මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

*********************************************

මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

(10.05.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා, සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්, පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

++++++++++++++++++++++++

(10.05.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1581 දෙනෙකු මෙරටින් හඳුනා ගත්තා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,27,487 ක් ලෙසයි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 1,148 දෙනෙකු අද (10) පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටත්ව ගියා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,05,611 ක්.

මේ වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,075 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

ඊයේ (09) පිලියන්දල සහ කැස්බෑව යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 360 දෙනෙකු වාර්තා වී තිබූ අතර, එය සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ප්‍රමාද වූ කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල මත කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ තීන්දු තීරණ ගත නොහැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික් වශයෙන් හෝ සංචරණ සීමා පැනවීම අවශ්‍ය බව ඔහු කියා සිටියා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

එසේම, කොවිඩ්-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවේ විශේෂ රැස්වීමක් අද සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වුණා.

ඒ, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවලද කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල කඩිනමින් ශක්තිමත් කිරීමට තීරණය කෙරුණා.

එසේම, එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කිරීම, ඉදිවෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගෙන ලබාදීමටද තීරණය කර තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව සහ ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව මෙන්ම සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අදත් (10) සිදුකෙරුණා.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාමසාන් අවුරුදු යාච්ඤා මුස්ලිම් දේවස්ථානවල නොපවත්වන ලෙසට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එබැවින් සියලුම මුස්ලිම් දේවස්ථාන රාමසාන් උත්සව දිනයේදී වසා තැබිය යුතුයි.

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාළ නව චක්‍රලේඛය ද අද (10) පස්වරුවේ නිකුත් කෙරුණා. එහි රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙන්ම, ගර්භනී නිලධාරිනියන් සේවයට නොකැඳවීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත්.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් පැමිණෙන සංචාරකයන්ට කොරෝනා වසංගතය හේතුවෙන් පැනවුණු සීමාවන් දැඩි කිරීමට මාලදිවයින තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තීරණය කළා.

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂක අරමුදලේ මේ වනවිට පවතින රු. 1,360,922,969.24 ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා ෴

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට යෙදවීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ඊට අදාළව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2020 වර්ෂයට අදාළ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත භාරදී ඇති බවයි.

ඉටුකම, කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින ශේෂය රුපියල් මිලියන 1360 ඉක්මවා තිබෙනවා.

අරමුදලට බැර වී ඇති මුළු මුදල මිලියන 1752 ඉක්මවා තිබූ අතර, ඉන් සියයට 23 ක් වියදම් කර ඇති බවයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, පී.සී.ආර් පරීක්ෂණ ආශ්‍රිත වියදම්, දැනුවත් කිරීමේ වැඩසටහන් නිරෝධායන කටයුතු ආශ්‍රිත වියදම් සහ පරිපාලන වියදම් සඳහා එම වැයබර දරා තිබෙනවා.

එන්නත්කරණය, ගිලන් රථ සහ දැඩි සත්කාර ඇඳන් සඳහා ගෙවා ඇති මෙන්ම, ගෙවීමට ඇති මුළු මුදලේ එකතුව මිලියන 391 කට අධිකයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන මෙම අරමුදලට දායක වී නොමැති අතර, විදේශාධාර සහ පරිත්‍යාග මහා භාණ්ඩාගාරය වෙත සිදුකරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(10.05.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් මාසය වනවිට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 21,000 කට ආසන්න වනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් ආයතනය අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් හා හදිසි ප්‍රතිචාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරන්නේ එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා සියලු‍ පියවර ගනිමින් සිටින බවයි.

පවතින කොරෝනා තත්ත්වය පිළිබඳ පුරෝකතන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් ලෙස වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇඟයීම් පිළිබඳ ආයතනය සැලකෙනවා.

අදාළ පුරෝකතනයට අනුව ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයෙන් බරපතළම බලපෑම ඇති කරන්නෙ ජුනි මාසයේ දෙවැනි (2) සහ තුන්වැනි (3) සතිය අතරතුරයි.

ඒ අනුව දැනට 2000 ක් පමණ වන දෛනික ආසාදිතයන් ගණන, වාර්තා නොවන ආසාදිතයන්ද ඇතුලු‍ව 50,000 සීමාව ඉක්මවා යනු ඇති.

පවතින තත්ත්වය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහුණොත් එම සංඛ්‍යාව 80,000 ද ඉක්මවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

ජූනි මස දෙවන (2) සතිය වන විට මෙරටින් දිනක දී වාර්තා විය හැකි මරණ සංඛ්‍යාව 244 ක් බවද එහි දක්වා තිබෙනවා.

එමෙන්ම, මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජුනි මස පළමු (1) සතිය අවසන් වන විට දැඩි සත්කාර ඇඳන් 3500 ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් එම වාර්තාවල සඳහන්.

++++++++++++++++++++

(10.05.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස සමගි ජන බලවේගය අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඉල්ලා සිටියා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොවිඩ් ව්‍යාප්තිය ගැන අදහස් පළකළා.

+++++++++++++++++++++++++

(10.05.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු දිනයේදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 351 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7316 ක්.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව බස්නැවතුම්පොළ, උද්‍යාන, වෙරළ වැනි පොදු ස්ථාන හා ආපනශාලා , වෙළෙඳසැල් වැනි ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අන්තර් පළාත් බස් සේවා අද (10) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අත්හිටවනු ලැබේ ෴

අද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 992 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (10) දිනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2573 ක් ෴

මෙරටින් අද (10) දිනයේදී කොවිඩ් ආසාදිතයින් මරණ 26 ක් වාර්තා වුණා. එය දැක්වුනේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි. මෙම මරණ 26 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගියා ෴

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ, පළාත් තුල පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

++++++++++++++++++++

(11.05.2021 – 06:05 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා 7864 දෙනෙක් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(11.05.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 06 ක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම අද (10) අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

අද (10) දිනයේ හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++++++

ජන ජීවිතය අඩාළ නොකර සංචරණ සීමාවලට යොමුවීමට අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියේදී – GMOA

(10.05.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික් අතර සංචරණය සීමා කිරීම ඇතුළු නිර්දේශ 07 ක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් කටයුතු කර තිබේ.

එම සංගම්වල නියෝජිතයින් අද (10) ජනාධිපතිවරයා, යුදහමුදාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණි.

“සංචරණ සීමා පැනවීමේදී මොන ආකාරයට ද එම සංචරණ සීමා පැනවිය යුත්තේ යන්න පිළිබඳව සාකච්ජා කළා. අපට පුළුවන්නම් අන්තර් දිස්ත්‍රික්ක හෝ අන්තර් පළාත් අතර සංචරණ සීමා පැනවීමට ඒක කිසිම බාධාවක් නොමැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අවශ්‍යතාව තිබෙනවා නම්. ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාළ නොකර හැකි උපරිම ආකාරයෙන් ජන ජීවිතය පවත්වාගෙන යමින් මේ සංචරණ සීමාවලට යොමුවිය යුතුයි කියලා එතුමා සඳහන් කළා. එහිදී එකඟතාවයට පැමිණියා සියලුදෙනාම මේ සංචරණ සීමා උපරිම ආකාරයෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ඉදිරියේදී ලබාගැනීමට.”

ගර්භණී මව්වරුන් සඳහා ද එන්නත් කිරීම අත්‍යාවශ්‍ය බව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ගර්භණි කාන්තාවන්ට එන්නත ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බවට පර්යේෂණාත්මකව තහවුරු කර ඇති බවය.

ඒ අනුව ගර්භණී කාන්තාවන්ට, ගර්භණී තත්ත්වයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට හෝ කිරිදෙන මව්වරුන්ට එන්නත්කරණය සුදුසු බවට තහවුරු ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ අනුබද්ධ රාජකීය වෛද්‍යවරුන්ගේ ආයතනය තියෙනවා මහා බ්‍රිතාන්‍යයේ අපිට ඒකෙන් නිතරම කොවිඩ්-19 පිළිබඳ සැලසුම් යාවත්කාලීන වෙනවා. ඒකෙන් කියලා තියෙනවා දැන් මෙච්චර ගානකට දීලා තියෙනවා කිසිම කෙනෙකුට සංකූලතා ඇති වෙලා නෑ කියලා.”

“අපේ විද්‍යාතනය විදියට අපි කියනවා එන්නත්කරණය විය යුතුයි. මේ මොහොත වන විටත් ගැබිණි මරණ දෙකක් (2) පමණ වෙලා තියෙනවා. එක් අයෙකුට අසාධ්‍යයි. එය ගැබිණි මව්වරුන්ගේ මරණ අනුපාතය දිහා බැලුවහම අධික වැඩිවීමක්. ඉදිරියට එය තවත් වැඩිවෙන්න පුළුවන්. එය වළක්වා ගන්න කළ හැකි ප්‍රධාන උපක්‍රමයක් තමයි එන්නත්කරණය. විශේෂයෙන් ප්‍රධාන නගර 4 ක් තියෙනවා මේ රෝගය පැතිරෙන. කොළඹ, ගම්පහ, ගාල්ල හා නුවර ඒ ප්‍රධාන දිස්ත්‍රික්ක අතරේ අනිවාර්යෙන් ම වහාම එන්නත්කරණය පටන්ගන්න ඕනේ.”

++++++++++++++++++++++++

රටම ලොක්ඩවුන් කළ යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

(10.05.2021 – 14:32 +0530 – sinhala.adaderana.lk)

මේ අවස්ථාවේ රටම ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

‘දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

+++++++++++++

@@@@@@@@@@@@@@@@@

(10.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් 755 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම අද සිදුකෙරෙන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වසර 3 ක කෙටි කාලයක් තුල ජාතික පාසල් දහසක් අංගසම්පූර්ණ පාසල් බවට පත්කිරීමේ වැඩපිලිවල අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ෴

******************************************

(11.05.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු සාමාජිකයන් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් ෴

******************************************

පොලිස් බල්ලන් සිදුකළ අමානුෂික පහරදීමක්

(10.05.2021 – 19:31 +0530 – sinhala.adaderana.lk)

= පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක් (CCTV දර්ශන) =

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ සිදුවීම ඊයේ (09) රාත්‍රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) රතිඤ්ඤා දල්වා මහ මඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක ද සනිටුහන් ව ඇත.

ඒ අතර අසල ඖෂධ සැලකට පැමිණ සිටි අයෙකු එම ශබ්දය කුමක්දැයි විපරම් කිරීමට අලෙවි සැලෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේ දී එහි පැමිණෙන පිරිසක් ඔහුට පහර දෙයි.

ඖෂධ සැලේ හිමිකරු එම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ දරන නමුත් අදාළ පිරිස නොනවත්වා අලෙවි සැලෙන් බැහැරට ගිය පුද්ගලයාට පහර දෙන අයුරු සීසීටීවි දර්ශනවල දැක්වේ.

පහරදෙන පිරිස අතර නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු ද වන බව දක්නට ලැබේ.

පහර දීමෙන් පසු යක්කලමුල්ල පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

පසුව අද (10) පෙරවරුවේ පොලීසිය ඔහු මුදා හැර ඇත්තේ වැරදීමකින් පහර දුන් බව පවසමිනි.

ස්ථාන මාරුවක් ලබා සිටි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (09) රාත්‍රියේ එම පොලිස් ස්ථානයේ සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර, පිරිසක් රතිඤ්ඤා දල්වා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙසින් බව වාර්තා වේ.

ඊට එම තරුණයාද සම්බන්ධ යැයි සිතා පහරදීම සිදුකර ඇති බව පසුව හෙළි වී තිබේ.

පහර කෑමට ලක්වු ඩබ්. ඒ. සිසිර කුමාර මහතා පවසා සිටියේ, “ඔක්කෝම බීලා හිටියේ. යුනිෆෝම් හිටියේ එක්කෙනයි. සිවිල් පිට හිටියේ ඔක්කෝම” යනුවෙනි.

පහර කෑ තරුණයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පහරදීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

******************************************

(11.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවා කොමිෂන් සභා සතු බලතල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රාථමික හා ද්විතීක මට්ටමේ නිලධාරීන් වෙත පැවරීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් දයා සෙනරත්ගේ අත්සනින් යුත් එම ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුකූලව ස්ථාන මාරු කිරීමේ බලතල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරෙනු ඇති.

අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් යටතේ ඇති ප්‍රාදේශීය කාර්යාලවල හෝ ආයතනවල සේවයේ නිරත නිලධාරීන්ට අදාළ ස්ථාන මාරු අමාත්‍යාංශ ලේකම් හෝ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාට සිදුකළ හැකියි.

එමෙන්ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුව දිස්ත්‍රික්කයක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදුකිරීමේ බලතල අදාළ දිස්ත්‍රික් ලේකම් වෙත පැවරෙන බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *