පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ

පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ

*********************************************

පළාත් හතරක (4) කොරෝනා වැඩිවීමේ අවදානමක් – විශ්වවිද්‍යාල මාර්ගෝපදේශ ලබන සතියේ

(18.04.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආරම්භ සදහා නිකුත් කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ලබන සතිය ඇතුලත ලබාදීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ සියලු උපකුලපතිවරුන් සමග හෙට (19) දිනයේදි සාකච්ජා කර ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි.

එමෙන්ම, සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා කණ්ඩායම් වශයෙන් සිසුන් ගෙන්වා ගැනීම සඳහා උපකුලපතිවරුන්ට මේ වනවිටත් අවශ්‍ය අවසරය ලබාදී ඇති බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනේ පළාත් කිහිපයකින් යළි කොවිඩ් අසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් අහඹු කොවිඩ් පරීක්ෂණ ඔස්සේ අවදානම තක්සේරු කරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ අලුත් අවුරුදු සමය තුළ ජනතාව කොවිඩ් මාර්ගෝපදේශ පිළිබද වගකීමෙන් බැහැරව කටයුතු කරන අකාරය දක්නට ලැබුනු බවයි.

මේ අතර, හෙට (19) පස්වරු 2 ට වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වන එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 96,439 වන අතර ආසාදිතයින් 92,832 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,990 ක්.

මේ අතර, අද (18) උදෑසනින් අවසන් වූ පැය විසි හතර (24) තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 261,500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා. එය නැවතත් ඉන්දියාවේ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව ලෙස සැළකිය හැකියි.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි හතළිස් හත්ලක්ෂ අසූ අටදහසකට අධිකයි.

ඊයේ (17) දිනයේ කොරෝනා මරණ 1,501ක් ඉන්දියාවෙන් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 177,168 දක්වා ඉහළ ගියා.

ඇමරිකා එක්සත් ජනපදය හැරුණුවිට ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ඉන්දියාවයි.

+++++++++++++++++

(18.04.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව යළි කොළඹට පැමිණීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ ස්ථානවල මගීන් හා බස් රථ සේවකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ආකාරයක් දක්නට නොලැබුණු බවයි.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 400 ක් ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කර ඇති බවයි.

කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාන් 5 ක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

අලුත් අවුරුදු සමයේ කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා බලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනාවක් හඳුන්වාදී තිබුණා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ආකාරයක් දක්නට නොලැබුණු බවයි.

ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදින්නේදැයි අප සොයා බැලුවා.

+++++++++++++++++++

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 281 දෙනෙකු සුවය ලබා අද (18) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 93,113 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 2709 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 96,439 ක් ලෙසයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන තිබෙනවා ෴

තවත් කොරෝන ආසාදිතයින් 27 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 287 ක් වනවා ෴

අද (18) දිනයේ තවත් එක් (1) කොවිඩ් මරණයක් වාර්තා වනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතව මියගිය මුළු ගණන 618 ක් වනවා ෴

@@@@@@@@@@@@@@

(18.04.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට අදාළ නීති උපදෙස් මේ වනවිටත් ගනිමින් පවතින බවයි.

ඉදිරි සතියේදී පක්ෂයේ සාමාජිකයින් රැස්වී ඊට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කඩිනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇති ෴

******************************************

(18.04.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ පූර්ණ හිමිකාරිත්වය ශ්‍රී ලංකාව සතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අවධාරණය කරනවා.

කොළඹ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළ වරාය භූමියේ කොටසක් වෙනත් පාර්ශ්වයකට පැවරූ බවට පවසන ප්‍රකාශයන් දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනයල කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටුවන්නක්.

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිමට අපේක්ෂා කෙරෙන්නේ එමගින්.

ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවිමේ මුලික අරමුණ වන්නේ කිසියම් ව්‍යාපාතියක් තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරිමේදි අවශ්‍ය ආර්ථික හා පරිපාලන නිදහස සැපයිමයි.

මුහුද ගොඩකරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක්.

මෙම වරාය නගරය ලොව උසස්ම මට්ටමේ කාර්යාල සංකිර්ණ, අති නවින සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයිම සඳහා වෙන්වුණු පහසුකම් වලින් සමන්විතයි.

මෙම ව්‍යාපෘතිය තුලින් රැකියා අවස්ථා 130,000 ක් සහ දළ දේශීය නිෂ්පාදනයට 11.5% ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ඒ අනුව මේ දිනවල දේශපාලන වේදිකාවේ අවධානය යොමුව ඇති.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්ප පිළිබඳ අප විමසීමක් කළා.

+++++++++++++

******************************************

(18.04.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

නාවුල – කරවිලහේන ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළ එක් පාර්ශ්වයකට පොලිසියෙන් අසාධාරණයක් සිදුවූ බව පවසමින් පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රීයේ සිට නාවුල පොලිස් ස්ථාන භූමියේ පිහිටි අඹ ගසකට නැග උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇත්තේ නාවුල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි එල්.වීරසිංහ නැමති අයෙක්.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (17) රාත්‍රීයේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් නාවුල – කරවිලහේන ප්‍රදේශයේ ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී තරුණ පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණයෙකුගේ හිසට උදැල්ලකින් පහර දී ඇති අතරල ඔහු නාවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

පසුව නාවුල පොලිස් ස්ථානය වෙත පැමිණි පහර කෑ පුද්ගලයාගේ පියා සහ ඥාතීන් චෝදනා කර ඇත්තේ පහර දීම සිදුකර ඇත්තේ පොලිස් නිලධාරියෙකු ඇතුළු පිරිසක් බවයි.

තම පාර්ශ්වයට අසාධාරණයක් වූ බව පවසමින් පහර කෑ තරුණයාගේ පියා අඹ ගසකට නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ තම පුතාට පහර දුන් පොලිස් නිලධාරියා ඇතුළු පිරිස අත්අඩංගුව ගන්නා තෙක් තමන් ගසින් නොබසින බවයි.

ගැටුමට සම්බන්ධ බව කියන මාතලේ පොලිසියේ පොලිස් කොස්තාපල් චන්දන ගුණරත්න නැමති පුද්ගලයාල ඔහුගේ ඥාති පුතෙකු සහ තවත් පුද්ගලයෙකු ගැටුමේදී තුවාල ලබා දඹුල්ල මූලික රෝහලටත්ල මාතලේ රෝහලටත් ප්‍රතිකාර සඳහා යැවූ බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නාවුල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මාතලේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි.

කෙසේවෙතත්, අඹ ගසට නැගි පුද්ගලයා මේ වනවිටත් එම ස්ථානයෙන් පිටව ගොස් නැහැ.

++++++++++++

නාවුල – නිකුල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පාර්ශවයකට පොලිසියෙන් අසාධාරණයක් සිදු වූ බව පවසමින් පුද්ගලයෙකු නාවුල පොලිස් භූමියේ පිහිටි කොට්ටම්බා ගසකට නැග ආරම්භ කළ උපවාසය අවසන් කර තිබෙනවා.

පැය 19ක කාලයක් මොහු උපවාසයේ නිරත වූ අතර, නීතිඥ උපදෙස් මත මෙලෙස උපවාසය අත්හළ බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(18.04.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නිරන්තරයෙන් අපට අසන්නට දකින්ට ලැබෙන ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම කියන්නේ.

මේ අලිත් එක්ක ඔට්ටුවෙන මහියංගනය ප්‍රදේශයේ ජනතාවගේ කාතාවයි.

අලි මිනිස් ගැටුම් ඉතිහාසය පුරා නොවිසඳුනු ගැටලුවක්.

මහියංගනය පූජානගරයේ රාත්‍රීයේ ගම්වැද සිටි අලි රංචුවක් නැවත මහවැලි ගඟ දෙසට යන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයකින් රූගත කර තිබුණා.

මිනිපේ වේරගංතොට ගඟේයාය ප්‍රදේශයේ ගම්වැද සිටි වන අලියෙක් නැවතත් වනයට පලවා හැරීමට ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

මේ අතර මිනිපේ පාලම හන්දිය ගඟේයාය ප්‍රදේශයේ ගම්වැද රැදී සිටි වන අලියෙකුගේ ඡායාරූපයක් ලබා ගැනීමට ගිය තරුණයෙකු පසුපස වන අලියා ලුහුබඳින ආකාරය දක්නට ලැබුණා.

මේ අතර අලිමිනිස් ගැටුමට කඩිනමින් විසඳුම් ලබා දෙනලෙස ඉල්ලා මහියංගනය ගොවිජනතා එක්මුතුව පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (18) දින 33 ක් ගත වනවා.

******************************************

(18.04.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

දැනුමෙන් අධ්‍යාපනයෙන් ලෝකය දිනන්නට නොයෙකුත් බාධක තරණය කරන දරුවන් ගැන අපට නිරන්තරයෙන් වාර්තාවනවා.

එලෙස අනාගතය දිනන්නට ජීවිත අවදානමක් දරා ගනිමින් අකුරු කරන්න යන දරුවන් පිරිසක් ගැන කල්පිටිය මොහොත්තුවාරම දූපතෙන් වාර්තා වුණා.

පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය මොහොත්තුවාරම දූපතේ පිහිටි රජයේ සිංහල විදුහල මෙන්ම කල්පිටිය නගරයේ සිට මීටර 500 ක පමණ දුරින් පිහිටි සුන්දර පරිසරියකින් සමන්විත ධීවර ගම්මානයක් වන මෙම මොහොත්තුවාරම දූපතේ සැඟවුණු අඳුරු කතාවක්ද ඇති බව එම දුෂ්කර ගම්මානයේ සිට පාසල් යන දරුවන් අපට හෙළි කළා.

මොහොත්තුවාරම රජයේ සිංහල විදුහලේ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන්නේ පළමු ශ්‍රේණියේ සිට හත්වන ශ්‍රේණිය දක්වා පමණයි.

සිසුන් 60 දෙනෙකුට පමණ මෙම පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරුන් 9 දෙනෙක් පමණ සේවය කරනවා.

නමුත් තවදුරටත් ඉහළ අධ්‍යාපනයක් ලැබීමට නම් මෙම දරුවන්ට මේ දූපතෙන් පිටත කල්පිටිය නගරයට යාමට සිදුවනවා.

ඒ සඳහා මීටර් 500 ක පමණ දුරක් කල්පිටිය කලපුව තරණය කළ යුතුයි.

එතැන් සිට පාසල දක්වා ගමන් කිරීමට පොදු ප්‍රවාහන සේවාවක් නොමැතිවීම හේතුවෙන් දෛනිකව රුපියල් 150 ක මුදලක් ගෙවා ත්‍රිරෝද රථයකින් ගමන් කිරීමට දරුවන්ට සිදුව තිබෙනවා.

කලපුව හරහා තරනය කිරීම වෙනුවෙන් කල්පිටිය ප්‍රාදේශීය සභාව මගින් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කළද සිසුන්ට එහි ගමන් කිරීමට සිදුව ඇත්තේ ජීවිත අවදානමක්ද දරා ගනිමින්.

කලපුවේ සිට කල්පිටිය නගරයට පැමිණීම සඳහා මාර්ගයක් ඉදිවෙමින් පවතින නමුත් එහි මීටර් 200 ක පමණ කොටසක පමණක් වැඩ අවසන් කර ඇති අතර ඉතිරි මීටර් 300 ක ප්‍රමාණය කඩිනමින් සකසා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

කුමන බාධක පැමිණියත් තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනයක් ලබා දීමට මෙම මව්පියන් නිරන්තර උත්සාහයක් නිරතවනවා.

තම අනාගතය ගැන සිහින පොදි බැඳගනිමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන මෙම දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම සිහින බොඳවන්නට ඉඩ නොදී මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි.

******************************************

(18.04.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – දළුපොතගම – උතුරු මාතලේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බරපතල පිළිස්සුම් තුවාල ලැබූ 66 හැවිරිදි අදාළ පුද්ගලයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

ඊයේ (17) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

මේ අතර කටුගස්තොට – නායයාල තැන්න ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සහ මහනුවර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

******************************************

(18.04.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

මීගමුව තලාහේන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි අවුරුදු 2 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය සොයා ගත් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටියේ දැරියගේ පියා විසින් 1929 ක්ෂණික දුරකතන අංකය අමතා දැරිය තමන් භාරයේ සිටින බව දැනුම් දී ඇති බවයි.

මෙම දැරිය පසුගිය මාර්තු මස 19 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ මව ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුවත් කර තිබුණා.

******************************************

පැළ ලක්ෂ ගණනක් සිටුවා ජීවිතක්ෂයට පත්වූ දමිළ ප්‍රහසන නළු විවේක් වෙනුවෙන් උතුරේ තරුණයින් පිරිසකගෙන් පරිසරයට පැළ දහස් ගණනක්

(18.04.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පැළ ලක්ෂ ගණනක් සිටුවා පරිසරයට ආදරය කළ මිනිසෙකු ලෙසින් ජීවිතක්ෂයට පත්වු දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ප්‍රහසන නළු විවේකානන්ද නොහොත් විවේක්ගේ ගුණ සැමරීම වෙනුවෙන් අද (18) උතුරු පළාතේ තරුණයින්ද පැළ ගණනාවක් පරිසරයට දායාද කරනු ලැබුවා.

දකුණු ඉන්දීය මාධ්‍ය වර්තා කළේ ජීවිතක්ෂයට පත්වූ දකුණු ඉන්දීය ජනප්‍රිය නළු විවේක් ජීවිතක්ෂයට පත්වන විට පැළ ලක්ෂ 33 ක් සිටුවා ඇති බවයි.

ඉන්දීයාව තුළ පැළ කෝටියක් සිටුවීම විවේක්ගේ අරමුණ වී තිබූ බවයි එටර මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කළ විවෙක් පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ පරිසර හිතකාමීත්වය අගය කිරීම වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ තරුණ පිරිසක් ද අද (18) වවුනියාවේදී පැළ දහසක් සිටුවීම ආරම්භ කළා.

වවුනියාව දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරීන් විසින් වවුනියාව, කට්පහපුරම් ප්‍රදේශයේදී පැළ සිටුවීමේ වැඩසටහන සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ජාතිකයෙකුට හිමිවන ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන්ද විවෙක් පිදුම් ලබා ඇති අතර ඔහු සිදුකළ පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් සම්මාන රැසකින්ද ඔහුව අගයකර තිබෙනවා.

[ සේයාරූ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *