ජනාධිපති තුමනි , පාරම්පරික සහ දේශීය වෛද්‍ය සත්කාර සේවාව ද කොරෝනා රෝගී ජීවිත ආරක්ෂා කිරීමට යොදාගන්න! – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

ජනාධිපති තුමනි , පාරම්පරික සහ දේශීය වෛද්‍ය සත්කාර සේවාව ද කොරෝනා රෝගී ජීවිත ආරක්ෂා කිරීමට යොදාගන්න! – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

*********************************************

ජනාධිපති තුමනි , පාරම්පරික සහ දේශීය වෛද්‍ය සත්කාර සේවාව ද කොරෝනා රෝගී ජීවිත ආරක්ෂා කිරීමට යොදාගන්න! – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

(10.05.2021 – 09:14 +0530 – lankaleadnews.com)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් කොරෝනා ආසාදනයෙන් මිය යන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අනුමත කළ දේශීය සහ පාරම්පරික ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ල සිටී. විශේෂඥ වෛද්‍යවරයා සිය ලිපිය මගින්, ශීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාවත්, දිනපතා මිය යන සංඛ්‍යාවත්, දැඩි සත්කාර සේවාවන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාවත් නිසා අප රටේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට ඉතාම තීරණාත්මක අවධියකට එළඹ තිබෙන බව ජනාධිපතිවරයා වෙත කරුණු පෙන්වා දී තිබේ.

මෙවැනි තීරණාත්මක අර්බූදකාරී අවස්ථාවක අප රටේ දීර්ඝ ඉතිහාසයක් තිස්සේ පවතින පාරම්පරික සහ දේශීය වෛද්‍ය සත්කාර සේවාව ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම ට යොදා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමත කල ප්‍රතිකාර 10 ක් ඇති බවත්, මේ වන විට රජයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් මුල් පියවර ලෙස ඉල්ලා සිටී.

දෙවැනි පියවර ලෙස විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කරන්නේ මේ වන විට රජයේ රෝහල්වලට ඇතුළත් ව ඇති අනිකුත් සියලුම කොරෝනා රෝගීන් සදහා ද නිසි ක්‍රමවේදයකට අනුව බටහිර රෝගී සත්කාර සේවාවට අනුබද්ධ කර දේශීය, පාරම්පරික ඖෂධ ලබාදීමටද කටයුතු කරණ ලෙසයි.

එහිදී විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට කොරෝනා ආසාදනය සාර්ථකව මර්දනය කර ඇති චීනය ඇතුළු ඇතැම් ආසියාතික රටවල් තම පාරම්පරික දේශීය ප්‍රතිකාර ක්‍රම, බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ අනුගත කර උපරිම ප්‍රතිඵල ලබා ගෙන ඇති බවයි.

මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ද විකල්ප වෛද්‍ය ක්‍රම වෙනුවෙන් වෛද්‍ය සභාවන් (Ayurvedic Medical Council) පිහිටුවා මෙම වෛද්‍ය ක්‍රමයන් පිළිගෙන ඇති බවද වෛද්‍යයවරයා සිය ලිපිය මගින් අවධාරණය කර සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා , ඒ ඒ රටවල පවත්නා පාරම්පරික වෛද්‍යය සේවාවන්, බටහිර වෛද්‍ය ක්‍රමය සමඟ අනුගත කරන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශක සංග්‍රහයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද පෙන්වා දේ.

අවසාන වශයෙන් සිය ලිපිය මගින් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අවධාරණය කර සිටිනේ අපගේ උරුමයක් වූ හෙල වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, රෝගී ජීවිත සුරක්ෂිත කිරීමටත් මෙම අර්බුදයෙන් අප රට ගොඩ ගැනීමටත් භාවිතා කළ යුතු අවස්ථාව එළඹ ඇති බවත්, එම අවස්ථාව ගිලිහී යෑමට කටයුතු නොකරන ලෙසත්ය ෴

++++++++++++++++++++++

කොවිඩ් මර්දනයට ආයුර්වේදයේ දායකත්වය – BIG FOCUS (08.05.2021)

++++++++++++++++++++++

(10.05.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් පළමු (1) සහ දෙවන (2) රැල්ලේදී වයස්ගත පුද්ගලයින් ආසාදිතවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කළත්, මේ දිනවල ව්‍යාප්තවන නව ප්‍රභේදය තරුණ ප්‍රජාවට ආසාදනයවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථාවක රටක තරුණ ප්‍රජාවගේ වගකීම කුමක් විය යුතු ද? මේ ඒ පිළිබඳ සොයා බැලීමක්.

++++++++++++++++++++++++

(10.05.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ජනතාව සංචරණය සීමා නොකළහොත් මෙරට කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා.

මේ අතර, මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ ඊයේ (09) දිනයේද වැඩිම ආසාදිතයින් සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊයේ (09) සමස්ත ආසාදිතයින් 2,672 ක් මෙරටින් හඳුනාගත්තා. ඉන් 755 දෙනෙකු කොළඹින් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් 755 දෙනා අතර කැස්බෑවෙන් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිලියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකුද වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ (09) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 755 දෙනාට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකුද ඊයේ (09) හඳුනාගත්තා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,312 ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් එකසිය අනූ දෙදෙනෙකු (192) ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එම ආසාදිතයින්ද සමඟින් මේ වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව පළමු වරට විසිදහසේ (20,000) සීමාව ඉක්මවා යමින් මේ වනවිට සටහන් වන්නේ 20,642 ක් ලෙසයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,25,906 ක් වන අතර, එම ආසාදිතයින්ගෙන් 1,04,463 ක් මේ වනවිට පූර්ණ සුවය ලබා තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ ජනතාව සංචරණය සීමා නොකළහොත් තවදුරටත් වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මෙරට තුළ එන්නත් ලබාදීමේ කටයුතු අද (10) දිනයේදීත් ක්‍රියාත්මකයි.

ඊයේ (09) දිනය වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 925,242 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,96,546 ක්.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 6,034 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 2435 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4,381 දෙනෙකු ලබාගෙන තිබූ අතර, ඊයේ (09) දිනයේදී එහි පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,385 ක්.

++++++++++++++++++++++

(10.05.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලට දැඩි සංචරණ සීමා පනවා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් තුන්වන (3) රැල්ල පාලනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ (09) සවස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී, පවතින කොවිඩ් තත්ත්වය යටතේ රට ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.

එහිදී සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර එහිදී ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් වසා දමා බාධාවකින් තොරව දෛනික කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සකච්ඡාකර තිබෙනවා.

ගැබිණි මාතාවන් සේවයට කැඳවීමේදී ගත යුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිවෙසටම ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙල නැවත ආරම්භකිරීම ආදී කාරණා සාකච්ඡාවී ඇත්තේ මෙම හමුවේදී යි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව කාර්යක්ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

+++++++++++++++++++++

(10.05.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

එම විභාග නැවත පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

++++++++++++++++++++

(10.05.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම රටවල වැසියන්ට එමීර හෝ වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවක් මගින් එරටට පැමිණිය නොහැකි බවයි නිවේදනය කෙරුණේ.

අදාළ තහනම ලබන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ නමුත්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එම තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ.

එක්සත් අරාබි එමීරයේ ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය මගින් එම තීරණයට එළඹී තිබෙනවා.

එමෙන්ම, එක්සත් අරාබි එමීර් වැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිල දූත කණ්ඩායම් සහ ව්‍යාපාරිකයන්ගේ ජෙට් යානා සඳහා ද මෙම ගුවන් ගමන් තහනම බලනොපැවැත්වෙන බව සඳහන්.

කෙසේ නමුත්, ඔවුන් ද, එමීරයට පැමිණීමට පැය 48 කට පෙර සහ එහි ළගා වූ පසු කොරෝනා පරීක්ෂණ වලට ලක්විය යුතුයි ෴

+++++++++++++++++++++

(10.05.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1148 ක් සුවය ලබයි. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 105,611 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

හදිස්සියේ රට වසා දැමීමක් සිදු නොවන බැවින් ජනතාවට අනවශ්‍ය ලෙස කලබල වී ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කිරීමට වෙළඳසැල් ඉදිරියේ එක්රොක් නොවන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

++++++++++++++++++++++++

(10.05.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

දේශීය වෛද්‍ය අමාත්‍යංශයට දිගින් දිගටම සිදුකෙරෙන කෙනෙහිලිකම් නවත්වන්නේ නැතිනම් එම අමාත්‍යංශය විසුරුවා දැමිය යුතු බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මහජන මුදලින් නඩත්තු වන එම අමාත්‍යංශයෙන් මේ දක්වා කිසිවෙකුත් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි.

එහිදී ඔහු කොරෝනා වෛරසය සම්බන්ධයෙන්ද විශේෂ අනාවරණයක් කලා.

++++++++++++++++++++++

(10.05.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාමසාන් අවුරුදු යාච්ඤා මුස්ලිම් දේවස්ථානවල නොපවත්වන ලෙසට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

රාමසාන් උත්සව දිනයේදී සෑම මුස්ලිම් පල්ලියකම යාඥා නොපවත්වන ලෙසටයි ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර ඇත්තේ.

එබැවින් සියලුම මුස්ලිම් දේවස්ථාන රාමසාන් උත්සව දිනයේදී වසා තැබිය යුතු වනවා ෴

+++++++++++++++++++++++

(10.05.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය බාධාවකින් තොරව සේවයට කැදවීමේ නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

එය පහතින් :

+++++++++++++++++++++

(10.05.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

උපුටා ගැනීම…..

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

ඊට අමතරව පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු හයෙන් (06:00) පසුව වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීම් කර තිබේ.

මේ අතර සවස හයෙන් (06:00) පසු අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ලබාදී තිබේ.

දිස්ත්‍රික් මායිම් අතර මාර්ග බාධක යොදා ගනිමින් ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

++++++++++++++++++++++

(10.05.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය සේවා හා පාරිභෝගික ද්‍රව්‍ය අඛන්ඩව, කාර්යක්ෂමව ජනතාවට බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය විසින්.

එහි සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී ඊට අදාල සාකච්ඡාව පැවැත්වුණා.

එහිදී පවතින තත්ත්වය හමුවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා අඛන්ඩව කාර්යක්ෂම සැපයීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් සැලසුම් සකස් කළ යුතු බවයි සඳහන් කර ඇත්තේ.

එම යාන්ත්‍රණය අධීක්ෂණය කිරීම සඳහා නිලධාරින් පත්කළ යුතු අතර නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළ යුතුයි.

ඊට අදාළ සැලසුම් සකස් කර ලබන 12 වනදාට පෙර ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තහවුරු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙහිදී වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

++++++++++++++++++++++

(10.05.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ රැස්වීමක් අද (10) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවතී එම සාකච්චාවේදී කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීමට තීරණය කෙරුනා.

එමෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණයද දෙගුණයක් දක්වා වැඩි කිරිමට සාකච්චා වී තිබෙනවා.

දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුලින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරිම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමද සිදු කල යුතු බව මෙහිදී වැඩිදුරටත් සාකච්චා කෙරුනා.

දැනට ගොඩගැසී ඇති PCR සාම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කර PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් මෙම සාකච්චාවේදී යෝජනා වී තිබෙනවා.

මේ අතර සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදී වෛද්‍ය උපකරණද මිල දී ගෙන මධ්‍යස්ථානවලට ලබා දීමට මෙහිදී තීරණය කෙරුනා.

එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී උපදෙස් දී ඇත්තේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ගනු ලබන තීන්දු තීරණ පිළිබද වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි ෴

@@@@@@@@@@@@@@@@

(10.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය වෙළඳපොලේ හිඟවීම සහ මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට ගොවීන් දිනෙන් දින චෝදනා කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇළහැර ගොවිජනපදයේ පිහිටි අත්තනකඩවල යාය 20 සහ 28 ගොවි සංවිධාන යටතේ මෙවර යල කන්නය සඳහා කුඹුරු අක්කර 278 කට ආසන්න ප්‍රමාණයක වී වගා කර තිබෙනවා.

එම වගාවන් සඳහා යූරියා පොහොර මෙතෙක් නොලැබීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය තීරණය කළ යුත්තේ ගොවීන් කාබනික පොහොර සඳහා හුරු කිරීමෙන් අනතුරුව බවයි.

මේ අතර, රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ට කෘෂි රසායනික පොහොර ලබාදීමට අද (10) එම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් කටයුතු කළා.

කෙසේ වෙතත්, කෘෂි රසායන පොහොර ලබාදීම සඳහා ගිරිතලේ ගොවිජන සේවා කාර්යාලයට පැමිණෙන ලෙසට එම ප්‍රදේශයේ ගොවීන්ට දැනුවත් කළ ද අද (10) පෙරවරුවේ එම ගොවිජන සේවා කාර්යාලය විවෘත කර නොතිබීම නිසා ගොවීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

මේ අතර, කෘෂිකර්මාන්තය හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය විශේෂ බලපත්‍රයක් යටතේ මැයි 06 වනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනය කිරීමට අවසර ලබා දීමට අදාළ ගැසට් නිවේදනය බොහෝදුරට අද (10) දිනයේ නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය සඳහන් කළා.

******************************************

(10.05.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

මේ පොළොන්නරුවේ සිට ත්‍රිකුණාමලය සහ කන්තලේ නගරවලට පිවිසීමට හැකි කෙටිම මාර්ගයවන මින්නේරිය – හතරැස්කොටුව ප්‍රධාන මාර්ගයයි.

ද්විත්ව මංතීරු සහිතව කිලෝමීටර් 15 ක දුරකින් යුතු මෙම මාර්ගය සංවර්ධනය කිරීම 2014 වසරේදී ආරම්භ වුණා.

ඒ සඳහා වෙන් කල මුදල රුපියල් මිලියන 1.5 ක්.

ඉබිගමනින් සිදුවන මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘හිරු රතු මිනිත්තුව’ බලධාරීන්ගේ අවධානයට පළමුවරට ලක් කළේ පසුගිය වසරේ ජූලි මාසයේයි.

කෙසේ වෙතත් වසර 7 ක් පමණ ගතවුවත් තවමත් මෙම මාර්ගයේ ඉදිකිරීම් අවසන්වී නැහැ.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය සහ ගල්ඔය හංදිය දුම්රිය ස්ථානයද මෙම මාර්ගය ආශ්‍රිතව පිහිටා තිබීම හේතුවෙන් දිනකට මාර්ගය භාවිත කරන රථවාහන සංඛ්‍යාවද දහසකට (1000) අධිකයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ඉදිරිපිට ඇති වැඩ අවසන් නොකළ අඩි 50 ක පමණ පාලම මේ වන විට මරු කපොල්ලක් බවට පත්ව තිබෙනවා.

අනතුරකට අත වනන මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඉටු කරගත හැකිවන පරිදි සංවර්ධන කටයුතු වේගවත් කිරීමට බලධාරීන් තවදුරටත් පසුබටවීම කනගාටුවට කරුණක්.

******************************************

(10.05.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි වඩිගවැව ආක්‍රමණශීලී ශාකවලින් වැසීයාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.

මේ ආක්‍රමණශීලී ශාක වලින් වැසී යමින් පවතින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වඩිගවැවයි.

මෙම වැව වසර ගනණාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම ලක් නොවීම මීට හේතුව බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම තත්ත්වය හමුවේ සිය වගාවන්ට මෙන්ම දෛනික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට ද නොහැකි තත්ත්වයකට ගම්වාසීන් පත්ව සිටිනවා.

වඩිගවැව ගම්මානයේ පවුල් 300 ක් පමණ සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදුකරන්නේ ගොවිතැනයි.

මෙම ගම්මානයේ අක්කර 1300 ක පමණ වගාබිම් තිබෙන අතර ඒවා අස්වැද්දීම අද වන විට මහ කන්නයට සීමා වී ඇත්තේ වැසි ජලයෙන් පමණක් කුඹුරු වැඩ සිදුකිරීමට හේතුවීමෙනි.

යළ කන්නයේ වගා කිරීමට හැකි භූමි ප්‍රමාණය අක්කර 300 කට ආසන්න බවයි ගොවීන් සඳහන් කළේ.

ආක්‍රමණශීලී ශාක හා රොන්මඩ වලින් වැව වැසීයාම හේතුවෙන් වගා කටයුතු සදහා ප්‍රමාණවත් ජලය ලබා ගැනීමට නොහැකි බවටයි ඔවුන් මැසිවිලි නගන්නේ.

බෝධිරුක්කාරාම විහාරය ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැව කඩිනමින් නිසි ලෙස ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *