මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි

මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි

*********************************************

මම කියපු දේ වරදවා වටහාගෙන – කාදිනල් හිමියන් කියයි

(19.04.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සඳහා ලබන අප්‍රේල් 21 වන දින පෙරවරු 08:45 සිට විනාඩි දෙකක (2) නිහඬතාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.

මේ අතර ලබන අප්‍රේල් 21 වනදා කතෝලික සභාවට අයත් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව කාදිනල් හිමියන් පවසා සිටියා.

මේ අතර කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටත් පැවසුවේ, තමන් ඊයේ (18) පැවසූ දේ වැරදියට තේරුම් ගෙන ඇති බවයි.

එහිදී තමන් සඳහන් කළේ මෙවැන්නක් බව උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

“අන්තර් ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේග ගැනයි මම කිව්වෙ; මම කිව්වෙ නෑ මේ රටේ අහවල් පක්ෂෙ අහවල් දේශපාලන නායකයෝ ගැන; ඒගොල්ල ගැන මං කතා කරන්න ගියේ නෑ”

******************************************

(19.04.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උපතින්ම ආබාධ තත්ත්වයේ පසුවූ 43 හැවිරිදි කාන්තාවක්.

පසුගිය (18) වන දින රාත්‍රියේ සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදී තිබෙනවා.

ඊට කෝපයට පත්ව සිටි මෙම පුද්ගලයා නිවසේ නිදාගෙන සිටි ආබාධිත තත්ත්වයේ පසුවූ සිය වැඩිමල් සහෝදරියට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පලාගිය සැකකාර බාල සහෝදරයාව ප්‍රදේශවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාරදීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(19.04.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ, රිල්හේන ප්‍රදේශයේදී අද (19) අළුයම 05:30 ට පමණ සිදු වූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ කහවත්ත, පනාවැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

බලංගොඩ සිට අනුරාධපුරය බලා වන්දනා ගමනක යමින් සිටි පුද්ගලික බස් රථයක යතුරුපැදිකරු ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අදාළ බස් රථය සහ රියදුරු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴

******************************************

(19.04.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය විසින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරනවා.

පෙර වසර වලට සාපේක්ෂ්ව මෙම වසරේ දී මෙලෙස ආදායම ඉහළ යාමට භාණ්ඩ වර්ග 27 ක මිල ස්ථායීකරණ වැඩසටහන සහ සතොස සහන මල්ල ව්‍යාපෘතිය වැඩි බලපෑමක් සිදුකළ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ සතොස අලෙවි ආදායම් පිළිබඳ සලකා බැලීමේදී සතොස අලෙවිසැල් ජාලය විසින් 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1306 ක ආදායම උපයා ඇති අතර සතොස ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාවක් තබමින් මෙම වසරේ දී ඉපැයූ ආදායම රුපියල් මිලියන 2750 ක් ෴

******************************************

(19.04.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට ඉදිරිපත් වූ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරඟයේ දී ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදියි.

******************************************

(19.04.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

සොරකම් කළ ජල මීටර් 98 ක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකාර සභාපතිවරයා අද (19) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

(19.04.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද (19) වැඩ භාරගනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ඔහු මීට පෙර කටයුතු කළ අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.

******************************************

(19.04.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වෙන සමරුව සඳහා විදෙස් රටවල තානාපතිවරුන්ටද, කතෝලික සභාව ආරාධනා කර තිබෙනවා.

ප්‍රහාරයෙන් රටවල් 13 ක සංචාරකයින් ද මියගිය අතර, ඒ අනුව එම රටවල මෙරට තානාපතිවරුන්ට ආරාධනා කර ඇති බවයි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් කියා සිටියේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සිහි කරමින් ක්‍රියාවට නංවන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර දිවයින පුරා සියලුම දේවස්ථාන සඳහා අනිද්දා (21) ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, මීට වසර දෙකකට (2) පෙර අප්‍රේල් මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන් ෴

******************************************

(19.04.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ පාලනය යටතට පත් කළ යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා.

විපක්ෂ නායක කාර්යාලයේ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ කෝප් සහ කෝපා කමිටුවලට, මූල්‍ය නගරයේ ගිණුම් පරික්ෂාවටද අවසර හිමිවිය යුතු බවයි.

මේ අතර කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත තුළින් මෙරට ඒකීය භාවයට සහ ස්වෛරීභාවයට හානි සිදුවන බවට සිදුකරන ප්‍රකාශ වැරදි සහගත බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා.

******************************************

(19.04.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී රසිකා ගුණසිංහ මහත්මියට පහරදීමේ සිද්ධියකට අදාළව එම නගර සභාවේම සමගි ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ඉනෝජා මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑ බව කියන අදාළ මන්ත්‍රීවරිය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඇය පස් මස් (5) ගැබිණියක් ද වනවා.

පසුගිය දා අභාවප්‍රාප්ත වූ මහරගම නගර සභාවේ උප සභාපතිවරයාගේ දේහය ඉකුත් 15 වන දා නගර සභා පරිශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සැකකාර මන්ත්‍රීවරිය විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

ඒ, මහරගම – පොල්වත්ත – දූව වත්ත මාර්ගයේ කාණුවක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනා (2) අතර ඇති වූ මත ගැටුමක් දුරදිග යාමෙන් ෴

******************************************

(19.04.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම මේ වනවිටත් පැවැත්වෙනවා.

මෙම පෙත්සම් සලකා බැලීම පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (19) ආරම්භ කළ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම පෙත්සම් සලකා බැලෙන්නේ.

එහිදී පෙත්සම් සලකා බැලීම ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරු විශාල පිරිසක් පෙනී සිටින හෙයින් සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශණ විනාඩි 20 ත් 30 ත් අතර කාලයකට සීමා කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුවයි පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම් 20 ක් පමණ ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලෙක්ම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් සඳහන් කළේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.

මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසද මොවුන් සිය පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

+++++++++++++

@@@@@@@@@@@@@@

(19.04.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (18) හමුවූ කොරෝනා ආසාදිතයන් 357 දෙනාගෙන් වැඩිම පිරිස වන 70 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.

ඊට අමතරව කොළඹින් ආසාදිතයන් 63 දෙනෙකු, කුරුණෑගලින් ආසාදිතයන් 50 දෙනෙකු, ගම්පහින් ආසාදිතයන් 41 දෙනෙකු සහ පුත්තලමෙන් ආසාදිතයන් 30 දෙනෙකු අලුතින් සොයාගැනුනා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ රෝගීන් පනස් දෙදෙනා (52) අතුරින් වැඩිම පිරිස වන ආසාදිතයන් 40 දෙනා සොයාගෙන ඇත්තේ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්.

ඊට අමතරව හලාවතින් ආසාදිතයන් 16 දෙනෙකු, මීගමුවෙන් ආසාදිතයන් 25 දෙනෙකු සහ කොල්ලුපිටියෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ (18) හමුවී තිබෙනවා.

එමෙන්ම මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකු සේවකයින් හතර (4) දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු අද (19) ආරම්භ කෙරුණු අතර, සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහ විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ෴

+++++++++++++++++++++

(19.04.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන (2) මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අද (19) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලබාගැනීම පිළිබඳ ගැටළු සහගත තත්වයක් නිර්මාණය වී ඇත්තේ ඉන්දියාවේ සීරම් ආයතනය විසින් එන්නත් අපනයනය සීමා කිරීම හේතුවෙන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එන්නතෙහි දෙවන (2) මාත්‍රාව ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය විසින් මහජනතාවට කඩිනමින් දැනුම්දිය යුතු බවයි.

(19.04.2021 – 16:29 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මාසයේ ලබාදීමට නියමිත දෙවන (2) වාර අවසාන පාසල් නිවාඩුව සතියකට සීමා කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *