වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි

*********************************************

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර කැබ් රථයක් පළායයි

(18.04.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටීමෙන් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

පළාගිය කැබ් රථය ද අනතුරට ලක්ව තිබියදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් නතර කිරීමට සංඥා කිරීමේදී යුද හමුදා නිලධාරීන් අනතුරට ලක්කර එය පළාගොස් ඇති බවයි.

අනතුරුව කැබ් රථය මාර්ග බාධකය අසල බෝක්කුවක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

සැකකරුවන් වාහනය අතහැර පළාගොස් ඇති අතර තුවාල ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනා (2) වව්නියාව රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

ඕමන්ත පොලිසිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් පලාගිය කැබ් රථයේ රියදුරු, සහකරු සහ රථයේ හිමිකරු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. මොවුන් වව්නියාව සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (17) රාත්‍රියේ වව්නියාව – ඕමන්තේ මාර්ග බාධකයකදී අදාළ කැබ් රථය නතර කරන ලෙස පොලිසිය සංඥා කර ඇති අතර, එහිදී කැබ් රථය අණ නොතකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට (2) ද තුවාල සිදුකරමින් ධාවනය කර තිබුණා.

පසුව කෙටි දුරක් ධාවනය කළ කැබ් රථය අතහැර දමා රියදුරු සහ එහි පැමිණි සහයකයා පලාගොස් ඇති බවයි පොලිසීය සඳහන් කළේ.

එම කැබ් රථයේ තිබී නීතිවිරෝධී දැව තොගයක්ද සොයාගෙන තිබුණා.

අනතුරෙන් තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් දෙදෙනා (2) වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකු (1) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

******************************************

(18.04.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 5 ක කාලය තුල රිය අනතුරු 399 ක් වාර්තාවී ඇතැයි පොලිසිය පවසනවා.

එම අනතුරුවලින් පුද්ගලයන් 52 ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 669 ක්.

මෙම අනතුරුවලට අදාළව වාහන 2242 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(18.04.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

වසර දෙකක් (2) ගත වන පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 වන දිනට පෙර යෙදෙන අවසන් ඉරිදා අදයි.

ඒ හේතුවෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා ස්මාරක දෙකක් (2) විවෘත කිරීම ද අද සිදුකෙරෙනවා.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් මිහිදන් කෙරුණු බොරැල්ල සහ මාදම්පිටිය පොදු සුසාන භූමි දෙකෙහි මෙම ස්මාරක දෙක (2) ඉදිකර තිබෙනවා.

ඒ අනුව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ එම ස්මාරක විවෘත කෙරෙනු ඇති.

මේ අතර, අද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනවලදී කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ යැදුම් මෙහෙයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

එසේම අප්‍රේල් 21 වන දින අදාළ දේවස්ථාන දෙකෙහි (2) විශේෂ සැමරුම් සංවිධානය කර ඇති බව ද කොළඹ අගරදගුරු නිළ නිවස නිවේදනය කළා.

2019 වසරේ අප්‍රේල් 21 වන දින දේවස්ථාන 3 ක් සහ හෝටල් 3 ක් ඉලක්ක කරගෙන ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයින් 263 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 503 දෙනෙකු තුවාල ලැබුවා ෴

******************************************

(18.04.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පළාත් සභා මැතිවරණ පනත, මැයි දිනය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති ෴

******************************************

(18.04.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා පොලිසියට විශේෂ උපකරණ ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

මේ වනවිට පොලිසිය සතුව මත්දියර භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා උපකරණ පවතින නමුත්, හෙරොයින්, අයිස් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන්නත් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පවතින්නේ නැහැ.

මත්ද්‍රව්‍ය ලබාගෙන රිය ධාවනය කිරීම වැඩි වශයෙන් අනතුරු සිදුවීමට හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ අනුව එවැනි පුද්ගලයින් හඳුනා ගැනීම සඳහායී මෙම උපකරණ ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ.

ඊට අදාළව විදේශ රටවලින් මේ වනවිට එම උපකරණවල සාම්පල දිවයිනට රැගෙනවිත් ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ.

එම උපකරණ මගින් ඛේටය යොදා ගනිමින් පරීක්ෂණ සිදුකර මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්ද යන්න තහවුරුවක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අදත් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ගතවූ දින පහක (5) කාලසීමාව තුළ බීමත් රියදුරන් 1,834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

******************************************

(18.04.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පිලිකාකාරක ඇති බවට පැවසූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් අඩංගු අනෙකුත් බහාලුම් ප්‍රමාණයද මෙම සතියේදී ප්‍රතිඅපනයනය කිරීමට බලාපොරොත්තු වන බව රේගු ආරංචි මාර්ග සදහන් කළා.

පසුගියදා ඇෆ්ලටොක්සීන් නැමැති පිලිකාකාරකය අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අඩංගු බහාලුම් 06 ක් ප්‍රතිඅපනයනය කෙරුණු අතර චෝදනාවට ලක්වූ එක් සමාගමක පොල්තෙල් පමණක් මෙලෙස ප්‍රතිඅපනයනය කර තිබුණා.

චෝදනාවට ලක්වූ අනෙක් සමාගම් දෙක (2) මෙරටට ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් අඩංගු බහාලුම් තවදුරටත් රේගු භාරයේ පවතින අතර ඒවා මේ සතිය ඇතුළත යළි ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති ෴

******************************************

(18.04.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

පුත්‍රයා විසින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 11 වනදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේදී මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ 53 හැවිරිදි පුද්ගලයෙක්.

පහරදීමට සම්බන්ධ 20 හැවිරිදි සැකකරු කිල්නොච්චි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් මෙලෙස තම පියාට පහරදී ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පසුගිය මාස කිහිපයක කාලය තුල මෙලෙස දරුවන් විසින් පහරදීම හේතුවෙන් පියා ඝාතනය කළ අවස්ථා කිහිපයක් දක්නට ලැබුණු බවයි.

මෙය ඉතා කණගාටුදායක තත්වයක් වන අතර මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට පවුල්වල අනෙක් සාමාජිකයන්ගේ ද මැදිහත්වීම අත්‍යවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දුන්නේ ෴

******************************************

(18.04.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟට යාබද තම ඉඩමේ පොල් ඇහිඳීමට ගොස් සිටි පුද්ගලයෙකු පය ලිස්සා ගොස් මහවැලි ගඟට වැටී මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා ඊයේ (17) මෙලෙස ගඟට වැටීමෙන් අනතුරුව ජල පහරට ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ කෑගැසීම ඇසී ඒ අසළින් ගමන් ගත් පොලිස් නිලධාරියෙකු ගඟට පැන අදාළ පුද්ගලයා බේරාගෙන ඇති බව සඳහන්.

ගම්පොල රෝහලට ඔහු ඇතුළත් කරන විටද මියගොස් සිටි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

65 හැවිරිදි මියගිය පුද්ගලයා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙකු මිතුරන් හතරදෙනෙකු (4) සමඟ දියනාමින් සිටියදී ඊයේ (17) අතුරුදන්වී තිබෙනවා.

මෙතෙක් එම දරුවා සොයාගෙන නොමැති අතර, පොලිස් සහ නාවික හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි ෴

******************************************

(18.04.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර බලධාරීන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 12 දෙනා නිදහස් කර ඇති බව වාර්තාවනවා.

එරට නාවික හමුදාව මගින් පසුගිය පෙබරවාරියේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම ධීවරයන් පිරිස බන්ධනාගාර ගත කර තිබුණා.

පසුගිය පෙබරවාරි 01 වනදා මියන්මාරයේ පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ අතර මිලිටරි ජුන්ටාව සමඟ ධීවරයන් නිදහස් කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම ගැටළුවක්ව පැවතුණා.

එමෙන්ම මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ධීවරයන් රඳවා සිටි ස්ථානය අතර සැළකිය යුතු දුරක් පැවතීම හේතුවෙන් ඔවුන්ගේ තත්වය සොයාබැලීමද අභියෝගයක් වූ බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා මීට පෙර සඳහන් කළේ.

මියන්මාරයේ අතරමං වූ ශ්‍රී ලාංකික ධීවරයන්ට පිළිසරණක් නොවූ බවට එල්ල වන චෝදනා මැද මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව සහ ධීවර ගැටළුව අවසන් වන තුරු තමන් මියන්මාරයේ රැදී සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

සාගර කුමාර – 04 යාත්‍රාව පසුගිය ජනවාරි 21 වනදා හලාවත, මාරවිල ධීවරයන් හත්දෙනෙකු (7) සමඟ සහ මයෝමි බහුදින යාත්‍රාව ධීවරයන් පස්දෙනෙකු (5) සමඟ මුහුදු ගොස් තිබුණේ පසුගිය ජනවාරි 27 වනදායි.

ත්‍රිකුණාමල වරායෙන් නික්මුණු මෙම ධීවර යාත්‍රා මියන්මාර මුහුදු සීමාවට ගොස් ඇත්තේ දිය රළකට හසුවී ගසාගෙන යාමෙන්.

මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තමන්ට මේ වන විට මියන්මාරයේ දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි ෴

******************************************

(18.04.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සමග යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිසිය විසින් අද (18) කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කාන්තාව නෝනාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඔවුන් දෙදෙනා (2) හෙරොයින් බෙදාහැරීම සිදුකර ඇතැයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවට සැක කෙරෙන ‘කලු සාගර’ නැමැත්තා සහ ඔහු සමග ජීවත්වන ‘මුතූ’ නැමැත්තිය මෙම ජාවාරම පිටුපස සිටින බවට අනාවරණ කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් යුවළ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 89 ක් සමඟ 3 දෙදෙනෙකු මන්නාරම – ඉලුප්පුකඩවේයි ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(18.04.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මකයි.

ගාල්ල දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් පීලි පැනීමට ලක්වූ දුම්රියේ මගීන් කොළඹ සිට බෙලිඅත්ත දක්වා යාමට පැමිණි දුම්රියට නංවා එය කොළඹ බලා පිටත්කර යැවූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

එසේම බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියකට කොළඹ සිට පැමිණි දුම්රියේ මගීන් නංවා එම දුම්රිය යළි බෙලිඅත්ත දෙසට ධාවනය කරවීමට කටයුතු කළ බවයි වාර්තාවන්නේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට යොදා තිබූ විශේෂ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි ෴

******************************************

(18.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව පවසමින් මෙලෙස තරුණයින් අත්අඩංගුවට ගන්නා බවයි.

චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයාද අත්අඩංගුවට ගැනීම ද රජයට එරෙහිව නැගෙන විරෝධතා මැඩපැවැත්වීමට සිදුකළ සැළසුම් සහගත ක්‍රියාවක් බවයි.

කෙසේ නමුත් රජය ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ පදනම මත ගනු ලබන ක්‍රියාමාර්ග කුමන හෝ පාර්ශවයක් මගින් දේශපාලනීකරණය කිරීම අනුමත කළ නොහැකි බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(18.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් මාස හතක් (7) තිස්සේ වසා දමා තිබුණු බස්නාහිර පළාතේ දහම් පාසල් අද (18) යළි විවෘත කෙරෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දහම් පාසල්වල කටයුතු සිදුකළ යුතු බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දහම් පාසල් පැමිණෙන සියලු සිසුන් සහ ගුරුවරුන් මුහුණු ආවරණ පැළඳීම, නිතර දෑත් පිරිසිදු කර ගැනීම සහ එකිනෙකා අතර දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම අනිවාර්ය වනවා.

එමෙන්ම 2 වන වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් හෙට (19) විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පළමු පාසල් වාරය තුල ක්‍රියාත්මක වූ චක්‍රලේඛයේ සඳහන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හෙට (19) දිනයේදී පාසල් ආරම්භ කෙරෙන බවයි ෴

+++++++++++++++++++

රජයේ සියලු පාසල් හෙට (19) ඇරඹෙයි

(18.04.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

රජයේ සියලු පාසල්වල දෙවන (2) වාරය හෙට (19) ආරම්භ කෙරෙනවා.

ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් සහ පසුගිය මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ උපදෙස් ද සැලකිල්ලට ගනිමින්.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් නව නිර්දේශ ඉදිරිපත් කරන තෙක් පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල වෙත කැඳවිය හැකියි.

සිසුන් 16 ත් 30 ත් අතර සිටී නම් කණ්ඩායම් දෙකක් (2) ලෙසට ද සිසුන් 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම දෑත් සේදීම මුඛ ආවරණ පැළඳීම ආහාර හුවමාරු කර නොගැනීම නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුලු සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වනවා.

දරුවන් පාසල් වෙත ගෙන ඒමට සෞඛ්‍ය ප්‍රවාහන ආරක්ෂක අංශ ඇතුලු විවිධ පාර්ශව ලබාදුන් වගකීම් සහගත සහය ඉදිරියටත් ඒ අයුරින්ම අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *