රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට

*********************************************

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම නියාමනයට

(15.05.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ලබන සඳුදා (17) සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරිය සමඟ එක්ව දියත් කරන එම වැඩපිළිවෙල සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇති බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

බොහෝ කොරෝනා ආසාදිතයින් මේ වනවිට නිවෙස් තුළ පසුවන්නේ රෝහල් තුළ ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙනුයි.

රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කළද පුද්ගලයෙකුට රෝග ලක්ෂණ මතුවුවහොත් ඔවුන්ව රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවයි කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.

+++++++++++++++++++++++++

(15.05.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඩලීමේ අරමුණින් ලබාදෙන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා මේ වනවිට පුද්ගලයින් 1,216,677 දෙනෙකුට පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඒ අනුව 925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 276,762 ක්.

මේ වනවිට 14,673 දෙනෙකුට ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය සඳහන් කළේ පුද්ගලයින් 256,004 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති බවයි.

සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2,435 ක් ෴

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1352 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117,220 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++++

(15.05.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1786 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 139,871 ක් ලෙසටයි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1352 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117,220 ක් දක්වා ඉහළ ගියා.

පුද්ගලයන් 21,730 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙරටින් කොරෝනා මරණ 921 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(15.05.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී ප්‍රාදේශීය වශයෙන් එළවළු, පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරිවරයා හරහා ලබාගත් අවසර පතක් මගින් ඒවා අලෙවි කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීවරුන්ට ඊට අවශ්‍ය උපදෙස් පසුගිය 10 වනදා නිකුත් කළ බවයි.

මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවල ගොඩගැසී ඇති එළවළු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් හටද ඒ සඳහා අවසර පත්‍රයක් මගින් අවස්ථාව සළසා දී ඇති බවයි.

පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, හෙට (16) සිට පිටකොටුව තොග වෙළඳ හුවමාරුව තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබීමට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානවලට අද (15) දිනයේදීත් එළවළු තොග රැගෙනවිත් තිබුණද ඒවා මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් පැමිණ නොමැති බවටයි මීගොඩ සහ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

++++++++++++++++++++

(15.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණෙන් සිදුකරන එන්නත් ක්‍රියාවලිය අද (15) දිනයේත් ස්ථාන කිහිපයකදීම පැවැත්වුණා.

බොහෝ ප්‍රදේශවල එන්නත් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව දෙලක්ෂ පනස් හයදහස් හතරදෙනෙකුට (2,56,004) ලබාදී ඇති අතර, සිනොෆාම් එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,76,762 ක්. ඊයේ (14) දිනය තුළදී පමණක් සිනොෆාම් එන්නත් මාත්‍රා 61,882 ක් ලබාදී තිබෙනවා.

ස්පුට්නික් වී එන්නත මේ වනවිට පුද්ගලයින් 14,673 කට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

එසේම කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ එන්නත්කරණ වැඩසටහන යටතේ කර්මාන්තශාලා 5 ක සේවකයින් 500 දෙනෙකුට අද (15) සිනොෆාම් එන්නත ලබාදීම සිදුකෙරුණා.

ඒ, නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහය ද ඇතිවයි.

(15.05.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණ සිදුකරන තම සංගමයේ සාමාජිකයින්ට සතියක් තුළ එන්නත් ලබා නොදුනහොත් සේවා කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනුර හේරත් මහතා මේ බව කියා සිටියා.

එමෙන්ම තිස්සමහාරාම සඳගිරි වැඩිහිටි නිවාසයේ 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර ද එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ අතර, මේ වන විට ඉන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13 ක්.

එමන්ම කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1352 නෙකු අද (15) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,17,220 ක්.

මේ අතර, අද (15) දිනයේ මේ දක්වා අලුතින් කොරෝනා ආසාදිතයින් 1,786 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,39,871 ක් දක්වා ඉහළ ගියා ෴

(15.05.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 1 වන දා සිට මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 400 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 317 ක්ම සිදුව ඇත්තේ අප්‍රේල් 15 වන දා සිට මේ දක්වා මාසයක කාලයක් තුළ වීම විශේෂත්වයක්.

මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 921 ක් වාර්තාවී ඇති අතර, ඉන් මරණ 717 ක් හෙවත් සියයට 77.85 ක්ම සිදුව ඇත්තේ මෙම වසරේ පළමු (1) මාස හතර හමාරක (4½) කාලය තුළයි.

මෙරටින් පළමු කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වූ දිනයේ සිට මෙම වසරේ (2021) ජනවාරි පළමු (01) වන දා දක්වා මාස 8 ක් තුළ කොරෝනා මරණ 204 ක් වාර්තා වී තිබෙනවා.

එසේ වුවද පසුගිය අප්‍රේල් 15 වන දා සිට ගතවූ මාසය (1) තුළදී මරණ 317 ක් වාර්තා වීම තුළ මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 34.4 ක් ලෙසයි ඉහළ ගොස් ඇත්තේ.

පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ මාසයක් (1) තුළ මෙරට කොරෝනා මරණ ප්‍රතිශතය සියයට 2.76 ක් ලෙස දැක්වෙන අතර දෙවන (2) රැල්ල අවස්ථාවේ එය මාසයකට සියයට 10.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රතිශතය මේ වන විට සියයට 34.4 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අප්‍රේල් මස 15 වන දා සිට මේ දක්වා මාසයක් තුළ කොරෝනා මරණ 317 ක් වාර්තා වීමත් සමඟයි.

මේ මස (මැයි) පළමු වන දා (01) සිට මේ දක්වා දෛනිකව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ (14) දිනය වන අතර, එම සංඛ්‍යාව 29 ක්.

මැයි 10 වන දා මරණ 26 ක්, 13 වන දා මරණ 24 ක්, 11 වන දා මරණ 23 ක්, වාර්තා වී තිබෙනවා.

ගත වූ දින 5 ක කාලය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 120 ක් ෴

+++++++++++++++++++++

(15.05.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 585 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (15) දිනයේ වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2371 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට ආසාදිතයන් 140,471 ක් හමුවී ඇති අතර ඉන් 22,330 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 117,220 ක්.

මෙරටින් කොරෝනා මරණ 921 ක් ද වාර්තාවුනා ෴

++++++++++++++++++++++

සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා ආයුර්වේද රෝහල් වලට ලෙඩුන් ඇතුලත්කර ගැනීමට අනුමැතිය ලබාදීමට තාමත් කටයුතු කර නැහැ – හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි

(15.05.2021 – 21:08 +0530 – lankaleadnews.com)

සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් ආයුර්වේද රෝහල් වලට කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් ඇතුලත් කර ගැනීමට අනුමැතිය ලබා දීමට මෙතෙක් කටයුතු කර නැති බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා චෝදනා කරයි.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා

චීනය වැනි රටවල් කොවිඩ්-19 වෛරස් වසංගතය පාලනය කිරීම පිණිස එම රටවල පවතින සම්ප්‍රදායික වෛද්‍යය ක්‍රම භාවිත කළ බව ලොවම පිළිගත් සත්‍යයක් බව පවසන හිටපු ආයුර්වේද කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු ආයුර්වේද ශික්ෂණ රෝහල් සහ පළාත් රෝහල් වල ඇඳන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සහ කාර්ය මණ්ඩලය සූදානමින් සිටියද මෙම නිළධාරින් දෙපලගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝගීන් සුවපත් කිරීමට තිබෙන අවස්ථාව දිනෙන් දින කල් යන බවට චෝදනා නගයි.

‘ලංකා ලීඩ්’ පුවත් වෙබ් අඩවිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිමල් කරුණාසිරි මහතා අවධාරනය කර සිටියේ ජීවිත බේරාගතව තිබියදී මියයන අසරණ රෝගීන්ගේ ජීවිත වලට වගකීම මේ නිළධාරින් දෙදෙනා (2) විසින් භාර ගත යුතු බවයි.

අප වෙත අදහස් දැක්වූ ආයුර්වේද වෛද්‍යයවරුන් පිරිසක් පවසා සිටියේ කොවිඩ් ආසාදිතයන් මිය යාමට ඉඩ දී රජය සහ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍යය අධ්‍යයක්ෂක ජනරාල්වරයා සිටිනවාදැයි සැක සිතෙන ආකාරයට එම දෙපල හැසිරෙන බවයි ෴

++++++++++++++++++

‘රට ඉවරයි.. ඉතුරු ටිකවත් බේරගන්න පණ්ඩිතයිනි මෙහෙම කරන්න..’ ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බියකරු හෙලිදරවුවක්…

(16.05.2021 – 00:02 +0530 – lankacnews.com)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු වෙත යොමු කළ පණිවිඩයක් උපුටමින් ගම්පහ ලීසන්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපක්ෂ මහතා විසින් තමන් සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

= රට ඉවරයි. ඉතුරු ටිකවත් බේරගන්න පණ්ඩිතයිනි මෙහෙම කරන්න =

මෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ මුහුණුපොත වෙත යොමු කල පණිවිඩය සිංහලෙන් මෙසේය :

උපුටා ගැනීම ආරම්භය

“ගම්පහ රෝහලේ තත්වය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට හැරෙමින් පවතී. සාමාන්‍ය වාට්ටුවේ පවා ඔක්සිජන් අත්‍යවශ්‍ය රෝගීන් 14 ක් සිටිනවා. තවම අවශ්‍ය යන්ත්‍ර නැහැ ඒ අයට.

ඊයේ වෙනතුරු බිත්ති ඔක්සිජන් යන්ත්‍ර තිබුනේ නැත. ඊයේ එය සකස් කර ගත්තේ යම් අනුග්‍රාහක පිරිසකගේ පිහිටෙනි. මෙවැනි අනුග්‍රහයන් මගින් තව බොහෝ දේ කල යුතුව ඇත.

මාගේ ඒක රෝගියයෙකුට යන්ත්‍රයක් අවශ්‍ය නිසා ICU දැමිය යුතුව ඇත. නමුත් ICU පිරිලා නිසා ඔහු පෝලිමේ සිටියි. රටේම ICU පෝලිම් ඇත. ඔහු එහි 14 වෙනියාය.

මම ඊයේ මුලු වාට්ටුව පුරාම රෝගීන් බැලුවෙමි. මෙම ලෙඩුන් බලා ගැනීමට අවශ්‍ය තරම් පිරිස නැති බව දැක කණගාටු වුනෙමි. ඔවුන්ගේ පෝෂණය ලබාදීම්, සනීපාරක්ෂාව ලබාදීම ඉතා අසීරුය.

ඊයේ වයස්ගත රෝගියෙකු මියගිය අතර ඊට පෙර දින දෙදෙනෙකු මිය ගියා. අපට මේ 50 කට ආසන්න සියලුම රෝගීන් සඳහා අධි වේගී ඔක්සිජන් සපයන යන්ත්‍ර දෙකක් ඇති අතර NIV (බට ඇතුලට නොදමා ඔක්සිජන් ලබා දෙන යන්ත්‍ර) එකක් ඇත. මෙම සියලු රෝගීන් ගෙන් 20% පමණ ඔක්සිජන් ගැලවීමට නොහැකිය. ගැලවු විගස ඔවුන් මියයනු ඇත.

ඊයේ එකක් රෝගියෙකු පෙනහලු ගර්ථයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය විය. මෙම ක්‍රමය තුල විශේෂ ICD (හද ගැස්ම නිරීක්ෂණය කරන ගමන් වෙනසක් ආ විට විද්‍යුත් තරංග යවා එය නිවැරදි කිරීම) දමා නිරීක්ෂණය කිරීම සිහිනයකි. අපිට ඇති රිදී රේඛාවක් නම් ඉතා මහන්සියෙන් කැපවීමෙන් නොකඩවා වැඩකරන නිර්භය ජ්‍යෙෂ්ඨ ලේඛාධිකාරි විශේෂඥ වෛද්‍ය වරු දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර සේවයට ලැබී තිබීමයි. ඔවුන් ගෙන් එක් අයෙකුගේ සහෝදරියක් එංගලන්තයේ සිටින අතර මේ තත්වය අසා දැනගත් ඇය ඔක්සිජන් සිලින්ඩරයට ගසා ඔක්සිජන් ලබා දෙන පාලක උපකරණ දහයක් මිලදී ගැනීමට වහාම ඊයේ රාත්‍රියේම මුදල් එව්වාය. එසේ නොවුවා නම් අපට මහා ව්‍යසනයක් විය හැකිව තිබුනි”

උපුටා ගැනීම අවසන්

කොවිඩ් පැතිරීම වළක්වා ගෙන රට ආරක්ෂා කර ගැනීමට පසුගිය වසර පුරාම මාගේ මුහුණු පොතේ සහ වෙබ් පුවත්පත් වල සිය ගනන් ලිපි පලකලත්, අවශ්‍ය තැන් වලට යොමු කළත් ඒවාට නිසි අවධානයක් නොලැබ නොදුටු, නොඇසූ ආකාරයට සිටි සෞඛ්‍ය බලධාරීන් ඔවුනොවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කලා මිස රට බේරා ගැනීමට ක්‍රියාකලා දුටුවේ නැත. එය දැන් ඇස් ඉදිරිපිට ඔප්පු වී හමාරයි. දැන් අප ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය බලමු. ඉන්දියාව අපට හොඳම ආදර්ශයයි.

කොවිඩ්රෝගය පැතිරීම වැලැක්වීමට අපි අසමත් වූවෝ වෙමු. ‘රට වහලා බැහැ’ කියපු අය දැන් රටේත් නැත. දැන් අපි මේ සිදුවන මරණ වළක්වමු.

  1. පොසිටිව් රෝගියෙකු ගැන දැන්වීමට පොදු අංක තුනේ දුරකතන අංකයක් වෙන් කරන්න. එතැනින් අවශ්‍ය දිසාවට පණිවිඩය යවන්න සලසන්න.
  2. රෝගීන් ප්‍රවාහනය සඳහා සුදුසු වාහන බහුල ලෙස සකස් කරමු. ගිලන් රථ විතරක් නොව වෑන් වුවද සකසා ගනිමු. ඒවාට මුදල් ගෙවා ලබා ගත හැකි අයට එසේ කරන්න ඉඩ දෙමු. පොසිටිව් වුනත් ස්වසන අපහසුතා නැති අය ගෙදර තියමු. තද නිරෝධායනය නීති ක්‍රියාත්මක කරමු. ස්වසන අපහසුතා ඇති රෝගියෙකු ගැන දැන්වූ විට එම රෝගියා ස්වසන අපහසුතා වලින් පෙලෙයි නම් වාහනයක් එවා කලින් සූදානම් කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කට යැවිය යුතුය. වාහන රාශියක් අවශ්‍යයි. රෝහලුත් රාශියක් අවශ්‍යයි.
  3. හමුදාවේ ඇඳන් වැඩි කිරීමේ ආකල්පය නිසා අපට ඉන්දියාවේ මෙන් ඇඳක් ලබා ගැනීම සඳහා මග වැතිරී, කාර්වල හෝ ත්‍රිරෝද රථවල දිග ඇදී විලාප දෙමින් ආයාචනා කරමින් සිටිය යුතු නොවේ. හැකි තරම් රෝගි ලක්ෂණ ඇති අපහසුතා ඇති රෝගීන්ට පමණක් ඇඳක් ලබා දෙමු. තූත්තුකුඩියෙන් හෝ ඇඳක් දෙමු. එනිසා අසීමිත ලෙස දහස් ගනන් වලින් ඇඳන් වැඩි කරමු. දැනට ඒ සඳහා රණවිරුවන් කරන සේවය අගයමු.
  4. හැකි තරම් ඔක්සිජන් නිපදවා හෝ ආනයනය කර අසීමිතව ගබඩා කර තබා ගනිමු. හැකිනම් ඔක්සිජන් ප්ලාන්ට් එම රෝහල් පරිශ්‍රයේ ම සවිකර නිපදවනු. සුළු පරිමාණයේ ඔක්සිජන් නිපදවන්නන් ගෙන් තත්ව පරික්ෂා කල ඔක්සිජන් ලබා ගමු.
  5. හැම ඇඳකටම ඔක්සිජන් සිලින්ඩර් එක බැගින්ද ඒවාට සවිකරන ඉහත සදහන් කල පාලක උපකරණයක් බැගින්ද සූදානම් කරමු.
  6. දිවයින පුරා ඇති ICU ඇඳන් ගැන , සජීවි වාර්තා තබා ගනිමු. හිස්වෙන තැන්, හිස් වෙන අයුරු දැක ගනිමු. Uber එසේ කරනවා නම් අපිට බැරි ඇයි. ඒ සඳහා තාක්ෂණවේදී සහය ගනිමු.
  7. අධි වේගී හා බිත්ති ඔක්සිජන් ලබා ගැනීමට, ICU ඇඳන් හැකිතරම් වැඩිකර ගැනීමට අනුග්‍රහය දක්වන අය සොයා ගැනීමට මාධ්‍යවල පිහිට පතමු. මේ නිර්ලජ්ජිත මාධ්‍ය දැන්වත් මෙයට උදව් කරනවාද කියා බලමු. රෝගය පතුරවන්න විවිධාකාර කෝලම් සූදානම් කල ඔවුන් මෙසේ රෝගීන්ව බේරාගැනීමට උදව් නොකලොත් ඔවුන් මනුෂ්‍යවර්ගයාගේ සතුරන් ලෙස සලකමු. මේ කෝලම් වැඩ සටහන් නවත්වා – දේශපාලකයින්ගේ කෙරුම් හා කයිවාරු නවත්වා මේ දේවල් කරන්න. ඔවුන්ගෙන් කොවිඩ් මර්ධනයට ලැබුනේ ඇල්පෙනෙත්තක තරම් සේවයකි. බොරු නම් පසුගිය වසර පුරා ඔවුන්ගේම ප්‍රවෘත්ති ආපසු බලන්න. දේශපාලකයන්ගේ කෙරුම් – වාද විවාද හා මිනිසුන් සැබෑ ලෝකයෙන් වෙන් කර සිහින ලෝකවල රඳවන වැඩ සටහන් හැර මේ රෝගය ගැන වැඩ සටහන් තිබුනේ කීයද? පක්ෂ විපක්ෂ ධනවතුන්ටත් දැන් පුලුවන් රට වටා ගොස් මේ උදව් උපකාර වැඩි දියුණු කරන්න. ඔවුන්ගේ හැකියාව පරිත්‍යාගශීලි බව දැන් පෙන්වන්න.
  8. කොවිඩ් තව දුරටත් පැතිරීම වැලැක්වීමට මේ අයුරින් තද ලොක්ඩවුන් ඇතිකරමින් දුප්පතුන්ගේ පිහිටට ආධාර ලබාගත යුතුව ඇත. සියලු වියදම් නවත්වා මාසයක කාලයක් මෙලෙස ලොක්ඩවුන් කලොත් වෛරසය අක්‍රිය වී එය පාලනය කල හැකි මට්ටමකට පැමිනේ.
  9. ඒ අතර එන්නත් ලබා දීමේ වත්මන් ක්‍රමය වහා නවතා ආරක්ෂා කාරී ලෙස ඔන්-ලයින් ක්‍රමයකට ඒවා ලබා දීමට කටයුතු කරන්න. නැතිනම් රෝගය තවත් පැතිරේවි. මෝඩ ලෙස අක්‍රමවත් ලෙස සෙනග රැස් කිරීම භයානක බව අමනයන්ට නොපෙනේද? තව තවත් එන්නත් මිලදී ගැනීමට උත්සාහ කරන්න. හැකිනම් පුද්ගලික අංශයට හැකි අයුරකින් ඒවා ලබා ගැනීමට ඉඩ දෙන්න. ‘ඇෆ්ලටොක්සින් පොල්තෙල්’ මෙන් නොව තත්ව පරික්ෂා කර ඒවා ගෙන්වීමට අවසර දෙන්න.
  10. මා නිතර නිතර කියු ලෙස පුටු රත්කරන නිද්‍රාශීලී සෞඛ්‍ය බලධාරින් එලවා, සක්‍රියව බිම් මට්ටමේ සිට වැඩ කල හැකි අය පත්කර ගන්න. එහෙයියෝ නොව සටන් කාමින් රටට හොඳ ය.
  11. ඔක්සිජන් දෙන්න පුහුණු හෙදියන්ම යෙදවිය නොහැක. වැඩ කරන හැටි කියාදී පුහුණු වන හෙදියන් සහ හමුදාවල අයට මේක බාර දෙමු. ඉන්දියාවෙ නම් රෝගියා වටේ ඉන්න අයයි දෙන්නෙ. ඒ විතරක් නොවේ හෘද මසාජ් දෙන්නෙත් වටේ ඉන්න අයයි.

මේ රට ඉවර වෙන්න ඇත්තේ තව ටිකයි. විපක්ෂ පක්ෂ සියලු දෙනාටයි මේ පණිවිඩය. ‘අරහෙම කලා නම් හොඳයි, වැරැද්ද මෙයාගෙ, අපි හිටියනං මෙහෙම වෙන්නෙ නැහැ’ වගේ පුහු වහසිබස් නොදොඩා සියල්ලන් එකමුතුවී රට බේරා ගැනීමට දැන් වැඩ නොකලොත් ඔය ලොකු ලොක්කෝ, පක්ෂ විපක්ෂ හා අපි ඔක්කොම ලඟදීම දුම් රොටු ලෙස අහසට යාවි ෴

+++++++++++++++++++

ICU ඕනෑ… ඔක්සිජන් ඕනෑ.. වෙන්ටිලේටර් ඕනෑ.. දානපතියනි අපට උදවු කරන්න.. පොඩි දෙයක් හරි දෙන්න.. – සුදර්ශිනී රටෙන්ම අයදී…

(15.05.2021 – 22:23 +0530 – lankacnews.com)

කොරෝනා පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි මෙරට දානපතියන් ඉල්ලා සිටින බව කොරෝනා පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියි.

අද වන විට රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම්, කෘතිම ස්වසන ආධාර යන්ත්‍ර ඇතුළු උපකරණ අවශ්‍ය වී ඇතැයිද ඇය කියා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප‍්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

කොරෝනා පාලන වැඩසටහන අනුව ස්ථාපිත කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මෙම ඉල්ලීම කලාය.

++++++++++++++++++++

පිළියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..- පිළියන්දල අතිරේක සෞ.වෛ.නි.

(16.05.2021 – 12:00 +0530 – lankacnews.com)

ආසාදිතයන් තරමක් පහළ ගිය ද පිළියන්දල ඇත්තේ බරපතළ අවදානමක බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය මත පිළියන්දල පමණක් නොව රටම වසා දැමිය යුතු බවද පවසන ඔහු එසේ නොකළහොත් මේ ප්‍රශ්නයෙන් ගැලවීමක් නැතැයිද කියා සිටී.

අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

++++++++++++++++++++++

බටහිර වෛද්‍යවරයා බටහිර ක්‍රමයට දෙන කනේ පහරක් – විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා (15.05.2021)

https://www.youtube.com/watch?v=VvfXzXXvgRU

+++++++++++++++++++++++

හෙළ සංස්කෘතිය විනාශ කරමින් සංවර්ධනය කියා අප ගෙන යන්නේ කොයිබට ද? – ආචාර්‍ය්‍ය සූරිය ගුණසේකර (16.05.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *