිබඳ පූර්ව තක්සේරුවක් සහිතවය. එහිදී එම නාලිකාව සියලු දෙනාම සන්තෝෂ කිරීම වෙනුවට, ප්‍රධාන වශයෙන් ‘ඉලක්ක වෙළෙඳපොළක්’ තෝරාගන්නා ලදී. ඒ අනුව අවුරුදු 20 -30 වයස් පරාසයට අයත් තරුණ තරුණියන් එහි ඉලක්ක වෙළෙඳපොළ බවට පත් විණි.

නිවේදන කලාවේ ‘කිංස්ලි සින්ඩ්‍රෝමය’

මෙහිදී, අවුරුදු 20-30 වයස් පරාසය ගුවන්විදුලි මාධ්‍යය වෙත කැඳවාගැනීමට, ඒ වයස් පරාසයේ සමාජ මනෝභාවයන්ට ආමන්ත්‍රණය කිරීමට සාම්ප්‍රදායික ගුවන්විදුලි වැඩසටහන් හැඩතලවලින් වෙනස්, නව වැඩසටහන් ආකෘති සම්පාදනය විණි. මෙහිදී නාලිකාව හා ශ්‍රාවකයා යා කරන පුරුක වන නිවේදක ප්‍රජාව ලෙස පැරණි බරසාර නිවේදක වෘත්තිකයා වෙනුවට, ඒ නව මාධ්‍ය උපාය මාර්ගය හෙවත් වෙළෙඳපොළ උපාය මාර්ගය ජයගැනීමට අවශ්‍ය වූයේ ඉලක්ක ශ්‍රාවක ප්‍රජාව හා සාපේක්ෂව සම වයසේ සිටින නිවේදක ප්‍රජාවකි. ඒ අනුව සිරස නිවේදක ප්‍රජාවෙහි බහුතරය වූයේ පාසලෙන් පිට වූ අලුත තරුණ තරුණියන්ය. සිය ඉලක්ක වෙළෙඳපොළ වූ තරුණ ශ්‍රාවකයාට ඇමතිය හැකි සරල, සැහැල්ලු නිවේදක හැඩයක් මේ සඳහා ගොඩනැගුණු අතර, මුඛරිකම මේ නිවේදක වර්ගයා සතු විය යුතු ප්‍රමුඛ ලක්ෂණය විණි. සමකාලීන තරුණ සමාජය තුළ මේ නව නිවේදක ‘අයියල – අක්කලා’ මාර පොරවල් වීමට වැඩි කලක් ගත නොවීය. එසේම ශ්‍රාවකයින්ට සජීවීව දුරකතන ඇමතුමකින් වැඩසටහනට සම්බන්ධවීමට අවස්ථාව ලැබීම, තවත් සුවිශේෂ ජනප්‍රිය වීමේ ලක්ෂණයක් විණි. මේ නිවේදක සමූහය තුළ කැපී පෙනෙන නිවේදකයා වූයේ ‘කිංස්ලි රත්නායක’ ය. ‘මල් නම් ජයරත්න – ජයරත්න නම් මල්’ සේ, ‘සිරස නම් කිංස්ලි – කිංස්ලි නම් සිරස’ වර්ගයේ අනන්‍යතාවක් ගොඩනැඟු‍ණේ මෙබඳු පසුබිමකය.

කිංස්ලි සිය නිවේදක පෙළහර පෑ පිට්ටනිය වූයේ ‘සූරිය සිරස’ වැඩසටහනයි. නිවේදකයකු ලෙස වේගවත් වචන උච්චාරණය – මුඛරිබව ඔහුගේ අනන්‍යතාව විණි. ඔහුගේ නිවේදක ශක්‍යතාව උරගා බැලීම සඳහා ජාතික ගුවන්විදුලි සේවාවක් ලැබිණි නම්, ඔහුගේ හැකියාව වෙනත් හැඩයකින් හා ගුණයකින් නිර්මාණය වන්නට තිබුනද, ඔහුට හමුවුණු ගුවන්විදුලි මාධ්‍ය නාලිකාව ‘සිරස’ වූ බැවින්, කිංස්ලි රත්නායක නිර්මාණය වූයේ සිරසේ සංස්කෘතික නිෂ්පාදනයක් ලෙස, එහි සංස්කෘතික වෙළෙඳපොළට ගැලපෙන ගුණයකින් හා හැඩයකිනි. සිරස සංස්කෘතික නිෂ්පාදනයක් වූ කිංස්ලි රත්නායක, පශ්චාත් ගුවන්විදුලි නිවේදක පරම්පරාවේ ‘නිවේදක ආදර්ශය’ වූවා පමණක් නොව, ‘කිංස්ලි සින්ඩ්‍රෝමය’ ලෙස හැඳින්විය හැකි තරමට සෙසු තරුණ නිවේදකයින් විසින් ඔහුගේ මුඛරිබව -වේගවත් වචන උච්චාරණය අනුකරණය කිරීමට පටන් ගැනිණි. මෑතක් වන තුරුම, සිය ජීවිතකාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ‘සිරස’ ඇසුරේ ගත කළ ඔහුගේ මාධ්‍ය චර්යාව, මාධ්‍ය දේශපාලන දැක්ම, සමාජ කියවීම ඊට අනන්‍යව ගොඩනැඟී තිබීම නොවැළැක්විය හැක්කකි. ඒ නිසා තවමත් මෙරට සමාජයට නම් ‘මල් නම් ජයරත්න – ජයරත්න නම් මල්’ සේ, ‘සිරස නම් කිංස්ලි – කිංස්ලි නම් සිරස’ ය.

කිංස්ලි රත්නායක මහතාගේ සිරස තුළ ආරම්භක භූමිකාව ‘නිවේදක’ වුවද, ඔහු පසුකාලීනව නිරූපණය කළේ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍ය උපාය මාර්ග සැකසීම සම්බන්ධ ඉහළ මට්ටමේ වෘත්තීය භූමිකා ය. විශේෂයෙන්ම ඉකුත් යුද සමයේ ‘සිරස’ නාලිකාවේ මාධ්‍ය හැසිරීම දෙස නැවත හැරී බැලීමකදී මාධ්‍යයක් ලෙස එය සිටගෙන සිටියේ කා වෙනුවෙන් දැයි ඉතිහාසය මතක අයට රහසක් නොවේ. ඒ මාධ්‍ය මෙහෙයුම තුළ ‘කිංස්ලි රත්නායකලා’ට මහරාජා ආයතනය පඩි ගෙව්වේ පැත්තකට වී බලා සිටීමේ රාජකාරිය සඳහා නොව, ඒ මතවාදය වෙනුවෙන් සිය මාධ්‍ය කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙනි. එසේ මහරාජා ව්‍යාපාරයේ දේශපාලන මතවාදය වෙනුවෙන් සිය මාධ්‍ය වෘත්තීය භූමිකාව ඉහටත් උඩින් නොකරන්නට, කිංස්ලි රත්නායක මහතාට ඉහළ විධායක මට්ටමේ තනතුරු දක්වා උසස්වීම් නොලැබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මෙබඳු පසුබිමක, කිංස්ලි රත්නායක මහතා ‘ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක’ ලෙස ස්ථානගත කිරීම සිදුවන්නේ කාගේ, කුමන අවශ්‍යතාවක් වෙනුවෙන්ද යන්න ගැටලුවකි.

ගුවන්විදුලි කලාවේ FM ප්‍රවණතාව

මහාරාජා ආයතනය සිරස නාලිකා ඇරඹීමෙන් වසර හතරකට (4) පසුව, 1998 අගෝස්තු 01 දින ආසියානු ගුවන්විදුලි ජාලය විසින් ‘හිරු’ ගුවන්විදුලි නාලිකාව ආරම්භකරන ලදී. සිරස නාලිකාව විසින් ආරම්භ කරන ලද විනෝදාස්වාද සංස්කෘතිය මෙම නාලිකාව සඳහාද පදනම් වූ අතර, ඉලක්ක වෙළෙඳපොළ වූයේ තරුණ ප්‍රජාවයි. සුදේව හෙට්ටිආරච්චි නිවේදක මහතා සංස්කෘතික නිෂ්පාදනයක් ලෙස ගොඩනැඟෙන්නේ ‘හිරු’ ගුවන්විදුලි නාලිකාව තුළිනි. පසුකාලීනව එම නමින්ම ආරම්භ වූ රූපවාහිනී නාලිකාව තුළ සුදේව මහතාගේ මාධ්‍ය ජීවිතයේ ඊළඟ අදියර ඇරඹිණ.

2001 -2004 එ.ජා.ප. ආණ්ඩුව පැවති කාලවකවානුවේදී රජයේ ගුවන්විදුලි නාලිකාද, පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පැවති ‘සිරස’ හා ‘හිරු’ යන ප්‍රමුඛ ගුවන්විදුලි නාලිකාද එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතිය නඩත්තු කරන්නට එකම පෙරමුණක සිට ක්‍රියාත්මක වූ ආකාරය මෑත කාලීන මාධ්‍ය ඉතිහාසය විමර්ශනය කිරීමේදී දක්නට ලැබේ. එවක එ.ජා.ප. ආණ්ඩුවේ දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වෙමින් පැවති අවධියේ ඒවාට එරෙහිව සමාජයේ පැන නැඟුණු මතවාදවලට වේදිකා සපයන්නට මේ ‘ස්වාධීන’ මාධ්‍යවලට අවශ්‍යතාවක් නොතිබිණි. ‘හිරු’ අයත් ප්‍රාග්ධන හිමිකාරීත්වයේ දේශපාලන චලනයන් අනුව ‘හිරු’ නාලිකාව පසුකාලීනව එ.ජා.ප. ව්‍යාපෘතියෙන් බැහැරව, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහයෝගය දැක්වීම ඇරඹිණි.

කෙසේ හෝ සුදේව හෙට්ටිආරච්චි මහතා සමාජය තුළ වඩාත් ඉස්මතු වූයේ ඔහු ‘හිරු’ නාලිකාව තුළ දේශපාලන සංවාද වැඩසටහන් මෙහෙයවීමට පටන් ගැනීමත් සමගිනි. ඊට අමතරව ඔහු ආයතනික වශයෙන්ද එහි මාධ්‍ය උපායමාර්ග සකස් කිරීමේ ඉහළ විධායක තනතුරු දක්වා වෘත්තීය ගමනක් ගොස් තිබිණ. මෑතක් වන තුරුම, සිය ජීවිතකාලයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ‘හිරු’ ඇසුරේ ගත කළ ඔහුගේ මාධ්‍ය චර්යාව, මාධ්‍ය දේශපාලන දැක්ම, සමාජ කියවීම ඊට අනන්‍යව ගොඩනැඟී තිබීම නොවැළැක්විය හැක්කකි. ඒ නිසා තවමත් මෙරට සමාජයට නම් ‘මල් නම් ජයරත්න – ජයරත්න නම් මල්’ සේ, ‘හිරු නම් සුදේව – සුදේව නම් හිරු’ ය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ‘සුදේව’ සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ‘කිංස්ලි’

එහෙව් සුදේව හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්, එහෙව් කිංස්ලි රත්නායක, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් පත්වීම මෙරට දේශපාලනික වශයෙන් සවිඥානික ‘ජනතාව’ අන්ද මන්ද කළා යැයි කිවහොත් පුදුමයක් නොවේ. ඇතැම් විට ‘තිලක් කුමාර රත්නායක’ නිවේදක මහතා සිටි තනතුරකට ‘සුදේව හෙට්ටිආරච්චි’ නිවේදක මහතා හෝ ‘කිංස්ලි රත්නායක’ නිවේදක මහතා පත් වී නම්, ඒ ආදේශනය ගැන කිසිවකුටත් ගැටලුවක් ඇති නොවන්නේය. එහෙත් මීට පෙර ‘ජනාධිපති මාධ්‍ය අංශයේ’ ඒ තනතුර හෙබවූ වෘත්තිකයාට සාපේක්ෂව, මෙම ස්ථානගත කිරීම අදහාගැනීමට බැරි සිදුවීමක් විණි.

‘ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්’ තනතුරෙහි මීට පෙර සිටියේ මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ මොහාන් සමරනායක මහතාය. මොහාන් සමරනායක යනු අන්තර්ජාතික දේශපාලනය හා ලාංකේය දේශපාලනය සම්බන්ධ නිවැරදි කියැවීමක් – නිවැරදි විශ්ලේෂණයක් සහිත පරිණත මාධ්‍ය වෘත්තිකයෙකි. ඉකුත් යුද සමයේ මෙරට ජාතික ප්‍රශ්නයට අදාළ සමකාලීන ජාත්‍යන්තර සම්බන්ධතා සහ පසුබිම පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක යෙදී සිටි මෙරට ප්‍රමුඛතම මාධ්‍යවේදියා වූයේ මොහාන් සමරනායක මහතා බව විවාද රහිතය. එවකට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේ තොරතුරු නිලධාරියා වශයෙන් කටයුතු කළ අතර, එවක ඔහු විසින් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී දක්වා තිබූ අදහසක් නිසා (කොටි සංවිධානය සම්බන්ධව ඇමරිකාව හා බටහිර රටවල හැසිරීම පිළිබඳව) සිය රැකියාවද අවදානමට ලක් වූ වෘත්තිකයෙක් විණි. ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානියා ලෙස එබඳු පුළුල් වෘත්තීය පසුබිමක් සහිත, මතවාදී දැක්මක් සහිත, පරිණත පුද්ගලයකු ලෙස මොහාන් සමරනායක මහතාගේ පත්වීම තර්කානුකූල වන අතර, ඒ පිළිබඳව කිසිවකුටත් කුකුසක් – විවාදයක් තිබිය නොහැකිය.

අනෙක් අතට, ලංකාවට අන්තර්ජාතික වශයෙන් තවමත් යුද සමයට අදාළ මානව හිමිකම් චෝදනා එල්ල වන පසුබිමක, ලංකාවට එරෙහිව විවිධ භූ දේශපාලන සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ජාතික හා අන්තර්ජාතික දේශපාලනය ගැන මෙන්ම, මාධ්‍ය දේශපාලනය පිළිබඳවද දැක්මක් හා ගැඹුරු කියැවීමක් සහිත වෘත්තිකයකුගේ පුළුල් කාර්යභාරයක් ‘ජනාධිපති මාධ්‍ය අංශයට’ අත්‍යවශ්‍ය මොහොතක මෙබඳු පුද්ගලයන් දෙදෙනෙකුට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? ලාංකේය මාධ්‍ය වෙළෙඳපොළ තුළ සිය රූපවාහිනී / ගුවන්විදුලි නාලිකාවට හිමි වෙළෙඳපොළ කොටස වැඩි කරගැනීමට මාධ්‍ය උපාය මාර්ග තේරීමට වඩා ජනාධිපතිවරයාගේ මාධ්‍ය දේශපාලන උපායමාර්ග සකස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ සඳහා හුදු මාධ්‍ය ආයතන තුළ වයසට යාම ප්‍රමාණවත් නොවේ. ජාතික හා අන්තර්ජාතික දේශපාලනය පිළිබඳ තියුණු සංවේදීතාවක්ද, විශ්ලේෂණ හැකියාවක්ද තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. නමුත් එබඳු ප්‍රවීණත්වයක් – දැක්මක් මෙම මහත්වරුන් දෙදෙනාගේ ඉතිහාසය තුළ අපි නොදකිමු.

එසේම පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස කිංස්ලි රත්නායක මහතා විසින් ජනමාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය නිසා (ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත සයිනොපාම් එන්නත මෙරට ජනතාවට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර දෙනු ලැබූ බව) ඇති වූ වියවුල දකින විට සිහියට නැඟෙන්නේ රජතුමාගේ ඇඟේ වැසූ මැස්සාට කඩුවෙන් කෙටූ වඳුරාගේ පැරණි කතාවය. මෙබඳු ත්‍රාසජනක විහිලු, ඉල ඇදෙන්නට සිනා යන ඛේදවාචක, බිහිසුණු ප්‍රේම ජවනිකා ඉදිරියේදී තව දුරටත් බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. නමුත් කනගාටුවට කරුණ නම්, ඉන් විහිලුවක් බවට පත්වන්නේ රට හා ජනාධිපතිවරයා මිස මෙම මාධ්‍ය දෙබෑයන් නොවීමය.

‘ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්’ ලෙසත්, ‘ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක’ ලෙසත් වැඩිවියට පත්වීම තම මාධ්‍ය ජීවිතවල කූට ප්‍රාප්තිය ලෙස තම තමන්ට ස්වයං අභිමානයක් විඳීමට නිමිත්තක් වුවද, රටට හා එම තනතුරුවල වගකීම්සහගතභාවයට සාපේක්ෂව ගත්විට එය විහිලුවකට වැඩි යමක් නොවේ. ‘සිරස’ හා ‘හිරු’ ඇතුළේ වයසට යාම එකී මාධ්‍ය ව්‍යාපාරික පරිසරයට සාපේක්ෂව පරිණතකමක් වුවද, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක වැනි සුවිශේෂ ජාතික වගකීමක් සහිත තනතුරුවලට සාපේක්ෂව පරිණතකමක් නොවේ.

කිංස්ලි රත්නායක මහතාටත්, සුදේව හෙට්ටිආරච්චි මහතාටත් මෙරට නූතන මාධ්‍ය වෙළෙඳපොළ තුළ නිසැකවම තැනක් ඇති බවට විවාදයක් නැත. ඔවුන් ඒ ඕනෑම තැනකට සුදුසු බවටද විවාදයක් නැත. නමුත් ඔවුන් දෙදෙනාට හිමි තැන කිසිසේත්ම ‘ජනාධිපති මාධ්‍ය අංශය’ තුළ නැත. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හා / හෝ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක විය යුත්තේ ‘හිසක්’ මිස ‘කටක්’ නොවේ. ඒ නිසා රට්ටුන්ට නම් තවමත් ‘මල් නම් ජයරත්න – ජයරත්න නම් මල්’ සේ, ‘සිරස නම් කිංස්ලි – කිංස්ලි නම් සිරස’ ය. ‘හිරු නම් සුදේව – සුදේව නම් හිරු’ ය.

Prabath Chinthaka Meegodage

[ patayakagepituwa.blogspot.com ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.