මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

*********************************************

මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

(24.04.2021 – 21:07 +0530 – sinhala.adaderana.lk)

මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

ඒ අනුව කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරට පළමු කොවිඩ් රැල්ලට හා දෙවැනි රැල්ලට සාපේක්ෂව සීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට මත පළවී ඇත.

මීට පෙර මෙරටින් හඳුනාගැණුනු ප්‍රභේදය මෙන් නොව නව වෛරස් ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙයි.

නව වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය එකහමාරක් (1½) පමණ එහි පවතී.

අදාළ කාලය තුළ එම පරිසරයට මුඛ ආවරණයක් නොපැළඳ පැමිණෙන පුද්ගලයෙකුට එම කාලය තුළ වෛරසය ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ,

“ලෝක සෞඛ්‍ය සංවිධාන සහ වෙනත් පර්යේෂණ ආයතනවලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙනුන් බෝ වෙනවා කියලා. මේ වාතයේ වෛරසය පැය එකහමාරක් (1½) විතර තියෙන්න පුළුවන්. ඒ නිසා මාස්ක් දැමීම ඉතාම වැදගත්.” යනුවෙනි.

එමෙන්ම, මීට පෙර පැවති කොවිඩ් වෛරස් ප්‍රභේද එක් අයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ආසාදනය වුවද, නව ප්‍රභේද එක් අයෙකුගෙන් අවම වශයෙන් තවත් පස් දෙනෙකුට (5) පමණ ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට හඳුනාගෙන තිබේ.

මීට පෙර පැවති කොවිඩ් ප්‍රභේද ආසාදනය වූ විට උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඊට දින කිහිපයකට පසු පෙනහළුවලට ආසාදනය වීම සිදු විය.

නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ, නව ප්‍රභේද ආසාදනය වී ඇති බොහෝ පිරිසකගේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවීමෙන් පසුව බවය.

එමෙන්ම තරුණ පිරිසට ආසාදනයවීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින බවට මේ වනවිට හඳුනාගෙන ඇති නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ පැතිර ගිය ප්‍රභේදයට සමානකමක් දක්වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි ෴

++++++++++++++++++++

(25.04.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 642 ක් දක්වා ඉහළ ගියා.

ඒ තවත් මරණ 4 ක් වාර්තා වීමත් සමගයි.

+++++++++++++++++++++

(25.04.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය නීති කඩ කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී (24) පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඉන් වැඩි දෙනෙකු කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මුඛ ආවරණ නොපැළඳීම ඇතුලු නිරෝධායන නීති කඩ කරන්නන් අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3470 ක්.

මෙම මෙහෙමුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

දිවයිනේ කුමන ප්‍රදේශයක සිටියද නිවසින් පිටවී යන විට මුහුණු ආවරණ භාවිත කළ යුතු අතර පොදු ප්‍රවාහන සේවා භාවිත කරන විට තම මුහුණු ආවරණ ඉවත් කිරීමෙන් වළකින ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මේ අතර ආසාදිතයින් 895 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 10,586 ක් ලෙස සටහන් වනවා.

ඊයේ (24) හඳුනාගත් ආසාදිතයින් අතරින් 880 ක් දේශීය වශයෙන් හඳුනාගෙන ඇති අතර, විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වන අතරතුර හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 15 ක්.

පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් මේ වන විට කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය මෙන්ම, තිත්තවැල්ගාල නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇත්නම් පමණක් පොලිස් ස්ථාන මගින් විවිධ කටයුතු සඳහා බලපත්‍ර නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (24) දිනයේදී කොරෝනා මරණ 4 ක් වාර්තාවූ අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 642 දක්වා ඉහළ ගියා.

ඊයේ (24) වාර්තාවූ කොරෝනා මරණවලට කුලියාපිටිය ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ රත්ගම ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද අයත්.

එමෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විදේශිකයෙකු සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විදේශිකයෙකුද ඊයේ (24) වාර්තාවූ කොරෝනා මරණ අතර වනවා ෴

+++++++++++++++++++++

(25.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා අවදානම් තත්වය සමග සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මගී ප්‍රවාහනය පහසු කිරීම සඳහා ඉදිරියේදී අතිරේක දුම්රිය කිහිපයක් යෙදවීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සියලු දුම්රිය ස්ථාන වල දේහ උෂ්ණත්ව පරීක්ෂා කිරීමට සහ විෂබීජහරණ කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයේ කැමරා පද්ධතී යොදාගනිමින් දේහ උෂ්ණත්ව පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බව ඔහු සඳහන් කළා.

මේ අතර කොරෝනා තත්වය හමුවේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනයේදී සිදුවන අපහසුතා අවම කර ගැනීම සඳහා යෙදවිය හැකි බස් 5,000 ක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස් රථ තුල සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම මගීන්ද කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ධාවන කාලසටහන් සංශෝධනයට සහ විශේෂ වැඩපිළිවලක් සකස් කිරීමට නියාමන ආයතන පියවර ගත යුතු බවයි ෴

++++++++++++++++

(25.04.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටු, පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි.

තුන්වන කොරෝනා අවදානම් තත්ත්වය මත පදනම්ව ලබන මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි රජය මගින් පසුගිය 23 වනදා නිකුත් කල සෞඛ්‍ය මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ පාසල්, පෙර පාසල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන සියයට 50 ක ධාරිතාවයකින් යුතුව පවත්වාගෙන යායුතු බවයි.

සියලු උපකාරක පන්ති සහ උසස් අධ්‍යාපන ආයතන පැවැත්වීම සදහා අවසර නොමැති බවත් සියලු විශ්වවිද්‍යාල වසා දමා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

ඉදිරි විභාග පැවැත්වීමට නියමිත දිනයන් වෙනස් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඝාතන තැතක්‌… පිටරටිනුත් ඇවිත්

(25.04.2021 – divaina.com)

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

සිරිමන්ත රත්නසේකර

******************************************

බැලුම්ගල හෙළි කළ මන්නාරමේ භූමි අත්පත්කර ගැනීම ගැන බළධාරීන්ගේ නෙත් ඇරෙයි

(25.04.2021 – nethnews.lk)

මන්නාරම දිස්ත්‍රික්කයේ සන්නාර්, විඩිතලතිව්, සිලාවතුර ඇතුළු ප්‍රදේශ රැසක භූමිය අත්පත් කර ගැනීමේ අරමුණින් සිදුවන බව කියන විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බලන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ, ‘නෙත් එෆ් එම් බැලුම්ගල’ සිදුකළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින්.

මඩු රක්ෂිතයේ සන්නාර් මුස්ලිම් ගම්මානයේ නිවාස, පාසැල්, රෝහල්, ආගමික ස්ථාන ඉදිකර විදුලි පහසුකම් ද ලබාදී ඇතත් එම ගම්මානයේ ජීවත්වීමට මිනිසුන් නොමැති බවයි නෙත් එෆ් එම් බැලුම්ගලින් අනාවරණ කෙරුණේ. රජයේ ඉඩම් අත්පත් කර ගනිමින් ඉස්සන් කොටු ඉදිකර ඇති අතර බස් නැවතුම්පල, ක්‍රීඩාංගන, ක්‍රීඩාපිටි හා ළමා උද්‍යාන ද එහි ඉදිකර ඇති බව අනාවරණ කෙරුණා. ඊට ප්‍රතිචාර දැක්වූ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙවැනි ඉදිකිරීම් සිදුවූයේ කෙසේදැයි මේවනවිටත් සොයා බැලීම් ආරම්භ කර ඇති බවයි.

යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව මේවනවිට රැඳී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් ද සොයා බලන බවයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක භූමිය අත්පත් කර ගැනීමේ අරමුණින් සිදුවන බව කියන විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම් බැලුම්ගල’ සිදුකළ අනාවරණය ‘නෙත් එෆ් එම් බැලුම්ගල යූ ටියුබ් නාලිකාවේ’ සහ ‘බැලුම්ගල ෆේස්බුක්’ පිටුවේ ඇතුළත්.

******************************************

හමුදාවේ 28 ක් හිර කරන ‘ජිනීවා ගැටය’ නිශාන්ත ද සිල්වාගෙන් – ආරක්ෂාවට ස්විස් රජය රැකවළුන් දෙදෙනකුත් දීලා

(24.04.2021 – colombotoday.com)

ශී‍්‍ර ලංකා හමුදාවේ නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්ෂි එකතු කිරීමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කණ්ඩායම තොරතුරු ලබාදෙන අංක එකේ සාක්ෂිකරු රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා බව හෙළි වී ඇත.

ඔහු අපේ අතිශයින්ම වැදගත් සාක්ෂිකරු යැයි මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියකු හෙළි කර තිබේ.

මෙම නිලධාරියා සතුව අපරාධ නඩු කීපයකට අදාළ බී වාර්තා තිබෙන බවත් එම රහසිගත වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ලබාදී ඇති බවත් අනාවරණය වී ඇත.

‘ආමි සුරංග’ නමැති හිටපු හමුදා නිලධාරියකු ඝාතනය කිරීම ගැන වරෙන්තු නිකුත් වී ඇතත් ස්විස් රජය නිශාන්ත ද සිල්වා මෙරටට එවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

හිටපු පොලිස් පරීක්ෂකගේ ආරක්ෂාව උදෙසා ස්විස් රජය රැකවළුන් දෙදෙනකු ද ලබාදී ඇත.

Divaina

******************************************

(25.04.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රන් මාල කඩා ගැනීමේ සිදුවීම් 4 ක් වාර්තාවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ නොච්චියාගම, ගල්නෑව, පැල්මඩුල්ල සහ රාගම ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තාවන බවයි.

රාගම ප්‍රදේශයේදී දුම්රියක් තුලදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

දුම්රිය ධාවනය වීමට සූදානම් වන අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා දුම්රියෙන් බැස පළාගොස් තිබෙනවා.

අනෙක් ප්‍රදේශවලදී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් විසින් රන් මාල කොල්ලකා පළාගොස් ඇතැයි සඳහන්.

පොලිසිය පෙන්වා දෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මෙලෙස මාල කොල්ලකෑම්වල නිරතවන බවයි.

එමෙන්ම මෙවැනි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු පමණ පසුගිය කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙවැනි කොල්ලකෑම් 40 කට ආසන්න සංඛ්‍යාවක් විසඳීමට හැකියාව ලැබුණු බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රන් මාල කොල්ලකෑමේ සිදුවීම්වල ප්‍රවණතාවක් පවතින බැවින් කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි ඔහු කියාසිටියේ.

පොලිසිය ද මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකර ඇති අතර පොදු ප්‍රවාහන සේවාවල සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇතැයි ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(25.04.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

පහල මල්වතු ඔය ව්‍යාපෘතියේ පුරා විද්‍යාත්මක ගවේෂණ තවත් සති 2 කින් පමණ ආරම්භ කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා.

පහළ මල්වතු ඔයේ ඉදිකිරීම්වලින් පසු එහි ජලයට වැව් බැම්මට සහ පිවිසුම් මාර්ගයට යටවන භූමි ප්‍රමාණයෙහි මෙම කැනීම් සිදු කෙරෙනු ඇති.

ඊට අදාළ ප්‍රතිපාදන ලබා දීමට නියමිතව ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්.

මේ අතර උතුර පළාතේ සිදු කරන පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේශණය සහ මායිම් ලකුණු කිරීමේ ව්‍යාපෘතියේ 2 වන අදියරද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයෙන් එම කටයුතු ආරම්භ කළ බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේ.

එහි පළමු අදියර යටතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 380 ක් පමණ සොයාගෙන තිබෙනවා.

ඉන් බහුතරයකට හානි සිදු කර ඇති බවද සඳහන්. මෙලෙස හඳුනාගෙන මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කළ ස්ථාන 380 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් අනතුරුව කැනීම් කටයුතු ආරම්භ කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නව පුරාවිද්‍යාත්මක ස්ථාන 380 පිළිබඳ වාර්තාව පෙරේදා (23) ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

******************************************

(25.04.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිඅපනයනයට සූදානම් කර ඇති රේගු භාරයේ පවතින පොල්තෙල් තොග වලින් එක් සමාගමකට අයත් පොල්තෙල් බහාලුම්වල පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රතිඵල ලැබුණු විගස අදාළ පොල්තෙල් ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා ගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ එම පොල්තෙල් ප්‍රතිඅපනයනය කෙරෙන දිනය පිළිබඳව එළඹෙන බ්‍රහස්පතින්දා නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි.

තවත් එක් සමාගමකට අයත් පොල්තෙල්වල පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අදාළ පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ද තවදුරටත් සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

******************************************

(25.04.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

2024 වසර අවසානවීමට පෙර වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යන බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ කටයුතු ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බවයි ෴

******************************************

(25.04.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් අතර පසුගිය 21 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද විමර්ශනය සඳහා කතානායකවරයා විසින් පත් කරන ලද විශේෂ කමිටුව ලබන බදාදා (28) පළමුවරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

එහි සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එදින (28) පස්වරුවේ කමිටුව රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට නියමිතයි.

එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එම්.ඒ. සුමන්දිරන් යන අය නම් කිරීමටයි පසුගියදා කතානායකවරයා පියවර ගත්තේ ෴

******************************************

(25.04.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු (3) ගිනි අවියක් සහ පතොරම් සමඟ රත්නපුර – කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් රත්නපුර සහ කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මීට පෙරද විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවටයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ ෴

******************************************

(25.04.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ඉබ්බාගමුව ප්‍රදේශයේදී සිදුවූ පිපිරිමකින් තරුණයන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇති අතර යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය ග්‍රයින්ඩරයකින් කැපීමට යාමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටි තරුණයන් දෙදෙනෙකු (2) මල් වෙඩිල්ලක් සකස් කිරීමට උත්සාහ කිරීමේදී මෙය සිදුව ඇතැයි ද මූලික පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.

තුවාල ලැබූ අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනා (2) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටින බව සඳහන්.

ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමේදී යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ අතක ඇගිලි 4 ක් අහිමිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයයි පරීක්ෂණ සිදුකරන්නේ.

කෙසේවෙතත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තෙ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට කළ ක්‍රියාවක් නොවන බවටයි.

******************************************

(25.04.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ගිරාඳුරුකෝට්ටේ – උල්හිටියාව ධීවර ගම්මානයේදී අද (25) අලුයම එල්ලවූ වන අලි ප්‍රහාරයකින් 55 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වන අලියා ඇගේ නිවසට පහරදෙන අවස්ථාවේ නිවසින් ඉවතට පැමිණ දිවයද්දී පසුපස හඹා ආ වන අලියා පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මීට දින දෙකකට (2) පෙර පසුගිය 23 වනදා එම ගම්මානයේදීම වන අලියෙක් නිවසක බිත්තියක් පෙරළීමෙන් ඊට යටවූ 66 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී බරපතල තුවාල ලැබූ ඇගේ 38 හැවිරිදි පුත්‍රයා මහියංගණය රෝහලට ඇතුළත් කරනු ලැබුවා ෴

******************************************

(25.04.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අනතුරු හේතුවෙන් ඊයේ (24) දිනයේදී පමණක් පුද්ගලයින් අටදෙනෙකු (8) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් මරණ හයක්ම (6) සිදුව ඇත්තේ ඊයේ (24) සිදුවූ රිය අනතුරුවලින්.

මීට පෙර සිදුවූ අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අනෙක් දෙදෙනා (2) ඊයේ (24) මියගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අදාළ මරණවලින් බහුතරයක් යතුරුපැදිකරුවන් වන අතර, එක් (1) පදිකයෙකුද ඒ අතර වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *