රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක්

රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක්

*********************************************

රසායනික පොහොර ගෙන්වූ සමාගම්වලට ජනපතිගෙන් දැනුම්දීමක්

(12.05.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් අතර ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.

පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බව ද ඔහු සඳහන් කළා.

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම’ තේමා කරගෙන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා කියසිටියා.

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ අතර එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වුණා.

මෙය අපහසු අභියෝගාත්මක ක්‍රියාවක් වුවද නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය වුවද අවසානයේ දී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූ ආකාරයෙන් සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බවයි ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් කියාසිටියේ.

හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

******************************************

(12.05.2021 – 017:42 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරි පිට විරෝධතා ව්‍යාපාරයක නිරත වුනා.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ලෙබනන තානාපතිවරිය වන ශානි කල්යාණරත්න ඉවත් කරන ලෙසයි.

වත්මන් ලෙබනන් තානාපතිවරිය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිලිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවටත් ඔවුන් චෝදනා කරනවා.

ලෙබනන තානාපති කාර්යාලයට අපක්ෂපාතී සේවක මඩුල්ලක් සහ තානාපතිවරයෙක් එවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම තමන් උපයන මුදල් මෙරටට එවීමට විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසටත් ඔවුන් ඉල්ලා සිටිනවා.

තමන් මීට පෙර ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 100 ක් එවීම සඳහා ලෙබනන් පවුම් 150,000,00 පමණක් වැය කළ බවත් නමුත් දැන් ඒ සඳහා ලෙබනන් පවුම් 1,200,000,00 ක් පමණ අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට හේතු වී ඇත්තේ ලෙබනනයේ සිට මෙරටට මුදල් එවීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම නිසා.

******************************************

(12.05.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල පස්සර මාර්ගයේ 2 කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් රියදුරු මියගොස් තවත් දස (10) දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල නගරයේ සිට ගැනර්පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදියි.

වෑන් රථයේ රියදුරු යම් කිසි කටයුත්තකට වෑන් රථය නවතා ඉන් බැස ගොස් ඇත්තේ රථයේ අත් තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් තොරවයි.

කෙසේ වෙතත් ඉන් පසු අත් තිරිංග ක්‍රියාත්මක නොකර ඇති බව දුටු ඔහු නැවත දුව ගොස් හදිස්සියේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

බදුල්ල පොලිසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

******************************************

(12.05.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ගල්කොරියක් පවත්වාගෙන යාමට අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය නියම කළ වසර 5 ක සිරදඩුවමට එරෙහිව හිටපු අකුරණ ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් නියාස් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළා ෴

******************************************

(12.05.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා පොහොර සඟවා තිබූ රාජාංගනය ප්‍රදේශයේ ගබඩාවක් ප්‍රදේශවාසීන් විසින් වටලනු ලැබුවා.

අදාළ වැටලීමත් සමග ප්‍රදේශවාසීන් හා එම ව්‍යාපාරිකයා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයයේ පිහිටි බකමූණ, කුරුවියාය ගොවි සන්විධානය යටතේ මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය අක්කර 300 කට අධිකයි.

එහෙත් කුඹුරු සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙතෙක් නොලැබීමත් සමග එම ගොවිජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා ෴

******************************************

මීරිගමදී පොලිස් වෙඩි පහරින් ‘කොස්ගොඩ තාරක’ මරුට

(13.05.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාස භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’, මීරිගමදී ‘පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

++++++++++

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

(13.05.2021 – 06:12 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර’ නොහොත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක දී පොලීසිය ගිනිඅවි මඟින් සිය බලය පාවිච්චි කිරීමේ දී 34 හැවිරිදි සැකකරු තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

කෙසේවෙතත් එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුගේ මරණ පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන 7 ක්, කොල්ලකෑම් 21 ක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් මෙන්ම එම කටයුතු සංවිධානය කළ අයෙක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මොහු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳසැලක් කොල්ලකෑමට නායකත්ව දී තිබු අතර, එහිදී පොලිස් නිලධාරීයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකර තිබුණි.

https://www.youtube.com/watch?v=QfZ1fi-JeH8#t=5

@@@@@@@@@@@@@@@@

(12.05.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරුණ ද, හෙට (13) දිනයේ සිට අමතර දුම්රිය 5 ක් ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උප දුම්රිය ස්ථාන හැර ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙන මෙම දුම්රියවල ගමන් කරන පුද්ගලයන් තම අනන්‍යතාවය රාජකාරී හැඳුනුම්පත හා ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් සහතිකය තහවුරු කළ යුතුයි.

ඒ අනුව, පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහව සිට කොළඹ කොටුව, හලාවත සිට කොළඹ කොටුව, බෝලවත්ත සිට පුත්තලම අතර මෙන්ම බෙලිඅත්ත සිට මරදාන දක්වා අමතර දුම්රිය 5 ක් යොදවා තිබෙනවා.

එමෙන්ම, පස්වරු කාලයේ මෙම දුම්රිය පැමිණි ගමනාන්ත දක්වා නැවත ගමන් කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කළේ.

++++++++++++++++++++++

(12.05.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී තවදුරටත් කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ හැකියාවක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සහ එහි කටයුතු අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (12) පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1,016 දෙනෙකු සුවය ලබා අද නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,07,657 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඉදිරියේදී තවත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමේ හැකියාවක් පවතින බැවින් එළැඹෙන සති අන්තයේදී හැකිතාක් නිවසටම වී සිටින ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම ඉල්ලීම සිදුකළ අතර, ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් හා හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඊට එක්වූ එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (12) පැවති සාකච්ඡාවේදී වසංගත රෝග විද්‍යා අංශයේ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ බවයි.

මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව සහ ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදෙමින් තිබෙනවා.

යුද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙන එන්නත්කරණ කටයුතු නිරීක්ෂණයට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (12) එක්වුණා.

කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු‍ උපකරණ මේ වනවිට රෝහල් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදනය වී අපවත් වී ඇති බව එහි විහාරවාසී පූජ්‍ය බලල්ලේ රතනසාර හිමියන් ප්‍රකාශ කළා. මෙත්තාරාම නාහිමියන් අක්මාවේ ශල්‍යකර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට වැඩම කර තිබුණා.

• තවත් කොරෝනා ආසාදිතයන් 1429 ක් හඳුනා ගෙන තිබෙනවා ෴

• තවත් කොවිඩ් ආසාදිතයින් 957 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (12) මෙතෙක් හමුවූ ආසාදිතයින් ගණන 2386 ක් දක්වා ඉහළ යනවා ෴

• ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ සැකකරුවන් 448 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(12.05.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

අස්ගිරි මල්වතු උභය මහා විහාර තීරණය කර ඇත්තේ මෙම වර්ෂයේ නියමිත කාලසීමාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ උපසම්පදා විනයකර්ම පවතින තත්ත්වය මත තාවකාලිකව නතර කිරීමටයි.

එසේම, ජුනි 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ රාමඤ්ඤ නිකායේ උපසම්පදා විනය කර්ම කටයුතු ද රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ කල් දැමීමට තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(12.05.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්ධනය කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද (12) පැවති මාධ්‍ය හමුවකදී.

+++++++++++++++++++++++

(12.05.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

ලෝකයටම අභියෝගයක් වී ඇති කොවිඩ්-19 වසංගත යුද්ධයේ පෙරමුණේ සිට යුද වදින ඒ අභීත හෙද පරපුර ගැනයි මේ සටහන…

අද ‘ජාත්‍යන්තර හෙද දිනය’ ලෙස නම් කර ඇත්තේ නූතන හෙද සේවාව ලොවට දායාද කිරීමට මහා කැපවීමක් කළ ෆ්ලොරන්ස් නයිටින් ගේල් මැතිණියට උපහාර පිණිසයි.

අනාගත සෞඛ්‍ය සේවා දැක්මක් සඳහා හෙද හඬක්, හෙද නායකත්වයක් යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

හෙද සේවය අද වනවිට ලෝකයේ වඩාත්ම අභියෝගයට මුහුණ දී ඇති වෘත්තිය බවට පත්කරන්නට කොවිඩ්-19 වසංගතය හේතු වී තිබෙනවා.

ලොවම වසා ගෙන පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ මේ නයිටීන් ගේල් පරපුරේ දරුවන්ට පැවරී ඇත්තේ මෙතෙකැයි කිව නොහැකි වගකීමක්.

++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 3 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකලා කරයි

(13.05.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 3 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ. එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++++

ගැබිනි කාන්තාවන් ට සහ දරුවන් ට අනතුරුදායක කොව්ඩ් ප්‍රභේදයක්

(12.05.2021 – 20:57 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවය.

“ගැබිනියකට කොවිඩ්-19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස්-රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. දැන් ඒවත් කරන්න සිද්ධවෙලා තියෙනවා. මේක හැදුනහම ඉක්මනින් අමාරුවෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.”

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පී.ඩී. කොග්ගලගේ මහතා පවසා සිටියේ, කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ ද මරණාසන්න විය හැකි බවය.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති අතර එවැනි දරුවන් මරණාසන්න විය හැකි බවත් වෛද්‍ය කොග්ගලගේ මහතා කියා සිටියේය.

+++++++++++++++++++++

නිරෝධායන රීති නොතකා සූදු ක්‍රීඩාකළ පිරිසක් නිරෝධායනයට

(12.05.2021 – 20:47 +0530 – sinhala.adaderana.lk)

ඇහැලියගොඩ, දන්දෙණිය ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටි 7 දෙනෙකු අද (12) ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකෙරුණි.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, නිරෝධායන නීති කඩකළ 435 දෙනෙකු ගතවූ පැය 24 තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සෞඛ්‍ය උපදෙස් නොතකන පුද්ගලයින් සොයා අදත් (12) දිවයිනේ ස්ථාන කිහිපයකදීම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

+++++++++++++++++++++

(13.05.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම පවුලේ 04 දෙනෙකු ඔවුන් රැඳී සිටි නිවස තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා පරීක්ෂණ සඳහාද ඔවුන් යොමුකර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *