කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසී 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි

කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසී 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි

*********************************************

කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසී 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි

(21.04.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය සඳහා ලබා දුන් ‘ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසීමෙන් සිදුවූ මරණ 3 ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර, කොළඹ රාජ්‍ය බැංකුවකින් හඳුනාගත් ආසාදිතයින් අතර පැතිර යන්නේ නව කොරෝනා ප්‍රභේදයක් බවට අනාවරණය වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.

එසේම අලුත් අවුරුදු කාලසිමාවෙන් පසු මෙරට අසාදිතයින් වාර්තා විමේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එය පාලනය කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (21) සෞඛ්‍ය අමාත්‍යංශයේදි පැවැත්වුණා.

එහිදි දිනකට සිදු කරන කොරෝනා පරික්ෂණ 15,000 දක්වා ඉහළ දැමිය යුතු බවට තිරණය කර තිබෙනවා.

එසේම, ඉදිරි සති කිහිපය තුළ කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා ෴

කොවිඩ් එන්නතක් ලබාදීමෙන් පසු කිසියම් සංකූලතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 341 5985 යන එම දුරකථන අංකයෙන් එවැනි සිද්ධීන් දැනුම් දිය හැකි බවයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ෴

+++++++++++++++++++

(21.04.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග එම බැංකුව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබෙනවා.

එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (20) ආසාදිතයින් 41 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 නෙකු සොයා ගැනුණා.

ඉන් 19 ක්ම මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන්.

අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ අලුත් අවුරුදු කාලසීමාවේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම මීට හේතුව වී ඇති බවයි.

ඊයේ (20) දිනයේදී හඳුනා ගත් නව ආසාදිතයින් 367 දෙනා අතරින් වැඩිම පිරිස වන 94 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඉන් 13 දෙනෙකු පන්නිපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර, 11 දෙනෙකු හමුවුණේ මොරටුව ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 දෙනෙකු ඊයේ (20) අලුතෙන් සොයා ගැනුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ රෝගීන් අතුරින් 25 දෙනෙකුම කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වීම විශේෂත්වයක්.

++++++++++++++++++

(21.04.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 121 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,668 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 3179 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 97,472 ක් ලෙසයි ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 361 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 97,833 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 155 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 97,988 ක් ලෙසටයි ෴

@@@@@@@@@@@@@@

අතුරුදන් වූ රුපියල් බිලියනයක් සොයා සෝභිත හිමි CIDයට

(21.04.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත් වූ පිරිස් වෙනුවෙන් ලද රුපියල් බිලියනයකට අධික විදෙස් මුදල් ආධාර අස්තානගතවීමක් පිළිබඳ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

මෙම මුදල් වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලා හෙළිදරව් කරන ලෙස ඉල්ලා සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2019 පාස්කු ඉරිදා මෙරට කිතුනු දේවස්ථාන තුනක් (3) සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූවන්ගේ සංඛ්‍යාව 269.

එමෙන්ම අවම වශයෙන් තවත් 500 ක් පමණ තුවාල ලබා ඔවුනතරින් බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයන්ට පත් වුණා.

මෙම ප්‍රහාරයේදී මෙරට සංචාරය කරමින් සිටි විදේශිකයන් 45 ක්ද මියගිය අය අතර වුනා.

******************************************

(21.04.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර මාලාව අතිශයින් බිහිසුණු මෙන්ම වේදනාකාරී අත්දැකීමක් බවට පත්වූ බොහෝදෙනෙක් අදටත් ජීවිතය විඳවමින් සිටිනවා. ඔවුන්ගේ වේදනාව බෙදා හදා ගැනීමේ අරමුණින් හිරු ප්‍රවෘත්ති සිද්ධියට මුහුණදුන් කිහිපදෙනෙකු සොයා ගියා.

මීට දෙවසරකට පෙර පාස්කු ඉරිදාවේ කටුවාපිටිය දේවාස්ථානයේදී දෙවියන් යදිමින් සිටියදී අත්විඳි අමිහිරි මතකයයි ඇය එලෙස සිහිපත් කළේ. එතැන් පටන් තවමත් ඇය කල් ගෙවන්නේ ගිලන් ඇඳක් මතයි. ඇයගේ ශාරීරික සහ මානසික වේදනාවන්ට සහනයක් වෙමින් නිහඩව ඇය අසල සිටින්නේ ඇගේ ස්වාමිපුරුෂයායි.

මේ පාස්කු ප්‍රහාරයේ නොමිනිස් කමට තවත් උදාහරණයක්.

යක්ෂයාගේ හෝරාව උදාවෙද්දි ඒ කිසිවක් නොදැන සිය දරු පවුල සමඟ දේවාස්ථානයට පැමිණි තිළිණා හර්ෂනි යළි නිවසට ගියේ වසරකුත් මාස 02 කට සහ දින 02කට පසුවයි. ඒ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලෙන් නිවසට ආ අවසන් තැනැත්තිය ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයත් වැනසී ගියා. මේ අදටත් ශේෂ වී ඇති ඒ විනාශයේ ප්‍රතිඵලයි.

මේ පුංචි එලීෂා ඩේබි. ඇය තවමන් අට හැවිරිදි වියේ පසුවන ළදැරියක්. කුරිරු අන්තවාදීන් පැහැර ගත්තේ ඇගේ මව්පියන් පමණක් නොවේ. තනිව හෝ ජීවිතයට මුහුණ දෙන්නට මඟ පෙන්වන දෙනෙතක්වත් අද ඇයට හිමි නැහැ. ඇගේ දෙනෙතට යළි ආලෝකය ලබාදීමට නම් අතිවිශාල මුදලක් වැය කළ යුතු වන නමුත් ඇගේ දස හැවිරිදි සොයුරාටත්, ඥාතීන්ටත් එය සිහිනයක් පමණයි.

මේ මීට දෙවසරකට පෙර සුන්දර මල් කැකුළක්ව සිටි රෙබේකා. ඇගේ යෞවනත්වයේ සුන්දරත්වය ද පාස්කු ප්‍රහාරයට බිලිවු නමුත් ඇය මේ වනවිට ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් දිරිමත් වී අවසන්.

******************************************

(21.04.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම්දීම සඳහා රජය අනිවාර්යයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (20) ගාල්ල ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

******************************************

(21.04.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් වරාය නගරය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා :

******************************************

(21.04.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරායට අනවසරයෙන් ඇතුළුවූ විකිරණශීලි ද්‍රව්‍ය රැගත් චීන නෞකාවකට වහාම පිටවන ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සභාවේ අනුමැතියකින් තොරව අදාළ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවයි.

නෙදර්ලන්තයේ සිට චීනය බලා ධාවනය වෙමින් තිබියදී එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අදාළ නෞකාව වරායට පැමිණ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

******************************************

(21.04.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ‘ගම්පල විතානගේ සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ සමීපතමයින් දෙදෙනෙකු (2) අනිද්දා (23) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ මහාධිකරණය අද (21) නියෝග කළා.

ඒ, ඊට අදාල නඩුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැදවු අවස්ථාවේදීයි.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘ධර්ම රාජා සුසෙන්ද්‍රන්’ හෙවත් ‘සුසෙයි’ සහ ‘කේ ගෞතමන්’ හෙවත් ‘ගෞතම්’ යන විත්තිකරුවන්වයි.

හෙරොයින් ග්‍රෑම් 1097 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා ෴

******************************************

(21.04.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

විගණන වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ 4 ක් හෙට (22) මැතිවරණ කොමිසමට හමුවට කැඳවා තිබෙනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මීට පෙර කිහිප අවස්ථාවකදී විගණන වාර්තා ඉදිරිපත් කරන ලෙස අදාළ දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබූ බවයි.

ඒ අනුව, හෙට (22) දිනයේ විගණන වාර්තා රැගෙන මැතිවරණ කොමිසමට හමුවට පැමිණෙන ලෙස දැනුම්දුන් බවයි එම කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(21.04.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

එම කාන්තාවන් නිදහස් කිරීමටත්, ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව එම කාන්තාවන් සෞදි අරාබි රජයේ ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට එරට රජය එකඟතාව පළ කර ඇතැයි ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව, කාන්තාවන් 156 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනෙනු ඇති ෴

******************************************

(21.04.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම හා ජනතාව අතර, සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මෙරට ප්‍රධාන භික්ෂුන් වහන්සේ පිරිසක් මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වනවා.

පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙහිදී මහා සංඝරත්නය එරට ජනාධිපති සහ අගමැතිවරයා හමුවීමට නියමිත බවයි.

ඊට අමතරව, උන්වහන්සේ ගාන්ධාර ශිෂ්ඨාචාරයේ උරුම ස්ථාන ඇතුළු තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා ෴

******************************************

(21.04.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කිරීමට ආධාර අනුබල දුන් හෝටල් කළමණාකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය විසින් සිදු කරන ලද ප්‍රකාශ අනුවයි 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම දැරිය මුහුණු පොත හරහා තරුණයෙකු හඳුනාගෙන ඇති අතර ඇය නිතරම ජංගම දුරකතනයේ රැඳී සිටිම නිසා පසුගිය 9 වනදින රාත්‍රි ඇයගේ පියා විසින් තරවටු කර පහරදී තිබෙනවා.

පසුව මේ බව ඇය තරුණයාට දන්වා ඇති අතර තරුණයා පවසා ඇත්තේ නිවසින් පිටව එන ලෙසටයි.

ඒ අනුව දැරිය පසුදින අලුයම නිවසින් පිටව ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි ඇතැයි සඳහන්.

පසුව ඔවුන් දෙදෙනා බස් රථයක නැගි මිගමුව ලැගුම් හලකට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් ඇය දූෂණය කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඇය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලට රැගෙන විත් එහි අතරමං කර පළාගොස් ඇති අතර පසුව ඇය එහි සිටි හමුදා නිලධාරින්ගේ ආධාරයෙන් ගාල්ල බස් රථයක නැගී නිවසට පැමිණ තිබෙනවා.

දැරියගේ මව විසින් දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරිය විසින් කරන ලද ප්‍රකාශ අනුව බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සඳහා කාමර පහසුකම් ලබාදි ආධාර අනුබල දිමේ චෝදනාව යටතේ සැකකාර හෝටල් කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

******************************************

(21.04.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි හරහා ඉතාලියට පලායාමට තැත් කළ කල්පිටියේ පදිංචි 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආරක්ෂණ ඒකකයේ නිලධාරින් පිරිසක් විසින්.

ඇය අද (21) අලුයම 03:15 ට එමිරේට්ස් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ අතර, එහිදී ලියකියවිලි සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත ගුවන් සේවා නිලධාරින් ඇය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දී තිබෙනවා.

එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී තහවුරු වී ඇත්තේ අදාළ තරුණිය ඉදිරිපත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රය සහ ඉතාලි වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බවයි.

ඇගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ වලංගු ගුවන් බලපත්‍රය ද සොයා ගැනීමට ද නිලධාරින්ට හැකිවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *