අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී

*********************************************

අඛණ්ඩව තුන්වන (3) දිනටත් ආසාදිතයින් 2500 පනී

(12.05.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 2,568 දෙනෙකු ඊයේ (11) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,29,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව 2500 ඉක්ම වූ ආසාදිතයින් මෙරටින් වාර්තා වූ අඛණ්ඩ 03 වන දිනය ඊයේ (11) දිනයයි.

එසේම, තවත් කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගියා.

ඊයේ (11) මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2568 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,31,098 ක් ලෙසයි.

ඊයේ (11) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2,530 දෙනෙකු අලුත් අවුරුදු පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර, අනෙකුත් ආසාදිතයින් 38 දෙනා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වන පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා ආසාදිතයින් 23,607 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

ඊයේ (11) දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,030 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,06,641 ක් වනවා.

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 23 අතරින් 16 දෙනෙකුම ‘කොවිඩ් නියුමෝනියාව’ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්මලාන, පොලොන්නරුව, පිලිමතලාව, පතන, තලවකැලේ, හල්ග්‍රන්ඔය, මාතලේ, ඇල්කඩුව, මඩුල්කැලේ, මැණික්හින්න, මාතර, තල්ගස්වල, පොලොන්නරුව, මොරොන්තුඩුව, මහරගම, හල්තොට, වස්කඩුව, කැලණිය, මොරටුව සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔවුන් වයස අවුරුදු 46 ත්, 85 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා.

පසුගියදා මුතූර් ප්‍රදේශයේ ඇය සහභාගි වූ උත්සවයකට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පවතින කොරෝනා වසංගතය හමුවේ ලීසිං හා බැංකු ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අමතර ඔක්සිජන් සිලින්ඩර 21,000 ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොගයක් වශයෙන් පවත්වා ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ලිට්රෝ ගෑස් සමාගම වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සිංගප්පූරුවෙන් පළමු ඔක්සිජන් සිලින්ඩර තොගය නුදුරු දිනකදී ලැබීමට නියමිතයි.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමටද චීන රජයේ අවධානය යොමුවී තිබෙනවා.

දැනට දිවයින තුල ඔක්සිජන් සමාගම් අවශ්‍ය තරම් ඔක්සිජන් නිපදවන අතර ඇතැම් රෝහල්වල ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර මෙන්ම කුඩා ඔක්සිජන් සාන්ද්‍රණාගාරද පවතිනවා.

කෙසේ වෙතත්, විවිධ ප්‍රමාණයෙන් වූ ඔක්සිජන් සිලින්ඩර රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩි කිරීම යෝග්‍ය බැවින් මෙම පියවර ගත යුතු බවයි කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ලීටර 4 කුඩා සිලින්ඩර 2,000 ක්, ලීටර 12 විශාල සිලින්ඩර 10,000 ක් සහ ලීටර 47 සිලින්ඩර 9,000 ක් ආනයනයට පියවර ගැනෙනු ඇති ෴

++++++++++++++++++++++

(12.05.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පළාත් අතර ලබාදීමට එම සේවා සපයන ආයතන කටයුතු යොදා තිබෙනවා.

සතොස ආයතනයේ නියෝජ්‍ය සභාපති තුෂාර දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් වෙත බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබුණද දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ගෑස් සමාගම් සඳහන් කළා.

එමෙන්ම, සංචරණ සීමා පැනවුවද දිවයින පුරා සියලු ප්‍රදේශවල නිවසටම ඖෂධ බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ප්‍රසන්න ගුණසේන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ රජයේ සියලු රෝහල් වල හිඟයකින් තොරව ඖෂධ පවතින බවයි.

මේ අතර, අන්තර් පළාත් සංචරණ සීමා පනවා තිබුණද දිවයින පුරා සියලු ඉන්ධන හල් වෙත බාධාවකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(12.05.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත රෝග තත්වයට එරෙහි මෙරට එන්නත්කරන වැඩසටහන මිලියනයේ සීමාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (12) දිනය වනවිට මෙරට මිලියනයක් ජනතාව කොවිඩ් පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

එම එන්නත්කරණය බෙදී ගොස් ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 925,242 ක්, ස්පුට්නික් එන්නත් 11,332 ක්, සයිනොෆාම් එන්නත් 71,203 ක් ලෙසින් ෴

ඖෂධ අලෙවිසැල් හැර සබරගමුව පළාතේ සියලු වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වසා දැමීමට තීරණය කර තිබෙනවා. මැයි 14, 15 සහ 16 අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවයි සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 12.05.2021 දින පැවැත්වුනු විශේෂ මාධ්‍ය සාකච්ඡාව :

+++++++++++++++++++++

(12.05.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි පිලියන්දල නගරයට ඇතුළුවීම සහ ඒ හරහා ගමන් කිරීම අත්හිටුවා තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමග පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමට අද (12) පියවර ගැණුනා.

පිලියන්දල නගර සීමාව අයත් වන්නේ එම ග්‍රාම නිලධාරි වසම් දෙකට (2) බැවින් මෙලෙස පිලියන්දල නගරයට ඇතුළු වීම සහ ඒ හරහා ගමන් කිරීම අත්හිටුවන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ.

එම ග්‍රාම නිලධාරී වසම් දෙක (2) ඇතුළු දිස්ත්‍රික්ක 6 ක ග්‍රාම සේවා වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මහබාගේ පොලිස් වසමේ ඇලපිටවල නවම් මහරගම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර හුදෙකලා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඉමදූව පොලිස් වසමේ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසමත්, අහංගම පොලිස් වසමේ අටානිකිත ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා වනු ඇති.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පැල්මඩුල්ල පොලිස් වසමේ සන්නස්ගම, දොඹගස්වින්න මෙන්ම ගොඩගම ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පොලිස් වසමේ කට්ටංගේ අංක තුන කොටසද හුදෙකලා වනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව පොලිස් වසමේ සූරියවැව නගර සීමාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩපොත සහ කැන්ඳාව ග්‍රාම නිලධාරී වසම්ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොටදෙනියාව පොලිස් වසමේ කළුඅග්ගල සහ පොල්හේන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලාබවින් ඉවත් කෙරෙන අතර, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමට අයත් අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසමද හුදෙකලාබවින් ඉවත් වනවා.

මේ අතර, සබරගමුව පළාතේ ඖෂධ අලෙවිසැල් හැර සියලු වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වසා දමන ලෙසට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, මැයි 14, 15 සහ 16 දිනවල අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් සියලු වෙළඳසැල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි වාහන බලපත්‍ර අවලංගු වීමේ කාලසීමාව ද ජුනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කර 435 දෙනෙකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

පළාත් අතර සංචරණ සීමා ඊයේ (11) රාත්‍රියේ පැනවීමත් සමඟ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන්නන්ට අවශ්‍ය බස් රථ කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් කොළඹ බලා ධාවනය වන බව ද ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ධාවනය වන වාහන සඳහා අවසර ලබාදී ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඒ අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටා ඇති පොලිස් මාර්ග බාධකයේදී සිය අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකයින් සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වනවා ෴

++++++++++++++++++++

(12.05.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) හඳුනාගත් නව ආසාදිතයින් 2568 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් සංඛ්‍යාව 606 ක්.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම ආසාදිතයින් සංඛ්‍යාව 40 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417 ක් වාර්තා වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 ක් වාර්තා වුණා ෴

මැයි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සිට ඩුබායි, කුවේට්, ඉතාලිය, මාලදිවයින සහ සිංගප්පූරුව බලා යාමට අවසර හිමි නොවන බව බව ගුවන්තොටුපල සහ සිවිලි ගුවන් සේවා අධිකාරියේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසනවා ෴

+++++++++++++++++

(12.05.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම සංචරණ කටයුතු තහනම් වනවා.

මෙම සංචරණ සීමාවන් ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා එය බලනොපැවැත්වෙනු ඇති.

@@@@@@@@@@@@@@@@@@

(12.05.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ගල්, වැලි, පස් සහ බොරළු ලබා ගැනීම සඳහා වන බලපත්‍ර සති 03 ක් වැනි කෙටි කාලයක් තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.

එම කාර්යංශය ප්‍රකාශ කලේ සැලකිය යුතු පරිසර හානියක් සිදු නොවන පරිදි ගල්, වැලි, පස් සහ බොරළු ලබා ගත හැකි විශේෂිත කලාප හඳුනා ගැනීමේ පර්යේෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

එම කටයුතු තවත් මාස එකහමාරක (1½) කාලයක් තුල අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කළා.

ඒ අනුව, මේ වනවිට බදුල්ල, අම්පාර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල සියලු විශේෂිත කලාප හඳුනා ගැනීමේ කටයුතු අවසන් කර ඇති අතර මේ වනවිට වව්නියාව දිස්ත්‍රික්කයේ පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් අදාල කලාප හදුනා ගැනීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය වැනි ඊට අදාල රාජ්‍ය ආයතනවල නිර්දේශ අවශ්‍ය වනවා.

එම ආයතන මගින් ද පරිසර හානියක් සිදු නොවන බවට තහවුරු කිරීමෙන් අනතුරුවයි අදාල කලාප බලපත්‍ර ලබාදීමට සුදුසු ස්වාභාවික කලාප ලෙස නිල වශයෙන් නම් කිරීමට නියමිතව ඇත්තේ ෴

******************************************

(12.05.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – ආනපල්ලගම ප්‍රදේශයේ නිවසකට වන අලි පහරදෙන ආකාරය එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් රූගත කර තිබෙනවා.

වන අලියාගේ පහරදීම හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.

******************************************

(12.05.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැහැරගෙන යන ආකාරය සී.සී.ටී.වී. ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා.

පසුව එම පුද්ගලයා අමුණුදෝව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී බණ්ඩාරවෙල පොලිසිය සොයාගෙන තිබෙනවා.

******************************************

(12.05.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධන අධිකාරියේ නාම පුවරු ප්‍රදර්ශනය කළ වාහනයකින් ගංජා ප්‍රවාහනය කළ සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ මඩකලපුව පොලිස් විශේෂ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුවයි.

එහිදී වාහනය තුල තිබී කේරළ ගංජා තොගයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගැණුනා ෴

******************************************

(12.05.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රං තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඕමානයේ සිට මෙරටට පැමිණි මෙම සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද (12) අලුයම ඔහු මෙලෙස ඇමෙරිකාව බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *