රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

*********************************************

රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

(24.04.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔවුන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බවයි.

******************************************

(24.04.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථාන රජයේ ආරාධනයෙන් එරට සංචාරයක නිරත මෙරට මහා සංඝරත්නය ප්‍රධාන දූත පිරිස ඊයේ (23) පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවුණා.

එහිදී අන්තර් ආගමික සමගිය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබදව සාකච්ඡා කෙරුණු බවයි ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

ලොව පුරා මහා පරිමාණ සංචාරක කටයුතු සහ ආගමික වන්දනා සඳහා පාකිස්තානය සූදානම් බව අගමැති ඉම්රාන් ඛාන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පාකිස්ථානයේ වඩාත් ගෞරවයට පාත්‍රවූ බෞද්ධ උරුමයන් ඇතුලත් වන්දනා මාවතක් නිර්මාණය කරමින් පවතින බවද ඔහු කියා සිටියා.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය පිලිබදව ශ්‍රී ලංකා දූත පිරිස මෙහිදී අදහස් පල කළා.

එම දීර්ඝ කාලීන සබඳතාව නිරන්තරයෙන් අගය කරන බවයි මහා සංඝරත්නය ප්‍රධාන දූත පිරිස සඳහන් කළේ. අදාළ සංචාරය සංවිධානය කිරීම ගැන පිරිස පාකිස්ථාන රජයට ස්තූතියද පුද කළා.

******************************************

(24.04.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන, ‘ෂේන්’ ඇතුළු 3 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(24.04.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ කිලෝග්‍රෑම් 81 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්වුණා.

ඒ, උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ඊයේ (23) සහභාගි වෙමින්.

******************************************

(24.04.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මෙරට තේ කර්මාන්තයේ ප්‍රකෘතිමත්වීමක් වසරේ පළමු (1) කාර්තුවේදී දක්නට ලැබෙන බව තැරැව්කාර සමාගම් පවසනවා.

මාර්තු 31 වනදායින් අවසන් වූ පළමු කාර්තුවේ දී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.03 ක් ලෙස සටහන් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන විස්සයි දශම තුනයි පහක (20.35) වැඩිවීමක්.

මෙහිදී උඩරට සහ පහත රට ඇතුලු සියලු තලයන් හි තේ නිෂ්පාදනය ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන් පහත රට තේ නිෂ්පාදනය 2020 වසරට සාපේක්ෂව සියයට 48 කින් ඉහළ යාම විශේෂත්වයක්.

මේ වසරේ පළමු (1) කාර්තුවේ තේ අපනයනය කළ කිලෝග්‍රෑම් මිලියන 60.89 ක් ලෙස සටහන් වන අතර, එය පෙර වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 10.31 ක වැඩිවීමක් බවයි ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තැරැව්කාර සමාගම ප්‍රකාශ කළේ.

පළමු කාර්තුවේදී තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 65.62 ක් උපයනු ලැබූ අතර, පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබූ ආදායම රුපියල් බිලියන 49.23 ක්.

තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය අගයද මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් 938.97 ක් ලෙස ඉහළ ගියා.

තුර්කිය මෙරට තේ නිෂ්පාදන වැඩි වශයෙන්ම මිලදී ගත් රට ලෙස සටහන් වන අතර, ඉරාකය, රුසියාව සහ චීනය ඊළඟට වැඩියෙන්ම මෙරට තේ නිෂ්පාදන මිලදී ගත් රටවල්.

මෙරට තේ මිලදී ගැනීම අතින් සිව්වන තැන සිටි ඉරානය දැන් 9 වන ස්ථානයට පත්ව ඇති අතර, අසර්බයිජානය, ලිබියාව, සිරියාව, සෞදි අරාබිය, චිලී සහ ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කළ තේ ප්‍රමාණයද පළමු කාර්තුවේදී පහත වැටුණා.

කෙසේ නමුත් චීනය වෙත සිදුකළ අපනයනයන් එහිදී සියයට 161 කින් ඉහළ ගොස් තිබෙනවා ෴

******************************************

(24.04.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

පිළිගත් දේශපාලන පක්ෂ විසින් 2019 වර්ෂයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කරන ලද ගිණුම් වාර්තා, නියමිත දිනවල ලබාදී නොමැති දේශපාලන පක්ෂ දෙකක් (2) පිළිබඳ අවසන් තීන්දුව මීළඟ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත්තේ තවත් දේශපාලන පක්ෂ දෙකකට (2) එම වාර්තා ලබාදීම සඳහා සහන කාලයක් ලබාදීමටයි ෴

******************************************

(24.04.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර අත්අඩංගුවේ සිට දිවයිනට පැමිණි ධීවරයන් නිරෝධායනයට.

මියන්මාර අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනා ඊයේ (23) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු පැවසුවේ සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 යානයෙන් ඊයේ (23) රාත්‍රී 11:35 ට පමණ ඔවුන් දිවයිනට පැමිණි බවයි.

අදාළ ධීවරයින් පිරිස නිරෝධායනය සඳහා යොමුකිරීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මියන්මාර රජය සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් පසුව එම ධීවරයින් පිරිස නිදහස් කිරීමට මියන්මාර බලධාරීන් පසුගියදා තීරණය කළා ෴

******************************************

(24.04.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මෙරටට බලපා ඇති කොවිඩ් 19 අවදානමත් සමඟ මැලේරියා රෝගය යළි හිස ඔසවමින් ඇති බව ජාතික මැලේරියා ව්‍යාපාරය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය වසරක පමණ කාලය තුළදී මෙරටින් මැලේරියා රෝගීන් 7 දෙනෙකු පමණ වාර්තා වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ අවසන් වරට මැලේරියා රෝගියෙකු වාර්තා වූයේ 2012 වසරේදී.

ඉන් පසු වසර 03 ක පමණ කාලයක් මැලේරියා වර්ධනය ශූන්‍යව පැවතීම හේතුවෙන් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.

කෙසේ නමුත් පසුගිය වසරක පමණ කාලයක් තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මැලේරියා රෝගය යළි හිස එසවීමේ අවදානමක් පිළිබඳ මැලේරියා මර්දන ව්‍යාපාරය මෙලෙස අනතුරු අඟවනවා.

******************************************

(24.04.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අවසර ලබා දී තිබෙනවා.

අමාත්‍ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මීට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදියි.

ඒ අනුව පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි සිය නිවසේදියි.

අත්අඩංගුවට පත්වීමට ප්‍රථම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේද සටහනක් තබමින් සමාජ මාධ්‍ය වෙතද වීඩියෝවක් නිකුත් කර තිබුණා.

රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුනු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස්වයි සිටියේ.

නීතිපතිවරයා විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වනදා නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් හයක් (6) යෙදවූවත් එවක දින හයක් (6) යනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පසුව දෙහිවල මහල් නිවසක සැඟව සිටියදී දින හයකට (6) පසු ඔහු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය වසරේ අප්‍රේල් 14 වනදා රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ සඳහායි. කෙසේ වෙතත් පසුව ඔහු ඇප මත මුදාහැර තිබුණා.

******************************************

(24.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ ගැටලුවලට කඩිනම් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සහ පොල්තෙල් ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

පාම් ඔයිල් තහනම් කළ පසුව ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණදෙන දේශීය කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ට විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බවයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේ.

දේශීය බිස්කට් කර්මාන්තයේ ගුණාත්මක භාවය පවත්වාගැනීම මෙන්ම, දේශීය පොල්තෙල් නිෂ්පාදනකරුවන් දිරිගන්වමින් ආනයනික පාම්තෙල් භාවිතය අවම කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(24.04.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

දියවන්නා ඔයේ ජලය අපවිත්‍රවීම සහ අවපැහැයෙන් යුක්තවීම පිළිබඳව සොයාබැලීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කර තමා වෙත ඒ පිළිබඳ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍රවීම සම්බන්ධයෙන් පසුගියදා කතානායකවරයාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රැස්වීමකදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දැනට උද්ගත තත්ත්වය මඟහරවා ගැනීම සඳහා සිදුකළ හැකි ක්ෂණික විසඳුම් හඳුනාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කතානායකවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම, මෙම ජලාශය යළි යථා තත්ත්වයට පත් කර ඉදිරියේදී එවන් තත්ත්වයක් ඇති වීම වළක්වාලීමේ අවශ්‍යතාව ද කතානායකවරයා පෙන්වා දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනවසර පදිංචිකරුවන්ගේ නිවාස මගින් දියවන්නා ඔයට බැහැර කරනු ලබන මළ අපද්‍රව්‍ය වලින් සිදුවන බලපෑම වළක්වාලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම සාකච්ඡාවේදී පැහැදිලි කර තිබෙනවා ෴

******************************************

(24.04.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ සිට මේ දක්වා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ සිදුකර ඇති රුපියල් කෝටි 9 කට ආසන්න මූල්‍ය වංචාවක් හෙළිදරව් කරගැනීමට හැකිවූ බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවක රජයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයාද ඊට වගකිව යුතු බවයි.

@@@@@@@@@@@@@@@@

(24.04.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

ඒ සම්බන්ධයෙන් තමන් ඊයේ (23) දිනයේ ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කළ බවයි ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

තුන්වන (3) අවදානම් මට්ටම මත පදනම්ව ලබන මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදු කළයුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) ප්‍රකාශයට පත් කළා.

එහි දැක්වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර ඇති අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවයි.

දිවාසුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල් මෙන්ම පාසල් සියයට 50 ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකි බවද අදාල මාර්ගෝපදේශ වල දැක්වෙනවා.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ පාසල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බවයි.

ලබන මස 31 වනදා දක්වා කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, ගෘහස්ථ උත්සව සහ එළිමහන් උත්සව, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති වසා දැමිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ වල ඇතුළත්.

එසේම, එක් නිවසකින් පුද්ගලයින් දෙදෙනෙකුට (2) පමණක් පිටවීමට අවසර ඇති අතර, පොදු ප්‍රවාහන සේවය ආසන ධාරිතාව අනුව, ප්‍රවාහනය කිරීමට අවසර හිමිවනවා. මූල්‍ය ආයතන, සාප්පු සංකීර්ණ, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, අවන්හල්, රූපලාවන්‍යාගාර, ආර්ථික මධ්‍යස්ථාන, සඳහා සියයට 50 ක් ගණුදෙනුකරුවන් ඇතුළු කර ගත හැකියි.

මංගල උත්සව උපරිම අමුත්තන් 150 ක් දක්වා සීමා කෙරෙන අතර, අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැක්කේ පුද්ගලයින් 25 දෙනෙකුට පමණක් බවයි අදාළ මාර්ගෝපදේශ වල වැඩිදුරටත් දැක්වුණේ.

මේ අතර පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන වල බැතිමතුන්ගේ සංඛ්‍යාව සියයට 50 ක ප්‍රමාණයට සීමා කළ යුතු අතර උපරිම බැතිමතුන් සංඛ්‍යාව 50 කට සීමා විය යුතු බව අදාළ නිර්දේශ වල දැක්වෙනවා ෴

++++++++++++++++++++

(24.04.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 969 දෙනෙකු ඊයේ (23) මෙරටින් හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 99,600 ඉක්මවා ගියා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 99,691 ක් ලෙසයි. ඊයේ (23) දිනයේ ආසාදිතයින් 151 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94,036 දක්වා ඉහළ ගියා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දින වලදි සෞඛ්‍ය ආරක්ෂිතව සිය කටයුතු සිදු කරන ලෙසටයි ෴

+++++++++++++++++++++

(24.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

වෙනස් කොට සැලකීම හේතුවෙන් තමා කලකිරීමෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++

(24.04.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන පුද්ගලයන්ගේ වයස වැඩිවීම අනුව එහි ප්‍රතිඵලය ඉහළ යා හැකි බව යුරෝපීය ඖෂධ නියාමන ආයතනය පවසනවා.

ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුවයි.

එමගින් ඊයේ (23) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ රුධිරානු සංඛ්‍යාවේ අඩුවීමක් සමඟ රුධිර කැටිති ඇතිවීමේ දුර්ලභ අවස්ථාවක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණයේදී ඇතිවිය හැකි බවයි.

ඒ සඳහා පවතින්නේ ලක්ෂයකට එක් අවස්ථාවක්.

කෙසේ නමුත්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිඵලදායක බව එමගින් ඇති වන අවදානම අභිබවා යන බවයි යුරෝපා ඖෂධ නියාමනය අවධාරණය කළේ.

ගෝලීය දත්ත අනුව, ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිර කැටිති ඇතිවීමේ අවස්ථා 287 ක් වාර්තා වී ඇති අතර, ෆයිසර් එන්නත මගින් ෆයිසර් බයොඑන්ටෙක් එන්නත මගින් එවැනි අවස්ථා 25 ක්ද, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත මගින් එවැනි අවස්ථා 08 ක් සහ මොඩර්නා එන්නත මගින් අවස්ථා 05 ක් වාර්තා වී ඇති බවයි යුරෝපා ඖෂධ නියාමනය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(24.04.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වීමත් සමඟයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් ද කොරෝනා ආසාදිතව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අනෙක් පුද්ගලයින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *