ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම්

ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම්

*********************************************

ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් තහනම්

(30.04.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදායින් (03) පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම තීරණය ලබන සඳුදායින් (03) පසුව සති දෙකක (2) කාලයක් බලපැවැත්වෙනු ඇති.

+++++++++++++++++++++++

(30.04.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් හිරු බලය දේශපාලන වැඩසටහනේදීත් විවාදාත්මක තත්වයක් ඇති වුණා.

එම විවාදය පහතින් :

+++++++++++++++++++++++

(30.04.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ස්ථාපිත දැඩි සත්කාර ඒකක 3 ක් කොරෝනා රෝගීන් දැඩි සත්කාර සේවා සඳහා වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ පිළිබදව සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

අනතුරුව පැවති සාකච්ඡාවකදී ඇය උපදෙස් ලබාදී ඇත්තේ දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කරන ලෙසටයි ෴

+++++++++++++++++++++

(30.04.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර කොළඹ මූලික රෝහල වන මුල්ලේරියාව රෝහලේ දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ උපරිම ධාරිතාවයේ මට්ටමට පැමිණ ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසනවා.

රෝහල තුල කිසිදු ආකාරයක ඔක්සිජන් හිඟයක් නොමැති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහල වන මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩල වෙත covid එන්නත් දෙවැනි (2) මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට එක් වෙමිනුයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා මේ බව කියාසිටියේ.

රෝහලේ කාර්ය මණ්ඩල සඳහා එන්නතේ දෙවැනි මාත්‍රා 600 ක් පමණ ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම රෝහලේ දැනට ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති covid රෝගීන්ගේ ධාරිතාවය උපරිම මට්ටමක ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කියසිටියා.

රෝගීන් වර්ගීකරණයකට ලක් කරමින් සුදුසු ආකාරයෙන් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රෝගීන් වෙනත් පරිශ්‍රයන් වෙත යොමු කර ගැනීමේ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි ඔහු මෙහි දී ප්‍රකාශ කළේ.

මුල්ලේරියාව රෝහල තුල කිසිම ආකාරයක ඔක්සිජන් හිඟයක් නොමැති අතර එම ධාරිතාව වැඩිකර ගැනීම සඳහා ඉදිරියේ දී සියලු පියවර ගන්නා බවද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා කියාසිටියා ෴

@@@@@@@@@@@@@@@@@@

(30.04.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මේ, විශාල අනතුරකට අතවනනා කොළඹ මාළිගවත්ත වකුගඩු රෝහල ඉදිරිපිට පිහිටි උමං මාර්ගයයි.

රේල් බෝක්කුව නමිල් ප්‍රචලිත දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතුවලට මෙම මාර්ගයෙන් ඉටු කෙරෙන්නේ අමිල මෙහෙයක්.

ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ සමයේ ඉදි කෙරුණු මෙම මාර්ගය ඉන් පසුව නඩත්තු කටයුත්තක් සඳහා යොමු නොවීම කණගාටුවට කරුණක්.

ඒ හේතුවෙන්ම දැනට මාස 6 කට පමණ පෙර සිට මෙම මාර්ගය දැඩි ලෙස අබලන්වී ඇති ආකාරයයි මේ.

අබලන්ව ඇති මාර්ගය මේ වනවිට ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා භාවිත කෙරෙන්නේ සිල්පර කොටන් කිහිපයක ආධාරයෙන්.

එලෙස තාවකාලික පැලැස්තර මගින් සවිමත් කර ඇති මෙම උමං මාර්ගයට ඉහළින් දුම්රිය ධාවනය කටයුතු නිරන්තරයෙන් සිදු වන්නේ මගී ජීවිත දැඩි අනතුරක හෙළමින්.

මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එම ස්ථානයට ගෙනැවිත් තිබුණද එම කටයුතු මේ දක්වා ආරම්භ කොට නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව දැනුවත් කළද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවද ඔවුන් පවසනවා.

සංවර්ධනය කරා සීඝ්‍රගාමී ගමනක නිරත වන කොළඹ නගරය තුළද මෙවැනි අනාරක්ෂිත සහ දැඩි ලෙස අබලන් ස්ථාන පැවතීම සංවර්ධනයේ සුබ සිහින ජනතාවට පෙන්වන බලධාරීන්ට තරම් නොවේ.

මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර නොසිට, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කොට ජනතා ආරක්ෂාව සපයන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(30.04.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය මෙරට තුල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මිලියන 1.9 ක් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන බවයි ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කළේ.

මෙම වසරේ මුල් මාස දෙකේදී (2) පමණක් නව ක්‍රෙඩිට් කාඩ්පත් 20,929 ක් නිකුත් කර තිබෙනවා ෴

******************************************

(30.04.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සමාගම විසින් ලීටර් පරිමාණය සටහන් කරමින් නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වාදීම හිරු ප්‍රවෘත්ති තුළින් ප්‍රථම වරට අනාවරණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවුණා.

හිරු ප්‍රවෘත්ති අංශය මෙම නව ගෑස් සිලින්ඩරය පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්තගේ මහතාගෙන් විමසීමක් කළා.

+++++++++++

******************************************

(30.04.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජුලි 14 වන දා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන විසින් මෙම දැනුම්දීම සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු ලැබූ අතර, පෙත්සම සලකා බැලීම ජුලි 14 තෙක් කල් තැබුවා.

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වන දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය පිළිබදව දැනුවත් වී සිටියදීත් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා නගා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්ඩංගුවට ගැනීමේ උත්සහයක් පවතින බව පවසමින් එය වළක්වන ලෙස ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

******************************************

(30.04.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිසියේ ලාංඡනය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන සෞඛ්‍ය උපදෙස් ඇතුලත් පත්‍රිකාව ව්‍යාජ එකක් බව පොලිසිය පවසනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මුද්‍රණය කළ බවට හැඟවෙන ආකාරයෙන් පොලිසියේ ලාංඡනය යොදා මෙම ව්‍යාජ පත්‍රිකාව නිර්මාණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙය පොලිසිය විසින් යොදන ලද එකක් හෝ පොලිසිය විසින් නිර්මාණය කළ එකක් ද නොවන බව ඔහු අවධාරණය කළා.

එහි ඇතුලත් කරුණු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු වගකීමක් නොදරන බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මෙවැනි ව්‍යාජ පත්‍රිකාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරිනු ලැබූ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

******************************************

(30.04.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාලයේ සේවා සන්නිවේදන මාධ්‍ය මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

උද්ගතව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ඔවුන් නිවේදනය කළේ.

ඒ අනුව රෝගය පැතිර යාම පාලනය වෙනුවෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව ද සැලකිල්ලට ගනිමින් දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම්දීමට සහ ඉටු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඉදිරි සති 2 ක කාලයේදී ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග ලබාදී ඇති දුරකථන සහ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ විය හැකියි.

ඒ අනුව ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ 011 435 4550 , 011 235 4550 දුරකථන අංකවලින් සහ 011 234 8855 යන ෆැක්ස් අංකයෙන් මෙන්ම publicaffairs@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන් සේවා ලබාගත හැකියි.

ඔම්බුඩ්ස්මන් කාර්යාලය සමග 011 233 8073 දුරකථන අංකයෙන් සහ ombudsman@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන් සම්බන්ධවීමට හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

011 235 4354 යන දුරකථන අංකයෙන් සහ 011 233 1243 යන ෆැක්ස් අංකයෙන් ජනාධිපති අරමුදල හා සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

ඒ සඳහා fundsecretary@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනය ද භාවිත කළ හැකියි ෴

******************************************

(30.04.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත තරයේ අවවාද කර ඔහුව මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ 31 හැවිරිදි තරුණයෙක්.

ඇප ලබාදෙමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ විදේශ ප්‍රභූවරයෙකු මෙරට සංචාරය කළ අවස්ථාවේ සිදු කළ මෙවැනි නොහික්මුණු ක්‍රියා අනූමත කළ නොහැකි අතර ඉන් රටට සිදු වන අගතිය සුලු කොට තැකිය නොහැකි බවයි.

විනාඩි 10 ක් වැනි සුළු කාලයකට පොලීසිය තාවකාලිකව මාර්ග වැසීමට ක්‍රියා කළේ එම ප්‍රභූන්ගේ ආරක්ෂක සදහා යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ තරුණයාට තරයේ අවවාද කරමින් සඳහන් කළේ ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුව තිබූ බවයි.

මෙම සැකකරු වසර 10 කට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව උසස් අධ්‍යාපනය ලබන අයෙකු වන අතර එරට ජනාධිපතිවරයා පවා මහමග ගමන් ගන්නා අවස්ථාවේ මාර්ග වසා දැමීමක් සිදු නොවන බැවින් තම සේවාදායකයා වාහනයේ සිට නොකඩවා නලාව ශබ්ද කොට ඇතැයි කී ඔහුගේ නීතිඥවරයා සිදුවු අත් වැරැද්ද පිළිබඳව ඔහු සමාව අයැදින බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ එසේ වුවද මෙරට ආරක්ෂක විධිවිධාන ඊට වඩා වෙනස් වන අතර පොලිසිය ඉටුකර ඇත්තේ තමන් වෙත පැවරී ඇති රාජකාරිය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

මේ පිළිබඳව උගත් තරුණයෙකු ලෙස සැකකරු අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය කියාසිටියා.

මෙම සැකකරු ක්‍රියා කළ ආකාරය තුළින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදුවූ අතර ඔහු එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම නිසා අදාළ ප්‍රභූවරයා ගේ සංචාරයට ශ්‍රී ලාංකිකයින්ගේ විරෝධයක් පවතින බව ලොව පුරා ප්‍රචාරය කිරීමට උත්සාහ කර ඇතැයි ද බම්බලපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වාදී තිබෙනවා.

අනතුරුව තරයේ අවවාද කර සැකකරු ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත මැයි 12 වනදා කැඳවීමට නියම කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *