ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් ඉහළට – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් ඉහළට – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

*********************************************

ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් ඉහළට – වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

(11.05.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කොළඹදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ඊයේ (10) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 26 ක්ද වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 827 ක් ලෙසින්.

වත්තේගම ප්‍රදේශයේ පදිංචි මාස 03 බිළිඳියක්ද මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියයාම විශේෂත්වයක්.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයාමට හේතුව ලෙස දැක්වෙන්නේ ‘කොවිඩ් නියුමෝනියාව’ හේතුවෙන් බහු ඉන්ද්‍රිය අක්‍රීය වීමේ තත්ත්වයයි.

මෙරටින් ඊයේ (10) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,624 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 551 ක්.

ඊයේ (10) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් අතර දිවුලපිටියෙන් හඳුනාගත් ආසාදිතයින් 120 ක්, සීදුවෙන් හඳුනාගත් ආසාදිතයින් 63 ක් සහ කටාන ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 58 දෙනෙකු වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තුන්සිය හැට දෙදෙනෙකු (362) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 321 දෙනෙකු ඊයේ (10) වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ (10) වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,234 ක්.

ඊට අමතරව නුවරඑලියෙන් ආසාදිතයින් 184 ක්, කුරුණෑගලින් ආසාදිතයින් 177 ක්, ගාල්ලෙන් ආසාදිතයින් 170 ක්, රත්නපුරයෙන් ආසාදිතයින් 128 ක් සහ යාපනයෙන් ආසාදිතයින් 109 ක් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊයේ (10) වාර්තා වූ ආසාදිතයින් සමඟ මේ වනවිට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,092 ක්.

වෙන්නප්පුව – මැදකිරිමැටියාන ප්‍රදේශයේ පසුගිය දිනෙක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තහවුරු වී තිබෙනවා.

සිය 21 වන උපන් දින සාදය පැවැත් වූ යාපනය – වඩමාරච්චි ප්‍රදේශයේ තරුණියක ඊයේ (10) ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිසියට භාර දී තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 211,518 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන (2) මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,972 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද මේ වනවිට පුද්ගලයින් 5878 දෙනෙකුට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 23,575 දෙනෙකුට ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++++

(11.05.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා සම්බන්ධයෙන් මේ වනවිට රට තුල මතුව ඇති තත්ත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව සියලු කටයුතු සිදුකරමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය වනවිට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 21,000 කට ආසන්න වනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් සිදුකළ පුරෝකතනය පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ෴

• දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ද පළාත් තුලට පමණක් සීමා කෙරෙනවා ෴

• සේවා අවශ්‍යතා මත රාජකාරිය සඳහා කැඳවා ඇති රාජ්‍ය සේවකයන්ට පළාත් අතර ගමන් කිරීමට සිදුව ඇත්නම්, ඊට අදාළව විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව, අදාළ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියාගෙන් ලබා ගත් ලිපියක් ද ඉදිරිපත් කළ යුතුයි ෴

• තවත් කොරෝනා ආසාදිතයන් 1030 ක් සුවය ලබයි. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 106,641 ක් ෴

• අද (11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1225 ක් වාර්තා වී තිබෙනවා ෴

• අද (11) සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 06:00 ට වසා දැමීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද සිල්වා මහතා පවසනවා ෴

+++++++++++++++++++++

(11.05.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා විපක්ෂය ඇතුළු ඕනෑම පාර්ශ්වයක සහාය ලබා ගැනීමට රජය සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

+++++++++++++++++++++++

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව

(11.05.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර – බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් දැනට නැහැ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පරීක්ෂා කිරීම් වලින් අනතුරුව පළාත් අතර සංචරණය කළ හැකි අතර, දැනට බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බව පොලීසිය පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළා.

එසේම, ලබන 31 වනදා දක්වා වෙනත් පළාත් වල පුද්ගලයින්ට නවාතැන් පහසුකම් ලබාදෙන හෝටල් සහ ලැගුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මීට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) දිනයේදී උපමාන ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු ලබන 31 වනදා දක්වා අවලංගු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++

(11.05.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

අද (11) රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

මෙම නියෝගය ලබන 31 වනදා දක්වා වලංගු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එම සංචරණ සීමා කාලසීමාව අවසන් වනතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට අවසර හිමිවනු ඇති.

අද (11) දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන්හි ඇති මාර්ග බාධකවලදී රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

එසේම සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගතහොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන්ගෙන සිටින පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු වනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන් තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර එම ගමන් සිදුකර හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

++++++++++++++++++++++

බස්නාහිර පළාත තුළ සිදුකෙරෙන දුම්රිය ගමන්වාර

(11.05.2021 – 16:51 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

එක්එක් පළාත තුළ පමණක් දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවෙල්ල දක්වා පමණක් පහත දුම්රිය ධාවනය වනු ඇත.

= ප්‍රධාන මාර්ගය =

කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා කාර්යාල දුම්රිය – 10
අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 07
මීරිගම සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 01

වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 01
ගම්පහ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 01

= මුහුදුබඩ මාර්ගය =

කොළඹ කොටුව සිට අලුත්ගම දක්වා කාර්යාල දුම්රිය – 04
කොළඹ කොටුව සිට කළුතර දක්වා කාර්යාල දුම්රිය – 02
කොළඹ කොටුව සිට පානදුර දක්වා කාර්යාල දුම්රිය – 02

කොළඹ කොටුව සිට ගල්කිස්ස දක්වා කාර්යාල දුම්රිය – 01
කොළඹ කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය – 01
අලුත්ගම කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය – 05

කළුතර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 02
පානදුර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 03
මොරටුව සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 03

ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 01
රත්මලාන සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 01

++++++++++++++++++

(11.05.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට මැයි 28 දක්වා අත්හිටුවා තිබෙනවා.

කල් ඉකුත් වන බලපත්‍ර සඳහා 06/30 තෙක් දඩ අය නොකෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි 17 සිට ජුනි 16 දක්වා අත්හිටුවා ඇත.

අදාල කාලයට දඩ අය නොකෙරෙන අතර අන්තර්ජාලය හරහා බලපත්‍ර ලබාගත හැකියි ෴

++++++++++++++++++++++

(11.05.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය නොකිරීමේ වගකීම රජය භාර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව සුවපත් කිරීම සඳහා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන රෝහල් උපකරණ අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනේ නව අදියර ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වමින්.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද (11) පැවැත්වුණා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන නිලධාරින් කිහිපදෙනෙකුම ඊට එක්ව සිටියා.

+++++++++++++++++++++

(11.05.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය නොවන අතර, අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන පිරිස් සඳහා ලංගම බස් රථ කිහිපයක් පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඩිපෝ අධිකාරිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන සේවකයන් සඳහා යොදවන බස් රථවලට වෙනත් පුද්ගලයින් ගොඩවීමෙන් වළකින ලෙසටයි.

පිටපලාත්වලට යාමට පැමිණි මගීන් රැසක් අද (11) දිනයේදීත් බස් රථ නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ආකාරය දක්නට ලැබුණා.

මේ අතර, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුර ගමන් දුම්රිය සේවා අවලංගු වන අතර, සියලුම මාර්ගවල දුම්රිය 62 ක් පමණක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දුම්රිය ධාවනය සිදුවන්නේ පළාත් තුල පමණයි.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 20 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 25 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 8 ක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය 9 ක් ධාවනයට යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දුරගමන් සේවා සඳහා මුදල් වෙන් කරවා ගත් මගීන්ට නැවත එම මුදල් ලබා දෙන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර, දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරිම අරමුණු කර ගනිමින් හෙට (12) සහ අනිද්දා (13) යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ලබන 17 වනදා සිට ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මගින් සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීම් ශාඛාව පමණක් විවෘතව පවතින බවයි.

දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයන බව ද කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ බස්නාහිර පළාත තුල ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට ලබන 28 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම කාලය තුල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී ලබන ජුනි 30 දක්වා නැවත දඩ මුදල් අය නොකරන බවයි බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම්. දයාවතී මහත්මිය සඳහන් කළේ.

එසේම, ලබන 17 වනදා සිට ජුනි මස 16 වනදා දක්වා දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළුව එම පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද සිදුවන්නේ නැහැ.

අදාළ කාලය සඳහා දඩ මුදල් අය කිරීම සිදුනොකරන අතර, අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම පෙර පරිදිම ක්‍රියාත්මක බවයි දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා කියා සිටියේ.

@@@@@@@@@@@@@@@@@@

(11.05.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සහ ජපානයේ රියුකියුස් විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛව ගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමගින් අන්තර් ආයතනික පර්යේෂණ, නවෝත්පාදන වැඩසටහන්, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය වර්ධනය කර ගැනීම මූලික අරමුණයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

(11.05.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ගොවියා පීඩාවට පත් කරමින් පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අනුවණ තීරණය වහා හකුලා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ අතර, වෙළෙදපොළේ පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය හිඟවීමට විරෝධය පළ කරමින් නොච්චියාගම බඩඉරිඟු ගොවීන් අද (11) උද්ඝෝෂණයක නිරත වුණා.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් අමුණුකොළ ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන් තම හේන්වල සිටම උද්ඝෝෂණයක නිරත වුණා.

මේ අතර කැප්පෙටිපොල ප්‍රදේශයේ දේශීය අර්තාපල් ගොවීන් ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ තම වගාවන් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රට තුළ මතුව ඇති පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර බටපොල අම්පෙගම ප්‍රදේශයේ කුරුඳු ගොවීන් පෙන්වා දෙන්නේ පොහොර හිඟය තම වගා කටයුතුවලටද බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර, ගොවි සංවිධාන විසින් කරනු ලැබු පැමිණිලි අනුව පොහොර තොග සඟවාගෙන සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේදී සහ රංචමඩම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් කටයුතු කළා.

රුපියල් 3000 බැගින් වැඩිමිලට පොහොර විකුණීම සහ තොග තිබියදී පොහොර නිකුත් නොකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

මේ අතර පවතින පොහොර හිඟය සම්බන්ධයෙන් දේශපාලනඥයින් ද අදහස් පළ කළා.

******************************************

(11.05.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරිම අරමුණු කර ගනිමින් හෙට (12) සහ අනිද්දා (13) යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශ වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ලබන 17 වනදා සිට ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මගින් සිදුකරන සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ප්‍රතිලාභ ගෙවීම් ශාඛාව පමණක් විවෘතව පවතින බවයි.

දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයන බව ද කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(11.05.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්.

අද (11) උදෑසන 07:30 ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණෙනවා.

ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව පසුපස අසුනේ කුලී ගමනක යමින් සිටි දෙදෙනා (2) ගෙන් ත්‍රිරෝද රථ රියදුරා රුපියල් සියයක් (100) ඉල්ලා ඇත්තේ ඉන්ධන සඳහා මුදල් ගෙවීමටයි.

මෙහිදී පසුපස අසුනේ සිටි දෙදෙනා (2) අත මුදල් නොමැති බව පවසා තිබෙනවා.

එහිදී තිරෝද රථ රියදුරු එම දෙදෙනාට (2) රථයෙන් බසින්නට කියා එම ඉන්ධන පිරවුම්හලෙන් පිටව යන්නේ එම රථයේ පැමිණි වයෝවෘධ පුද්ගලයා රථයෙන් බැසීමටත් පෙරයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව එහි සිදුවූ දේ පිරවුම්හලේ CCTV කැමරාවල සටහන්ව තිබුනා.

පිරවුම්හලේ ඇදවැටෙන මෙම වයෝවෘධ පුද්ගලයා එහි කෙළවරකට ඔහු සමඟ පැමිණි තරුණයා ඇදගෙන යනුයේ ඔහුගේ මිනිසත්කම ප්‍රශ්නාර්ථයකට නගමින්.

එළෙස පිරවුම්හලේ කෙලවරක අතහැර දමා යන මෙම අසරණ වයෝවෘධ පුද්ගලයා නැගී සිටින්නට උත්සහ කෙරුවත් ගතේ සවිය ඊට අවකාශ සලසන්නේ නැහැ.

සුළු මොහොතකින් ඔහු රැඳී සිටි ස්ථානයේම අප්‍රාණික වන්නේ ජීවිතයේ අනියත බව මොනවට පසක් කරමින්.

මේ පුද්ගලයා පිළිබඳව ඔහු සමඟ පැමිණි ත්‍රිරෝද රථ රියදුරා හෝ අනෙක් පුද්ගලයා පිළිබඳවත් මෙතෙක් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවයි මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මොරටුව පොලිස් ස්ථානයෙන් සිදුකළ විමසීමකදී දැනගන්නට ලැබුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුව පොලිසිය මගින් සිදුකරනවා.

******************************************

(11.05.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව රජය පවසනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව කියාසිටියේ කොළඹ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ වී සහ සෙසු බෝග සඳහා මෙම කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි පොහොර ප්‍රමාණයක් සමාගම් දෙකක් (2) මගින් මේ වනවිටත් ආනයනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, පොහොර නොමැතිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ගොවීන් තවදුරටත් පෙන්වා දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *