දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක

දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක

*********************************************

දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක

(29.04.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන සමාගමකට අයත් දැනට වෙළඳපොලේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂාවකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, අදාළ සමාගමේ කර්මාන්තශාලාවට පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තබා වෙළඳපොලේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල, ගබඩා සංකීර්ණයෙන් ලබාගත් සාම්පල සහ වෙළඳපොලට යොමු කිරීමට සූදානම් කර තිබූ පොල්තෙල් බෝතල්වල සාම්පල කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමුකෙරුණා.

එහිදීද තහවුරු වී ඇත්තේ අදාළ සාම්පල ත්‍රිත්වයේම (3) ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරක පවතින බවයි.

ඒ අනුව අදාළ වෙළඳ නාමය යටතේ දැනට නිකුත් කර ඇති සියලුම පොල්තෙල් යළි ගෙන්වාගන්නා ලෙසද පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට දැනුම් දී තිබෙනවා.

අදාළ වෙළඳනාමය යටතේ නිෂ්පාදනය කරන පොල්තෙල් දේශීය වශයෙන් කොප්පරා ලබාගෙන සකස් කරන බවටද මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටියා ෴

******************************************

(29.04.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සභා ගර්භයේදී හා ඉන් පිටතදී පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ මන්ත්‍රී කමිටුවේ අතුරු වාර්තාව ලබන අඟහරුවාදා (04) කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අදාල කමිටුව ඊයේ (28) රැස්වී එම සිදුවීම් වල සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබෙනවා.

පසුගිය 21 වනදා ඇතිවූ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා මෙම කමිටුව පත් කල අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඇතුලත්.

එවැනි සිදුවීම් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මන්ත්‍රී කමිටුව ලබන සතියේදී යළි රැස්වීමටද නියමිතයි.

******************************************

(29.04.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

බහාලු‍ම් 3 කින් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබු මිල අධික රූපලාවන්‍ය ආලේපන තොගයක් සහ පාවහන් තොගයක් කොළඹ වරායේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ රේගු ආදායම් අධීක්ෂණ ඒකකයේ නිලධාරීන් ඊයේ (28) පස්වරුවේ අදාල බහාලුම් විවෘත කළ අවස්ථාවේදීයී. ඒවායේ තක්සේරු වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂයක් (1,02,00,000) පමණ වනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ අදාල ආනයන භාණ්ඩ තොග මෙරටට ගෙන්වූ ආනයනකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි ෴

******************************************

(29.04.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන අනුරාධපුර යුගයේ ඉදිකළ අභය වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පවසනවා.

එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්තේ මහතා කියා සිටියේ ඊට අදාළ නිර්දේශ මේ වනවිට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කර ඇති බවයි ෴

අභය වැව හෙවත් බසවක්කුලම වැව (22.08.2018) :

https://www.youtube.com/watch?v=xr2_2D-bVvY

******************************************

(29.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් බුත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල උඩුගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකුයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් අටයි (8) මිලිග්‍රෑම් තුන්සිය හතලිහක් (340) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු බුත්තල උඩුගම ප්‍රදේශයේ පදිංචි විසි එක් (21) හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු කලක පටන් මෙම ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී වයස අවුරුදු විසි තුනක (23) පුද්ගලයකුද හෙරොයින් මිලිග්‍රෑම් 180 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයාද මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වූ අයෙක් බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හමු වූ හෙරොයින් වල වටිනාකමක රුපියල් ලක්ෂ තුන හමාරකට (3½) අධිකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(29.04.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

හෙට දිනය (අප්‍රේල් 30) සඳහා දින භාගයක (½) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට (30) දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක (½) විශේෂ නිවාඩුව නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර හෙට (30) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළද පස්වරු 12:30 දක්වා පමණක් පවත්වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

******************************************

(29.04.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්රැම් 240 ක් ඊයේ(28) නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව සැකකරන්නේ ඉන්දියාවේ සිට මෙරටට ගෙනා කේරළ ගංජා තොගයක් ජාවාරම්කරුවන් විසින් යම් හේතුවක් නිසා මෙලෙස මුහුදේ දමා පළා යන්නට ඇති බවයි.

සොයාගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට (3,00,00,000) වැඩි බව නාවික හමුදාව සඳහන් කළා.

මෙම කේරළ ගංජා තොගය, පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ අධිකරණ නියෝග යටතේ ගිනි තබා විනාශ කර තිබෙනවා.

අප්‍රේල් මාසය තුලදී මේ දක්වා උතුරු පළාතෙන් කේරළ ගංජා කිලෝග්රැම් 515 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

එම අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල වටිනාකම රුපියල් කෝටි හතකට (7,00,00,000) අධිකයි ෴

[ රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ]

+++++++++

[ නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට ]

******************************************

(29.04.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

නිවසක බාල වයස්කාර දැරියක් සඟවා ගෙන සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරක් ලබාදිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට මාස හයක (6) සිර දඩුවමක් සහ රුපියල් එක් දහස් පන්සියක (1500) දඩයක් නියම කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සිර දඩුවම වසර පහකට (5) අත් හිටුවනු ලැබුවා.

මෙසේ දඩුවම් නියම වුයේ අල්ගෙවත්තගේ මුදිත චතුරංග නමැති 35 හැවිරිදි විත්තිකරුවෙකුටයි.

විත්තිකරු 2021 ජනවාරි 27 වන දින අහංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදි මිගහගොඩ ප්‍රදේශයේ නිවසක කුඩා ගැහැණු ළමයෙක් සිරකර ගෙන සිටින බවට පවසා තිබෙනවා.

එම තොරතුර අනුව වහාම ක්‍රියාත්මක වු පොලිසිය ඒ පිළිබඳව විමර්ශණය කල විට අනාවරණයවි ඇත්තේ එය අසත්‍ය තොරතුරක් බවයි.

පසුව වැඩි දුර විමර්ශණ පවත්වා දුරකතන ඇමතුම දුන් විත්තිකරු සොයා අත් අඩංගුවට ගෙන රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු සැපයිමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩු පවරා තිබුණා ෴

******************************************

(29.04.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීමට රහසේ රැගෙන ආ ගජමුතු දෙකක් (2) සමඟ සැකකරුවෙකු ඊයේ (28) මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

පොලිස් විශේෂ කාර්ය බළකා උපාය දූතයෙකු යොදවා සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු ගජමුතු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුනේ මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු මෙම ගජමුතු ජාවාරම වෙනුවෙන්ම මුලතිව් ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි ෴

******************************************

(29.04.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අතර උණුසුම් තත්වයක් මතු වී තිබෙනවා. මෙහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සිය කාර්යාලය තුළ සිරකර ඇති බවයි වාර්තා වන්නේ.

වැටුප් ගැටළුවක් මුල් කරගෙන මෙලෙස සභාපතිවරයා කාර්යාල අඩස්සියට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴

මාසික වැටුප නියමිත දිනට ලබාදෙන බවට පාලනාධිකාරිය ප්‍රකාශ කිරීම හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විසින් රඳවාගෙන සිටි එහි සභාපතිවරයා මුදා හැර තිබෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ පැයකට ආසන්න කාලයක් මෙලෙස සභාපතිවරයා ඔහුගේ කාර්යාල කාමරය තුල සේවකයින් විසින් රඳවා ගෙන සිටි බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට මාසික වැටුප නියමිත දිනට ලබා නොදීමට පාලනාධිකාරිය කටයුතු කළ බවටයි සේවකයන් චෝදනා කරන්නේ. ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද කැඳවා තිබුණා ෴

@@@@@@@@@@@@@@@

(29.04.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ ධාරිතාවය සීමාසහිත විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසනවා.

එබැවින් ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි අවශ්‍යතා සඳහා ලබාදෙන සේවාවලට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇති.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛණ හා අදාළ අනෙකුත් ලේඛණ සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබාදෙන්නේ පූර්ව දැනුම්දීමකින් සිදුකළ වෙන්කර ගැනීමකින් පමණක් බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ඒ අනුව 011 233 5942 , 011 233 8836 හෝ 011 233 8812 යන දුරකථන අංක අමතා පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගත හැකි වනවා ෴

+++++++++++++++++++++

(29.04.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන (2) මාත්‍රාව 2021-04-29 දින සිට ලබාදීමට කටයුතු සැලසුම්කර තිබුනද එය ලබා දීම කල් දමා තිබෙනවා.

එම නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම නියමිත දින සිට නොපැවැත්වෙන අතර එය ලබා දෙන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(29.04.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේ යැයි අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.

අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් ගොඩනැගිලි ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති අතර, තවදුරටත් පහසුකම් අවශ්‍ය වන්නේ නම් සංචාරක හෝටල් ඒ සඳහා යොදා ගැනීමට වූවද පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

එසේම, පවතින කොරෝනා අවධානමට මුහුණ දීම සඳහා ඇඳන් 2000 කින් සමන්විත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ඊයේ (28) පැවති සාකච්ඡාවකදීයි.

ඒ සඳහා දැනට වසා දමා ඇති ඇඟළුම් කර්මාන්තශාලාවක් ලබාගැනීමට අපේක්ෂිතයි.

ඊට අමතරව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්තශාලා දෙකක (2) ගොඩනැගිලිද ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(29.04.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාවට අවශ්‍යකරන කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පසෙක දමා වත්මන් රජය හෙළිකොප්ටර් යානා සහ හමුදා ප්‍රවාහන රථ ගෙන්වීමේ සූදානමක පසුවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විල්පත්තුව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා පැවසුවේ රජය ජනවරමට පිටුපා කටයුතු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *