බුර්කාව තහනම්

බුර්කාව තහනම්

*********************************************

බුර්කාව තහනම්

(27.04.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලබාදෙමින්.

පොදු ස්ථානවලදී සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමේ පවතී නම් එය තහනම් කිරීමට කෙටුම්පතක් සකස් කිරීම මේ තුළින් සිදුවනු ඇති ෴

******************************************

(27.04.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම මේ වනවිට දේශපාලන ගැටලුවක් බවට පත්ව ඇති ප්‍රබල සමාජ ප්‍රශ්නයක්.

මේ අතර, පොළොන්නරුව ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුමට ලබා දී ඇති අසාර්ථක විසඳුමක් පිළිබඳවත් ‘රතු මිනිත්තුව’ට තොරතුරු වාර්තා වුණා.

අලි මිනිස් ගැටුම පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් මෙරට විවිධ ප්‍රදේශවලින් දිනපතාම පාහේ වාර්තා වනවා.

ගෙවුණු දිනය කිහිපය තුළ පමණක් වනඅලි ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 3 ක් අහිමි වුණා.

ගිරාදුරුකෝට්ටේ, උල්හිටි ගම්මානයෙන් මරණ 2 ක් වාර්තා වූ අතර, එහි ආසන්නම සිදුවීම වන්නේ කරුවලගස්වැව ප්‍රදේශයේ 69 හැවිරිදි සිව්දරු (4) පියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වීමයි.

මේ පසුගිය යහපාලන රජය විසින් අලි මිනිස් ගැටුමට ලබා දී ඇති විසඳුමයි.

රුපියල් ලක්ෂ 10 – 15 ත් අතර ප්‍රමාණයක ප්‍රතිපාදන ලබාදෙමින් ආරම්භ කළ මෙම කුටි 26 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

නමුත් මේ වනවිට එම ව්‍යාපෘතිය යකඩ කණු කිහිපයකට පමණක් සීමා වී ඇති අයුරුයි මේ.

අතරමඟ නවතා දමා ඇති මෙම ව්‍යාපෘතිය ද සුදු අලියෙකු බවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අලි මිනිස් ගැටුම කළමනාකරණයට යල් පැනගිය ක්‍රම වලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම අලි මිනිස් ගැටුමට ඇති තිරසාර විසඳුම බවයි පර්යේෂකයින් පවසන්නේ.

එවන් කාලෝචිත විසඳුම් ලබාදීම වෙනුවට ආරම්භ කෙරෙන මෙවැනි ව්‍යාපෘති අවසානයේ අතරමඟ නවතා දැමීම මගින් සිදුවන්නේ මහජන මුදල් නාස්තියක් පමණයි.

******************************************

(27.04.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ යුරෝපා සංගමයේ නියෝජනය කරන රටවල් 5 ක තානාපතිවරුන් අතර විශේෂ හමුවක් අද (27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි, ප්‍රංශ තානාපති එරික් ලැවටු, ඉතාලි තානාපතිනී රීටා මැනිල්ලා, ජර්මන් තානපති හොල්ගර් ෂූබර්ට් සහ රුමේනියානු තානාපති වික්ටර් චෙයිඩුවා ඊට එක්වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙරට කොරෝනා තත්ත්වය, මානව, සිවිල්, ආර්ථික, සාමාජීය දේශපාලන මෙන්ම ආගමික හා සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම ආදි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජනබලවේගය ජනතාවගේ සියලු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වන බවයි.

******************************************

(27.04.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

දියවන්නා ජලාශය ආශ්‍රිතව වාර්තා වී ඇති ඇල්ගී තීව්‍ර ලෙස වර්ධනය වීමට හේතුව අධික ලෙස පෝෂ්‍යකාරක ද්‍රව්‍යයන් ජලාශයට එක්වීම බවට තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ බව විශේෂඥයින් විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමඟ අද (27) පැවති සාකච්ඡාවකදී විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙම ඇල්ගී වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස පොස්පරස් හා නයිට්‍රජන් එක්රැස් වීම හේතුවී ඇති බවයි.

ජලයට එක්වන නයිට්‍රජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ ගොස් ඇති අතර, ඒවා අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ශාක දියවන්නා ජලාශයේ නොමැති බව එහිදී අනාවරණ වී ඇති තවත් කරුණක් ෴

******************************************

(27.04.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ණය ලබාගැනීම් ආදී මූල්‍ය කටයුතුවලදී එම ව්‍යවසායකයන් මුහුණදෙන ගැටළු සළකා බලා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය අදාළ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් මහ බැංකුව මගින් නියාමනය වන මූල්‍ය ආයතන වෙත සහතික කිරීම් සිදුකරනු ඇති ෴

@@@@@@@@@@@@@@@@

(27.04.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛය මේ වන විට සකස් කර අවසන් වී තිබෙනවා.

ඒ අනුව තවත් පැය කිහිපයකින් අදාළ චක්‍රලේඛය අන්තර්ජාලයට මුදාහරින බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියා සිටියේ.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සේවකයින් ගෙන්වීමට අදාළ චක්‍රලේඛය අනුව හැකි වන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් අඛණ්ඩව සේවයට කැදවීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ද අත්හිටුවනු ලබනවා.

පළමු සහ දෙවන කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50 ක් සේවයට කැදවීම සහ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.

කෙසේ වෙතත්, නව චක්‍රලේඛයට අනුව නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50 ක් සේවයට කැදවීම යන කරුණු දෙක (2) ඉවත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම අධිකරණ සේවා කොමිසම සහ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වෙත ද ඉදිරිපත් කර තිබෙනවා. එමගින් වැඩිදුරටත් සදහන් කළේ නීතිඥ සංගමයේ කොවිඩ් ප්‍රතිචාර කමිටුව ඊට අදාළ මාර්ගෝපදේශ පෙළක් සකසා ඇති බවයි ෴

+++++++++++++++++++

(27.04.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

දැනට දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිත රැඳවියන් 260 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රැදවියන්ගේ ඥාතීන් විසින් රැඳවියන් බැලීම සඳහා පැමිණීමේදී පිරිස් ඒකරාශී වීමක් සිදුවන බැවින් රැඳවියන් බැලීම ද සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට මීට පෙර පියවර ගැණුනා.

බන්ධනාගාර ගත වන නව රැඳවියන් සියලුදෙනා වෙන් කළ වෙනම ආයතනවල රඳවා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව, ආසාදිතයින් වන රැඳවියන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++

(27.04.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.

++++++++++++++++++++++

(27.04.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 26 වන දින රාත්‍රීයේ සිට හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කිරීමත් සමග ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු අලෙවි කරන කටයුතු 27 දින සිදු කරනු ලැබුවා.

ගොවීන් කියා සිටියේ දින එකක් දෙකක් ඇතුළත නෙළීමට අවැසි එළවළු වර්ග දීන ගණනාවක් වගා බිමේ තබාගැනීමට නොහැකි බවත් ඒවා කඩිනමින් අලෙවි විය යුතු නිසා තම අස්වැන්න නෙළාගෙන ප්‍රධාන මාර්ගය දෙපස තමා අලෙවි කිරීමට ක්‍රියා කරන බවයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ කිසිදු ස්ථානයක ප්‍රධාන මාර්ගයේ එළවළු අලෙවි කිරීම්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී පොලිස් නිලධාරීන් යොදවා තිබුණා.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ එළවළු අලෙවි කිරීම්ට නොහැකි වූ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළෙන්දන් තම ගොවීන් සහ එළවළු මිල දී ගැනීම් සඳහා පැමිණි පුද්ගලයින් දුරකථන හරහා සම්බන්ද කරගෙන දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මේ ආකාරයෙන් තම එළවළු වෙළඳාම සිදුකරමින් සිටියා.

එම එළවළු අලෙවි කරන ස්ථාන වලට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ ඇතැම් වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිත භාවයෙන් තොරව දුම්වැටි උරමින් මුඛ ආවරණය ඉවත් කරමින් එළවළු ගොඩේ රැඳී සිටින ආකාරයයි.

ගොවීන් අප සමග කියා සිටියේ දින ගණනාවක් එළවළු අලෙවි කිරිමකින් තොරව කල්තබා ගැනීමට නොහැකි බවයි.

එම නිසා තම එළවළු වගා බිම් වලට හෝ පැමිණ අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ඔවුහු පෙන්වා දෙනවා.

යුද හමුදාව පොලිසිය රෝහල් සහ අනෙකුත් එළවළු මිල දී ගැනීම් සඳහා වූ විශාල ආයතන වලට එළවළු සැපයීම සිදු විය යුතු බවයි.

කොවිඩ් රෝගය වැළඳුණු රෝහල් වලට පවා එළවළු අවශ්‍යතාවයක් පවතින බව ද ගොවීන් පෙන්වා දෙනවා.

එම නිසා යම්කිසි විකල්ප වැඩපිලිවෙලක් ගන්නැයි ඔවුහු සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලීමක්ද කර සිටිනවා.

තවදුරටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර එම ස්ථානයේ දැඩි පොලිස් රැකවල් යොදා ඇති අයුරුද දැක ගැනීමට හැකි වුණා ෴

+++++++++++++++++++++++++

(27.04.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

මැයි මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය අවලංගු කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *