හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට

*********************************************

හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට

(19.04.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් කොචි වෙරළට ඔබ්බෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු සහ හෙරොයින් ප්‍රවාහණය කළ බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

(20.04.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දියාවේ කොචී වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 340 ක් සමඟ ශ්‍රී ලාංකික යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.

‘දූ ශෂිලා’ නැමති ධීවර යාත්‍රාව එලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති අතර මෙහෙයුම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සුවර්ණා නෞකාව ද එක්වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

එහිදී ඔවුන් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 884) පමණ වන බවත් ජාත්‍යන්තර වෙළදපොළේදී ඉන්දීය රුපියල් කෝටි 1750 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4550) පමණ වන බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළා.

මෙය ඉන්දියානු, මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ ගමනාන්තයන් වෙත ඉන්දියාවේ මාකරන් වෙරළ තීරය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 58 හැවිරිදි විමලසිරි සහ සෝමසිරි, 55 හැවිරිදි ධර්මදාස, 49 හැවිරිදි අජිත් ඉෂාන්ත් පෙරේරා සහ 48 හැවිරිදි ආරියරත්න පෙරේරා යන අය බව ද එමගින් වැඩිදුරටත් කියා සිටියා.

මෙය කේරළ වෙරළ තීරය ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් සති 3 ක් තුළ සොයා ගත් දෙවැනි (2) මත්ද්‍රව්‍ය තොගයයි.

පසුගිය මාර්තු 30 වන දා කේරළයේ විලින්ජම් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී කිලෝග්‍රෑම් 300 ක හෙරොයින් තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිවේදනය කළා.

එහිදී ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි 5 ක් සහ උණ්ඩ වට දහසක් (1000) ද සොයා ගැනුණා.

නවතම මත්ද්‍රව්‍ය වැටලීමේදී සොයා ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 340 රතු පැහැති ඉරාන යාත්‍රාවකින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවට පටවා ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන තිබෙනවා.

සැක කටයුතු යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මුලින් කිසිවක් සොයා ගැනීමට හැකි වී නැහැ.

එහෙත් එහි පත්ලේ අයිස් සමග අදාළ මත්ද්‍රව්‍ය තොගය සගවා තිබූ බව පසුව සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය අසුරණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒවායේ ප්‍රමිතිය හැදින්වීම සඳහා යොදන කිං – 2021 ලෙස නම් කර තිබූ බව සදහන් ෴

******************************************

(19.04.2021 – 22:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් රටට විශාල ආර්ථික වර්ධනයක් අත්කරගත හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්
පවසනවා.

වරාය නගරය සම්බන්ධයෙන් ජාතික විද්වත් භික්ෂු සංසදය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

++++++++++++++

පෝට්සිටිය ගැන විජේදාස රාජපක්ෂ කියන්නේ බොරු – මෙන්න ඇත්ත වෛද්‍ය වසන්ත බණ්ඩාර (18.04.2021)

******************************************

(19.04.2021 – 22:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නුවර පාරේ මාවනැල්ල, හිඟුල, නුගේතැන්න පාසල අසල බවුසර් රථයක් ගසක ගැටී අනතුරට ලක්වුණා.

අනතුරින් බවුසරය පෙරළී තිබූ අතර රියදුරු සහ සහායකයා සුළු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සැක පළකරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් රථයේ රියදුරු මත්පැන් පානය කර සිටින්නට ඇති බවයි ෴

******************************************

(20.04.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

දිවයින් පුරා පැය 18 ක කාලයක් තුල සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 18 වනදා දහවල් 12 සිට ඊයේ (19) උදෑසන 06 දක්වා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් වැඩි වශයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන අයුරු මෙම විශේෂ රථවාහන මෙහෙයුමේදී නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ ෴

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා ෴

******************************************

(20.04.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

‘119’ විශේෂ දුරකථන අංකය අවභාවිත කළ කාන්තාවන් දෙදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දංකොටුව පොලිසිය විසින් මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

‘119’ විශේෂ දුරකථන අංකයට පෙරේදා (18) පස්වරුවේ ලද ව්‍යාජය දුරකථන පණිවුඩයකට අනුව සිදුකළ විමර්ශනයකදී එම ඇමතුම ලබාදුන් 25 හැවිදිරි කාන්තාවක් සහ එම ඇමතුම ලබාගැනීමට දුරකථනය ලබාදුන් 28 හැවිරිදි ඇයගේ සහෝදරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු දංකොටුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් දෙදෙනා ඊයේ (19) මාරවිල අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ව්‍යාජ දුරකථන ඇමතුම ලබාදුන් කාන්තාව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර ඇමතුම ලබාගැනීමට දුරකථනය ලබාදුන් කාන්තාව ඇප මත මුදාහැර තිබෙනවා ෴

******************************************

(20.04.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දියාව පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මේ බව ප්‍රකාශ කළේ තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින්.

රාජ්‍ය සභා මන්ත්‍රී එම්. තම්බිදුරෙයි මෙරට දෙමළ ජනතාවගේ ගැටළු පිළිබදව කරුණු මතු කළේ ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව විවාදයට ලක්වන විටයි.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතවයි.

ඔහුට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් කියා සිටියේ මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ලක් රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහය දක්වන බවයි.

මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියළු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ඉන්දියාව එහිදී ප්‍රබල ප්‍රකාශනයක් සිදුකර තිබෙනවා.

එය, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක්.

එමෙන්ම, දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ලක් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් අවධාරණය කළා ෴

******************************************

(20.04.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද (20) පෙරවරු 10 ට ආරම්භ කෙරෙනවා.

මෙම පෙත්සම් සලකා බැලීම ඊයේ (19) ආරම්භ කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ඇතුළු පිරිසක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එසේම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණේ ෴

******************************************

(20.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

අද (20) සිට 23 වන දා දක්වා දින 4 ක කාලයක් පාර්ලිමේන්තුව පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 05:30 දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇති.

ඒ අනුව අද (20) දිනයේදී විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 5 ක් ද, සුරාබදු ආඥා පනත යටතේ නියෝග 2 ක් සහ ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මේ සතිය තුළ රැස්වන අතර ඊට ආයතන 4 ක් විමර්ශන සඳහා කැදවා තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ජාතික චිත්‍රපට සංස්ථාව කැදවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ.

මීට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළි කැදවා තිබෙනවා ෴

******************************************

(20.04.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි රැළියක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා සන්ධානයේ අනෙකුත් පක්ෂවලට ද ආරාධනාවක් සිදුකර ඇති බවයි.

ඊයේ (19) පස්වරුවේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවෙන් අනතුරුවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේ.

******************************************

දඹුල්ලේ බස් කප්පම්කරු

(19.04.2021 – 20:36 +0530 – sinhala.adaderana.lk)

දඹුල්ල නගරයට පැමිණෙන බස්රථවලින් පුද්ගලයෙක් කප්පම් මුදල් ලබා ගන්නා ආකාරය හෙළිදරව් කිරීමට ‘අද දෙරණ’ වාර්තාකරු අද (19) සමත් විය.

දඹුල්ලේ බස් කප්පමා

දඹුල්ල නගරයේ දුර ගමන් සේවා බස්රථ නවත්වන ස්ථානයේ සැරිසරමින් පෞද්ගලික සහ ලංගම බස් රථවලින් අදාළ පුද්ගලයා කප්පම් ලබාගන්නා බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

මගීන් අපහසුතාවයට පත්කරමින් බස්රථ ප්‍රමාද කොට මෙම පුද්ගලයා විසින් මෙලෙස මුදල් ලබාගත් ආකාරය දැකගත හැකි විණි.

******************************************

මාර්ගගත ලොතරැයියෙන් මහපොළ භාර අරමුදලට රුපියල් මිලියන 673 ක් අහිමි වෙයි

(19.04.2021 – 17:38 +0530 – sinhala.adaderana.lk)

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවිකිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

එය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙසට වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.

ඒ මහතා මෙම දැනුම්දීම කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

තවද, මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්හි සුරැකුම්පත් ගණුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රාග්ධන ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් 2015/2016 වර්ෂවලදී රු.මි. 18 ක් හා රු. මි. 102 අලාභයක්ද, 2017 වර්ෂයේ නැෂනල් වෙල්ත් සංස්ථාව හි ආයෝජන උපයෝගී කොට ගෙන කළ ප්‍රතිමිළදී ගැනීම්වල ගණුදෙනු තුළ රු. මිලියන 13 ක අලාභයක් සිදුවී තිබෙන බවද පෙන්වා දුන් කෝප් කමිටුව මෙම අක්‍රමිකතා හේතුවෙන් අරමුදලට මහත් වූ අලාභයක් සිදුව ඇති බව අවධාරණය කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරණු දැක්වූ නිලධාරීහු මෙම ආයතන තවදුරත් පාඩු මත පවත්වා ගෙනයාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව පැවසුහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුයේ නිසි පුද්ගලයන් හට නිසි දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙය ඈවර කිරීම ගැටලුවක් නොවන නමුදු මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදුව ඇති අවස්ථාවක නිසි පරීක්ෂණයකින් තොරව මෙම ආයතන එලෙස ඈවර කිරීම නුසුදුසු බවය.

ඒ අනුව මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් සංස්ථාව සහ නැෂනල් වෙලත් සිකියුරිටීස් සංස්ථාව මගින් සිදුව ඇති අක්‍රමිකතාවය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව එම ආයතන දෙකම හැකි ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවීමටත්, මෙම අක්‍රමිකතාවය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කරන තුරු ඈවර කිරීම ප්‍රමාද කිරීම කළ යුතු බවට කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදී ෴

******************************************

1980 පටන් මුස්ලිම් දරුවන්ගේ පොත්වලින් 99% ක් අන්තවාදීයි – විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනයට නිර්දේශ කර ඇතැයිද අනාවරණයක්

(20.04.2021 – colombotoday.com)

මුස්ලිම් දරුවන්ට ලබා දෙන පෙළපොත්වලට අන්තවාදී අදහස් ඇතුළත් කරන අතරේ ළමයින් සඳහා විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනය කරන ලෙස නිර්දේශ කර ඇතැයිද අනාවරණය වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළි වී ඇත. මෙම සාකච්ඡාව සඳහා බුද්ධි නිලධාරීන්ද කැඳවා තිබේ.

දරුවන්ට බැලිය යුතු බවට නිර්දේශ කරන පොත්වලින් සියයට අනූනවයක්ම අන්තවාදීන්ගේ පොත් බව මෙහි දී හෙළි වී ඇත. අන්තවාදයට අනුබල දීම යටතේ රටවලින් මරණ දඬුවමට යටත් කළ අයගේ පොත් පවා බැලීමට නිර්දේශ කර ඇති බවද හෙළි වී තිබේ.

පෙළපොත්වලට විෂය නිර්දේශ ඇතුළත් කරන නිලධාරී මණ්ඩලය ප්‍රධාන දේවස්ථාන මගින් පත්කර මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට යවා ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.

1980 පටන් පෙළපොත් සඳහා අන්තවාදී අදහස් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය මේ වනතෙක් සිදු වී ඇතැයිද හෙළි වී තිබේ ෴

+++++++++++++

20-04-2021

******************************************

‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ ත්‍රීරෝද රථ වැකියෙන් ටෝනර් හොරකම හෙළිවෙයි

(19.04.2021 – gossiplankanews.com)

ත්‍රීරෝද රථයක පිටුපස ප්‍රදර්ශනය කර තිබූ වැකියක ආධාරයෙන්, කිරුළපන ගජබා පාරේ කර්මාන්ත ශාලාවකින් සොයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ තිස්පහක් (35) වටිනා ඡායා පිටපත් ලබා ගන්නා උපකරණ (ටෝනර්) තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.ඒ සමග භාණ්ඩ ප්‍රවාහනය කිරිමට භාවිතා කළ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කර්මාන්ත ශාලාවේ ඉදිරිපස දොරක් කඩා මීට දින කිහිපයකට පෙර ටෝනර් තොගය සොරාගෙන තිබූ අතර ඒ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහිදී මෙම භාණ්ඩ සොරා ගැනීමට සැකකරු පමණක් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට අනාවරණය වූ අතර ඒ සම්බන්ධ සීසීටීවී දර්ශන පැහැදිලි නොවීම නිසා රථයේ අංකය හදුනාගැනීම අපහසු මට්ටමක පැවතිණි.

නමුත් එසේ පැමිණි ත්‍රීරෝද රථයේ ‘මගේ දියුණුව බිරිඳගේ උත්සාහය’ යනුවෙන් සඳහන් වැකියක් ප්‍රදර්ශනය කර තිබී ඇති අතර එය සීසීටීවී දර්ශන කිපයකම පැහැදිලිව හදුනාගන්නට හැකිවූ බවට පොලීසිය තොරතුරු අනාවරණය කර තිබුණි.

ඒ අනුව විමර්ශන සිදුකරමින් සිටියදී, පො.සැ 9233 ජයවීර සහ පො.කො. 37783 විජයතුංග නිලධාරින් දෙදෙනා වෙනත් රාජකාරියක් සඳහා මාර්ගයේ යමින් සිටියදී, ඉහත වැකිය සඳහන් ත්‍රීරෝද රථය කිරුලපන බලපොකුණ මාර්ගයේ ධාවනය වනු දැක ඇතැයි පැවසේ. එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා ක්ෂණයකින් ක්‍රියාත්මක වී, ත්‍රිරෝද රථය පසුපස හඹාගොස් නවතා එහි රියැදුරු ද සමග ත්‍රිරෝද රථය පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කිරිමේදී සොරකමේ සුලමුල අනාවරණය කරන්ගෙන තිබුණි. ඒ අනුව ත්‍රී රෝද රථයේ රියැදුරුගෙන් ලද තොරතුරකට අනුව ටෝනර් සොරාගත් පුද්ගලයා පදිංචි කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ කුලී නිවස පරික්ෂා කිරිමේදී එහි තිබී විවිධ වර්ගයේ ටෝනර් විශාල ප්‍රමාණයක් සොයාගත් බවත් එසේ සොයාගත් ටෝනර් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35 කට අධික වන බවත් පොලිසිය කියයි.

පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී, මෙම භාණ්ඩ මාස පහක් තුළ අවස්ථා කිහිපයකදී සොරා ගත් ඒවා බවත් රුපියල් හාර දහසක් වටිනා ටෝනර් එකක් රුපියල් 500 බැගින් විකුණා, ඉන් උපයාගත් මුදලින් දෛනික ජීවනෝපාය සලසා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි. ඒ අනුව අත්අඩංගුවට ගත් කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයා අලුත්කඩේ අංක 3, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(මත්තේගොඩ- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

@@@@@@@@@@@@@@

(20.04.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 27 වන දා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණ ද විශ්වවිද්‍යාල ආරම්භ කරන ආකාරය තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ උපකුලපතිවරුන්ටයි.

ඒ අනුව පීඨාධිපතිවරුන් සමඟ සාකච්ඡා කොට උපකුලපතිවරුන්ට විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කළ හැකියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ ඊයේ (19) පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුවලට එළඹ ඇති බවටයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට සියළුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඒවායේ උපකුලපතිවරුන් සහභාගි වී තිබෙනවා.

විභාගවලට මුහුණ දෙන සිසුන් සඳහා විශ්වවිද්‍යාලවලට පැමිණීමට මීට පෙර ද අවසර ලබාදී තිබූ අතර, ප්‍රායෝගික පුහුණු සහ අධ්‍යයන කටයුතු සිදුකිරීම ගැටළුවක් වී තිබුණේ පැවති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව සියළු සිසුන් එක් දිනකදී විශ්වවිද්‍යාලවලට ගෙන්වා ගත නොහැකි නිසා ඔවුන් කුමන ක්‍රමවේදයක් යටතේ ගෙන්වන්නේ ද යන්න පිළිබදව අවසන් තීරණය ගැනීමට උපකුලපතිවරුන්ට බලය ලබාදුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා ෴

++++++++++++++++

(20.04.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

වයඹ, උතුර, නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවල කොරෝනා අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් කොරෝනා තෙවන රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහයෝගය ලබාදිය යුතු බවටයි එම සංගමය ඉල්ලා සිටින්නේ.

මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ (19) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 309 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 97,105 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ඊයේ (19) දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් (2) වාර්තා වුණා.

ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 620 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සහය දක්වන ලෙසටයි ෴

++++++++++++++++++

(20.04.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංචාරකයින් මෙරටට යළි ගෙන්වා ගැනීම සඳහා සිදුකරන මූලික පියවරක් ලෙස ඉන්දියානු මාධ්‍යවේදීන් සහ සංචාරක වෙළද වෘත්තිකයින් පිරිසක් පසුගිය දා මෙරටට රැගෙන එනු ලැබුවා.

ඔවුන් ජෛව බුබුළු සංචාරක ක්‍රමවේදය යටතේ රැගෙන යන බවටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහන් කළේ.

අදාළ පිරිස දින 7 ක් පුරා මෙරට සංචාරයක ද නිරත වී තිබෙනවා.

ජෛව බුබුළු සංකල්පය යටතේ රටේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව දැනුමක් ලබාදීම සහ විශේෂයෙන් ඉන්දියානු සංචාරකයන් අතර විශ්වාසය ඇති කිරීම මෙහි මූලික අරමුණයි ෴

@@@@@@@@@@@@@@@@

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *