රසායනික පොහොර ආනයනය නවතා දැමීම නිසා ගොවීන් අපහසුතාවට

රසායනික පොහොර ආනයනය නවතා දැමීම නිසා ගොවීන් අපහසුතාවට

*********************************************

රසායනික පොහොර ආනයනය නවතා දැමීම නිසා ගොවීන් අපහසුතාවට

(07.05.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය රජය විසින් නවතා දැමීමත් සමඟ ඇතිව තිබෙන පොහොර හිඟය හේතුවෙන් එළවළු ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වනවා.

ගොවීන් මැසිවිලි නගන්නේ මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් තොග සඟවා ඇති ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ ජාවාරමක ද නිරත වන බවයි.

තමන් පත්ව ඇති අපහසුතාවය පිලිබඳව අදහස් පළ කරන ගොවීන් පවසන්නේ එළවළු සඳහා මෙන්ම ඉදිරි කන්නයේ වගා කිරීමට සූදානම් කර ඇති බීජ සඳහා අවශ්‍ය පොහොර ද වෙළඳුන් විසින් සඟවා ඇති බවයි.

මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය හාලිඇල දී අද (07) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ අතර අද (07) පැවති මාධ්‍ය හමුවකදී පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා රජය ගත් තීන්දුව කිසිවිටෙක ආපසු හැරවීමට සූදානම් නොමැති බවයි.

පොහොර සගවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියා.

******************************************

(08.05.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපතිවරයා ලෙස යෝජනා කෙරුණු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් මහතා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු සභාව බොහෝදුරට ලබන 20 වනදා රැස්වීමට නියමිතයි.

ජනාධිපති කාර්යාලය විසින්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් මහතාගේ නම නීතිපති තනතුරට යෝජනා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පසුගියදා දන්වා එවා තිබුණා.

ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නිල කාලය ලබන 20 වනදායින් අවසන් වීම හේතුවෙන්.

නව නීතිපතිවරයා ලෙස යෝජනා කර ඇති සංජේ රාජරත්නම් මහතා මේ වනවිට වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කරන අතර, 2019 වසරේ ඔක්තෝම්බර් පළමුවනදා (01) ඔහු එම තනතුරට පත් කෙරුණේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ වැඩ තහනමට ලක්වීමෙන් පසුවයි.

ඊට පෙර ඔහු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කළා.

ධූරයෙන් විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ අතර, ඔහු සඳහන් කර තිබුණේ තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමැති බවයි ෴

******************************************

(08.05.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ලෝක කුරුළු පර්යටන දිනය අදට (08) යෙදී තිබෙනවා.

කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට යන්න මෙවර එහි තේමාවයි.

ජීව විද්‍යාත්මක හේතුන් මත හෝ ශීත ඍතුව එළඹීම වැනි දේශගුණික හේතූන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් වෙනත් රටවලට සංක්‍රමණය වීම ‘කුරුළු පර්යටනය’ ලෙස හැඳින්වෙනවා.

ශ්‍රී ලංකාවට බහුලව සංක්‍රමණික පක්ෂීන් පැමිණෙන්නේ ඉන්දියාවේ සිට සයිබීරියානු ධ්‍රැව වෘන්තය දක්වා වන ප්‍රදේශ වල සිටයි.

ඒ අනුව සයිබීරියාව, උතුරු ඉන්දියාව සහ මධ්‍යම රුසියාව වැනි ප්‍රදේශ වල සිට පැමිණි පක්ෂීන් වර්ග 115 ත් 150 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලදී දැක ගත හැකියි.

පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ දැනට හඳුනාගෙන ඇති පරිදි එම පක්ෂීන් කල්පිටිය, යාපනය, මන්නාරම සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වලින් දිවයිනට ඇතුලු වන බවයි.

සංක්‍රමණික පක්ෂීන් බහුතරයත් මෙරටට පැමිණෙන්නේ අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වලදීයී.

ඒ අනුව ලෝක කුරුළු පර්යටන දිනය යෙදී ඇති මේ සමයේ ශ්‍රී ලංකාව තුල දැකගත හැකි වන්නේ රෝස මුහුදු ලිහිණියා සහ දක්ෂිණ ධ්‍රැව ශීත ඍතුවේදී පැමිණෙන පර්යටන පක්ෂීන් පමණයි.

මෙලෙස පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව අතිශය ආරක්ෂිත රටක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන්ම මෙරටට සංක්‍රමණික පක්ෂීන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට කොරෝනා වෛරසය සමඟ මෙම සංක්‍රමණ පක්ෂීන්ට මෙන්ම මෙරට පක්ෂීන්ට ද අවදානමකට මුහුණදීමට සිදුවෙලා.

ඒ දෛනිකව බැහැර කරන අතිවිශාල මුව ආවරණ ප්‍රමාණය නිසාවෙන්.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ දැනට වාර්තා වන අන්දමට දිනකට රට තුල මුව ආවරණ මිලියන 15 ක් ඉවත දමන බවයි.

පසුගිය වසරේ මුල් මාස 06 තුල පමණක් මුහුණු ආවරණ ටොන් 800 ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණා ෴

******************************************

හිමිකරුවන් නැතත් ෆේස්බුක් ගිණුම් ලක්‍ෂ 20 ක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නෑ…

(08.05.2021 – 08:01 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20 ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76 ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20 ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.

තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

@@@@@@@@@@@@@@@@

(07.05.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමෙන් අදත් (07) මගීන් අපහසුතාවට මෙන්ම දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වුණා.

දුම්රිය ධාවනයේ මෙම ගැටලුවට හේතුවී ඇත්තේ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

+++++++++++++++++++++++

(07.05.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 792 ක් සහ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් 25 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 121,338 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (07) දිනයේ පමණක් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1914 ක්.

හමුවූ ආසාදිතයන්ගෙන් 18,830 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 101,763 ක්.

මෙරටින් මරණ 745 ක් ද වාර්තා වුණා.

මේ අතර කොරෝනා එන්තේ පළමු මාත්‍රාව මේවන විට පුද්ගලයන් 928,776 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රාව 177,235 කට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(07.05.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යෘප්තිය පාලනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන සතියේ සිට එම එන්නත මෙරට ජනතාවට ලබාදීමට නියමිතයි.

මේ අතර චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත්, ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරා ගෙන ලබන සතියේ සිට ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා ෴

++++++++++++++++++++++

(07.05.2021 – 22:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්වල ග්‍රාම නිලධාරී වසම් 8 ක් හෙට (08) උදෑසන 05:00 සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරෙනු ඇති.

ඊට අමතරව මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කෙරෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් වසමට අයත් කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, මාලියබඩ සහ පියදිගම බටහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ ද හෙට (08) උදෑසන 05:00 සිට හුදෙකලා කෙරෙනවා.

++++++++++++++++++++++++

(07.05.2021 – 23:18 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 19 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 764 ක් ලෙසටයි.

+++++++++++++++++++++++

(08.05.2021 – 06:04 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම සේවා වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත සහ පල්ලියවත්ත දකුණ ග්‍රාමසේවා වසම් හුදෙකලා කෙරෙන අතර, මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරඟ පොකුණ, ගල්උඩුපිට සහ මත්තුමගල ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කෙරෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත මෙන්ම, කළුතර උතුර විද්‍යාසාර ග්‍රාමසේවා වසමේ බෝසිරිපුර කොටස සහ මහ වස්කඩුව උතුර ග්‍රාමසේවා වසමද හුදෙකලාවට ලක් කෙරෙනු ඇති.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගමද හුදෙකලාවට ලක් කරන බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ.

මීට අමතරව යාපනය කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමන් මධ්‍යම සහ කොඩිකාමන් උතුර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 08 ක් අද (08) උදෑසන පහේ (05:00) සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා ඊයේ (07) රාත්‍රියේ නිවේදනය කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම සේවා වසම සහ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරුණා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මලියගොඩ සහ පියදිගම ග්‍රාම සේවා වසම් අද (08) උදෑසන පහේ සිට හුදෙකලාවට ලක් කෙරුණා ෴

+++++++++++++++++++++

(08.05.2021 – 06:07 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් 617 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ දක්වා කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගැනුණු දිනය ඊයේ (07) දිනය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස 6539 ක් ෴

++++++++++++++++++++++++++

(08.05.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ කුලියාපිටිය නගරය, අස්වැද්දුම, මීගහකොටුව, දික්හැර, දීගල්ල, කබලෑව, කිරින්දව, අනුක්කනේ, ඉහල කලුගමුව, වෙරලුගම, තබ්බෝමුල්ල, දණ්ඩගමුව බටහිර, දණ්ඩගමුව නැගෙනහිර, මඩකුඹුරුමුල්ල, ඉහළ වීරඹුව, පහළ වීරඹුව, කෝන්ගහගෙදර, තුන්මෝදර සහ කැටවලගෙදර යන ග්‍රාමසේවා වසම් තවදුරටත් හුදෙකලාභාවයේ පවතිනු ඇති.

එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම සේවා වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් නිදහස් කරන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා ෴

+++++++++++++++++++++

(08.05.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දුම්රිය ධාවනයේ ගැටලුවක් නිර්මාණය වීමට හේතුව දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට ද සිදුව ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පොදු ප්‍රවාහනයේදී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු වනවා.

කෙසේ වෙතත්, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුල දුම්රිය මගීන්ට සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව දුම්රියේ ගමන් කිරීමටයි.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ සේවා කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා ෴

++++++++++++++++++++++

දේශීය වෙදකමට අවස්ථාවක් නොදීම ජාතික අපරාධයක්; සාපරාදී ක්‍රියාදාමයක් – සිංහල වෙද උරුම භාරය (07.05.2021)

https://www.youtube.com/watch?v=QGJcxWIZqAA

++++++++++++++++++++++

වසංගතයෙන් අප බේරා ගන්න දේශිය වෙදකමට ඉඩ ලැබෙයි (07.05.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *