බස්නාහිර තවත් ග්‍රාම සේවා වසම් 12 ක් හුදෙකලා කෙරේ – කළුතර ග්‍රාමසේවා වසම් කිහිපයක් විවෘත වෙයි

බස්නාහිර තවත් ග්‍රාම සේවා වසම් 12 ක් හුදෙකලා කෙරේ – කළුතර ග්‍රාමසේවා වසම් කිහිපයක් විවෘත වෙයි

*********************************************

බස්නාහිර තවත් ග්‍රාම සේවා වසම් 12 ක් හුදෙකලා කෙරේ – කළුතර ග්‍රාමසේවා වසම් කිහිපයක් විවෘත වෙයි

(07.05.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ තවත් ග්‍රාම සේවා වසම් 12 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් වසමේ ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහල කරගහමුන උතුර සහ ඉහළ කරගහමුන උතුර මෙලෙස හුදෙකලා කෙරෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, කුන්දන සහ පොල්හේන මෙලෙස හුදෙකලා කරන ග්‍රාමසේවා වසම්වලට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ තින්ඹුර සහ මතුගම පොලිස් වසමේ යටියන බටහිර ග්‍රාම සේවා වසමද හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය – ඉඟුරුදළුව පොලිස් වසම අද (07) උදෑසන සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනවා.

මීට අමතරව මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත සහ පහල හෙවස්ස අද (07) උදෑසන සිට හුදෙකලා භාවයෙන් ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 1,895 ඊයේ (06) දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1,19,424 දක්වා ඉහළ ගියා.

ඊයේ (06) දිනයේදී වාර්තාවූ ආසාදිතයන්ගෙන් 44 දෙනෙකු විදෙස් ගතව සිට මෙරටට පැමිණි අයවලුන්.

එමෙන්ම, ඊයේ (06) දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 11 ක් වාර්තා වුණා.

ඊයේ (06) දිනයේ වාර්තා වූ මරණ 11 න් 09 ක්ම කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් මියගිය අයවලුන් වනවා.

මියගිය පුද්ගලයින් කුලියාපිටිය, ඉනාමලුව, කටුවන, බෙන්තොට, සීදුව, මල්ලවගෙදර, ගෙලිඔය, යාපනය, උඩවලව, බුළුතොට සහ කොළඹ 03 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වයස අවුරුදු 43 ත්, 81 ත් අතර පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 745 ක් ලෙසයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිත සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බවයි.

එය සංඛ්‍යාත්මකව ගත් කළ 20,841 ක් වනවා.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවද 15,910 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැනට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත ආසාදිතයන් 35,425 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21,872 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8,774 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 5,171 ක්. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4,989 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3,294 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු දිනක් තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බවයි.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් කොරෝනා ඖෂධ ලෙස හඳුන්වමින් අලෙවි කරන ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපලෙන් ඉවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන් බවයි.

මීට මාස කිහිපයකට පමණ පෙර ජනතාව විසින් භාවිත කිරීමට පොරකෑ මිත්‍යාවක් බවට තහවුරු වූ ‘ධම්මික පැණිය’ ඊට උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි බවටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ දිනවල කරාපිටිය ශික්ෂණ රෝහල ආශ්‍රිතවද කොරෝනා වෛරසයට සුදුසු බව පවසමින් ඖෂධ කරලක් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබෙනවා.

එබැවින් කොරෝනා වෛරසය පැතිර යන අවස්ථාවක ජනතාව අසරණ කරමින් මුදල් කොල්ලකන පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ෴

++++++++++++++++++++++++

(07.05.2021 – 06:26 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) දහවල් හදිසියේම දුම්රිය ගමන් වාර විසිදෙකක් (22) අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ හේතුවෙන් ඊයේ (06) සවස කාර්යාල දුම්රිය තුළ දැඩි තදබදයක් හට ගත්තා.

ඇති වූ තදබදය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නියමිත දුරස්ථභාවය තබාගෙන දුම්රියයන් හි ගමන් කිරීමට නොහැකි වූ බවයි දුම්රිය මගීන් පවසන්නේ.

කෙසේ වෙතත් හදිසියේ ගත් මෙම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමේ තීරණය හේතුවෙන් නුදුරේදීම ‘දුම්රිය පොකුරක්’ බිහිවනු ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එමෙන්ම කිසිදු පූර්ව දැනුම් දීමක් නොමැතිව මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර තමන් අපහසුතාවටත් අනතුරුදායක තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ට චෝදනා කරනවා.

+++++++++++++++++++++++++++

(07.05.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල් පද්ධතිය තුල ඇති රෝගී ඇඳන් සංඛ්‍යාව 86,000 ක්

ඒ අතුරින් කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව දල වශයෙන් 5,000 පමණ වෙනවා.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය මත මෙරට රෝගී ඇඳන් සංඛ්‍යාව තවදුරටත් වැඩි කර ගත යුතු බවට සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා.

මෙම අසීරු ඉලක්කය ජය ගැනීමේ වගකීම පැවරෙන්නේ ත්‍රිවිධ හමුදාවටයි.

ඔවුන් එකා වන්ව එක්ව මෙරට කොවිඩ් රෝගී ප්‍රතිකාර පහසුකම ඇඳන් 8,000 ක් දක්වා වර්ධනය කර ගන්නවා.

කෙසේ වෙතත් දිනෙන් දින වැඩිවන කොවිඩ් අභියෝගය හමුවේ අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුල ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 14,000 ක් ඉක්මවනවා.

මේ තත්වය යටතේයි මෙරට රෝගී ඇඳන් සංඛ්‍යාව දහස් ගණනින් වැඩිකරලීමේ වගකීමත් ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගේ කර මත පැටවෙනවා.

කවදත් අභියෝග හමුවේ නොසැලෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙම සටනට එක්වන්නේ කොළඹ සීදුව ප්‍රදේශයේ ඇඳන් 1,200 ක නවතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරමින්.

මේ පියවරෙන් පියවර එහි ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරයයි.

++++++++++++++++++++++++

(07.05.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහණය තවදුරටත් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

වසංගත තත්වයට පෙර ලෝක ජනගහණයෙන් සියයට 8.9 ක් එනම් මිලියන 690 ක් පමණ මන්දපෝෂණයෙන් පෙලුනු අතර, එය තවත් මිලියන 83 ත් 132 ත් අතර අගයකින් ඉහළ යා හැකි බවටයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලික ඇස්තමේන්තු මගින් පෙන්වා දී ඇත්තේ.

2019 ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව රටවල් 113 ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 66 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ළමා මන්ද පෝෂණය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීනව පවතින ගැටළුවක් බවයි.

වසංගත කාල පරිච්ඡේදය තුළදී ආහාර නිෂ්පාදනය අඛන්ඩව සිදුකිරීම හා බෙදාහැරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබුවද ගෝලීය හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික හා සමාජ කටයුතු සීමාකිරීම් හා සංචරණ සීමා පැනවීම් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ලවී තිබෙනවා.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ආහාර සඳහා ඇති ඉල්ලුම කෙරෙහි රෝග ව්‍යාප්ති මාර්ග පිළිබඳව ජනතාව තුළ ඇතිවූ ආකල්පවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන ප්‍රෝටීන් මූලාශ්‍ර ආහාර වන මස් සහ මාළු සඳහා පැවති ඉල්ලුම පසුගිය වසර තුළ පහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

වසංගත තත්වය මධ්‍යයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ලක් රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගනු ලැබුවා.

ආහාර අවශ්‍යතා යම් ප්‍රමාණයකට සපුරා ගැනීමට එතුළින් සහය සැලසුන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව තවමත් අපනයනය මත යැපෙන බැවින් රටේ ආහාර සුරක්ෂිතතාවට ඇති අවදානම වළක්වා ගැනීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම රට තුළ ආහාර වෙළඳාමට පහසුකම් සැළසීම ඉතා වැදගත් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

එමෙන්ම ගෝලීයව මුහුණ පා ඇති වසංගත තත්වය හමුවේ ආහාර හිඟයන් ඇතිවිය හැකි බවට අනාවැකි පළවන පසුබිමක් තුළ වන අලින්, වඳුරන්, මොණරුන් සහ වල් ඌරන් වැනි වන සතුන් හේතුවෙන් සැළකිය යුතු භෝග හානියක් මෙරට තුළ සිදුවන අතර, එමඟින් දේශීය ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ ෴

+++++++++++++++++++

(07.05.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ මෙරට දිනකට ලක්ෂ 15 කට වැඩි මුහුණු ආවරණ ප්‍රමාණයක් පරිසරයට එක් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පරිසර අමාත්‍යාංශයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ෴

+++++++++++++++++++

(07.05.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

තනි මාත්‍රාවක් ලෙස සකස් කළ ‘ස්පුට්නික්’ එන්නතේ නව විශේෂයක් සඳහා රුසියාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ එන්නත සඳහා මූල්‍ය සහය ලබාදුන් රුසියානු ඍජු ආයෝජන අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ‘ස්පුට්නික් ලයිට්’ ලෙස හඳුන්වන තනි මාත්‍රා එන්නත සියයට 79.4 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි.

මාත්‍රා දෙක (2) සහිත ‘ස්පුට්නික් ෆයිව්’ එන්නත සියයට 91.6 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර, එය එරට තුළ භාවිතය ආරම්භ කෙරුනේ පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වනදා සිටයි.

ස්පුට්නික් ෆයිව් එන්නත මේ වනවිට රටවල් 60 කට අධික සංඛ්‍යාවක් භාවිතයට ගන්නා අතර, යුරෝපා වෛද්‍ය ඒජන්සිය හෝ ඇමරිකානු ආධාර හා ඖෂධ පාලන අධිකාරිය තවමත් එය අනුමත කර නැහැ.

කෙසේ වෙතත්, රුසියාවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගයක් ලැබුණු අතර, එහි පළමු මාත්‍රාව ලබාදීම ඊයේ (06) ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආරම්භ කෙරුණා.

ඒ අනුව පුද්ගලයින් 669 දෙනෙකුට එහි පළමු මාත්‍රාව ලබාදී තිබුණා.

මේ අතර අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව ඖෂධයක් යොදාගැනීමට ඉන්දීය ඖෂධ නියාමන බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.

‘නැට්කෝෆාමා’ නම් ආයතනයක් විසින් නිෂ්පාදනය කරන රූමටික් ආතරයිටිස් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගත් ‘බාර්සිටිනිබ්’ නම් ඖෂධයයි.

මේ අතර, කොරෝනා වසංගතයෙන් මේ වනවිට ලොව වැඩිම පීඩාවට ලක්වන ඉන්දියාවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සැපයුම් බෙදාහැරීමේ ගැටළුවක් මතු වී තිබෙනවා.

ඉන්දියාවට අවශ්‍ය ඖෂධ හා ඔක්සිජන් නිපදවීමේ උපකරණ බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල් රැසකින් ලැබී ඇති අතර, එලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 300 ක් පමණ ගුවන් යානා 25 කින් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පමණක් ළඟා වී ඇති බව සඳහන්.

කෙසේ නමුත්, ඒවා ඉන්දියාව පුරා රෝහල් වෙත ලබාදීම පමා වී ඇති අතර, ලබන සඳුඳා සන්ධ්‍යාව වනතුරු පළමු ආධාර තොගය බෙදාහැරීමට නොහැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

කෙසේ නමුත්, ඉන්දීය රජය ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පැය 24 පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, දිල්ලියට දෛනිකව අවශ්‍ය වන ටොන් 700 ක ඔක්සිජන් ලබාදෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝගයක් නිකුත් කළා.

ඒ, ඉන්දීය රජය විසින් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ බලය සහිත උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ප්‍රාන්තවලට ප්‍රමුඛත්වය ලබාදීමට එරෙහිව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ගොනුකළ පෙත්සමක් සලකා බලමින්.

ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ දිල්ලියේ කිසිදු කොවිඩ් රෝගියෙකු ඔක්සිජන් හිඟයෙන් මියයෑමට ඉඩ නොදෙන බවයි ෴

++++++++++++++++++++

(07.05.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මහතා මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා මෙවර IPL තරඟාවලියට එක්වීම සඳහා ඉන්දීයාවට ගොස් සිටියා.

කෙසේ වෙතත් ඉන්දියාවේ මේ වනවිට පවතින දැඩි කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරඟ සංවිධායකයක් තීරණය කළා.

ඒ අනුව තරඟාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වූවා.

අනතුරුව විදෙස් රටවල සිට IPL තරඟාවලිය සඳහා එරටට පැමිණ සිටි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඔවුන්ගේ රටවලට යැවීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

කෙසේ වෙතත් ඇතැම් රටවල් ඉන්දියාව අතර ගුවන් ගමන් නවතා දමා තිබීම හේතුවෙන් එම ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තම රටවල් වෙත යාමට නොහැකි තවත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධන මහතාට ද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි ක්‍රිකට් කළමනාකාරීත්වය පවසන්නේ ඒ අනුව මහේල මහතා මාලදිවයිනේ නිරෝධායනය කාලසීමාව නිමකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ෴

@@@@@@@@@@@@@@@@

(07.05.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 07 අධික මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ගේ පාර්ශවයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂකාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය-1 හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විසිඑක් හැවිරිදි (21) ‘තවසිදේවන් ප්‍රදීප් කුමාර්’ නමැති මෙම සැකකරු ප්‍රකට පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ පාර්ශවයේ, විදේශ ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රබල පුද්ගලයකු වන ‘සුරේෂ්’ නැමත්ත්ගේ ප්‍රධාන ගෝලයකු බව අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.22, හෑෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.527 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 4 ක් සහ ජංගම දුරකතනයක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 07 කට අධික බව සඳහන්.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

******************************************

(07.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හා ආබාධිත රණවිරුවන්ගෙන් යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන මේ මස සිටම ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා 07 ක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකකට (2) පසුගිය අප්‍රේල් 27 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය විවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ වැන්දඹුවන් වෙත මියගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමිගන්වන ලද වැටුප් හා දීමනාවල එකතුව නොවෙනස්ව ඔවුන් ජීවත්ව සිටින තෙක් ගෙවීම ඊට ඇතුළත්.

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දෙමව්පියන් වෙත වයස අවුරුදු 55 සම්පූර්ණ වන දින සිට දෙමව්පියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000 ක මාසික දීමනාවක් හිමි ගැන්වීම සහ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින් වෙත මේ වනවිටත් ජීවිතාන්තය දක්වා ගෙවන වැටුප් හා දීමනා ඔවුන් මියගිය විට යැපෙන්නන් වෙත ගෙවීමද මෙලෙස ක්‍රියාත්මක කෙරෙන යෝජනාවලට ඇතුළත් වනවා ෴

******************************************

(07.05.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

පිළිකාකාරක අඩංගු බවට අනාවරණ වීම හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලැබුණු පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක් අද (07) ප්‍රතිඅපනයනය කිරීමට නියමිතයි.

ඒ සඳහා ඒවා රැගෙන යාමට නියමිත ‘එවර්එතික්’ නැමති නෞකාව අද (07) පස්වරුවේ කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි රේගුව සඳහන් කළේ.

පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක් අඩංගු අඩි විස්සේ (20) බහලුම් 12 ක් ඒ අනුව අද (07) මලයාසියාවට ප්‍රතිඅපනයනය කෙරෙනවා.

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 1850 ක් මෙරට සමාගම් 3 ක් විසින් ආනයනය කර තිබුණා.

එලෙස පිලිකා කාරක පොල්තෙල් ගෙන්වූ එදිරිසිංහ සමාගමේ පොල්තෙල් වලින් මෙට්‍රික් ටොන් 105 ක කොටසක් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගිය දා පියවර ගෙන තිබුණා ෴

******************************************

(07.05.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ඔම්බුඩ්ස්මන් (දුක්ගැනවිලි) අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබෙනවා .

බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ මහත්මිය මෙරට පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියයි.

මෙම ස්ථාන මාරුවත් සමග ඇය යටතේ මෙම ඒකකයේ සේවය කළ නිලධාරීන්ට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේය මෙම ස්ථාන මාරුව පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවයි.

අදාල නියෝජ්‍ය පොලිස්පතිවරිය නුදුරේදීම නව තනතුරක පිහිටවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(07.05.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

තීරුබදු නොගෙවා මෙරටට ගෙන් වූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු (3) දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි ප්‍රමාණය 212,000 ක්.

47 සහ 45 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුවන් දෙමටගොඩ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ ෴

******************************************

(07.05.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

නව නීතිපතිවරයා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම පාර්ලිමේන්තු සභාව වෙත යෝජනා කර එවා තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපති කාර්යාලය විසින් අදාළ නම යෝජනා කර ඇති බවයි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නිල කාලය ලබන 20 වනදායින් අවසන් වීමට නියමිතයි ෴

******************************************

(07.05.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

නව බදු සංශෝධන සමඟ මුදල් අමාත්‍යාංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේ පළමු මාස තුන (3) සඳහා ලබාදුන් බදු ආදායම් ඉලක්කය වන රුපියල් මිලියන 575.5 න් 98% ක් මේ වනවිට සපුරාගෙන තිබෙනවා.

රජයේ මුදල් කාරක සභාවේදී මේ බව අනාවරණ වී යැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ඉලක්ක සම්පූර්ණ කිරීම අගය කළ යුතු බව මුදල් කාරක සභාව සඳහන් කර ඇති අතර, බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව වැඩි කරගත යුතු බවද අවධාරණය කර තිබෙනවා.

2018 වසරේදී වසර 05 ක කාලයක් සඳහා හඳුන්වා දුන් නව බදු සංශෝධන අනුව බදු ගෙවිය යුතු පුද්ගල ආදායම් සීමාව රුපියල් ලක්ෂ පහේ (500,000) සිට මිලියන 03 (3,000,000) දක්වා ඉහළ නංවනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *