අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක්

අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක්

*********************************************

අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක්

(23.04.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අවම තරමින් දින තුන හතරක (3-4) කාලයකට හෝ රට සම්පූර්ණයෙන් වසා දමා රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර එය ජනාධිපතිවරයා සමඟ අද (23) පස්වරුවේ පැවැත්වෙන විශේෂ හමුවේදී සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාව සඳහා කොවිඩ්-19 රෝග පාලන ක්‍රියාවලියට එක්ව සිටින සියලු අංශවලට අමතරව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ද කැඳවා තිබෙනවා.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනාව සඳහා ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටයි.

එමෙන්ම මෙවර වෙසක් උත්සවය සඳහා තොරණ දන්සල් ආදී මහජනතාව එක්රැස්වන කිසිදු අවස්ථාවකට අවසර නොදීමට සිය සංගමය තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මතුව ඇති තත්වය දිනෙන් දින බරපතළ වන බැවින් ඒ පිලිබඳව මහජනතාව දැඩි අවධානයක් යොමුකළයුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඊයේ (22) දිනයේ නැවතත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) වාර්තා වු ආසාදිතයින් 672 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 192 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 192 දෙනා අතරින් පාදුක්ක ප්‍රදේශයෙන් ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වනවා.

පොල්ගස්ඕවිටින් ආසාදිතයින් 21 දෙනෙකු සහ කැස්බෑවෙන් ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී තිබුණා.

මේ අතර මුල්ලේරියාව මුලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මුදිතා පෙරේරා මහත්මිය කියා සිටියේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන ඔක්සිජන් සිලින්ඩර් හිඟයක් රෝහල තුළ පවතින බවයි.

එසේම, කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම සේවා කොට්ඨාශය අද (23) පෙරවරු 7 සිට හුදෙකලා කෙරුණා.

එමෙන්ම, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවර ගැනුනා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 98,722 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයින් 93,884 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් සමාජයට එක් නොවි වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කළේ.

මේ අතර, එළඹෙන දීර්ඝ සති අන්තයේදී නිරෝධායන නීති රීති වලට යටත්ව නිවසටම වී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙනවා.

ඊට සහභාගි වීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ සති 3 ක කාලයක් සඳහා පාසල් වසා දමන ලෙස එහිදි ඉල්ලීමක් කිරිමට අපේක්ෂා කරන බවයි.

++++++++++++++++++++

(23.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිනයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 672 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 192 ක්.

පාදුක්කෙන් ආසාදිතයින් 36 දෙනෙකු, පොල්ගස්ඕවිටින් ආසාදිතයින් 21 දෙනෙකු සහ කැස්බෑවෙන් ආසාදිතයින් 20 දෙනෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

එසේම ඊයේ (22) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී තිබුණා ෴

+++++++++++++++++++

(23.04.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා හේතුවෙන් හලාවත කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා ඇති බව පොලිස් ස්ථානාධිපති හිරුට පැවසුවා.

පොලිස් පරික්ෂවරයෙකුට කොවිඩ් අසාධනය වී ඇති නිසා මෙම තීරණය ගත් බවයි පවසන්නේ.

එම පොලිසියේ සියලුම කාර්ය මණ්ඩලය මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ආසාධිත පොලිස් පරීක්ෂකවරයා ආසාදිත බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ඊයේ (22) දිනයේදී යි ෴

(23.04.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු හලාවත කොස්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කොස්වත්ත විජේසුන්දරාරාම විහාරස්ථානයේ සිට පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වෙනත් පොලීස් ස්ථාන වල නිලධාරීන් යොදවා ඇති බව සඳහන්.

හලාවත – කොස්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනා.

එමෙන්ම, එහි නිලධාරීන් 40 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බවයි කොස්වත්ත පොලීසිය සඳහන් කළේ ෴

++++++++++++++++++

(23.04.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩකටයුතු සඳහා තාවකාලික පදනමින් බඳවාගත් සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ බව හෙළි වී ඇත්තේ ඊයේ (22) සවස සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණයකදීයි.

මේ සමඟ ඔහු සමීපව ආශ්‍රය කළ ක්‍රීඩාංගණයේ තවත් සේවකයින් 10 ක් නිරෝධායනය සඳහා යොමුකළ බවයි බලගොල්ල පොලිසියේ නිලධාරියෙක් පවසා සිටියේ.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හෝ බංගලාදේශ කණ්ඩායම සමඟ කිසිදු සෘජු සම්බන්ධතා පවත්වන්නන් නොවන බවත් එබැවින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි ෴

+++++++++++++++++

(23.04.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට බන්ධනාගාරවල රැදවියන් බැලීම සඳහා අමුත්තන්ට ලබාදී තිබූ අවසරය සති දෙකක (2) කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බවයි ෴

@@@@@@@@@@@@@@

(23.04.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්‍යස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.

ඊයේ (22) සිදුකල මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ හෙරොයින් අඩංගු කුඩා ප්‍රමාණයේ පැකට් 700 ක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සිද්ධියට අදාලව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරම ‘මොරටුවෙ සයිමා’ නැමැති පුද්ගලයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවටද අනාවරණය වී තිබෙනවා ෴

******************************************

(23.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අද (23), 5 වන දිනටත් සිදුකෙරෙනවා.

අතරමැදි පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම ඊයේ (22) දිනයේදී සිදු වුණා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර අද කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට නියෝග කළා.

පෙත්සම් විභාගය ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පැවසුවේ මෙම පනත් කෙටුම්පතේ සිදු විය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණු ඇතුළත් වන බවද ඔහු සදහන් කළා.

මේ අතර, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ කැබිනට් මණ්ඩලය සතු බලතල ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ ෴

******************************************

(23.04.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙතෙක් නිකුත් කළ ගෑස් සිලින්ඩරය වෙනුවට වෙළඳපොලට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරය වහාම ඉවත් කරගන්නා ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය අදාල ගෑස් සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

ගෑස් සැපයුම සිදුකරන ප්‍රධාන සමාගම් දෙකෙන් එක් සමාගමක් විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදී එය වෙළදපොලට නිකුත් කර තිබුණා.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙනුවට, ගෘහස්ථ ලීටර් 18 ක් ලෙස සඳහන් කර නව ගෑස් සිලින්ඩරයකුයි මෙලෙස වෙළඳපොලට නිකුත් කර ඇත්තේ.

එම ගෑස් සිලින්ඩරය සඳහා රුපියල් 100 ක මිල අඩු කිරීමක් ද සිදුකර තිබෙනවා.

දැනට වෙළඳපොලේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1495 කටයි.

ඒ අනුව, ලීටර් 18 ක් ලෙස සටහන් කර ඇති ගෑස් සිලින්ඩරයක් 1393 කට අලෙවි වනවා.

කෙසේ වෙතත්, කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් ලෙස සඳහන් කර වෙළඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් වීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය මීට පෙර සොයා බැලීමක් ද ආරම්භ කර ඇති තිබුණා.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අදාල ගෑස් සමාගම විසින් වෙළඳ පොලට නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කරන බවට පවසමින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීමක් බවයි.

එය පාරිභෝගික සේවා පනත උල්ලංඝණය කිරීමක් බවද පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයෙහි ලීටර් වලින් ගණනය කලහොත් ලීටර 25 ක ගෑස් අඩංගු විය යුතුයි.

කෙසේ වෙතත්, දැනට ලීටර වලින් වෙළඳපොලට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරයේ අඩංගු වන්නේ ලීටර 18 ක්.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අදාල ගෑස් සමාගම විසින් ජනතාවට ලීටර 7 ක ගෑස් ප්‍රමාණයක් වංචා කර ඇති බවයි.

එමෙන්ම, රුපියල් 100 ක් අඩු කොට මෙම ගෑස් සිලින්ඩරය නිකුත් කර ඇතත් එය රුපියල් 100 ක් නොව රුපියල් 417ක මිල අඩුවීමක් සිදු විය යුතු බවටද පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙලදපොලට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩර ඉවත් කර ගන්නා ලෙස ගෑස් සමාගම් වෙත පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

******************************************

(23.04.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

රේගු දෙපාර්තමේන්තුව සහ පොල්තෙල් ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙනවා.

ඒ, ඉදිරියේදී සිදුකරන ආනයන කටයුතු සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහායි.

එමෙන්ම පොල්තෙල් ආනයනකරුවන්ට පවතින ගැටලු ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර, පිලිකා කාරක ඇති බවට පැවසූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් අඩංගු අනෙකුත් බහාලුම් ප්‍රමාණයද ලබන සතියේදී ප්‍රතිඅපනයනය කිරීමට බලාපොරොත්තු වන බව රේගු ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගියදා ඇෆ්ලටොක්සීන් නැමැති පිලිකා කාරකය අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය කෙරුණු අතර චෝදනාවට ලක්වූ එක් සමාගමක පොල්තෙල් පමණක් මෙලෙස ප්‍රතිඅපනයනය කෙරුණා ෴

******************************************

(23.04.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගරයේ පැවති රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි අටක (8) පමණ මුදලක් වැය කොට ඉදිකළ නාවින්න ප්‍රධාන බස් නැවතුම් පොලෙහි එක් පර්යන්තයක් මීට මාස 3 ක පමණ සිට ගිලා බැසීමට ලක් ව ඇති බව වාර්තා වෙනවා.

මෙම නව බස්නැවතුම් පොල ඉදි කොට දැනට වසර දෙකක් (2) පමණ වන අතර මෙය විවෘත කරනු ලැබුවේ 2020 ඔක්තෝබර් මාසයේදීයි.

අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය බස් ගමනාන්ත 18 ක ධාවනය වන බස් රථ 325 ක් පමණ මෙම ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා.

මෙම ගිලාබැසීම මීට මාස තුනක (3) පමණ කාලයක සිට මාලබේ බස්රථ ඇතුළුවන කොටසේ සිදුව තිබෙනවා.

******************************************

(23.04.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට එක්වෙමිනුයි ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම ගැන පැමිණිලි රාශියක් ලැබුණ ද ඒවා පිළිබඳව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව ද එහිදී අවධානය යොමු වුණා.

මුතුරාජවෙල තෙත් බිම් කලාපයෙන් සියයට 15 ක් සහ මුතුරාජවෙල අභය භූමියෙන් සියයට 15 ක් පමණ මේ වන විට විවිධ හේතු මත විනාශයට ලක්ව තිබෙනවා ෴

******************************************

(23.04.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය සරසවියේ යුද සැමරුම් ස්මාරකය අද (23) යළි විවෘත කෙරුණා.

අදාළ ස්මාරකය නීතිවිරෝධී ඉදිකිරීමක් බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කිරීමෙන් අනතුරුව එය පසුගිය ජනවාරි මස 8 වනදා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට සිදුකළ බලපෑම් මත ඉවත් කරන ලද යුද සැමරුම් ස්මාරකයේ ඉදිකිරිම් යළි ආරම්භ කෙරුණේ ජනවාරි 15 වනදායි.

ඒ අනුව යළි ඉදි කරන ලද යුද සැමරුම් ස්මාරකය යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් අද (23) උදෑසන විවෘත කෙරුණු බවයි යාපනය හිරු වාර්තාකරු සදහන් කළේ.

******************************************

(23.04.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බහු මාධ්‍ය ප්‍රවාහන පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ලබාදෙන ඩොලර් මිලියන 69.33 ක ණය ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා.

මහනුවර ගුඩ් – ෂෙඩ් පර්යන්තය කේන්ද්‍ර කොටගෙනයි මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.

එහිදී දුම්රිය ස්ථානයට ප්‍රවේශයක් ද ලබාදෙන අතර, දුම්රිය, බස් රථ, ත්‍රිරෝද රථ සහ පදිකයන්ගේ ගමනාගමනය වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම කිරීමට හැකි වනු ඇති.

ණය ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වොස් මහතා විසින්.

මෙහිදී අදාළ ණය මුදලෙන් ඩොලර් මිලියන 64.33 ක් ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය විසින් සහන ණයක් ලෙස ලබාදෙන අතර, වසර 5 ක සහන කාලයක් ඇතුළුව වසර 30 ක් තුළ දී එම ණය ගෙවා නිම කළ යුතුයි.

ඉතිරි ඩොලර් මිලියන 5 වසර 5 ක සහන කාලයක් සහිතව වසර 10 කදී ගෙවා නිම කළ යුතු වනවා.

මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක් වන මහනුවර නගරයට සතියේ දිනකදී පැමිණෙන ජන සංඛ්‍යාව 3,89,000 කට අධිකයි ෴

******************************************

(23.04.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් අතර පෙරේදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද විමර්ශනය සඳහා කතානායකවරයා විසින් පත් කරන විශේෂ කමිටුවට අද (23) සාමාජිකයින් නම් කෙරුණා.

අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයා කියා සිටියේ එම කමිටුවේ සභාපති ධූරයට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නම්කර ඇති බවයි.

එහි අනෙකුත් සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එම්.ඒ. සුමන්දිරන් නම් කෙරුණා ෴

******************************************

(23.04.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම අද 5 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමිල් මෙම පනත් කෙටුම්පතේ සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

අනතුරුව කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබෙනවා.

වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු මෙරට බැංකු අණපනත් මගින් අධීක්ෂණය කෙරෙන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බව ද ඇය සඳහන් කළා.

යෝජිත කොමිසම විසින් අනුමත කරනු ලබන ප්‍රධාන වැඩ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට එම කොමිසමට සිදු වන බව ද ඇය එහිදී පෙන්වා දී තිබෙනවා.

මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මතු කළ ප්‍රශ්නයකට පිලිතුරු දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය, වරාය නගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන ව්‍යපාර සහ ආයෝජන සදහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලයද යෝජිත කොමිසම වෙත පැවරෙන බවයි පවසා ඇත්තේ.

පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වෙනවා.

******************************************

(23.04.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළකළා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගියදා ප්‍රකාශ කළේ මෙවැන්නක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *