දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

*********************************************

දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ

(05.05.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, ගම්පහ-කිරිඳිවැල, කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නවනගරය, වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම යන ග්‍රාමනිලධාරී මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ, පූවරසන්කුලම් පොලිස් වසමේ, කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමත් මේ මොහෙතේ සිට හුදකලා කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++++

(05.05.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 173 ක් ඊයේ (04) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

දේශීය වෛද්‍යවරුන්ව රවටන අපේ පාලකයෝ – ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දී නෑ (04.05.2021)

https://www.youtube.com/watch?v=fRf2f-YPlRI

+++++++++++++++++++++++

ලංකාවේ සෑම ගෘහණියක්ම වෛද්‍යවරියක් – සිංහල වෙදකමේ මූලධර්ම – ආචාර්ය සූරිය ගුණසේකර (02.05.2021)

+++++++++++++++++++++++

(05.05.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව මේ දක්වා පුද්ගලයන් 139,286 දෙනෙකුට ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඊයේ (04) දිනය තුළ පමණක් 21,715 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදීමට හැකිවූ බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබීමෙන් පසු එන්තත්කරණය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 29 වනදා සිටයි.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242 කුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++

(05.05.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,15,590 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඊයේ (04) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,860 දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් වාර්තාවී ඇති අතර, ඉතිරි 54 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (04) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රිකක්යෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 542 ක්.

කොළඹින් ආසාදිතයන් 531 කුත්, කළුතරින් 116 ක් සහ ගාල්ලෙන් 112 කුත් වාර්තාවනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 15,728 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 99,153 ක්.

ඊයේ (04) දිනයේ මෙරටින් කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර, ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 709 ක් ලෙසයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරන්නේ පසුගිය සතිය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම සියයට 70 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ෴

සම්මන්ත්‍රණ, සාද, ගෘහස්ථ හෝ එළිමහන් උත්සව සහ සංදර්ශන පවත්වන හෝ ඊට අනුබල දෙන අය නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++++++++++

(05.05.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

‘1990 සුවසැරිය ගිලන් රථ සේවය’ට මේ වන විට දිනකට 5300 කට අධික දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමගින් දිනකට දහසකට (1000) වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත කිරීම සඳහා කටයුතු කරනවා.

දැනට දිවයින පුරා සුවසැරිය ගිලන් රථ 297 ක් පවතින අතර එහි කාර්ය මණ්ඩලයේ 1394 ක් පමණ සේවය කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, අලුතෙන් ගිලන් රථ 112 ක පමණ අවශ්‍යතාව පවතින බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(05.05.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල පොලිස් වසම යළි හුදෙකලා කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීම සඳහා එම ප්‍රදේශවල තත්ත්වය පිළිබද ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් අද (05) එම ප්‍රදේශයට පිටත් කර හරින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඊයේ (04) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ද ඔහු කියා සිටියා.

පසුගිය 2 වැනිදා පෙරවරුවේ හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 42 ක් පසුදා උදෑසන වන විට යළි හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීම ගැන මේ වන විට පවතින්නේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණේ කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේට යි ෴

+++++++++++++++++++++

(05.05.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වයත් සමඟ වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (05) නැවත විවෘත කළා.

මේ වනවිට එළවළු රැගත් ලොරි රැසක් ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ආර්ථීක මධ්‍යස්ථානයේ මග දෙපස මෙම ලොරි රථ ගාල් කර තිබෙන අයුරු දක්නට ලැබෙන බවද අප වාර්තාකරු කියා සිටියා.

කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුණු අතර, එම කාලය තුළත් එළවලු ගොවීන් රැසක් සිය අස්වනු රැගෙන දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණා.

ඔවුන් සිය අස්වනු විකුණාගත නොහැකිව මාර්ගය දෙපස අනාරක්ෂිත ලෙස සිය තොග විකුණන අයුරු පසුගිය දිනවල හිරු ප්‍රවෘත්ති ඔස්සේ දිගින් දිගටම වාර්තා කරනු ලැබුවා.

එවන් තත්වයක් තුළයි අද සිට දැඩි සෞඛ්‍ය නීතිරිති අනුගමනය කරමින් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කරන බවට ඊයේ (04) බලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ ෴

++++++++++++++++++++++

(05.05.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්වුණා.

පවතින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබද ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම නැගෙනහිර පළාතෙන් පසුගිය සතියේ ආසාදිතයන් 829 දෙනෙකු වාර්තාවී ඇති අතර, ගතවූ පැය විසි හතර (24) තුළ ආසාදිතයන් 100 දෙනෙකු පමණ වාර්තාවී ඇති බවයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියේ ෴

+++++++++++++++++++

(05.05.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ කිසියම් ආයතනයක් වසා දැමීමට සිදුවුවහොත් සේවය අවසන් කිරීමේ පනත යටතේ සේවකයින්ට වන්දි ලබා ගැනීමට ඉඩකඩ සලසා දී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යාංශයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට රැකියා අවස්ථා 15,000 ක් පමණ අහිමි වී ඇති බවයි ෴

+++++++++++++++++++++

(05.05.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ ප්‍රදේශයේ පුද්ගලයින් තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔවුන් සියලුදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මියගිය පිරිස එකම පවුලේ බිරිඳ, ඇගේ ස්වාමි පුරුෂයා මෙන්ම අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවක් බවයි.

ඔවුන් අවුරුදු 84 ත් 91 අතර වයස්වල පසුවන්නන් වනවා.

මියගිය යුවළගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳද මේ වනවිට කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඥාති කාන්තාවගේ දියණියටද මේ වනවිට කොරෝනා වැළඳී ඇති බවයි වාර්තාවන්නේ ෴

@@@@@@@@@@@@@@@

මුළු මහත් රටක් දකිමින් සිටි සිහිනය සැබෑ කිරීමට ජනපති ගත් උත්සාහය අතිවිශිෂ්ඨයි – දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර

(05.05.2021 – 06:01 +0530 – lankaleadnews.com)

ජාතික ගොවි ජන එකමුතුව විසින් ඊයේ (04) රාජගිරිය නාවල පාරේ පිහිටි ‘ජාතික සංවිධාන එකමුතුවේ’ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් ‘දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ’ මහ ලේකම් වෛද්‍ය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතිය බලා සිටි රසායනික පොහොර භාවිතය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ප්‍රතිපත්තිමය තීන්දුව මේ රටේ ජනයා දුටු සුභ සිහිනය සැබෑ වීමක් ලෙස සලකන බවයි.

කෙසේ වුවද ඉතා දිගු කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිතා කරමින් නිසරු කර තිබෙන මහ පොළොව එක් වරම රසායනික පොහොර නවතා ගොවිතැන් කිරීමට උත්සහා කිරීම මගින් කෘෂි අස්වැන්නේ යම් පහළ වැටීමක් සිදුවීමට ඉඩ තිබෙන බව වෛද්‍ය වසන්ත බංඩාර මහතා පෙන්වා දුනි. මේ තත්වය නරාවලට වැටී තිබෙන විපක්ෂයට ගොඩ යාමට පිදුරු ගසක් සැපයීමක් වීමට බොහෝ ඉඩ කඩ තිබෙන බැවින් ඉතා ප්‍රවේශමෙන් මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ක්‍රියාවට නැංවීම කළ යුතු බව වෛද්‍ය වසන්ත බංඩාර මහතා අවධාරණය කළේය. දීර්ඝ කාලයක් රසායනික පොහොර භාවිතයට හුරුවූ ගොවි ජනයා ඊනියා හරිත විප්ලවය මගින් මොළ සෝදාගත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින් මෙන්ම විපක්ෂය මෙම ප්‍රතිපත්තිමය තීන්දුවේ ප්‍රායෝගික භාවිතය තුළ ඇතිවන අඬු ලුහුඬුකම් ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව සහ ජනාධිපති තුමා වැරදි තීන්දුවක් ගත් බවට සමාජගත කොට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්වන ක්‍රියාමාර්ග තේරීමට කිරීමට කටයුතු කරණු ඇති බවද පවසා සිටියේය.

******************************************

(05.05.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල සිදුවූ අපරාධ කිහිපයකට සහ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අලිවත්තේ අසිත’ නැමැත්තා ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත ඔහු තාවකාලිකව නැවතී සිටි වත්තල ප්‍රදේශයේ නිවසක තිබී ජීව අත්බෝම්බයක්ද සොයාගැනුනු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

පසුව මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

******************************************

(05.05.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණා.

අරලියගහ මන්දිරයේ මෙම සාකච්ඡාව පැවැත්වුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු එම රැස්වීමට සහභාගි වී නොමැති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර පැවති ආණ්ඩු පක්ෂයේ රැස්වීමකට ද මොවුන් සහභාගි වී සිටියේ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ (04) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය ගැන ද සාකච්ඡා වී තිබෙනවා.

පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව බහුතර පිරිසකගේ අදහස් වී තිබුණා.

එසේම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ අනෙකුත් සියළු කටයුතු සකස් කොට අවසන් කිරීමට ද එහිදී තීරණය වී ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඊට සහභාගි වූ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය කල් යනු ඇති බවයි.

එසේම යම් හෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් අවාසිසහගත වනු ඇති බවට ද මත පළ වී තිබුණා ෴

******************************************

(05.05.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පසුගිය මැතිවරණවලදී එළඹුණු ගිවිසුම් මේ වන විටත් කඩවී ඇති බවයි ඔහු කියා සිටියේ.

******************************************

(05.05.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගැබට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයාගේ මෙම ආගමනය සම්ප්‍රධායානුකූලව මාස තුනකට (3) වරක් සිදු වන්නක් බවයි පර්ලිමේන්තු ප්‍රකාශකවරයෙකු අප සමඟ සඳහන් කළේ. ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 11 වන දිනත් මෙලෙස සභාගැබට පැමිණියා ෴

******************************************

(05.05.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

බේරුවල අවට මුහුදු සීමාවේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 437 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 130 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ 31 වැනි සැකකරු ඇප මත මුදා හැරීමේ නියෝගයට එදිරිව නීතිපතිවරයා විසින් කොළඹ අභියාචනා අධිකරණය වෙතින් වාරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා ෴

******************************************

(05.05.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය අවහිරතාවක් නොමැති බව නීතිපතිවරයා අද දැනුම් දුන්නා ෴

නීතිපතිවරයා සිය ධුර කාලය තුළ අපරාධ නඩු 27,206 ක් සම්බන්ධයෙන් කටයුතු අවසන්කර තිබෙන බව නීතිපතිවරයාගේ ප්‍රකාශිකාව පවසනවා ෴

(05.05.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් පාර්ලිමේන්තුවට රැගෙන නොඑන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අද (05) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද (05) දිනයේත් පාර්ලිමේන්තුවට රැගෙන නොඒම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර, අමාත්‍යාංශ නිවේදන යටතේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වන අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පැමිණ අසුන් ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයත් සමඟ සභා ගර්භයේ ඇතිවුණේ සංවාදාත්මක තත්ත්වයක්.

මේ එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ මුජිබර් රහුමාන් :

+++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *