සැඟව සිටි තවත් ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

සැඟව සිටි තවත් ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

*********************************************

සැඟව සිටි තවත් ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

(02.05.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය ඉන්දියාව ගිල ගනිද්දී එහි සිට ඇතැම් පිරිස් මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බවට වාර්තා පල වීමත් සමඟ අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර අමාත්‍යාංශය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට අද (02) එක්වෙමින් කියා සිටියේ ධීවරයින් ජාත්‍යන්තර මුහුදේදී භාණ්ඩ හුවමාරු කරගැනීමේදී සැළකිලිමත් විය යුතු බවයි.

මේ අතර, දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට ධීවර යාත්‍රාවකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාව මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය, ඊයේ (01) පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිස් භාරයට ගත් ඉන්දියාවේ සිට පැමිණි අනෙක් කාන්තාව සහ දරුවන් දෙදෙනා (2) සමඟ මෙරටට පැමිණ ඇති බවටයි හෙළි වුණේ.

ඇයව ත්‍රිරෝද රථයකින් විවිධ ස්ථානවලට රැගෙන ගොස් තොරතුරු වසන් කළ කාන්තාවක් සහ තවත් 26 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (01) පුත්තලම ප්‍රදේශයේදී හඳුනා ගැනුණු කාන්තාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන් ධීවර යාත්‍රා හිමියෙකුට මුදල් ලබාදී ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

එමෙන්ම, තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ද කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු (2) හමුවී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ ඉන්දියාවෙන් මෙරටට පුද්ගලයින් පැමිණීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය දැනුවත් කර ඇති බවයි.

පවතින තත්ත්වය සලකා වයඹදිග සහ උතුර මුහුදු ප්‍රදේශවල මුර යාත්‍රා වැඩි වශයෙන් මේ වන විට යොදවා ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++

(02.05.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට (4) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් රථ වාහන අංශයේ අනෙකුත් පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 764 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 97,242 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

අද (02) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1228 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++

(02.05.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු අනිද්දා ‘ටීම් ශ්‍රී ලංකා’ සමඟ පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත පන්දු වාර 20 තරඟයට ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස්’ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය සලකා අදාළ තරඟය කල් දැමීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ ෴

++++++++++++++++++++

(02.05.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ නාරාංගොඩ සහ හමංගල්ල යන ප්‍රදේශවල නිවෙස් දෙකක (2) පැවැත්වීමට සැලසුම් කර තිබූ විවාහ මංගල උත්සව දෙකක් (2) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මැදිහත් වී නතර කර තිබෙනවා.

කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව ශාලාවල හෝ හෝටල්වල පමණක් නොව නිවෙස්වලද මංගල උත්සව පැවැත්වීම තහනම් බවයි.

එලෙස මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ, රැස්වීම් ඇතුළු උත්සව පවත්වන පුද්ගලයින්ට, ඒවා පැවැත්වීමට ස්ථාන ලබාදෙන පුද්ගලයින්ට සහ ඒවාට සම්බන්ධ තවත් පාර්ශව සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

+++++++++++++++++++++++

(02.05.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දුම්රිය ධාවනය කිරීමට මේවනවිට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ හෙට (03) දින සියළුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

එමෙන්ම පවතින තත්ත්වය යත්තේ ඉදිරියේදී දුර ගමන් සේවා දුම්රිය කිහිපක් අවලංගු කිරීමටද කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

++++++++++++++++++++

(02.05.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය හිඟ ලක්ෂ 6 ක එන්නත් මාත්‍රා ලබා ගැනීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ ලබන සතියේ මෙරටට ලැබෙන රුසියානු ස්පුට්නික් එන්නත් පහලොස් දහස (15,000), අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව නිර්දේශිත කාලසීමාව තුළ ලබාදීම සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අනුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

පළමු එන්නත ලබා ගත් අවුරුදු 30 ත්, 40 ත් අතර තරුණ පිරිස් තුළ සාර්ථකව ප්‍රතිශක්තීකරණය ගොඩනැගුණ ද වයස්ගත පිරිස් අතර එවැනි ප්‍රතිශක්තියක් ගොඩනැගී නොමැති බවයි ඇය පෙන්වා දුන්නේ.

ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පසුගිය ජනවාරි 29 වන දා ආරම්භ කෙරුණු අතර දෙවන (2) මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණේ පසුගිය සතියේයි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 90,000 කට ආසන්න පිරිසකට දෙවන (2) මාත්‍රාව ලබාදී තිබෙනවා.

(02.05.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අද (02) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 1228 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,11,090 ක් දක්වා ඉහළ ගියා. මේ අතර, අද (02) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 764 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 97,242 ක්.

= රෝහල් රැසකත් අතිරේක කොරෝනා වාට්ටු – ආයුර්වේද රෝහල්, ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙයි =

කොරෝනා ආසාදිතයන් සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් බොහෝ අතරමැදි රෝහල්වල ඇඳන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබෙනවා. ඒ අනුව ආයුර්වේද රෝහල් කිහිපයක් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමටයි රජය තීරණය කර ඇත්තේ.

මෙලෙස රෝගීන් ඉහළ යාම හේතුවෙන් පළාත්බද ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීමට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ද අවධානය යොමුව තිබෙනවා.

රාජගිරිය, නාවින්න සහ පල්ලෙකැලේ යන ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස නම් කිරීමට තීරණය කර ඇති බවයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ.

එමේන්ම කොම්පඤ්ඤවීථිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ තාවකාලිකව එය වසා දැමුණා.

මේ අතර, බලපිටිය මූලික රෝහලේ වෛද්‍ය, හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට (4) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ෴

අද (02) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 615 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියා ෴

විදෙස් ගතව සිටි පැමිණි පිරිස් අතරින් තවත් කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව අද (02) දිනයේ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත්යනගේ සංඛ්‍යාව 1891 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(02.05.2021 – 21:50 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 10 ක් හැර අනෙකුත් ප්‍රදේශ හෙට (03) උදෑසන 5 ට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (03) අලුයම 5 න් පසු තවදුරටත් හුදෙකලා බව පවතින ග්‍රාම සේවා වසම් මෙසේයි :

ගොරකපිටිය, නාම්පමුණුව, දම්පේ, බටකැත්තර උතුර, පැලන්වත්ත බටහිර – නැගෙනහිර, කැස්බෑව දකුණ, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත.

මීට අමතරව මහරගම පොලිස් වසමේ ඇරැව්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම හෙට (03) අලුයම පහේ (05:00) සිට හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසනවා ෴

+++++++++++++++++++

(02.05.2021 – 22:00 +0530 – hirunews.lk/sinhala)

අද (02) දිනය තුල කොවිඩ් මරණ 09 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 ක් දක්වා ඉහළ ගියා.

@@@@@@@@@@@@@@

(02.05.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය විමසා බලන ගමනේ දෙවන (2) දිනය අද (02) මහනුවරට අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන්න අවස්ථාව ලැබෙන්නේ කවදාද? අද (02) අපි විමසා බලන්නේ ඒ ගැනයි.

මධ්‍යම අධිවේගය ගැන විමසා බලන අපේ ගමන ඊයේ (01) අවසන් වුණේ, නාකලගමුව අන්තර් හුවමාරුවෙන්.

අද (02) අපි එතැන් සිට ඉදිරියට යන්නේ මේ අධිවේගී මාර්ගයේ ඇති සුවිශේෂතා රැසක් නිරීක්ෂණය කරන්න.

******************************************

(02.05.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන (2) ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන් ඇතුළු අන්තවාදීන් සැලසුම් කර තිබූ බව පසුව විමර්ශන අංශ වලින් තහවුරු කර ගත්තා.

නමුත් එම දෙවන (2) ප්‍රහාරය වැලකී ගියේ විශේෂ පුද්ගලයෙකු ආරක්ෂක අංශ වලට ලබාදුන් ඔත්තුවක් හේතුවෙන්.

ඔහු හිරු ප්‍රවෘත්ති වෙත කරන විශේෂ හෙළිදරව්වක් මේ.

අහිංසක ජීවිත 250 ට අධික ගණනකට මරු කැඳවමින්, ඊටත් වැඩි පිරිසක් සදාකාලික වින්දිතයින් බවටත් කරවමින් 2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙරට ජනතාවට අමතක කළ හැක්කක් නොවේ.

සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් 21 වෙනිදා ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව දෙවන ප්‍රහාරයකට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු හෙළි කර ගත්තේ නැගෙනහිර ස්ථාන කිහිපයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟයි.

ආරක්ෂක අංශ වලට එම මෙහෙයුම පහසු වන්නේඅදාල පුපුරණ ද්‍රව්‍ය සයින්දමරුදු දක්වා රැගෙන ගිය ලොරි රථයේ රියදුරුගේ බුද්ධිමත් තීරණයක් හේතුවෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *