කසළ ගැටලුවට නව විසඳුමක්

කසළ ගැටලුවට නව විසඳුමක්

*********************************************

කසළ ගැටලුවට නව විසඳුමක්

(26.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම මුලු මහත් ලෝකයම මුහුණ දෙන ගැටලුවක්. මෙම ගැටලුවට විසඳුම් සොයන්න විවිධ පුද්ගලයින්, ආයතන මෙන්ම සංවිධානද උත්සහ කරනවා. අපේම රටේ ක්‍රියාත්මක වන එවන් උත්සහයක් පිළිබඳවයි මේ.

මෙරට වඩාත්ම නාගරීකරණය වූ පළාත ලෙස සැලකෙන බස්නාහිර පළාතේ දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය ටොන් තුන්දහසකට (3000) අධිකයි.

එයින් සියයට 30 ක්ම නොදිරන අපද්‍රව්‍ය ගණයට අයත් වනවා.

ප්ලාස්ටික්, පොලිතින්, රබර්, ආදී නොදිරන අපද්‍රව්‍ය අක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමෙන් සිදු වන්නේ පරිසර දූෂණය පමණක්ම නොවෙයි.

මිනිසාගේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙන්ම සතා සිව්පාවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට පවා එය තර්ජනයක් වූ අවස්ථා ඕනෑ තරම් දැකිය හැකියි.

ක්‍රමවත් යාන්ත්‍රණයක් යටතේ කසල බැහැර කිරීම සිදුනොවන පෙදෙස් වල පරිසරයට සෘජුවම කසල බැහැර කිරීම විශාල ගෝලීය බලපෑමකට ලක්වන කරුණක්.

අවිධිමත් ලෙස පරිසරයට කසල බැහැර කිරීම අවම කිරීමට විසඳුමක් ලෙසින් ඇතැම් ප්‍රදේශවල පළාත් පාලන ආයතන විසින් නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය වෙන් කර එක්රැස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

ජාඇල සහ රාගම නගර සභා මගින් එම වැඩපිළිවෙළ වඩාත් ආකර්ෂණීය මුහුණුවරකින් ක්‍රියාත්මක කරන ආකාරයයි මේ.

මෙම ‘සම්පත් පියස’ මධ්‍යස්ථානවලදී වෙන් කෙරුණු අපද්‍රව්‍ය මිලට ගනු ලබන්නේ ඔබට ආර්ථික වාසියක් ද අත්කර දෙමින්.

එපමණක් නොවෙයි මෙම සම්පත් පියස හරහා ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා උපදෙස් ද ලබා දෙනවා.

මෙම ස්ථානයෙන් මිළදී ගන්නා නොදිරන අපද්‍රව්‍ය වලින් කොටසක් යොමු කෙරෙන්නේ ප්‍රතිචක්‍රීකරණය සඳහායි.

ඉතිරි නොදිරන අපද්‍රව්‍ය සමහරක් භාවිත කරමින් විවිධ නිර්මාණ හරහා නගර අලංකරණ කටයුතු සිදුවන්නේද ඒ ඒ නගර සභා සේවකයින්ගේ දෑතින්මයි.

පරිසර දූෂණය අවම කිරීමට මෙන්ම තම නිවසේ අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමට ඇති මෙම නව ව්‍යාපෘතිය කෙරෙහි ජනතාව විශාල උනන්දුවක් දක්වනවා.

ජනතාවගේ ආර්ථිකයද ශක්තිමත් කරමින් සිදුකෙරෙන මෙවැනි වැඩසටහන් රටතුළ තව තවත් ව්‍යාප්ත කිරීම කසළ ගැටළුවට කඩිනම් විසඳුමක් නොවේද?

******************************************

(26.04.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

යල මහ දෙකන්නයම අස්වැද්දීමට ඉවහල් වූ ඇළ මාර්ගයක් සංවර්ධනය කිරීම අතරමැද නවතා දැමීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබදව අනුරාධපුර – ගලෙන්බිඳුණුවැව – මානන්කට්ටිය ගම්මානයෙන් වාර්තා වුණා.

අද (26) ‘රතු මිනිත්තුවේ’ විමසා බැලීම ඒ පිළිබඳවයි.

මේ අනුරාධපුර – මානන්කට්ටිය වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන පහක් (5) විසින් අක්කර 4000 කට අධික කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන මානන්කට්ටිය වැවෙහි වම් ඇළ මාර්ගයයි.

ගලෙන්බිදුනුවැව සහ අනුරාධපුර වාරිමාර්ග කාර්යාල මැදිහත්වීමෙන් 2018 වසරේදී මානන්කට්ටිය වැවෙහි වම් ඇළ අදියර කිහිපයක් යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.

ඒ රුපියල් කෝටි එකහමාරක (1½) මුදලක් වෙන් කරමින්.

එහෙත් එම සංවර්ධන කටයුතු වසර තුනකට (3) ආසන්න කාලයක් තිස්සේ ඇණහිටීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇති ආකාරය හිරු කැමරාවේ මෙලෙස සටහන් වුණා.

ගොවීන් පවසන්නේ කුඹුරු අක්කර 105 ක ප්‍රමාණයක් යල මහ දෙකන්නයේම අස්වැද්දුවද ඇළ මාර්ගයේ සංවර්ධනය කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 75 ක ප්‍රමාණයක් පුරන් වන්නට හැර බලා සිටීමට සිදුව ඇති බවයි.

අදාළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ගෙනැවිත් දැමූ පස් කඳු එලෙසම පැවතීමහේතුවෙන් ගම්වැසියන්ගේ ගමනාගමන කටයුතුවලට ද දැඩි අපහසුතා මතුව තිබෙනවා.

ජනතා මුදල් නිකරුණේ නාස්ති කරමින් නාම පුවරුවලට පමණක් සීමා වුණු මෙවැනි ව්‍යාපෘති කෙරෙහි අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමු වනතෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(26.04.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54 ක් සඳහා විදේශ ආයෝජකයින් ඉදිරිපත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 188.4 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 29 ක් සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගිය වසර 10 තුළ මෙරට සංචාරක ව්‍යාපෘති 854 ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 7,026 ක ආදායමක් උපයාගෙන තිබෙනවා ෴

******************************************

(26.04.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

විකිරණශීලි ද්‍රව්‍ය රැගෙන හම්බන්තොට වරායට ඇතුළු වූ නෞකාවේ මෙරට නියෝජිත ආයතනය ඒ සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පැවසුවේ, අදාළ සිද්ධියට කණගාටුව පළකරමින් එම ආයතනය ලිපියක්ද යොමු කර ඇති බවයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් අදාළ නෞකාව පසුගිය 20 වැනිදා රාත්‍රී 9 ට පමණ හම්බන්තොට වරායට ඇතුළු වී තිබුණේ, එහි ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන්.

එවැනි අවස්ථාවක නෞකාවේ අන්තර්ගත දෑ සම්බන්ධයෙන් වරාය අධිකාරිය දැනුවත් කිරීම එය අයත් දේශීය නියෝජිත ආයතනයේ වගකීමක් වුවද, අදාළ ආයතනය එය පැහැර හැර තිබුණා.

කෙසේ වෙතත්, වරාය අධිකාරිය සහ නාවික ආරක්ෂකයින් අනාවරණ කරගත්තේ නෞකාවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවටයි.

නෞකාවේ න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සඳහා භාවිත කරන යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් නම් විකිරණ ඇසුරුම් 5 ක් තිබී ඇති අතර, ඒවා ජාත්‍යන්තර ප්‍රවාහන රෙගුලාසි අනුව ඇසුරුම් කර තිබූ බව පරමාණු බලශක්ති නියාමන සභාව පැවසුවා.

එසේ වුවද, පරමාණුක බලශක්ති පනතේ වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව නෞකාව හම්බන්තොට වරායෙන් පිටත් කරහැරීමට පසුගියදා පියවර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පැවසුවේ, අදාළ විකිරණශීලී ද්‍රව්‍යය නෞකාවේ ඇති බවට ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් එහි දේශීය නියෝජිත ආයතනයට එරෙහිව ඉදිරියේදී නෛතික පියවර ගන්නා බවයි.

******************************************

(26.04.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

වසර 17 කට පෙර සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් හානි වූ, මෙතෙක් ප්‍රතිසංස්කරණයට ලක්නොවූ ඉපැරණි විහාරස්ථානයක් පිළිබඳව මාතර, කොටුවේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වගකිව යුතු බලධාරීන්ගේ ඇස යොමුවිය යුතු අතීත උරුමයන් පිළිබඳවයි මේ විමසා බැලීම.

මේ මාතර, කොටුවේගොඩ පිහිටි ජයසුමන පිරිවෙන් විහාරස්ථානයයි. ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානයට වර්තමානය වනවිට අත්ව ඇති ඉරණමයි මේ.

2004 වසරේදී බලපෑ සුනාමි ඛේදවාචකයෙන් ජයසුමන පිරිවෙන් විහාරස්ථානයේ විහාර මන්දිරය ඇතුළු ස්ථානවලට හානි සිදුවුණා.

සුනාමි ඛේදවාචකය සිදුවී වසර 17 ක් ගතව ඇතත් තවමත් මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි බලධාරීන්ගේ දෑස් විවාර නොවීම කනගාටුවට කරුණක්.

මේ අතර, මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පිහිටා ඇති පල්කුඹුර රජමහ විහාරස්ථානය ද මේ වනවිට අභාවයට යමින් තිබෙනවා.

විහාරය වසර 600 කට වඩා ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානයේ ඉපැරණි බෞද්ධ බිතුසිතුවම් සහ නිර්මාණයන් මේ වනවිට විනාශවෙමින් පවතින්නේ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන්.

විහාරස්ථානයේ ඉපැරණි කැටයම්වලට අත්ව ඇති ඉරණමයි මේ.

විහාරාධිපති හිමියන් පවසන්නේ, පස්වන බුවනෙකබාහු රජතුමන් විසින් විහාරස්ථානයට පූජා කරනු ලැබූ ඉඩම්ද මේ වනවිට අහිමි වෙමින් පවතින බවයි.

******************************************

(26.04.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ බන්ධනාගාරවල රදවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා අපරාධ කල්ලි සාමාජිකයන් 30 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ එම බන්ධනාගාරයේ අලුතින් ඉදිකළ සිර මැදිරි 30 ක මේ වන විට ඔවුන් රදවා ඇති බවයි ෴

******************************************

(26.04.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් බියගන්වා මුදල් කොල්ලකෑ දෙදෙනෙකු (2) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුන් දෙදෙනෙකු (2) ගෙන් ලැබුණු පැමිණිලි මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වයස අවුරුදු 21 ක සහ 22 වන වියේ පසුවන්නන්.

මොවුන් කලක සිට මෙලෙස උපකාරක පන්ති වලට පැමිණෙන සිසුන් ගෙන් මුදල් කොල්ලකා තිබෙනවා.

සැකකරුවන් අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකර කිරීමට නියෝග කෙරුණා.

******************************************

(26.04.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, කුමුලමුනෙයි වනාන්තරයක් තුළ තිබි ආර්.පි.ජි.උණ්ඩ දහයක් (10) අද (26) සොයාගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

රාජ්‍ය බුද්ධි සේවා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී අදාළ ආර්.පි.ජි. උණ්ඩ තොගය සොයා ගෙන තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩ ගත් අතර එය ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

මෙලස සොයාගැනුනේ පසුගිය යුධ සමයේ එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් නැවත පරිහරණය වෙනුවෙන් සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් විය හැකි බවටයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මෙම මෙහයුම මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිළධාරීන් විසින් සිදුකර තිබෙනවා ෴

******************************************

(26.04.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මාලිගාවත්ත වකුගඩු රෝහල ඉදිරිපිටින් දෙමටගොඩ දෙසට දිවෙන වසර 200 ක් පමණ පැරණි කළු පාලම (උමං මර්ගය) මාස ගණනාවක සිට දැඩි අබලන් තත්වයක පවතිනවා.

මෙලෙස අබලන්ව ඇති දුම්රිය මාර්ග හයක් (6) සහිත මෙම දුම්රිය පාලම මාස හයකට (6) අධික කාලයක් රඳවා ඇත්තේ සිල්පර කොට උඩයි.

මෙම අවධානම් සහිත උමං මාර්ගය තුලින් විශාල වාහන ප්‍රමාණයක් දිනකට එහා මෙහා ගමන් ගන්නවා.

මෙම පාලම මත පිහිටා ඇති දුම්රිය මාර්ග 6 හි දිනකට දුමරිය ගමන් වාර 200 කට වඩා ක්‍රියාත්මක වනවා.

මේ වන විට දැඩි ලෙස අබලන් තත්ත්වයෙන් පවතින මෙම උමං පාලම ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු නොකලහොත් නුදුරේදීම බරපතළ අනතුරක් වීමටද ඉඩ ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ෴

@@@@@@@@@@@@@@@

(26.04.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණයක් ලබාදෙන තෙක් පාසල් පවත්වනු ලබන්නේ ජනවාරි 11 වනදා සිට පාසල් පවත්වනු ලබන ක්‍රමවේදයට අනුව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ දිවයින පුරා සමස්ත පාසල් වසා දැමීමකින් තොරව ප්‍රාදේශීයව පවතින තත්වය සැළකිල්ලට ගනිමින් පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරු විසින් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගනු ඇති බවයි ෴

+++++++++++++++++++

(26.04.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් අවධානම හමුවේ මහජනතාවට විවිධ සීමා පැනවෙද්දී නුවරඑලිය මහ නගර සභා සේවකයින් සඳහා අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (25) ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශයේදී පැවැත්වුනා.

අප වාර්තාකරුට අනුව මෙම උත්සවය සංවිධානය කිරීමට නුවරඑලිය නගරාධිපති චන්දනා ලාල් කරුණාරත්න මූලිකත්වය ගෙන ඇති අතර ඒ සඳහා නුවරඑලිය නගර සභා සේවකයින් බොහෝ පිරිසක් එක්ව සිටියා.

මේ වන විට රට තුළ දැඩිව ඉහළ යන කොරෝනා පැතිරීමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නිකුත් කර උත්සව, සාද, සුහද හමු පවා තහනම් කර ඇති පසුබිමක් තුල මෙම අවස්තාව සඳහා මුහුණු ආවරණ පවා නොමැතිව පිරිස් එක්ව සිටි අයුරු දක්නට ලැබුනා.

එවැනි තත්වයක් තුළ නුවරඑළිය නගර සභා සේවකයින් සහ නගරාධිපති මෙලෙස වගකීම් විරහිත ලෙස හැසිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය හා අප්‍රසාදය පල කරනා බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ, පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙස හා ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදීත් ඒවා නොතකමින් ඔහු කටයුතු කර ඇති බවටයි.

මෙම අවුරුදු උත්සවයට එක්වූ නගර සභා සේවකයන්ගේ දිවා ආහාරය සමග මත්පැන් මිලිලීටර් 175 ක බෝතලයක් ලබා දී ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන්ද සිය දැඩි අවධානය යොමුවී ඇති බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ උසස් නිලධාරියකු සඳහන් කලේ මෙවර නුවරඑළි වසන්ත සැණකෙළි නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ කල දැනුම් දීමද නොතකා නුවරඑළිය නගරාධිපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි ෴

++++++++++++++++++

(26.04.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08 ක් අද (26) රාත්‍රී අටේ (8) සිට හුදෙකලා කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, ගම්පහ කලුඅග්ගල, මිනුවන්ගොඩ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාමසේවා වසම් හුදෙකලා කරනු ඇති.

කළුතර මිගහතැන්න, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම්ද මෙලෙස හුදෙකලා කෙරෙනවා.

ත්‍රිකුණාමලය පුම්පුහර් සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පනවා හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

++++++++++++++++++++++

(26.04.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් වටවල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් 12 දෙනෙකු අද (26) හඳුනාගෙන තිබෙනවා.

වටවල – සමන්පුර සහ මාණික්‍යවත්ත යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් පිරිසක් ද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, නාවුල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු අද (26) දින හඳුනාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(26.04.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් 266 දෙනෙකු අද (26) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 94,577 ක්.

තවදුරටත් පුද්ගලයින් 6158 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීම ද කල් යනු ඇති බව බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නායක නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතව තිබුණේ අනිද්දා (28) දිනයේදියි ෴

+++++++++++++++++++++

(26.04.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

අද (26) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 892 නෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,02,271 ක්.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු 266 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, ඒ අනුව පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 94,577 ක් දක්වා ඉහළ යනවා.

ආසාදිතයන් 6158 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(26.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා පවසනවා.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30 දක්වා වසා තැබීමට තීරණයකර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, මොණරාගල සහ බුත්තල අධ්‍යාපන කලාපවල පාසල් 15 ක් අප්‍රේල් තිස් වැනිදා (30) දක්වා වසා තබන බව මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ අවදානමට ලක්වූ බුත්තල අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක්, සියඹලාණ්ඩුව අධ්‍යාපන කලාපයේ පාසල් 06 ක්, මොණරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් වසා තැබෙනු ඇති ෴

රජයේ තීරණයට අනුව, බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම ඇන්ග්ලිකන් පාසල් ද අප්‍රේල් 30 දක්වා වසා තබන බව ඇන්ග්ලිකන් සභාවේ කොළඹ අගරදගුරු හිමියන් පවසනවා ෴

+++++++++++++++++

(26.04.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කලාපයක් බවට පත් කිරීමත් සමඟ අද (26) දින පස්වරුව වන විට ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පාලු ස්වභාවයක් ගෙන තිබුණා.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් කියා සිටියේ එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබෙන අවස්ථාවක මෙලෙස සති දෙකක (2) පමණ කාලයක් වසා තැබීම නිසා ගොවි නිෂ්පාදනවලට සහ ගොවි ආර්ථිකයට විශාල හානියක් සිදුවන බවයි.

ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට සහ රටේ ආහාර අවශ්‍යතාවය සපුරා ලීමට වැඩපිළිවෙලක් සැකසිය යුතු බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවීන්ගේ එළවළු නිෂ්පාදන ජනතාවට හෝ රජයේ ආයතනවලට ලබාදීම සඳහා වැඩ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි ෴

++++++++++++++++++++++

(26.04.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී අටේ (8) සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අනුව අද (26) දිනයේ තුලදී දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාමසේවා වසම් 10 ක් හුදෙකලා කෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *