වෛද්‍ය රසායනාගාර සේවාව ධාරිතාව පැනලා – රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර සේවාව ධාරිතාව පැනලා – රවී කුමුදේශ්

*********************************************

වෛද්‍ය රසායනාගාර සේවාව ධාරිතාව පැනලා – රවී කුමුදේශ්

(09.05.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට වෛද්‍ය රසායනාගාර ධාරිතා සීමාව ඉක්මවමින් පවතින බැවින්, ඊට අදාළව වහාම පිලියම් යෙදිය යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ යෝජිත විකල්ප ක්‍රියාමාර්ග ප්‍රමාදවී හෝ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙසයි.

ඒ සදහා මධ්‍යගත රසායනාගාර සේවාවට සමාන්තරව මුලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් පදනම් කර ගත් විමධ්‍යගත රසායනාගාර සේවාවකට අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමෙන් පමණක් පරීක්ෂණ ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විකල්ප රසායනගාර ක්‍රම ස්ථාපිත කිරීම දිනෙන් දිනම ප්‍රමාද කිරීම බරපතල අර්බුදයකට අතවැනීමක් බවත් එබැවින් මෙම සේවා කඩිනම් කර සාම්ප්‍රදායික PCR පරීක්ෂණ වෙනුවට ස්ථානීය PCR පරීක්ෂණ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ, ජංගම රසායනාගාර යන සංකල්ප ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් අවධාරණය කරනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳව තාක්ෂණික වාර්තා හතරක් (4) ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන් වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.

නමුත් ඒ පිළිබඳව මේ දක්වා සාකච්ඡා කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ .

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ‘උද්දච්ච’ ස්වභාවය මහජනතාවට හානිකර බැවින්, ජනධිපතිවරයා මැදිහත් වී හෝ විමධ්‍යගත රසායනාගාර සේවාව වහා ආරම්භ කල යුතු බවටයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ ෴

++++++++++++++++++++++

(09.05.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

බස් හිමියන් සහ සේවකයන් සඳහා ලබන සතිය තුල කොරෝනා එන්නත් ලබා නොදුනහොත් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

++++++++++++++++++++++

(09.05.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 1365 දෙනෙකු අද (09) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 104,463 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ විසි තුන්දහස් දෙසිය හතරක් (1,23,204) ලෙස සටහන් වනවා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1732 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 124,966 ක් ලෙසටයි ෴

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබා දෙන සේවා තවදුරටත් තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා ෴

සියලු රාජ්‍ය ආයතනවල ගර්භනී මාතාවන් සේවයට කැඳවීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට බලය පැවරෙන අතර, ඊට අදාළ චක්‍රලේඛය හෙට (10) නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++

(09.05.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන බදාදා (12) සෞඛ්‍ය විශේෂඥයින් ඇතුලු පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ එහිදී පාසල්, පෙරපාසල්, පිරිවෙන් හා විශ්ව විද්‍යාල ආරම්භ කිරීම පිලිබඳව අදාල උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර කොරෝනා අවදානම මත පාසල් වසා දමා ඇති පසුබිමක පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හෙවත් මාර්ගත ක්‍රමවේදයට සිදු කිරීම තුල ගැටලු රැසක් පැන නැගී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++

(09.05.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය මිනිසුන් අතර ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ වාතය හරහා බවත්, එමගින් අඩි 6 කට වැඩි දුරකින් සිටින පුද්ගලයෙකුට පවා ආසාදනය සිදුවිය හැකි බවත්, සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

මීට පෙර බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව මගින් ද මේ බව තහවුරු කර තිබුණා.

ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ ආසාදිත පුද්ගලයෙකුගේ ප්‍රශ්වාසයේදී වාතයට එක්වන සියුම් අංශු මගින් අඩි තුනේ (3) සිට 6 දක්වා දුරින් සිටින පුද්ගලයන්ට වෛරසය ආසාදනය විය හැකි බවයි.

ඇතැම් විට ආසාදිත පුද්ගලයෙකු රැදී සිටි ස්ථානයක වාතයෙහි යම් කාලයක් වෛරසය රැදී තිබිය හැකි බව ද එමගින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් අතර කායික දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, ප්‍රමාණවත් වාත්‍රාශයක් පවත්වා ගැනීම සහ ගෘහස්ථව පුද්ගලයන් ඒකරාශි නොවීම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට වැදගත් වන බව සී.ඩී.සී. ආයතනය සඳහන් කළා.

මේ අතර, ඉන්දියාවෙන් නැවතත් පැය 24 ක් තුල, කොරෝනා මරණ 4092 ක් වාර්තා වූ අතර, දෛනික ආසාදිත සංඛ්‍යාව පස්වන (5) දිනටත් හාර ලක්ෂය (400,000) ඉක්මවූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට නව කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 71 ක් ප්‍රාන්ත 10 කට කේන්ද්‍ර ගත වී ඇති බවයි. මහාරාෂ්ට්‍ර, කර්නාටක සහ දිල්ලි ප්‍රාන්ත ඒ අතුරෙන් ප්‍රධානයි.

මීට අමතරව, කේරළ, තමිල්නාඩු, උත්තර් ප්‍රදේශ්, ආන්ද්‍ර ප්‍රදේශ්, බටහිර බෙංගාල, රාජස්ථාන් සහ හර්යානා ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ රෝහල් වල ඔක්සිජන් සැපයුම සහතික කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (08) කාර්ය සාධක බලකායක් ද පත් කරනු ලැබුවා.

කෙසේ නමුත්, තවමත් ප්‍රමාණවත් පහසුකම් නොලැබීම හේතුවෙන් ඉන්දීය රජය කොරෝනා ආසාදිතයින්ට උපදෙස් දෙන්නේ හැකිතාක් දුරට රෝහල් ගත වීමෙන් වළකින ලෙසයි.

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීම ද ගැටලුකාරි වී ඇති අතර එක් ඉන්දීය රූපවාහිනි සේවාවක් සඳහන් කළේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ බවට සැලකිය හැකි මළ සිරුරු යමුනා නදියේ පා වෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ බවයි.

(09.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

අද (09) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1732 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 1,24,966 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1,365 දෙනෙකු අද (09) සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,04,463 ක් ලෙසයි.

මේ වනවිට රෝහල්ගතව කොරෝනා ආසාදිතයින් 17,985 ක් ප්‍රතිකාර ලබනවා.

ගෙවුණු දිනයේ කොරෝනා මරණ 22 ත් වාර්තා වූ අතර ඉන් මරණ 7 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මරණ 22 න් 19 කටම හේතුව වී තිබුනේ ‘කොවිඩ් නියෝමෝනියා’ තත්ත්වයයි.

වාර්තා වූ නව මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 786 ක් දක්වා ඉහළ ගියා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට පසුගිය වසරේ ඔක්තෝබර් 4 දක්වා මාස 7 ක කාලය තුළ මෙරටින් වාර්තා වුණේ කොවිඩ් මරණ 13 ක් පමණයි.

ඉන් අනතුරුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව කොවිඩ් පොකුරු වාර්තා වීමෙන් පසු පසුගිය අප්‍රේල් 13 වැනිදා දක්වා මාස 6 ක කාලයේදී කොවිඩ් මරණ 589 ක් වාර්තා වී තිබෙනවා.

නමුත්, අප්‍රේල් 14 වැනිදායින් පසු ආරම්භ වූ ‘අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරෙන්’ දින 25 දී පමණක් කොරෝනා මරණ 184 ක් වාර්තා වීම විශේෂත්වයක්.

මේ අතර, බස් හිමියන් සහ සේවකයන් සඳහා ලබන සතිය තුල කොරෝනා එන්නත් ලබා නොදුනහොත් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය’ පැවසුවා.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මගින් ලබාදෙන සේවා තවදුරටත් තාවකාලිකව නතර කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා කියා සිටියා.

මේ අතර, එළැඹෙන බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරඟ සංචාරයේ මූලික සංචිතයට නම් කළ නවක ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (09) තහවුරු වුණා ෴

ජුලි මාසයේදී එන්නත් 900,000 ක් ලබා ගැනීමට ෆයිසර් සමාගම සමඟ ගිවිසුම්ගතව ඇති බවත්, ඔක්තෝම්බර් මාසයේදී එන්නත් මිලියන 4.9 ක් ලැබෙන බවත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා ෴

++++++++++++++++++++

(09.05.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 927 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව අද (09) දවසේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2659 ක්. ඒ අනුව අද (09) දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා ෴

විදෙස්ගතව පැමිණි තවත් 13 දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (09) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2672 ක්. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 125,906 ක් ලෙසටයි ෴

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා ෴

++++++++++++++++++++++

ඖෂධ නිවසට ගෙන්වා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් දුරකථන අංක කිහිපයක්

(09.05.2021 – 20:54 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අවශ්‍ය ඖෂධ නිවසේවලට ගෙන්වා ගැනීමේ පහසුකම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සලසා තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර එම අංක අමතා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගත හැකියි.

මහනුවර070 190 2737
පේරාදෙණිය070 190 2739
කුරුණෑගල070 171 8318
කොළඹ 01070 190 2740
කොළඹ 04070 190 2741
කොළඹ 07070 190 2742
ගම්පහ070 190 2773

++++++++++++++++++++++

(09.05.2021 – 20:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 සැමට අභියෝගයක් වී ඇති අදවන විට නව ජන්මලාභි බිළිඳුන්ට එහි බලපෑම කෙබඳුද..? මේ මාරාන්තික කොවිඩ්-19 වෛරසය නව ජන්මලාභී බිළිඳුන්ටත් වැළඳීමට ඉඩකඩ පවතිනවාද..? මේ වෛරසයෙන් ඔවුන් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද..? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

++++++++++++++++++++++

(09.05.2021 – 22:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 15 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 801 ක් ලෙසටයි.

++++++++++++++++++++++

(09.05.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

අද ලෝක මව්වරුන්ගේ දිනයයි.

නමුත් අදත් සිය දරුවන්ගෙන් වෙන්ව සිටීමට සිදුවූ මව්වරුන් ද සිටිනවා.

ඒ කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා කැප වී සිටින සුව වීරවරියන්.

මවුවරුන්ගේ දිනයේදී හිරු ප්‍රවෘත්ති ඒ වීර මාතාවන් සොයා ගියා.

අන් අයගේ සුව සහනය වෙනුවෙන් මව්වරුන්ගේ දිනයේත් සේවයට කැපවූ වීර මාතාවන් පිරිස අපට හමුවන්නේ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේදියි.

කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන් බොහෝ දෙනෙකුට සහ කොවිඩ් ආසාදිතව විවිධ සංකූලතා ඇතිවූ වෙනත් රෝගීන් සඳහාද ප්‍රතිකාර ලබාදීමට මෙම රෝහල් කාර්ය මණ්ඩලයේ සුව වීර වරියන් රැයක් දවාලක් නොමැතිව වෙහෙසෙන්නේ, සිය පෞද්ගලික ජීවිතය මුලුමනින්ම අමතක කරමින්.

ලෝක මව්වරුන්ගේ දිනය තම මව්පියන් හෝ සහ දරුවන් සමඟ ගත කිරීමට නොහැකි වු මේ සුව වීරවරියන් කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සඳහා අනවරත අරගලයක නිරත වනවා.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතයට සෘජුව මුහුණ දෙන මොවුන් පෙරලා බලාපොරොත්තු වන්නේ ඔබ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණයි.

ඒ හැකි ඉක්මනින් සිය ආදරණීයන් සමඟ කාලය ගත කිරීමට ඇති මහත් වූ අපේක්ෂාවෙන්.

++++++++++++++++++++

(09.05.2021 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ගෙදර බුදුන් අම්මා ලෙසින් හඳුන්වන්නේ වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුව මව නිසයි.

එසේ වුවත් හැදූ වැඩූ මව්පියන් රෝහලක අත්හැර දමා ගිය සිදුවීමක් මව්වරුන්ගේ දිනය යෙදී තිබෙන අද (09) අපට වාර්තා වුණා.

කොළඹ ප්‍රදේශයේ රෝහලක බාහිර රෝගී අංශයේ රැඳී සිටින මේ මව් පිය යුවල රෝහලට ඇතුලත් කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි.

කොවිඩ් වසංගතයෙන් සමාජය බැට කමින් සිටින වෙලාවක මේ යුවල දින කිහිපයක් තිස්සේ මෙලෙස රැඳී සිට ඇත්තේ කිසිදු භාරකරුවෙකු ඔවුන් රැගෙන යාමට නොපැමිණීම හේතුවෙන්.

එම මව් පියන් සිය කදුළු වචන වලට පෙරලුවේ මෙලෙසින්.

@@@@@@@@@@@@@@@@@

(09.05.2021 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්මාන්තය හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය විශේෂ බලපත්‍රයක් යටතේ මැයි 06 වනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනය කිරීමට අවසර ලබාදෙන බව ආනයන අපනයන පාලක ජනරාල්වරිය පවසනවා.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත මේ වනවිටත් යොමුකර තිබෙනවා.

රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ද ඒ බව තහවුරු කළා.

ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය තහනම් කරමින් ආනයන, අපනයන පාලක ජනරාල්වරිය පසුගියදා නියෝගයක් නිකුත් කළා.

ඒ රජයේ තීරණයකට අනුවයි.

ඒ අනුව, මෙරටට සියලුම රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වීම මැයි මස 6 වනදා සිට තහනම් කෙරුණා.

එමෙන්ම, ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම හෝ විවෘත කරන ලද ණයවර ලිපිවලට මුදල් නොගෙවන ලෙසත්, ශ්‍රී ලංකා රේගුවට සහ සියලු බැංකුවලට දැනුම්දී ඇතැයි ද අදාළ නිවේදනයෙන් දක්වා තිබුණා.

ඒ අනුව, මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා මෙතෙක් භාවිත කළ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය වෙළඳපොල තුල හිඟවීම මෙන්ම, මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි විවිධ ප්‍රදේශවල ගොවීන් චෝදනා කළේ.

එවැනි පසුබිමක් තුල මැයි 06 වනදායින් පසු කෘෂිකර්මාන්තය හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය විශේෂ බලපත්‍රයක් යටතේ ආනයනය සඳහා අවසර ලබා දෙන බවයි ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළේ.

ඊට අදාල ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කිරීමට නියමිත විධිවිධාන ආනයන අපනයන පාලන වෙබ් අඩවියේ ද දක්වා තිබෙනවා.

මෙම විධි විධානයන්ට අනුව, ඇතැම් රසායන ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම්.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ආනයන අපනයන පාලක ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ සියලු රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම තුලින් කෘෂි නොවන ඇතැම් කර්මාන්ත කඩා වැටීමේ අර්බුදයක් මතුවීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ෴

Department of Imports and Exports Control, Sri Lanka

Sri Lanka Customs

******************************************

(09.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *