ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයින් සමඟ ඇල්ලූ හෙරොයින් ඉරානයෙන් ලද බවට තොරතුරු

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයින් සමඟ ඇල්ලූ හෙරොයින් ඉරානයෙන් ලද බවට තොරතුරු

*********************************************

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයින් සමඟ ඇල්ලූ හෙරොයින් ඉරානයෙන් ලද බවට තොරතුරු

(20.04.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දියාවේ කොචී වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමඟ ශ්‍රී ලාංකික යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.

‘දූ ශෂිලා’ නැමති ධීවර යාත්‍රාව එලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති අතර මෙහෙයුම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සුවර්ණා නෞකාව ද එක්වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

එහිදී ඔවුන් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් පමණ වන බවත් ජාත්‍යන්තර වෙළදපොළේදී ඉන්දීය රුපියල් කෝටි 1750 ක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.

මෙය ඉන්දියානු, මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ ගමනාන්තයන් වෙත ඉන්දියාවේ මාකරන් වෙරළ තීරය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 58 හැවිරිදි විමලසිරි සහ සෝමසිරි, 55 හැවිරිදි ධර්මදාස, 49 හැවිරිදි අජිත් ඉෂාන්ත් පෙරේරා සහ 48 හැවිරිදි ආරියරත්න පෙරේරා යන අය බව ද එමගින් වැඩිදුරටත් කියා සිටියා.

මෙය කේරළ වෙරළ තීරය ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් සති 3 ක් තුළ සොයා ගත් දෙවැනි මත්ද්‍රව්‍ය තොගයයි.

පසුගිය මාර්තු 30 වන දා කේරළයේ විලින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී කිලෝග්‍රෑම් 300 ක හෙරොයින් තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිවේදනය කළා.

එහිදී ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5 ක් සහ උණ්ඩ වට දහසක් (1000) ද සොයා ගැනුණා.

නවතම මත්ද්‍රව්‍ය වැටලීමේදී සොයා ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 340 රතු පැහැති ඉරාන යාත්‍රාවකින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවට පටවා ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන තිබෙනවා.

සැක කටයුතු යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මුලින් කිසිවක් සොයා ගැනීමට හැකි වී නැහැ.

එහෙත් එහි පත්ලේ අයිස් සමග අදාළ මත්ද්‍රව්‍ය තොගය සගවා තිබූ බව පසුව සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය අසුරණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒවායේ ප්‍රමිතිය හැදින්වීම සඳහා යොදන කිං – 2021 ලෙස නම් කර තිබූ බව සදහන්.

******************************************

(20.04.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් පනවනු ලැබු පාම් ඔයිල් තහනම හේතුවෙන් මෙරට රසකැවිලි කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ට පාම් ඔයිල් ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් රජය මගින් හඳුන්වා දී නෙමැති බවයි.

එමෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ රසකැවිලි කර්මාන්තකරුවන් ඉහළ යන ඉල්ලුම සරිලන ලෙස නිෂ්පාදනය ඉහළ නැංවීමට නොහැකිව පසුවනවා.

මේ නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (20) දිනයේ රැස්වීමක් කැදවා ඇති බව ලංකා රස කැවිළි නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සඳහන් කළා.

මෙරට දේශීය රස කැවිළි කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 85 ඉක්මවන අතර කුඩා හා මධ්‍ය පරිමාණ අංශයේ එම පිරිවැටුම රුපියල් බිලියන 100 කට ආසන්නයි.

එමෙන්ම, ඩොලර් මිලියන 150 ත් 200 ත් අතර වටිනාකමින් යුත් මෙරට රස කැවිළි නිෂ්පාදන වාර්ෂිකව අපනයනය කෙරෙනවා ෴

******************************************

(20.04.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් දෙවන (2) දිනටත් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (20) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

මේ අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් 17 ක පිටපත් තමන් වෙත ලැබි ඇති බවයි.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සිවිල් සංවිධාන පෙත්සම් 19 ක් ගොනු කර ඇත්තේ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

එසේම අදාළ පෙත්සම් වලට මැදිහත් වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, ඇතුළු පිරිසක් ඊයේ (19) අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම් පළමු වරට සලකා බැලූ ඊයේ (19) දිනයේදී පෙත්සම්කරුවන් 10 දෙනෙකුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, අද (20) ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කරුණු දක්වනු ලැබුවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන්.

ඒ අනුව කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළ 2014 වසරේ ඇති කර ගත් මුල් ගිවිසුමේත්, 2016 වසරේ ඇති කර ගත් සංශෝධිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බව ඔහු පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පත තුළින් කොළඹ වරාය නගර භූමිය යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන ඇති තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවටයි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කියා සිටියේ.

එමගින් ජාතික ආරක්ෂාව දැඩි ලෙස අනතුරට ලක්වන බව ඔහු පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් සදහන් කළේ මෙම පනත් කෙටුම්පත තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් බවයි.

මෙම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යාපාර තුළින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බව ද පෙන්වා දී තිබෙනවා.

එසේම ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ මෙවැනි නගර කලාපයක් ක්‍රියාත්මක විය නොහැකි බවත් එම ව්‍යාපෘතියට ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් රැසක් දැනටමත් විරෝධය පළ කර ඇතැයි ද ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.

******************************************

(20.04.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් කසල තේ තොගයක් රේගු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (20) දිනයේ මෙම තේ තොගය අඩංගු බහාලුම් හතර (4) රේගුව අපනයන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේදී මාධ්‍යයට විවෘත කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා කියා සිටියේ ෴

******************************************

(20.04.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු අක්කර 35,000 කට ජලය සැපයෙන පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රය ජපන් ජබර ශාඛවල ආක්‍රමණයකට ගොදුරු වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

වසර දෙකක (2) පමණ කාලයක සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇත්තේ වාරිමාර්ග බලධාරීන් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් බවයි ගොවීන් චෝදනා කරන්නේ.

මේ වන විට ජලාශයේ සියයට 25 ක් පමණ ජපන් ජබරවලින් වැසී ඇති බව ගොවිඅරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා කියා සිටියා.

පරාක්‍රම සමුද්‍රයෙන් ගලා යන ජලය මගින් ද බීජ ව්‍යාප්ත වීම නිසා මේ වන විට කුඹුරු ආශ්‍රිතව ද මෙම ජපන් ජබර ශාඛ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එසේම ධීවරයින් පෙන්වා දෙන්නේ ජපන් ජබර ශාඛය ව්‍යාප්ත වීම නිසා තමන්ට ධීවර කර්මාන්තය ද පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

******************************************

(20.04.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් කර සිව් (4) දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.

ඊයේ (19) රාත්‍රීයේ 10:45 ට පමණ රඛිත රාජපක්ෂ පැමිණි ජීප් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් සමග ගැටි තිබෙනවා.

මේ අනතුරෙන් කාර් රථයේ සිටි සිව් (4) දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි කාන්තාවක් වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අනතුර සිදු වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්, රඛිත රාජපක්ෂ බීමතින් සිටියා දැයි සොයා බැලීම සඳහා ලේ සාම්පලයක් ලබාගත් බවයි.

අනතුර සිදුවීමෙන් පසු රඛිත රාජපක්ෂ කොළඹ, ගාලු පාරේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇත්තේ, හිසේ සිදු වූ සුළු තුවාලයක් ද සමඟයි.

වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ෴

(20.04.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ ඇප මත මුදාහැර තිබෙනවා.

ඊයේ (19) රාත්‍රි 10:30 ත් 10:45 ත් අතර කාලය තුළදී රාජගිරිය ගුවන් පාලම ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ගැබිණි කාන්තාවක් ඇතුලු සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ රඛිත රාජපක්ෂ ද ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පසුව ඇප මත මුදාහළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

++++++++++

******************************************

(20.04.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමේ චෝදනාවට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා වරකාපොල පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

******************************************

(20.04.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව අද (20) පස්වරු හතරේ (04:00) සිට හෙට (21) දහවල් 12:00 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබෙනවා.

එම කාලසීමාව තුළ විශාල බැතිමතුන් පිරිසක් දේවස්ථානය වෙත පැමිණීමට අපේක්ෂා කරන බැවින් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් මෙලෙස විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාවට නංවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

ඒ අනුව ශාන්ත අන්තෝනි මාවතට ජින්තු පිටිය වටරවුමේ සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම සීමා කෙරෙනු ඇති.

රාමනාදන් මාවතට, හෙට්ටියාවත්ත හන්දියේ සිට කොච්චිකඩේ පල්ලිය දෙසට ඇතුලුවීම සහ පිටවීම සීමා කෙරෙන අතර, ක්‍රිස්ටි පෙරේරා මාවතේද ගමනාගමනය සීමා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ෴

******************************************

(20.04.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

(20.04.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

වරාය නගර ව්‍යාපෘතිය හරහා ආයෝජන රටතුළට ගෙන්වා ගැනීමට නම් පවතින යම් යම් නීතී වෙනස් කරමින් සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ.

ඔහු මේ අදහස් පළ කළේ ‘හිරු ටී.වී. සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

@@@@@@@@@@@@@@

(20.04.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි පිළි අලෙවිසැල් දෙකක සේවකයින් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ද නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++

(20.04.2021 – 12:31 +0530 – hirunews.lk/sinhala)

කොටුව ප්‍රදේශයේ බැංකුවක සේවකයින් 53 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් 225 දෙනෙකුට පමණ කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි ඇය ප්‍රකාශ කළේ.

(20.04.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අද (20) සිට යලි අහඹු පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයේ ඊයේ (19) සිදුකළ අහඹු පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු පමණ සොයා ගත් බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ.

මේ අතර ඊයේ (19) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 67 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අද (20) වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 97,105 වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 620 ක්.

මේ අතර, කොරෝනා අවදානම පැවතිය ද මගී ප්‍රවාහන බස් රථ වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මඟීන් ප්‍රවාහනය කරන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

දඹුල්ල හරහා අනුරාධපුරය, වව්නියාව, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් කරන බස් රථවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

ඇතැම් පිරිස් මුඛ ආවරණ නොපැළඳ බස් රථවල ගමන් කර ඇති අතර එහිදී පොලිසිය ඔවුන්ට අවවාද කර තිබෙනවා.

එමෙන්ම, දඹුල්ල ජාතික පාසලට සිසුන් ප්‍රවාහනය කරන දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයක ළමයින් විශාල පිරිසක් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ පිළිබඳව සොයා බැලීමක් කළා ෴

++++++++++++++++++++

(20.04.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා දීම කල්යාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමත් සමඟ අද (20) පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

එහිදී විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදීමේ සූදානමක් පවතින්නේ ද යන්නයි.

එහිදී රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ දෙවන (2) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සදහා පමණක් මේ වන විට තීරණය වී ඇති බවයි.

++++++++++++++++++

(20.04.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ගොරකාන, රත්මන්දෙණිය, බොරුපන සහ ඇරැව්වල ප්‍රදේශවලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

මෙම ප්‍රදේශවල සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ 130 කදී මෙම ආසාදිතයින් හමුවී ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *