මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි

මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි

*********************************************

මත්තල සිට කටුනායකට යන වාහන කහතුඩුවෙන් පිටවීමේ තීරණය අත්හිටුවයි

(03.05.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මත්තල සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන සියළුම රථ වාහන අද (03) කහතුඩුව පිටවීමෙන් පිටත් කර යැවීමට ගත් තීරණය පෙරවරු 10:30 ට පමණ අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තා.

කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනුයි අද (03) උදෑසන සිට මෙලෙස පැමිණෙන සියළු වාහන කහතුඩුව පිටවීමෙන් පිටත් කර හැරීමට පියවර ගත්තේ.

එම තීරණයට හේතු වී තිබුණේ සේවකයින්ට කොරෝනා වැළදීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගාස්තු අය කිරීමට කිසිවෙකු නොමැතිවීමයි.

පසුගිය දින කිහිපය පුරා මුදල් ගෙවීමකින් තොරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතැම් පිටවීමේ ස්ථානවලින් වාහනවලට ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

කෙසේ වෙතත්, අද (03) උදෑසන කහතුඩුව පිටවීමෙන් වාහන හරවා යවා එම ස්ථානයෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමත් සමඟ කහතුඩුව හා ගැලනිගම අතර කිලෝමීටර් 03 ක පමණ දිගු වාහන පෝලිමක් දක්නට ලැබුණා.

තත්ත්වය පාලනය කිරීමට නොහැකි නිසා යළි සුපුරුදු පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මාර්ගය විවෘත කිරීමටයි බලධාරීන් තීරණය කළේ.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කිරීම විශාල ලෙස පහත වැටී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මගීන් ප්‍රවාහනය කිරීමට නව දුම්රිය 03 ක් අද (03) දිනයේ යෙදවීමට කටයුතු කළ ද මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි.

එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 40 කින් පමණ අඩු වී තිබෙනවා ෴

+++++++++++++++++++++

(03.05.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට ධීවර යාත්‍රාවකින් ලාංකික කාන්තාවන් දෙදෙනෙකු (2) සහ ළමයින් දෙදෙනෙකු (2) මෙරටට පැමිණීම සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පිරිස නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණ සිටි අතර, එක් කාන්තාවක් (1) ඇගේ දරු දෙදෙනා (2) ද සමඟ පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී පෙරේදා සොයා ගත්තා.

පළා ගොස් සිටි අනෙක් කාන්තාව (1) ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි.

පුත්තලම ප්‍රදේශයෙන් හමුවූ කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ යාත්‍රාවට මුදල් ගෙවා තමන් මෙහි පැමිණි බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කළේ අදාළ කාන්තාවන් දෙදෙනා (2) ඇතුළු ළමයින් නිරෝධායනය අවසන් කළ වහාම ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඉන්දියාවේ සිට පැමිණ පුත්තලමේ සැගවසිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව රුපියල් ලක්ෂ එකහමාරක (1½) ඇප මත මුදා හැරේ ෴

(03.05.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අනවසර සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන හෝ විදේශිකයන්ට මෙරටට ඇතුලුවීමට පහසුකම් සළසන ධීවරයින් සහ යාත්‍රා හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ආගමන විගමන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ධීවර හා ජලජ දෙපාර්තමේන්තුව පවසනවා.

සියලුම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා දැනුම්දී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව ඇතුලු ආසන්න රටවලින් සංක්‍රමණිකයින් මෙරටට ඇතුලුවීමේ අවදානමක් පවතින බවයි.

විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සහ උතුරේ ධීවර කර්මාන්තයේ යෙදෙන යාත්‍රා මේ සඳහා වැඩි වශයෙන් උපයෝගී කරගත හැකියි.

එලෙස සංක්‍රමණිකයින් හෝ විදේශිකයින් ප්‍රවාහනය කළහොත් අදාළ යාත්‍රා සඳහා ලබාදී ඇති මෙහෙයුම් බලපත්‍ර සහ ධීවර කර්මාන්තයේ නිරතවීමට ලබාදී ඇති සියලුම බලපත්‍ර අහෝසි කරන බවද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

++++++++++++++++++++++

(03.05.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේද එක් (1) සිසුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව සිසුන් 85 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවයි උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කියා සිටියේ ෴

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට (2) කෝවිඩි-19 වෛරස ආසාදනය වී ඇති බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

බලංගොඩ මූලික රෝහලේ දී ඊයේ (02) සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයේදී එම සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විභාග සඳහා පැමිණ සිටි සිසුන් 1500 කට අධික පිරිසක් අද (03) පස්වරුවේ පිටත්කර යවා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී විශ්ව විද්‍යාල සිසුන් පවසා සිටින්නේ කිසිඳු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙලෙස සිසුන් පිටත්කර යැවීම හේතුවෙන් විශ්ව විද්‍යාල කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවස්ථාව ඇති බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගත් එම ඩිපෝවේ සේවකයින් 22 දෙදෙනකු ස්වයං නිරෝධායනයට යෙමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවසුවේ ෴

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරණු ලබන සියලුම සත්වෝද්‍යාන, සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර හෙට (04) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 967 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 98,209 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

මොරටුව මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවය කරන සේවකයින් විසි දෙනෙකු (20) ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන්ගෙන් පහළොස් දෙනකු (15) කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා ෴

අද (03) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1046 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

(03.05.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පවතින දරුණු කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇත්දැයි සොයා බැලීම සඳහා මෙම සතියේදී පර්යේෂණ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.

එහි ප්‍රතිශක්ති විද්‍යා අනුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියේ ඒ පිළිබද පර්යේෂණ සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් සාම්පල දැනටමත් ලබාගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++

(03.05.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

උතුරු, නැගෙනහිර මුහුදු සීමාවන් හි සිදුකෙරෙන නාවික හමුදා මුර සංචාර දැඩි කිරීමට නාවික හමුදාව තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයින් මුහුදු මාර්ග ඔස්සේ ලංකාවේ උතුරු, නැගෙනහිර පළාත්වලට පලා ඒමේ අවදානමක් නිරීක්ෂණය වීමයි.

මේ අනුව දැනට උතුර නාවික විධානය යත්තේ ක්‍රියාත්මක වන මුර සංචාරයන් ශක්තිමත් කිරීමට ත්‍රිකුණාමල නාවික කඳවුරේ සිට අතිරේක ඩෝරා යාත්‍රා සහ අධිවේගී වෝටර් ජෙට් යාත්‍රා ගණනාවක් පිටත්කර හැර තිබෙනවා.

ඊට අමතරව උතුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට ‘ශක්ති’ නෞකාවත් ත්‍රිකුණාමල වරායයෙන් කන්කසන්තුරේ බලා පිටත්ව ගියා.

මන්නාරම අවට මුහුදු ප්‍රදේශයන් හි සිදුකෙරෙන සාගර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා කොළඹ, රංගල නාවික කඳවුරෙන් ඩෝරා සහ අධිවේගී වෝටර් ජෙට් යාත්‍රා ගණනාවක් එක් කිරීමටද නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධිවේගී කුඩා බෝට්ටු බලඝණයේ කණ්ඩායම් උතුරු නැගෙනහිර වෙරළ තීරයේ තෝරාගත් කලපු සහ වනාන්තර ආශ්‍රිතව විශේෂ නිරීක්ෂණ මෙහයුම් සඳහා යොදවා තිබෙනවා.

පසුගිය දා ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙරටට පැමිණ පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කාන්තාව හා දරුවන් දෙදෙනෙකු (2) බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව සොයා ගත්තා.

නාවික හමුදව විසින් සිදුකරන මුර සංචාරයන් දැඩි කිරීමට කඩිනමින් පියවර ගැනුනේ මෙම සිද්ධියෙන් අනතුරුවයි ෴

++++++++++++++++++++

(03.05.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් 15,000 ක් අද (03) රාත්‍රියේ මෙරටට ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

පළමු අදියර යටතේ අදාළ ඖෂධ තොගය මෙරටට ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

අද (03.05.2021) කොළඹ දී පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුව :

@@@@@@@@@@@@@@@@@@

(03.05.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව කෙටි කලක් තුළ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීනයේ ඉහළ පෙළේ දෙවන නිලධාරියා ඔහුයි.

පසුගිය සතියේ චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මෙරට සංචාරය කළ අතර, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ දිවයිනට පැමිණියේ 27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද සමගයි.

මේ අතර, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර, එදිනම ඊට අදාළ ඡන්ද විමසීම එදින රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතයි ෴

******************************************

(03.05.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව, හා මධ්‍යම පළාත්වලත්ට මිලිමීටර 150 ක පමණ තද වැසි ඇතිවිය හැකියි බව කාලගුණ දෙපාර්තුමෙන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි යි ෴

******************************************

(03.05.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති චෝදනා 800 ක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අද (03) දැනුම් දෙනු ලැබුවා.

මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම සහ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම එම චෝදනා අතර වන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ.

ඒ අනුව නඩු විභාගයට වෙන වෙනම විනිසුරු මඩුලු දෙකක් (2) පත් කරන ලෙසත් නීතිපතිවරයා ඉල්ලා සිටි බවද ඇය සඳහන් කළා ෴

******************************************

(03.05.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ධාවන කළමණාකරු ප්‍රදීප් රණතුංග සිය කාර්යාලයේදී කාන්තාවකගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරියෙකු සඳහන් කළා.

මෙසේ අල්ලස් ගෙන ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන සිසුසැරිය බස් රථයක් සදහා මාර්ග ධාවන බලපත්‍රයක් ලබාදීම හා ඉදිරි කටයුතු කිරීම සදහායි.

ඔහු මෙලෙස වැලිමඩ පදිංචි තරුණියකගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට අමතරව එම තරුණියගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමටත් සැකකරු කටයුතු කර තිබෙන බව කොමිෂන් සභාවේ නිළධාරියෙකු සඳහන් කළා.

අත් අඩංගුවට ගත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සිදු කිරීමට කටයුතු සිදු කිරීමට නියමිතයි ෴

******************************************

අන්තර්ජාලය හරහා සිදුකළ මූල්‍ය ජාවාරමක තතු හෙළිවේ

(02.05.2021 – 14:41 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සිට මෙරට බැංකු ගිණුම් වෙත නීතිවිරෝධී ලෙස මුදල් බැර කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

රුපියල් මිලියන 86 ක මුදලක් සැකකරුගේ ගිණුමට බැරවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ත්‍රිකුණාමලය, පාවනාසකුලම් කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා :

“පසුගිය 2020 මුල් කාර්තුවේ මුල් මාසවලදී ඇමෙරිකාවේ සිට පුද්ගලික බැංකුවක් වෙත රුපියල් මිලියන1,440 මුදලක් විවිධ පුද්ගලයින් වෙත එවා තිබෙනවා. ඒ එවා තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික සම්භවයක් සහිත පද්ගලයෙකු විසින් බවට වාර්තා වෙනවා. ඔවුන් ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුළු වී එම ගිණුම්වලින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරු කිරීමක් සිදුකරනවා. එම මුදල් ලබාගනු ලබන ශ්‍රී ලංකාවේ පුද්ගලයින්, ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙස ඔවුන්ට එම මුදල් නැවත යවනවා. ශ්‍රී ලංකාවේ ගිණුම් හිමි පුද්ගලයාටද විශාල ප්‍රමාණයක් ලැබෙනවා.” (?)

(ඉහත ප්‍රකාශය පැහැදිළි නැත ! – අමරසර)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *