මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි – රටපුරා තවත් ප්‍රභේද 5 ක්

මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි – රටපුරා තවත් ප්‍රභේද 5 ක්

*********************************************

මාරාන්තික ඉන්දීය කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි – රටපුරා තවත් ප්‍රභේද 5 ක්

(08.05.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ව්‍යාප්ත වන බී.1.617 වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින්.

ඔහු ඉන්දියානුවෙක් වන අතර, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපලේදී කළ පී.සී.ආර්. පරීක්ෂණය මගින් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පසුව, ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා ඇති අතර, මේ වනවිට දින 14 ක් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයාගෙන් ලබා ගත් සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් මගින් අදියර කිහිපයක් යටතේ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම ඉන්දීය ජාතිකයාට ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන බී.1.617 ප්‍රභේදය වැළදී තිබූ බවට අනාවරණ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, මෙම ඉන්දීය වෛරස් ප්‍රභේදය සැලකෙන්නේ දැනට ලොවපුරා පැතිර යන වෛරසයන් අතුරින් දැඩි අවධානයක් යොමුකළ යුතු කොරෝනා වෛරස් ප්‍රභේදයක් ලෙසයි.

මොහු විදේශ ගතව සිට පැමිණි අයෙක් බවට අනාවරණ වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට අමතරව, තවත් වෛරස් ප්‍රභේද 5 ක් ශ්‍රී ලංකාව තුල පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණයන් මගින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, අද (08) වනවිට ශ්‍රී ලංකාවේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයා ගැණුනු බී.1.1.7 නමැති කොරෝනා වෛරස් ප්‍රභේදයයි.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොළඹ මහනගර සභා සීමාව, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවී ඇත්තේ මෙම වෛරස් ප්‍රභේදයයි.

මීට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අම්බලන්පොල, ගිරිවුල්ල, පන්නල, වාරියපොල සහ පඬුවස්නුවර, ප්‍රදේශ මෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ මැදිරිගිරිය ප්‍රදේශවලින් බි්‍රතාන්‍ය වෛරසය හඳුනාගෙන තිබෙනවා.

මන්නාරම නගර සීමාවෙන් හමුවූ රෝගීන් පරීක්ෂා කිරීමේදී ද හඳුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයයි.

මේ අතර, ඩෙන්මාර්කය ඇතුළු යුරෝපීය රටවල සහ මෙන්ම මැදපෙරදිග පැතිර යන බී.1.428 නමැති වෛරස් ප්‍රභේදයන් යාපනය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එය පැතිර යන කේන්ද්‍රස්ථානය ලෙස හඳුනාගෙන ඇත්තේ නල්ලූර් ප්‍රදේශයයි.

මඩකලපුව සහ කොළඹ ඇතැම් ප්‍රදේශවල බී.1.411 නම් ශ්‍රී ලංකාවට ආවේණික වූ වෙනම කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිර යන බවට ද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් සහ කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම ප්‍රදේශයෙන් බී.1.525 නමැති නයිජීරියානු වෛරස් ප්‍රභේදය ද වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම, කොළඹ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකින් බී.1.351 නමැති දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය ද හමුවී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++

(08.05.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ බලන ශ්‍රී ලංකා නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නීවේරාස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී දී සිදුව තිබෙනවා.

මෙහිදී කොරෝනා ව්‍යසනය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔලිවියා නීවේරාස් ගෙන් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක්වූ ඔලිවියා නීවේරාස් සඳහන් කර ඇත්තේ වඩාත්ම අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බවත් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවයි.

++++++++++++++++++++++

(08.05.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1335 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 103,098 ක් දක්වා ඉහළ ගියා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 121,338 ක් හමුවී තිබෙනවා. ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17476 ක්.

මෙරටින් කොරෝනා මරණ 764 ක් ද වාර්තාවුනා ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 970 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 122,308 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++++

(08.05.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 970 දෙනෙකු අද (08) දිනයේදී මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,22,308 දක්වා ඉහළ ගියා.

එසේම, හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවේ අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම අද (08) ආරම්භ කෙරුණා.

සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඊයේ (07) හිමි වූ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුව ද එය භාවිත කිරීම සඳහා අවසර ලබා දී තිබුණා.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ශ්‍රී ලාංකිකයින්ට එම එන්නත ලබාදීම අද (08) ආරම්භ කෙරුණු අතර, එම ස්ථානයේදී එන්නත්කරණ කටයුතු සිදු නොවන බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් යම් නොසන්සුන්තාවක් ඇතිවුණා.

කෙසේ වෙතත්, පසුව එන්නත්කරණ කටයුතු ඇරඹුණු අතර, එම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පුද්ගලයින් සිය දෙනෙකුට (100) පමණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එහිදී ලබාදුන් අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ සයිනොෆාම් එන්නත දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ප්‍රභේදයටද ශක්තිමත්ව ප්‍රතිරෝධය දක්වන බවයි.

එසේම, මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශවල පුද්ගලයින් 175 දෙනෙකුටද අද (08) පස්වරුවේ සයිනොෆාම් එන්නත ලබාදුන්නා.

මේ අතර, අද (08) දිනයේදී රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1,335 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,03,098 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 18,446 ක් පමණයි.

මේ වනවිට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105 ක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානවල ආසාදිතයින් සඳහා වෙන් කර ඇති ගිලන් ඇඳන් සංඛ්‍යාව 19,000 කට ආසන්න බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, වායුසමීකරණ සහිත පරිසරයක වාතයේ වැඩි වේලාවක් කොරෝනා වෛරසය පවතින බැවින් එම ස්ථානවලදීද නිසි ආකාරයෙන් මුව ආවරණ පැළඳ සිටිය යුතු බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොළඹ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සංචරණයට දැඩි සීමා පැනවීම, ප්‍රතිකාර තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු නිර්දේශ කිහිපයක් එහි ඇතුළත්.

මේ අතර, තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ සෙන්ට් කුම්බ්ස් වතුයායේ නිලධාරින් සහ සේවකයින් 140 දෙනෙකු අද (08) දින කොරෝනා පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා.

ඒ, තේ පර්යේෂණ ආයතනයේ සහ කර්මාන්තශාලාවක 30 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට මීට පෙර හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

+++++++++++++++++++++++++

(08.05.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් චීන සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සමාගම් දිරිගැන්වීමට චීන තානාපති කාර්යාලය මෙරට බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

+++++++++++++++++++

(08.05.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 920 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව අද (08) දිනයට මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1890 ක්.

එමන්ම මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 122,416 ක් ලෙසටයි ෴

විදෙස්ගතව සිට පැමිණි කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද (08) දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1896 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 123,234 ක් ලෙසටයි.

ඉන් 19,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති සංඛ්‍යාව 103,098 ක්.

මෙරටින් කොරෝනා මරණ 764 ක් ද වාර්තාවුනා.

මේ අතර කොරෝනා එන්නතේ පළමු (1) මාත්‍රාව මේවන විට මෙරට පුද්ගලයන් 929,776 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 190,210 ක් ෴

++++++++++++++++++++++

(08.05.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 22 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 786 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවු පළමු දිනය අදයි.

ඊයේ (07) මෙරටින් මරණ 19 ක් වාර්තා වුණා.

+++++++++++++++++++

(09.05.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුල දිවයින පුරා පොලිසිය සිදු කළ මෙහෙයුම්වලින් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරුනු පුද්ගලයන් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුව ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථ භාවය තබා නොගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 6965ක් වනවා.

ඉන් 6000 කට ආසන්න පිරිසකට අධිකරණවල නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අනෙක් සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි.

මේ අතර ඊයේ (08) දිනයේදී බස්නාහිර පළාත තුල ජංගම වෙළඳාමේ නිරතවන පුද්ගලයන් 650 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 114 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිතයන් බවටයි එහිදී අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම වෙරළ තීර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක ඇතුලු පොදු ස්ථානවල නිරෝධායන නීති පිළිපදින්නේ ද යන්න පිළිබඳ සොයා ඊයේ (08) සෞඛ්‍ය බලධාරීන් සමග පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයන් 849 දෙනෙකුට අවවාද කර ඇති අතර 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් 32 ක් නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ. එම මෙහෙයුම අද (09) දිනයේ ද සිදු කිරීමට නියමිතයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1896 දෙනෙකු ඊයේ (08) මෙරටින් වාර්තා වූ අතර, මෙරටින් කොරෝනා මරණ විසි දෙකක් (22) ද ඊයේ (08) වාර්තා වුණා.

ඊයේ (08) වාර්තා වූ ආසාදිතයන්ගෙන් 06 දෙනෙකු විදේශ රටවල සිට පැමිණි අය බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඊයේ (08) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1896 දෙනා සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 123,234 ක් ලෙසටයි.

රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1,335 දෙනෙකු ඊයේ (08) සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,098 ක් ලෙසයි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,372 ක්.

එසේම, ඊයේ (08) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 22 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 786 ක් ලෙස දැක්වෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාගම, කඩවත, මුල්ලේරියාව උතුර, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, බොරැල්ල, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගණේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල, අගලවත්ත, වලහන්දූව, පෝද්දල, ගලගෙදර සහ ගන්නොරුව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔවුන් වයස අවුරුදු 57 ත්, 84 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, කොරෝනා මර්දන එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් චීන සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සමාගම් දිරිගැන්වීමට මෙරට බලධාරීන් චීන තානාපති කාර්යාලය සමග සමීපව කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එසේම කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රයෝජනය සඳහා සීදුව ප්‍රදේශයේ යුද හමුදාව ඉදිකරනු ලබන සියලු සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත මෙරට වැඩිම ධාරිතාවකින් යුක්ත රෝහලේ ඉඳිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතිනවා.

එම රෝහල වෙනත් සායන කටයුතු වෙනුවෙන්ද භාවිත කළ හැකි වීම විශේෂත්වයක්.

එහි ඉඳිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (08) එක්වුණා ෴

@@@@@@@@@@@@@@@@@@

(08.05.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 1831 ක් ලෙසයි.

එය මීට මාසයකට පෙර රන් මිල හා සසඳන විට සියයට 4.5 ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, වසරකට පෙර මිලට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයක් ෴

******************************************

(08.05.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දැඩි ලෙස ආරක්ෂිත පක්ෂින් විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් කොටු කර ගැනීමට ගම්පහ වන ජීවී කාර්යාලයේ නිළධාරීන් සමත් වුණා.

අද (08) ‘හිරු CIA’ අනාවරණය ඒ පිළිබඳවයි…

උකුස්සන් ආදී මෙරට ආරක්ෂිත සත්වයින් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරම් පිළිබද කතාබහක් මෙරට මුල් වරට කරලියට පැමිණෙන්නේ පසුගිය වසරේ ජූලි 30 වැනි දින උකුස්සෙකු පොලිස් භාරයට ගැනීමත් සමගයි.

එම උකුස්සා පාතාල කල්ලි නායකයෙකුව සිටි ඉන්දියාවේදී මිය ගිය බවට සැලකෙන ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකුගේ භාරයේ තිබී සොයා ගනු ලැබුවා.

එවන් පසුබිමක් තුල වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව ආරක්ෂිත සත්වයෙකු වන ‘මවුන්ටන් හෝක් ඊගල්’ හෙවත් ‘කොන්ඩ රාජලින්’ මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් භාර සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් වික්‍රමආරච්චි මහතාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව වනසත්ව නියාමක ශානුක සඳරුවන් මහතා ගණුදෙනු කරුවෙක් ලෙස සූක්ෂමව පෙනී සිටිමින් කොණ්ඩ රාජලියෙකු මිලදී ගැනීම සඳහා ජාවාරම්කරුවන් සමග දුරකතන මාර්ගයෙන් සංවාදයක් ගොඩනගා ගැනීමට සමත් වුණා.

මෙහිදී පක්ෂීන්ගේ ඡායාරූප පෙන්වමින් කොණ්ඩ රාජලි පැටවුන් රුපියල් 36,500 ට විකුණන බවයි ජාවාරම්කරුවන් පවසා ඇත්තේ.

පසුව කොන්ඩ රාජාලි පැටවකුගේ දර්ශනද වට්ස්ඇප් මාර්ගයෙන් මෙලෙස යොමු කර තිබුණා.

අනතුරුව මෙම ජාවරම වැටලීම සඳහා ‘හිරු CIA’ කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික් වනජීවී නිළධාරීන් සමග සැළසුමක් සකස් කළා.

ඒ අනුව අද (08) අලුයම 5 ට වන ජීවී නිළධාරීන් දස දෙනෙකු (10) ගෙන් යුත් කණ්ඩායමක් ‘හිරු CIA’ කණ්ඩායමද සමගින් කඩුවෙල – වැලිවිට ප්‍රදේශයට පිටත් වුණා.

මෙම ස්ථානයේ රැකවල්ලාගෙන සිටි වනජීවී නිලධාරීන් කොණ්ඩ රාජලියා රැගෙන පැමිණි සැකකරුවන් සිය ග්‍රහණයට ගැනීමට සමත්වුණා.

පසුව අදාළ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටිකාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉදිරිපත් කෙරුණේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටයි.

මෙම සතුන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇද්දැයි සෙවීම සඳහා තවත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

******************************************

(08.05.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – බදුල්ල මාර්ගයට බලංගොඩ, සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා මතුවී තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දෙන්නේ ෴

******************************************

(09.05.2021 – 06:03 +0530 – hirunews.lk/sinhala)

කුරියර් සේවාවන් හරහා විදෙස් සමාගම් වෙතින් මෙරට පුද්ගලයන්ට ලැබෙන ජංගම දුරකථන වංචනිකව ලබාගැනීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු සහ සොරකම් කළ දුරකථන 16 ක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ලොව සෑම රටකම ව්‍යාප්ත වී ඇති කුරියර් සමාගමක් හරහා මෙරට පුද්ගලයෙකුට එවූ දුරකථනයක් කටුනායක ගුවන්තොටුපලට ලැබීමෙන් පසු අතුරුදන්වීමක් පිළිබඳ ගුවන්තොටුපල පොලිසියට ලැබීමෙන් අනතුරුවයි මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කරනු ලැබුවේ.

අනතුරුව එම පැමිණිල්ල මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයට භාරදී තිබෙනවා.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශණවලදී හෙළිවී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල මෙලෙස ලැබුනු ජංගම දුරකථන 19 ක් සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවටයි.

ඉන් 16 ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව අදාළ කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් 3 දෙනෙකු සහ එම කුරියර් සේවාවේ භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට ලැබෙන භාණ්ඩය පිළිබඳ දැනුවත්ව සිටින කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් භාණ්ඩ බෙදාහරින පුද්ගලයන්ට කරන දැනුම්දීමකට අනුව ගුවන්තොටුපලේ කැමරා නොමැති ස්ථානයකදී අදාළ පාර්සල් කඩා එහි ඇති දුරකථන සොරකම් කරන බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සොරකම් කරන දුරකථන මහනුවර, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල දුරකථන අලෙවි කරන ස්ථානවල තිබියදී සොයාගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් මිනුවන්ගොඩ, කොට්ටාව, ජාඇල, කටුපොත සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් සොරකම් කළ දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ කුරියර් සමාගමේ වැඩපරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව ලොරිය තුලදී ඇසුරුම් කපා දුරකථනය සොරකම් කරගෙන ඇසුරුම පැවති පරිදි ඇලවීමටයි සැකකරුවන් කටයුතු කර ඇත්තේ.

නැතිවූ දුරකථනය සඳහා රක්ෂණ සමාගම්වලින් මුදල් ලැබෙන බැවින් දුරකතනවල හිමිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට මැලිකමක් දක්වා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

කුරියර් සේවය මගින් ගෙන්වාගත් දුරකථනය අස්ථාන වු බව පිළිගෙන රක්‍ෂණයෙන් මුදල් ලබාගැනීමට අකමැතිවූ පුද්ගලයෙකු මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර, ඒ පිළිබඳව පොලීසිය සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසුවයි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශණ සිදුකරන අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුරියර් සේවාවක් හරහා මෙලෙස දුරකථන ගෙන්වා එය නොලැබී ඇත්නම් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපතිවරයාගේ 071 402 4042 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසටයි.

++++++++++++++

******************************************

(09.05.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

උදාවන සෑම දිනයක්ම අම්මාගේ මහා කරුණාවට වෙන් වූ බව අදහන අප ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මේ සටහන තබන්නේ ලක්ෂ සංඛ්‍යාත මව්වරුන් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාරමිතා පුරන තත්ත්වයක සිටයි.

ලොව බොහෝ රටවල් මැයි මාසයේ දෙවන ඉරිදා මව්වරුන්ගේ ඉරිදාව ලෙස සමරනවා. එය 1912 වසරේ සිට ඇරඹුනු බව ඉතිහාසයේ සඳහන්.

ලොව කිසිදිනෙක කිසිවකට සමකළ නොහැකි දෙයක් වේ නම් ඒ අම්මා පමණයි.

අම්මා ‘ගෙදර බුදුන්’ පමණක් නොව ලොවම ජිවත් කරවන අපිරිමිත වස්තුවයි. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද වදන් වලට කැටිකල හැකි ද ?

කොරෝනා අර්බුදය හමුවේ තම දරුවන් රැක දෙන්නැයි ලොවපුරා මව්වරුන් අද සොබා දහමෙන් අයදිමින් සිටිනවා.

ඒ උතුම් මව්වරුන්ගේ ප්‍රාර්ථනාවට මහා වටිනාකමක් ලබාදීම දරුවන් වූ සැමගේ වගකීම නොවේද ?

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපට මව්වරුන්ගේ දිනය මහා සැමරුමක් නොවුණත් අම්මාගේ සෙනෙහස අමතක කළ අතලොස්සක ඇය වෙනුවෙන් කැප වීම මතක් කරන්නට අද දිනය (මැයි මස දෙවන ඉරුදින) වැදගත් වනවා නොඅනුමානයි.

දරුවන් වෙනුවෙන් දහසක් දුක් ගැහැට විඳින අම්මාගේ අපිරිමිත සෙනෙහස හුස්ම පොද පවතිනතුරු නිම නොවන යථාර්ථයක්.

ඔබ ගන්නා සෑම හුස්ම පොදක් වෙනුවෙන්ම ඇය මහා කැප කිරීම් සිදුකර ඇති බව ඔබේ හුස්ම නවතිනතුරු අමතක නොකරන්න.

++++++++++++

(වික්ටර් රත්නායක සූරීන් ජීවත්ව සිටියදී ගැයූ ගීතයක් – ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ පදමාලාවක්)

******************************************

(09.05.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

මොරටුව අධිකරණ භූමියේදී බන්ධනාගාර නිධාරීන්ගෙන් මිදී පළාගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් 38 හැවිරිදි සැකකරු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදීයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ මෙම සැකකරු පසුගිය අප්‍රේල් 8 වනදා අත්අඩංගුවෙන් මිදී පළාගොස් තිබුණා.

ඔහු අත්අඩංගුවෙන් මිදී පළායාමෙන් පසුව මෙන්ම ඊට පෙර සිදු කළ රන් මාල කඩා ගැනීම් යතුරුපැදි සොරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද අවශ්‍ය කරන සැකකරුවෙක්.

සැකකරු සොරකම් කළ යතුරුපැදි දෙකක් (2) සහ රන් මාල තුනක් (3) සොයාගෙන තිබෙනවා.

ඒවා සොරකම් කර ඇත්තේ මොරටුමුල්ල සහ ගල්කිස්ස පොලිස් වසම්වලදීයි.

මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා මොරටුමුල්ල පොලිසියට භාරදී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *