‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි

‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි

*********************************************

‘SLS සිද්ධිකා’ගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි

(29.04.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

= සිද්ධිකාගේ ප්‍රකාශය ගැන CID ය ‘හිරු’ගෙන් ප්‍රශ්ණ කරයි =

සමාජයේ දැඩි කථාබහක් ඇතිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ පැවැත්වු සම්මුඛ සාකච්ඡාව සිදුකළ හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියාගෙන් සහ එය රූගත කළ කැමරා ශිල්පියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්ණ කළා.

ඒ, ජනතාවගේ ජීවිතවලට වගකිවයුතු රාජ්‍ය ආයතනයක නිලධාරිනියක සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයගෙන් හෝ ප්‍රශ්ණ කර නොමැති පසුබිමකයි.

ආනයනික පොල් තෙල් තොගයක ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට හිරු ප්‍රවෘත්ති අංශය මුලින්ම අනාවරණය කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 23 වනදායි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ පරීක්ෂාවක් පදනම් කරගෙනයි.

අනතුරුව ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රාජ්‍ය ආයතන ත්‍රිත්වයක්ම අවස්ථා කිහිපයකදි අදාල කරුණු යළි තහවුරු කළා.

උද්ගතව ඇති තත්ත්වයත් සමඟ අදාල වගකීමට බැදී සිටින්නන්ගෙන් අප ඒ පිළිබදව අවස්ථා කිහිපයකදීම ප්‍රශ්ණ කළේ පිළිකාකාරක පොල්තෙල් ගෙන්වීමට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළේද යන්න සම්බන්ධයෙන් විමසීමටයි.

ඒ ජනතාවට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප වගකීම ඉටුකරමින්.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්නගෙන් පිළිකා කාරක අඩංගු ආහාර ගැන අප විමසූ අතර එහිදි ඇය ලබාදුන් පිළිතුර සමාජයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළා.

මෙම ප්‍රකාශයෙන් පසු ඒ පිලිබඳව සමාජ මාධ්‍ය තුළ ද දැඩි විරෝධයක් මතුවුණා.

අනතුරුව විවිධ පාර්ශව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතම ගොස් අවස්ථා කිහිපයකදීම අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයට එරෙහිව දැඩි විරෝධයක් පළ කළා.

කෙසේ වෙතත්, සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම සම්මුඛ සාකච්ජාව පවත්වා මාසයකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපගෙන් ප්‍රශ්ණ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ජනතාවගේ ජීවිතවලට වගකිව යුතු මෙම නිලධාරිනිය සිදුකළ ප්‍රකාශය ගැන හෝ ඇයගෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සටහන් කරගෙන නොමැති පසුබිමකයි.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිටත් පාර්ශව ගණනාවක්ම පොලිස් මුලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.

එවන් තත්ත්වයක් තුල අදාළ නිලධාරිනියගෙන් ප්‍රශ්න කළ හිරු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ නිලධාරිනියක ඊයේ (28) අප ආයතනය වෙත පැමිණියා.

ඔවුන් විසින් අදාළ සම්මුඛ සාකච්ඡාව සිදුකළ අප මාධ්‍යවේදියාගෙන් සහ එය රූගත කළ කැමරා ශිල්පියාගෙන් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

එම නිලධාරින් විසින් අදාළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ද අපගෙන් ඉල්ලා සිටි අතර, වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස එම සියලු දර්ශන ද අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කළා.

******************************************

(29.04.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය හයිෆොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගරය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑළිය මහ රෝහලට සහ හයිෆොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ හයිෆොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ මහතුඩුගල ප්‍රදේශයේයි.

රෝහල් ගත කළ තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.

බස් රථය ධාවනය කළ රියදුරාට හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි ද සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

(29.04.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන් දිවි අහිමි වු සහ අබාධිත වු රණවිරුවන් වෙනුවෙන් සහන සැලසීම සදහා වු කැබිනට් පත්‍රිකාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට දිවි ඇති තෙක් සිය සැමියාගේ වැටුප් හා දිමනා හිමිවන අතර දිවි පිදු අවිවාහක රණවිරුවන්ගේ දෙමව්පියන්ට දිවි ඇති තෙක් රුපියල් 25,000 ක දීමනාවක් හිමිවනු ඇති ෴

******************************************

(29.04.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

බැදුම්කර සාපරාධි සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවකට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩුව පවත්වාගෙන යාමට නීතිපතිවරයාට අවසර හිමිව තිබෙනවා.

ඒ ඊට අදාල නඩුව අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ මාර්තු මස 31 වනදා මහබැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 වටිනා බැඳුම්කර සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

නඩුවේ 3 වන විත්තිකරු වශයෙන් නම් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 9 වන විත්තිකරු වශයෙන් නම් කර ඇති අජාන් ගාර්දිය පුංචිහේවා මේ වනවිට අධිකරණය මඟහැර විදෙස් ගතව සිටිනවා.

ඒ හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 458 වන වගන්තිය යටතේ ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යෑමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුවයි මෙම අවසරය හිමිව ඇත්තේ ෴

******************************************

(29.04.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

විෂ සහිත පිලිකා කාරක පොල්තෙල් ආනයනය කළ පුද්ගලයින්ට සහ අදාළ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ අද (29) රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින්.

පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු 13 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ සම්මුඛ සාකච්ජාව මෙහෙයවූ හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියාගෙන් සහ කැමරා ශිල්පියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3 ක් ප්‍රශ්ණ කළා.

ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව මුල්වරට රටට හෙළිකළ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබදව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් වැඩිදුරටත් කරුණු විමසුවේ ජනතාවට වග කිව යුතු මාධ්‍යයක් ලෙස අප වගකීම ඉටුකරමින්.

ජනතාවට වස කැවීම සම්බන්ධයෙන් අප යොමුකළ ප්‍රශ්ණයට අදාළ නිලධාරිනිය කළ ප්‍රකාශයට එරෙහිව පසුව සමාජය තුළ දැඩි විරෝධයක් මතු වුණා.

අනතුරුව විවිධ පාර්ශව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතම ගොස් අවස්ථා කිහිපයකදීම අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයට එරෙහිව විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, මෙම සම්මුඛ සාකච්ජාව පවත්වා මාසයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ නිලධාරිනියක ඊයේ (28) අප ආයතනට වෙත පැමිණියා. ඔවුන් විසින් අදාළ සම්මුඛ සාකච්ජාව සිදුකළ හිරු මාධ්‍යවේදින්ගෙන් එය රූ ගත කළ කැමරා ශිල්පියාගෙන් පැය තුනකට (3) ආසන්න කාලයක් ප්‍රශ්ණ කර තිබෙනවා.

එම නිලධාරින් විසින් අදාළ සම්මුඛ සාකච්ජාවේ සංස්කරණය නොකළ දර්ශනද අපගෙන් ඉල්ලා සිටි අතර වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස එම සියළු දර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අප කටයුතු කළා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන්ද ප්‍රශ්ණ කළ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අද (29) පස්වරුවේ පැවසුවා.

පුදුම සහගත කරුණ වන්නේ , හිරු මාධ්‍යවේදියාගෙන් ඊයේ (28) දිනයේ ප්‍රශ්ණ කිරිමේන් පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කිරීමයි.

මෙවන් තත්ත්වයක දේශිය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන සමාගමකට අයත් පොල්තෙල් වලත් ඇෆ්ලටොක්සින් පිළිකාරකය අඩංගු බවට අද (29) හෙලිවුනා.

ඒ කාර්මික තාක්ෂණ අධිකාරිය සිදුකළ පරීක්ෂාවකින්.

පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පොල්තෙල් වෙළෙඳ පොලෙන් ඉවත් කර ගන්නා ලෙස එම නිෂ්පාදන සමාගමට දැනුම් දී තිබෙනවා.

පුදුම සහගත කරුණ වන්නේ ප්‍රමිති ආයතනයේ සහතිකය ඇති එකම පොල්තෙල් වර්ගය වන එම පොල්තෙල් තුළින්ද ඇෆ්ලටොක්සීන් හමුවීමයි.

ප්‍රමිති ආයතනයේ සහතිකය එක් පොල්තෙල් සමාගමකට පමණක් ලබාදී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ජවේදි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කළා.

මේ අතර පොල්තෙල් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබද විශේෂ සාකච්ජාවක් පොල් වගා ප්‍රවර්ධනය පිළිබද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවත්වුනා.

ඊට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හා ප්‍රමිති සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරන ලෙස සෙසු ආයතනවල ප්‍රධානීන් මෙන්ම, පොල්තෙල් ආනයනකරුවන්ද එක්ව සිටියා.

@@@@@@@@@@@@@@@@

(29.04.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 1466 ක්.

එය අඛණ්ඩව මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දහස (1000) ඉක්ම වූ දෙවන (2) දිනයද වනවා.

දෛනික ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් එනම් 228 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එහිදී නාරාහේන්පිටින් ආසාදිතයින් 19 ක්, බොරැල්ලෙන් ආසාදිතයින් 18 ක් සහ දෙමටගොඩින් ආසාදිතයින් 17 ක් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) ආසාදිතයින් 209 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් වැඩිම පිරිස වූ 25 දෙනෙකු හඳුනාගෙන තිබුණේ දිවුලපිටියෙන්.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් එකසිය හැත්තෑ දෙදෙනෙකු (172), කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු ඊයේ (28) හඳුනාගෙන තිබුණා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,04,953 ක් වාර්තා වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9208 ක්.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 95,083 ලෙස වාර්තා වනවා.

මේ අතර, ආණමඩුව – දිවුල්වැව ප්‍රදේශයේ 14 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ඉන් 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ඥාතීන් වන අතර, සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවල අදාළ පිරිස අවුරුදු සමරමින් සාදවලට සහභාගි වී ඇති බවයි.

ගලෙන්බිඳුණුවැව සතිපොලේදී අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලදී මාළු වෙළඳුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඉන් පසු ප්‍රාදේශීය බලධාරීන් සතිපොල වසා දැමීමට පියවර ගෙන ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදී පසුගිය 24 වැනිදා සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ 45 කින් 26 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

පසුගිය 21 වැනිදා ශ්‍රීපාද වන්දනාවේ ගිය සියඹලාන්ඩුව ප්‍රදේශයේ පුද්ගලයින් 60 දෙනෙකුගෙන් විසි දෙදෙනෙකුට (20) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දිවයිනේ විවිධ සතිපොල ආශ්‍රිතව සහ දේවස්ථානවල මේ දිනවල සිදු කෙරෙන මංගල්‍යයන් ආශ්‍රිතව කොරෝනා පොකුරු වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා ෴

+++++++++++++++++++

(29.04.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම්දෙනතුරු මුස්ලිම් පල්ලිවල තරාවි හෙවත් රාමසාන් උපවාස සමයේ සිදුකරන විශේෂ යාච්ඤා, ජුම්මා යාච්ඤා කටයුතු මෙන්ම සභා කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස වකුෆ් සභාව දන්වා ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිලිපැදිය යුතු බව ද වකුෆ් සභාව දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ජමාත් යාච්ඤා කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපරිම 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ඉඩ පවතින බවටයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

නැවත දැනුම්දෙන තුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් සහ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

ඕනෑම අවස්ථාවක සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව 25 කට සීමා කළ යුතු බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ ෴

++++++++++++++++++++

(29.04.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන කාලය සීමා කර තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ ඒ අනුව, පෙරවරු 9 යේ සිට පස්වරු 4 දක්වා පමණක් මෙලෙස උප තැපැල් කාර්යාල සතියේ දිනවල විවෘතව තැබෙන බවයි.

මීට පෙර උප තැපැල් කාර්යාල සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා විවෘතව තැබුණා.

එමෙන්ම, සෙනසුරාදා දිනයන් හිදී පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පමණක් උපතැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති ෴

+++++++++++++++++++++

(29.04.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පළාත් සහ ප්‍රදේශ අතර ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 12 කදී අද (29) දහවල් දොලහේ (12:00) සිට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පොලිසිය පියවර ගත්තා.

එසේම, දිවයින පුරා සිදුකළ වැටලීමකදී සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් මගීන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ 1200 කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ (28) සිදුකළ මෙම වැටලීමේදී ත්‍රීරෝද රථ 6110 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

++++++++++++++++++++

(29.04.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහි මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය කියා සිටියේ ගණුදෙනු සහ භාණ්ඩ හුවමාරු නොකරන ලෙසටද ධීවරයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම, ධීවර කටයුතු සිදුකිරීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද ඇය ධීවරයින්ට දැනුම් දෙනවා ෴

++++++++++++++++++++++

(29.04.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 95,445 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 104,953 ක් වාර්තාවී ඇති අතර ඉන් 8847 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 661 ක් ෴

සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ ජාතික කෞතුකාගාරය සති දෙකකට (2) වසා දමා තිබෙනවා ෴

++++++++++++++++++++++

(29.04.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් තත්වය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මහනුවර, බදුල්ල, යාපනය සහ පොළොන්නරුව දක්වා ධාවනය වන නගරාන්තර දුම්රිය ගමන් වාර 16 ක් හෙට (30) සිට අවලංගු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පවතින කොරෝනා වසංගත තත්වයත් සමග දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින්නේ.

++++++++++++++++++++

(29.04.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) දිනයේදී 23,730 ක වාර්තාගත කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, ඒ අනුව අද (29) දිනයේදී මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1077 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,06,030 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සුවය ලැබූ ආසාදිතයින් තුන්සිය හැට දෙදෙනෙකු (362) අද (29) රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 95,445 ක් ලෙසයි.

ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,924 ක්.

එසේම, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා පරීක්ෂණවලින් තහවුරු වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 3% සිට 8% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *