මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය

මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය

*********************************************

මෙරට පැතිර යන කොරෝනා වෛරසය ගැන අලුත්ම අනාවරණය

(28.04.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ලබා ගත් කොරෝනා පරීක්ෂණ සාම්පල මගින් මෙරට පැතිර යන්නේ බ්‍රිතාන්‍යයයේ බී – එකයි එකයි හත (B-117) කොරෝනා වෛරස් කාණ්ඩය බවට තහවුරු වී තිබෙනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් ද වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල තවදුරටත් පරීක්ෂණය කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන කොරෝනා ප්‍රභේදය B-1617 ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මෙම ප්‍රභේදය මේ වනවිට රටවල් 17 කින් වාර්තා වන බවයි.

මෙම ප්‍රභේදය කොරෝනා එන්නත් වලට ද ප්‍රතිචාර නොදක්වන බවයි ඉන්දීය වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

අද (28) දිනයේ ගත වූ පැය කිහිපය තුළ ආසාදිතයින් 8630 සහ මරණ 22 ක් වාර්තා වී තිබෙනවා.

++++++++++

28-04-2021

+++++++++++++++++++++++

(28.04.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

සේප්පු නිෂ්පාදනය කරන මත්තෙගොඩ පිහිටි ඇල්ෆා කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනෙකුට (5) කොරෝනා ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙන් දසදෙනකු (10) ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

විවිධ ආයතනවල අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා ඇල්ෆා කර්මාන්ත ශාලාවට ලැබෙන ඇණවුම් සඳහා බැහැරට යන පහළොස් දෙනකුගෙන් (15) යුත් කණ්ඩායමක පස් දෙනෙකුට (5) මෙම රෝගය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකර මෙම දහ දෙනා (10) නිරෝධායන කර තිබෙනවා.

මෙම කර්මාන්තශාලාවේ තුන්සීයක් (300) පමණ සේවය කරන අතර ඔවුන් අතරෙන් ආසාදිතයන් හා සමීප වූ අය සොයා විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++++

(28.04.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ කොළඹ ජාතික දන්ත වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත්, හදිසි අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන බවයි එම රෝහල සඳහන් කළේ.

ඒ අනුව, 011 269 3106 යන දුරකථන අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි ෴

++++++++++++++++++++++

(28.04.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ලබන මස 10 වනදා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

+++++++++++++++++++

(28.04.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් දින 3 ක් සේවයට වාර්තා කළ යුතු බවත් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි එය සිදුකළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සදහන් කළේ එය සේවා මුර ක්‍රමයට අනුව සිදුවිය යුතු බවට ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවයි.

(28.04.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ ගොවීන්ගේ එළවළු අලෙවි කර ගැනීම සඳහා විකල්පයක් හඳුන්වා දීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න මහතා ඊයේ (27) රාත්‍රියේ දැනට හුදෙකලා කර ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණි අතර, එහිදී ඔහු සඳහන් කළේ ගැටළුවට විසදුමක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී වෙළදපොළේ එළවළු මිල ගණන් ඉහළ යා හැකි බවයි ෴

+++++++++++++++++++

(28.04.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය යටතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (28) ආරම්භ කෙරුණා.

ඒ මාලිගාවත්තේ පිහිටි මැදකොළඹ රජයේ රෝහලේදීයි.

ඒ අනුව, සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රථමයෙන් එන්නත ලබාදීම සිදුකිරීමටයි කටයුතු කළේ.

මෙම අවස්ථාවට වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිසුන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුවත් ඒ සඳහා නිසි අවධානය යොමු කර නොමැති බවට විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළා.

මේ අතර, අවිස්සාවේල්ල නගරයේ ව්‍යාපාරිකයින් 19 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම නගරයේ වෙළඳසැල් කිහිපයක් වසා දමා තිබෙනවා.

එමෙන්ම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් 4 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් එහි එක් අංශයක් තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එසේම තැපැල් කාර්යාල කිහිපයක සේවකයින් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් තැපැල් දුම්රියෙහි තැපැල් මැදිරි ඉවත් කර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද (28) සිට මෙලෙස තැපැල් මැදිරි ඉවත් කර නියමිත වේලාවට එම දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ගලෙන්බිඳුණුවැව සතිපොලෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම සතිපොලෙහි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ රාජකාරියට මෙම වෙළඳුන් තිදෙනා බාධා කර ඇති බවයි.

++++++++++++++++++++

(28.04.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර නිලධාරීන් සඳහා ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම හෙට (29) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, පළමු මාත්‍රාව ලබා ගත් නිලධාරීන් 5,153 දෙනෙකු සඳහා එම එන්නත ලබා දීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලබන මස 8 වනදා දක්වා, බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය හා දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාර වල නිලධාරින් වෙත මෙහිදී එන්නත ලබාදීම සිදුකෙරෙනු ඇති ෴

+++++++++++++++++++++

(28.04.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

නොසිතූ විරූ ලෙස ඉන්දියාවේ කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වෙනවා.

ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරන්නේ, ඩුබායි සහ යුරෝපීය රාජ්‍යයන් වෙතටයි.

ඊට අමතරව තවත් පිරිසක් ඉන්දියන් සාගරයේ ආරක්ෂිත රටවල් වෙත ද යමින් සිටින බව වාර්තා වී තිබෙනවා.

ඊයේ (27) දිනයේදී පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 352,991 දෙනෙකු වාර්තා වුණා ෴

++++++++++++++++++

(28.04.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් රෝගීන් 227 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබු මුළු රෝගීන් ගණන 95,083 දක්වා ඉහළ ගියා ෴

කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද (28)දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 104,475 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

ඉදිරි දින තුන (3) ඇතුලත ලංකාව ලොක්ඩවුන් කල යුතුයි.. වෛරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට..

(28.04.2021 – 22:26 +0530 – lankacnews.com)

දින තුනක් (3) අඛණ්ඩව කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වුවහොත් කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ග්‍රාමසේවක වසම් මට්ටමින් රට වසා වැඩක් නැති බවත් වහාම මුළු රටම ලොක්ඩවුන් කළ යුතු බවත්ය.

අද (28) වන විට වසංගතය බරපතල සමාජ ව්‍යාප්තියක බවත් ඉන් ආරක්ෂාව ඇත්තේ නිවාස වල පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය දිනවල විනෝද චාරිකා ගිය, සාප්පු සවාරි ගිය, සාද පැවැත්වූ සියලු දෙනාම මේ වන විටත් දැඩි අනතුරක බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්චාවකදී ඔහු මේ අදහස් පළ කළේය.

@@@@@@@@@@@@@@@@@

(28.04.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට වට්ස් ඇප් හරහා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළි කරගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘උපුල් සංජීව පෙරේරා’ හෙවත් ‘දතාසුදා’ සහ ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 800 ක්, රුපියල් 3,07,740 ක මුදලක්, ජීප් රථයක්, ත්‍රිරෝද රථයක්, ජංගම දුරකථනයක් සහ ඩුබායි රාජ්‍යයට අයත් සිම්පතක් සොයා ගත් බවයි විශේෂ කාර්යා බලකාය සදහන් කළේ.

එමෙන්ම, ඒ අතර තිබී සොයා ගත් බැංකු ගිණුම්පතක රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා ෴

******************************************

(28.04.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තව දින 7 කින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා ෴

******************************************

(28.04.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ හමුවුණා.

එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා හෙට (29) දක්වා මෙරට රැදී සිටින අතර එම කාලය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිතයි.

+++++++++++++

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

එහිදී කලාපීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා හෙට (29) දක්වා මෙරට රැදී සිටීමට නියමිතයි.

ඔහු අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවුණා.

එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

[ සේයාරූ ]

******************************************

(28.04.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ කරන ලද වැටලීමකදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් මිලිග්‍රෑම් දහදාහක (10,000) ප්‍රමාණයක් සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම සැකකරු අවුරුදු විසි හතරක් (24) වයසැති දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොවුන් දෙමටගොඩ ප්‍රදේශයේ සිට අරුණෝදය මාවත ට හෙරොයින් තොග වශයෙන් ප්‍රවාහනය කිරීමේ යෙදී ඇති බව වැලිකඩ පොලීසිය පවසනවා ෴

******************************************

(28.04.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

අයි.සී.සී. දූෂණ මර්දන චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා ෴

******************************************

(28.04.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා භාර දුන් රහස්‍ය ලිපිගොනුවට අදාළ තොරතුරු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස එහි අධ්‍යක්ෂවරයා, මරදාන සාමුහික සහ සාමාජීය කේන්ද්‍රයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි ෴

******************************************

(28.04.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, බකමූණ, සිරිකඳුයාය ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ කඩා වැදුණු වන අලි රංචුවක් අක්කර 5 කට පමණ වැඩි ගොවිබිම් විනාශ කර තිබෙනවා.

ප්‍රදේශයේ සකසා ඇති අලිවැට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මෙලෙස වන අලින් ගම්වදින බවයි ගොවීන් චෝදනා කළේ ෴

******************************************

(28.04.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ඉසෙඩ්-ඩී ඇලේ දිය නෑමට ගිය 5 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මව සමඟ ඊයේ (27) පස්වරුවේ එම දැරිය ඇළේ ළණුවක ආධාරයෙන් දිය නාමින් සිටියදී එය අතහැරීමෙන් දියේ ගිලී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරිය ගසාගෙන යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පැමිණ ඇය මුදාගෙන රෝහලට ඇතුළත් කරන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් ෴

******************************************

(28.04.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධනයට ජනතා බදු මුදලින් විශාල කොටසක් වෙන්කළද මැතිවරණ සමයේදී පමණක් බලධාරීන්ගේ අවධානයට යොමුවන මාර්ග රැසක් මෙරට තුළ තවමත් පවතිනවා.

මේ පුවත ඡන්ද පොරොන්දුවකට පමණක් සීමා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ එවන් අබලන් මාර්ගයක් පිළිබඳවයි.

මේ කුරුවිට සිට දැරණියගල දක්වා දිවයන ප්‍රධාන මාර්ගයයි.

කුරුවිටින් ආරම්භවන මාර්ගය දැරණියගල – ගිණිගත්හේන හරහා නුවරඑළියටත්, කුරුවිට – දැරණියගල හරහා කෑගල්ලටත් ගමන්කළ හැකි කෙටිම මාර්ගය ද වනවා.

වසර 60 ක පමණ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවූ මෙම මාර්ගය මේවන විට දැඩි අබලන් තත්ත්වයකට පත්ව ඇති ආකාරයයි මේ.

මෙම මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතුද අඩාල වී ඇත්තේද මාර්ගයේ ඇති අබලන් තත්ත්වය නිසාමයි.

පාසල් ළමුන් විශාල සංඛ්‍යාවක් මෙම මාර්ගය භාවිත කරන අතර, ඔවුන්ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නොවූ මෙම අබලන් මාර්ගය හැකි ඉක්මණින් ප්‍රතිසංස්කරණය කර දී තම ගමනා ගමන කටයුතු පහසු කර දෙන ලෙසයි.

******************************************

(28.04.2021 – 16:36 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය නිශ්පාදන කඳවුරක් පවත්වාගෙන යාම සහ පුපුරන ද්‍රව්‍ය එක් රැස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

මෙහිදී චෝදනා ලැබූ මොහොමඩ් මුෆීස්, මොහොමඩ් හමාස්, ඊබ්‍රහිම් මොහොමඩ් නවුෆර්, මොහොමඩ් සජිඩ්, ඊබ්‍රහිම් සදීක් අබ්දුල්ලා සහ ගෆූර් මාමා යන අයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පවත්වාගෙන යන ලෙසටයි නීතිපතිවරයා ඉල්ලා ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් සහ එම ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මොහොමඩ් හස්තූන් යන දෙදෙනාටත් (2) මෙහිදී චෝදනා ගොනුකර තිබෙනවා ෴

******************************************

(28.04.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) ප්‍රකාශ කළා.

ඒ පසුගිය දින තුන (3) තිස්සේ සිදු කෙරුණු වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කරමින්.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(28.04.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද පාර්සල් දෙකක (2) තිබී මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාරයේ බී අංශයට ඊයේ (27) පස්වරුවේ පිටතින් විසිකර තිබූ පාර්සලයක තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158 ක්, ගංජා ග්‍රෑම් 20 ක් සහ මත් කරල් 30 ක් සමඟ ජංගම දුරකථන දෙකක් (2) ද සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කළුතර බන්ධනාගාරයේ බී අංශයේ වහලයක් මතට අද (28) පෙරවරුවේ විසිකර තිබූ තවත් පාර්සලයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරින් සමත් වී තිබෙනවා.

එහි තිබී ජංගම දුරකථන 6 ක්, දුම්කොළ 10 ක්, ඇතුළු තහනම් ද්‍රව්‍ය සොයා ගැණුනා.

******************************************

(28.04.2021 – 18:01 +0530 – hirunews.lk/sinhala)

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් (4) වටලා එහි කළමනාකරුවන් දෙදෙනකු (2) සහ කාන්තාවන් එකොළොස් දෙනකු (11) ඊයේ (27 දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

මෙම කාන්තාවන් කුරුණෑගල, ඇල්පිටිය, කළුතර, බොරැල්ල සහ මහරගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18-48 වයසේ පසුවන්නියන් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ සුපිරි හෝටල්වල රැකියා කරන බව නිවෙස් වලට පවසා කොළඹට පැමිණ කුලී කාමරවල නැවැතී ගණිකා ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මහරගම, වත්තේගෙදර, පමුණුව, පොල්වත්ත ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානවලට උපාය දූතයකු යොදවා ලබාගත් තොරතුරුවලට අනුව කළ වැටලීමකදී මුදලට අලෙවිය සඳහා රැඳී සිටි මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම කාන්තාවන් හමුවට පැමිණෙන පුද්ගලයන්ගෙන් පැයක කාලයක් සඳහා රුපියල් 3000 සිට 6000 දක්වා මුදලක් අය කරන බව පැවැසෙනවා.

වැටලීම් සිදුකළ ස්ථානවල සම්බාහන මධ්‍යස්ථාන ලෙස නාමපුවරු ප්‍රදර්ශනය කර තිබුණද, ඒ සඳහා පුහුණුව ලත් කිසිවකු හෝ රැඳී නොසිටි බවද සඳහන්.

මීට පෙර මෙම ස්ථාන මිරිහාන දූෂණ මර්දන ඒකකය මඟින් වටලා එහි කළමනාකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවැසූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(28.04.2021 – mawbima.lk)

මවක සහ මිත්තණියක කුඩා දරුවෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධව සමාජ ජාලා හරහා ප්‍රචාරය වූ වීඩියෝ පටයට අදාළ මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

අදාළ සැකකාරියන් දෙදෙනා පල්ලෙවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (අප්‍රේල් 28) නියෝග කළා ය.

මෙලෙස පහර කෑමට ලක් වී ඇත්තේ 7 හැවිරිදි පිරිමි දරුවෙකු වන අතර අදාළ මව සහ මිත්තණිය ඊයේ (අප්‍රේල් 27) පස්වරුවේ අත්අඩංගුවට පත් විය.

දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු මෙම පවුලේ දරුවන් තිදෙනෙක් ම පල්ලේවෙල බල ප්‍රදේශයට අයත් ගනේගොඩ විහාරයක දිවි ගෙවන අතර එම දරුවන් නිවසට පැමිණි අවස්ථාවක ඔවුන්ගේ මිත්තණියට වඳින ලෙස මව පවසා ඇති අතර එයට අවනත නොවීම හේතුවෙන් හටගත් කෝපය නිසා මෙම පහර දීම සිදු කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව පොලීසිය පැවසීය.

‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමේදී පොලිසිය පැවසුවේ, එම පවුලේ ම දියණිය මෙම සිදුවීම වීඩියෝ කර ඇති අතර නොසිතූ පරිදි එම වීඩියෝව සමාජ ජාලා හරහා ප්‍රචාරය වී ඇති බවයි.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයා හරහා පොලිසියට එම වීඩියෝ පටය ලැබී ඇති අතර ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ මෙහෙයවා ඇත.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, ප්‍රහාරයට ලක් වූ දරුවා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *