කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට

කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට

*********************************************

කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට

(04.05.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, බම්බලපිටිය, මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත් වූ 25 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සමත් වුණා.

අදාල රාත්‍රී සමාජ ශාලාවේ සාදයක් සඳහා සූදානමින් සිටි පිරිසක් පිළිබඳ ලද තොරතුරක් මත පිට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එහි ගොස් මෙම වැටලීම සිදුකළා.

අදාල වැටලීමේදී මෙම සාදයට එක්වන්නට පැමිණ සිටි කාන්තාවන් 07 දෙනකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් හට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතයි.

පසුගිය සිකුරාදා එළිදැක්වූ කොවිඩ් 19 නව මාර්ගෝපදේශ යටතේය සාද සහ ප්‍රියසම්භාෂණ පැවැත්වීම සපුරා තහනම් වනවා ෴

++++++++++++++++++++++++

(04.05.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා හා පතල් කැණිම් කාර්ය්‍ය අංශයේ සේවකයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ හරහා එහි සේවකයින් වීශාල ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිතව ඇති බවටයි වාර්තා වන්නේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ දෛනික සේවා පවත්වා ගැනිමේ ගැටළුවක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ වැඩ කටයුතු තව දුරටත් පවත්වාගෙන යන්නේ ද යන තීරණය අද ගැනීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ බොහෝ විට භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය වසා දැමෙනු ඇත ෴

+++++++++++++++++++++++

(04.05.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක පහක ග්‍රාම නිලධාරී වසම් 09 ක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී වසමත්, කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය – පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටර් සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

++++++++++++++++++++++

(04.05.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පැතිර යාමත් සමඟ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආයතන තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කම්කරු නිලධාරින් සොයාබැලීම් සිදුකරන බවයි.

කම්කරු අමාත්‍යවරයා, සේවා යෝජකයින් සහ වෘත්තිය සමිති ඇතුළත් කාර්ය සාධක බලකාය මීට පෙර ගනු ලැබූ තීරණයකට අනුව නිරෝධායනය වන පුද්ගලයින්ට වැටුප් ගෙවීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා පෞද්ගලික අංශයේ සේවකයින් 12,000 ත් 14,000 ත් අතර ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ෴

++++++++++++++++++++++

(04.05.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

වර්තමානය වනවිට සමස්ත හෙද කාර්ය මණ්ඩලයම අධි ධාරිතාවකින් සේවය කිරීම නිසා පීඩනයකින් පෙළෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

කොළඹදී ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උපලේකම් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය සඳහන් කළේ අවම හෙද කාර්ය මණ්ඩලයක් පැවතීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

දැනට සමස්ත හෙද කාර්ය මණ්ඩලය 38,000 ක් පමණ වන අතර, පවතින සේවා අවශ්‍යතාව ඉන් දෙගුණයක් (2) පමණ වන බවයි ඇය කියා සිටියේ ෴

++++++++++++++++++++

(04.05.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) දිනයේත් අලුත් වුණා. එම සංඛ්‍යාව දැක්වුණේ 1,923 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් ලෙස සටහන් වුණා.

ඊයේ (03) දිනයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,913 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 10 දෙනෙකු ද රෝගීන් ලෙස හඳුනා ගැනුනා.

ඊයේ (03) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 529 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 14,758 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 98,209 ක්.

ඊයේ (03) දිනයේ මෙරටින් මරණ 13 ක් වාර්තාවූ අතර, ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියා.

එම මරණ 13 න් 12 කටම ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය හේතුවී තිබෙනවා.

දිවුලපිටිය, ජාඇළ, මාවිල්මඩ, මීගමුව, මාළඹේ, බොරැල්ල, නුවරඑළිය, මෝදර, නිට්ටඹුව, පානදුර, ගම්පහ සහ බුලත්සිංහල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 42 ත් 82 ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස කොරෝනා වැළඳී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා ආසාදිත බවට හඳුනාගැනෙන වයස්ගත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේදී දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවට වාර්තාවනවා.

මෙවැනි සිද්ධියක් ඊයේ (03) කුරුණෑගල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

අප ප්‍රවෘත්ති අංශය ඇමතූ කාන්තාවක් කියා සිටියේ වයෝවෘද්ධ තම මව උදෑසන 10 ට බස් රථයට නංවා ගත්තද රාත්‍රි 9 වනතුරුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් නොමැති බවයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ද කොරෝනා ආසාදිත වූ සිසුන් හඳුනාගෙන තිබියදීත් ඒ පිළිබඳව පාලනාධිකාරිය විසින් කිසිදු තැකීමක් නොකර සිසුන් විශ්වවිද්‍යාලයේ රඳවා තබාගැනීම පිළිබඳව දෙමාපියන් චෝදනා එල්ල කරනවා.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ වනවිට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

++++++++++++++++++++++

(04.05.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ගතවූ සතිය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 11,000 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව ගතවූ සතියේදී කොවිඩ් ආශ්‍රිත මරණ 54 ක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මේ අතර මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) දිනයේ දී වාර්තා වුණා.

ඊයේ (03) දින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1,923 ක් ලෙසටයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් දක්වා ඉහළ ගියා.

මීට අමතව ඊයේ (03) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 13 ක් වාර්තා වීමත් සමඟ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර අද (04) උදෑසන දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදෙකලා කෙරුණා ෴

+++++++++++++++++++

(04.05.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අඩු කිරීමට ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයටත් අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයටත් වෙනස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරකුත් මාස 09 ක් වන සේ ප්‍රතිව්‍යුහ ගත කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

උසස්පෙළ ප්‍රතිපල නැවත සමීක්ෂණ ක්‍රියාවලිය අවසන් වන තෙක් නොසිට එතෙක් ලබා ඇති Z-අගය මත විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයදුම් කිරීමටටත් නැවත සමීක්ෂණයේදී ප්‍රතිඵල සංශෝධනය වුවහොත් ඊට සමගාමීව විශ්වවිද්‍යාල පාඨමාලා සංශෝධනය කිරීමටත් නව යෝජනා අනුව අවකාශ සැලසෙනවා.

මෙම යෝජනා අනුව දැනට අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් ගතවන මාස 45 ක කාලය මාස 32 ක් දකවා අඩුවෙනු ඇති.

මෙම නව සංශෝධනයන් 2020 උසස්පෙළ සිට ක්‍රියාත්මක කිරීමටත් කැබිනට අනුමැති හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++

(04.05.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රට පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයේ තෙවෙනි (3) රැල්ලත් සමඟ සිදුකෙරෙන PCR පරීක්ෂණ ඉල්ලුම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට දිනකට PCR පරීක්ෂණ 20,000 පමණ සිදුකෙරෙන අතර එය තව දුරටත් ඉහළයාමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරනු ලබනවා.

මෙසේ ඉහළ යන PCR පරීක්ෂණ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කරන PCR පරීක්ෂණ කට්ටල ඇතුළු අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවලියට අනුමැතිය හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++

(04.05.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ තැපැල් කාර්යාල 4 ක් සහ උප තැපැල් කාර්යාල 28 ක් වසා දමා තිබෙනවා.

දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බවටයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් ද සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(04.05.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 වසංගත රෝග ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එළඹෙන තත්ත්වයන් හමුවේ සංචරණ සීමා හෝ රට වසා දැමීමේ තීරණය අද සවස වුවත් ගත හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන් අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වනවිටත් මතුව නොමැති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

+++++++++++++++++++

(04.05.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

රෝහල්වල සායනවලින් ඖෂධ ලබාගන්නා රෝගීන් රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තාවනවා.

වකුගඩු රෝගය, පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි රෝගවලට ඖෂධ ලබාගන්නා රෝගීන් පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සායන වෙත ගොස් ඖෂධ ලබාගැනීමෙන් තම ජීවිත අවදානමට ලක්වන බවයි.

ඒ හේතුවෙන් පෙර කොරෝනා වසංගත තත්වය අවස්ථාවේ ඖෂධ තැපෑල මගින් බෙදාහැරීම සිදුකළ ආකාරයේ වැඩපිළිවෙලක් යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

වකුගඩු බද්ධ කිරීමට ලක් කළ කොළඹ ජාතික රෝහලේ වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා ඉතා දුරබැහැර ප්‍රදේශවල රෝගීන් කිහිපදෙනෙකු තමන් පත්ව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉල්ලා සිටියේ කඩිනමින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සායනවලට පැමිණෙන වකුගඩු බද්ධ කිරීම් සිදුකළ රෝගීන් එන්නත්කරණයට ලක් කර ඇති බැවින් සායනවලට ගෙන්වාගැනීම ගැටළුවක් නොමැති බවයි.

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මව්වරුන්ට හදිසි අවශ්‍යතාවක් හෝ රෝගී තත්වයක් ඇතිවුවහොත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දුරකථනයෙන් අමතා උපදෙස් ලබාගන්නා ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනුම් දෙනවා ෴

@@@@@@@@@@@@@

(04.05.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිය අනතුරු කැලැන්ඩරයට අනුව වැඩිම රිය අනතුරු වාර්තා වන්නේ අප්‍රේල් මාසයේදීයි.

පොලිස් වාර්තා අනුව ගෙවී ගිය අප්‍රේල් මාසය තුළ දී මහ මඟ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 1959 ක්.

එමෙන්ම මෙම රිය අනතුරු හේතුවෙන් අකාලයේ දිවිගමනට සමු දුන් මිනිස් ජීවිත සංඛ්‍යාව 205 ක් බවයි පොලිස් වාර්තා සටහන් කරන්නේ.

මීට අමතරව අප්‍රේල් මාසය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1259.

පොලිසියේ සටහන් වී ඇති වාර්තා අනුව අප්‍රේල් මාසය තුළ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ බස්නාහිර පළාත තුළයි.

එය සංඛ්‍යාවෙන් 768 ක්.

මෙම ලැයිස්තුවේ දෙවන (2) ස්ථානය වයඹ පළාතට හිමිවන අතර වයඹ පළාත තුල අප්‍රේල් මාසයේදී සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 238 ක් ලෙසයි දැක්වුණේ.

ඒ අනුව අප්‍රේල් මාසය තුළ මෙරට සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාවෙන් සියයට 51 ක් පමණ සිදුවී ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් වල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

එමෙන්ම අප්‍රේල් මාසය තුළ සිදු වූ රිය අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේ දී මෙම අනතුරුවලට වැඩි වශයෙන් භාජනය වී ඇත්තේ යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පදවන්නන්.

මෙම සංඛ්‍යා ලේඛනවල අනෙක් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සතියේ වැඩිම රිය අනතුරු සිදුවන දිනය ලෙස සදුදා දිනය සටහන් වීමයි.

එමෙන්ම දවසේ දහවල් 12 ත් රාත්‍රී 8 ත් අතර කාලය තුළ රිය අනතුරු බහුල වශයෙන් වාර්තා වීමත් තවත් එක් විශේෂත්වයක්.

එමෙන්ම පසුගිය පැය 24 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුර හේතුවෙන් පුද්ගල පුද්ගලයින් අට (8) දෙනෙකුගේ ජීවිත ද අහිමිවී තිබෙනවා ෴

******************************************

(04.05.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද (04) පැවැත්වෙනවා. ඒ විපක්ෂය විසින් පසුගිය පක්ෂ නායක රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව පෙරවරු 10 ට ආරම්භ කරන එම විවාදය පස්වරු පහ (5) දක්වා පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට (2) සීමා කිරීමට පසුගිය පක්ෂ නායක රැස්වීමේදි තීරණය කෙරුණා. ඒ අනුව අද (04) සහ හෙට (05) පමණක් පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බවයි.

මේ අතර වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හෙට (05) විවාදයට ගෙන එදිනම ඡන්ද වීමසීම සිදු කිරීමට පක්ෂ නායක රැස්වීමේදි තීරණය කෙරුණා ෴

******************************************

(04.05.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815 ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ව්‍යාජ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් රුපියල් 815,000 ක් මෙලෙස සොයා ගැනුණා.

මෙලෙස ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ආකාරය හා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටින්නේදැයි සොයා පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකරනවා.

******************************************

(04.05.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

විභාගය සඳහා මධ්‍යස්ථාන 2648 කදී අයදුම්කරුවන් 3,62,824 දෙනෙකු පෙනී සිටියා ෴

******************************************

(04.05.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

කන්ටේනර් බහාලුම් භාවිත කර දිවයිනේ තෝරාගත් ස්ථාන ආශ්‍රිතව එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් පිහිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට අනුමැතිය හිමව තිබෙනවා.

‘ජයගමු’ තේමාව යත්තේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 625 ක්.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් වාර්ෂිකව 100,000 අධික පොදු මහජනතාවට සහ 5000 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි බවයි රජය පවසන්නේ.

මෙම කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ප්‍රාදේශීය මට්ටමින් යෞවන සමාජ සහ ක්‍රීඩා සමාජ වෙත පැවරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එක් කායවර්ධන මධ්‍යස්ථානයක් සඳහා අවම වශයෙන් එක් පුහුණුකරුවෙකු යෙදවීමට සැකසුම්කර ඇති අතර මෙම ව්‍යාපෘතිය 2021-2022 වසර වලදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2021 වසර තුල දිවයිනේ තෝරාගත් ස්ථාන 250 ක් ආවරණය වන පරිදි මෙම එළිමහන් ව්‍යායාම් සහ කායවර්ධන මධ්‍යස්ථාන පිහිටවීමට සැලසුම් කර තිබෙනවා.

******************************************

(04.05.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් සහ ප්ලාස්ටික තහනම උල්ලංඝනය කළ සමාගම් දෙකකට (2) විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නැයි පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 31 වනදා නිෂ්පාදන කිහිපයක් තහනම් කෙරුණු අතර, ග්‍රෑම් විස්සට (20) අඩු ආහාර ඖෂධ ගණයට අයත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් ඇසුරුම් සැෂේ පැකට් ඇතුලු නිෂ්පාදන පහක් (5) ඒ අනුව තහනම් කෙරුණා.

කෙසේ වෙතත් එම තහනම නොතකා හරිමින් සමාගම් දෙකක් (2) ග්‍රෑම් 24 සැෂේ පැකට් තවදුරටත් නිපදවනු ලබන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

එම කරුණු සැළකිල්ලට ගනිමිනුයි අදාළ සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ ෴

******************************************

(04.05.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (04) පාර්ලිමේන්තුවට කැඳවීමට පක්ෂ නායක රැස්වීමේදි එකඟතාවයකට පැමිණියද එසේ නොකිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හෙට (05) විවාදය පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවද කතානායකවරයා සඳහන් කළා ෴

******************************************

(04.05.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – හල්පේ – මනම්පැල්ල ප්‍රදේශයේ අනාරක්ෂිත ජලය සහිත වළකට වැටීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ගොස් ඇති මවගේ වයස අවුරුදු 42 ක් වන අතර ඇයගේ පුතු 10 හැවිරිදි වියේ පසුවනවා.

මියගිය අනෙක් දැරිය 09 හැවිරිදි අසල්වැසි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

පළා නෙලීම සඳහා ගිය අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා ෴

++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *