මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු

මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු

*********************************************

මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු

(17.04.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් එලෙස පැමිණෙන පිරිස් පාලනය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, අද (17) දිනයේ තවත් ආසාදිතයින් 168 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 96,354 දක්වා ඉහළ ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 221 දෙනෙකු සුවය ලබා අද (17) රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,832 ක් ලෙස සටහන් වනවා.

මේ අතර, උත්සව සමය වෙනුවෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවූ පුද්ගලයින් දිවයිනේ ඇතැම් ස්ථානවලින් වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් කරමින් ජනතාව දිගින් දිගටම කටයුතු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, විදේශයන් හි සිට මෙරටට පැමිණෙන පිරිස් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වීමත් සමඟ කුරුණෑගල – හිරිපිටිය, තිත්තවැල්ගාල ගම්මානයට සංචරණ සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, දෙවන (2) පාසල් වාරය ආරම්භ වන්නේ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ චක්‍ර ලේඛවලට අනුකූලව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයන් සහ මරණ සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය මාස දෙක (2) තුළ දෙගුණයකින් (2) පමණ ඉහළ ගොස් ඇති බවයි.

++++++++++++++++

++++++++++++++++

(17.04.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 2 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 617 ක් දක්වා ඉහළ යනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 36 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 96,439 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙම ආසාදිතයන්ගෙන් 2990 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 92,832 ක්. මෙරටින් කොරෝනා මරණ 617 ක් ද වාර්තාවුනා.

මේ අතර අද (17) දිනය වන විට කොරෝනා එන්නත ලබාදී ඇති සංඛ්‍යාව 925,242 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@

(17.04.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අනතුරු අවම කර ගැනීම සඳහා, අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී නිසි පරතරය පවත්වා ගන්නා ලෙසත්, ක්ෂණිකව මංතීරු මාරු කිරීමෙන් වළකින ලෙසත්, අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකය දැනුම් දෙනවා ෴

******************************************

කලු සුදු රූපයේ වර්ණ කතාව

(17.04.2021 – 20:56 +0530 – hirunews.lk/sinhala)

1954 වර්ශයේ ගන්නා ලද මේ ඡායාරූපයේ සිටින ප්‍රධාන චරිත දෙකක් (2) අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධයක්.

ඡායාරූපය දකුණු කෙළවර අසුන්ගෙන සිටින්නේ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකයි.

ඇයගේ වම් පසින් තවත් සුවිශේෂී පුද්ගලයෙක් අසුන් ගෙන සිටිනවා.

ඒ වයස අවුරුදු 99 ක් ආයු වළඳා අද දින (17) මෙලොවට සමුදෙන බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයායි.

මේ ඡායාරූපයට අද දිනය (17) විශේෂ වන්නේ අද (17) එඩින්බරෝ ආදිපාදවරයා සිය අවසන් ගමන යද්දී ඔහුගේ වම් පසින් අසුන්ගෙන සිටින සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ එකසිය පස්වන (105) ජන්ම දින සංවත්සරයත් අදට (17) යෙදී තිබීමයි.

මේ ඡායාරූපය එඩින්බරෝ ආදිපාදවරයා 1954 වර්ෂයේ මෙරටට පැමිණි අවස්ථාවේ හොරගොල්ල වලව්වේ දී ගන්නා ලද්දක්.

එවකට එකොලොස් (11) හැවිරිදි වියේ පසු වූ කුඩා දැරියක් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡායාරූපයේ පසුබිම් කතාව ද අලලා දෙවන එලිසබත් රැජින වෙත ශෝක පණිවිඩයක් යවා තිබෙනවා.

අප්‍රේල් දොළොස් වන දින (12) දාතම යොදා ඇති මෙම ශෝක පණිවිඩයෙන් ඇය බ්‍රිතාන්‍ය මහ රැජනට ප්‍රාර්ථනා කර ඇත්තේ සිය වල්ලභයා ගේ අභාවය දරා ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි යනුවෙන්.

පිලිප් කුමරු දෙවන ලෝක යුධ සමයේ මෙරටට අවස්ථා කිහිපයකදීම පැමිණ තිබෙනවා.

ඒ දෙවන ලෝක යුධ සමයේ මහනුවර පිහිටා තිබූ අග්නිදිග ආසියානු අණදෙන කඳවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සමඟයි.

බ්‍රිතාන්‍යයේ මෞන්ට් බැටන් සාමිවරයා මෙම කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඔහු පිලිප් කුමරුවන්ගේ මාමණ්ඩියයි ෴

******************************************

(17.04.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන බව රජය පවසනවා.

මේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යි.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

******************************************

(17.04.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව විසින් වරාය නගරය විදේශීය රටවල වහල් ඒකකයක් බවට පත්කිරීමේ උත්සාහයක නිරත වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

******************************************

(17.04.2021 – 20:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ යලිත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශපාලන කරලියේ පුළුල් කතා බහක් මතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පත මගින්, රජය විදෙස් ආයෝජකයින් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරිම අරමුණු කර ඇති බවයි.

‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය, කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටවූවක්.

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම සිදු කරනු ලබන්නේ එමගින්.

ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවිමේ මුලික අරමුණ වන්නේ කිසියම් ව්‍යාපාතියක් තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරිමේදි අවශ්‍ය ආර්ථික හා පරිපාලන නිදහස සැපයිමයි.

මුහුද ගොඩකරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක්.

මෙම වරය නගරය ලොව උසස්ම මට්ටමේ කාර්යාල සංකිර්ණ, අති නවින සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයිම සඳහා වෙන්වුණු පහසුකම් වලින් සමන්විතයි.

මෙම ව්‍යාපෘතිය තුලින් රැකියා අවස්ථා 130,000 ක් සහ දළ දේශීය නිෂ්පාදනයට 11.5% ක දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

+++++++++++++

******************************************

කාන්තාවක් බස් රථයකට යට වෙයි – CCTV දර්ශන සහිතයි

(17.04.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන අයුරු බස් නැවතුම්පොළේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරට පත් කාන්තාව එම ස්ථානයයේදීම මියගොස් ඇති අතර බස් රථ රියදුරු සහ සහායකයා තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

******************************************

පොහොට්ටුවක් තිබෙන බව අපි දන්නව; අපි ඉන්න බව පොහොට්ටුව දන්නෑ – Truth with Chamuditha (17.04.2021)

+++++++++++++++

විජේදාස සුවච කීකරු ගෝලයෙක්. මේවා හිතේ අමාරුවට කියන දේවල් – නගානන්ද කොඩිතුවක්කු – Talk with Sudaththa (17.04.2021)

******************************************

(18.04.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 5 ක කාලය තුල බීමත් රියදුරන් 1834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පසුගිය 13 වනදා සිට අද (18) උදෑසන 6 දක්වා කාලය තුල සිදුකළ මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම අද (18) දිනයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්ට සහ අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ අද (18) දහවල් 12 සිට හෙට (19) උදෑසන 6 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

මෙම මෙහෙයුමේදී අධිවේගී මාර්ගයට ඇතුලුවන පිවිසුම් ස්ථානවලදී මෙන්ම පිටවන ස්ථානවලදී බීමත් බව පරීක්ෂා කෙරෙන ශ්වසන වායු පරීක්ෂණයක් අහඹු ලෙස තෝරාගත් වාහනවල රියදුරන්ට සිදු කෙරෙනු ඇති.

මීට අමතරව අනෙක් මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරන්ට ද මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී නියමිත වේග සීමාව තුල පමණක් ධාවනය කිරීමට කටයුතු කරන ලෙසට සහ නියමිත දුර ප්‍රමාණය පවත්වාගෙන යන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්දෙනවා ෴

******************************************

(18.04.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 703 ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙරළබඩ පොලිස් වසමේ නව හෙට්ටිවීදිය පාර ප්‍රදේශයේදීයි ඊයේ (17) වැටලීම සිදුකර ඇත්තේ. ඔහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයෙක්.

සැකකරු සහ හෙරොයින් වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 70 කට අධිකයි.

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 6 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(18.04.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වලදී ප්‍රදේශ කිහිපයකින් ගිනි අවි සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් අයෙක් අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් දර්ගා නගරය ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදීයි.

එහිදී රිවොල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 6 ක් සමගින් 30 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුට එරෙහිව කලුතර සහ මතුගම මහේස්ත්‍රාත් අධිකරණවල පුද්ගල ඝාතන නඩු පවතින අතර එම නඩුවලට අදාළව ඇප ලබා සිටින අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම කෑගල්ල ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් සමග 28 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගැනුනා.

මේ අතර අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් තිරප්පනේ ප්‍රදේශයේදී අවුරුදු 40 ක සැකකරුවෙකු ද ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ගිනි අවි ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන අතර මෙම ගිනි අවි තබාගෙන සිදු කළ අපරාධ සිදුකර ඇත් ද යන්න පිළිබඳව ද විමර්ශණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ ෴

@@@@@@@@@@@@@

(18.04.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදෙන්නේ සති 10 කින්ද, 12 කින්ද යන්න හෙට (19) දිනයේ තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව හෙට (19) පස්වරු 2 ට වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වී එම තීරණය ගැනීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 නෙකුට මේ වන විට ලබාදී තිබෙනවා.

මේ අතර, ඊයේ (17) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 253 වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 96,439 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,832 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,990 ක් පමණයි.

මේ අතර, අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග මෙරට කොරෝනා තත්වයේ සාපේක්ෂ වැඩිවීමක් නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට ප්‍රකාශ කලේ එළඹෙන වෙසක් උත්සවයද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැමරීම සඳහා අවධානය යොමු විය යුතු බවයි.

එමෙන්ම සංචරණ සීමා පනවා ඇති කුරුණෑගල – හිරිපිටිය, තිත්තවැල්ගාල ගම්මානයේ පවුල් 400 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට පියවර ගනිමින් සිටින බව ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

එම ගම්මානය සදහා සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇත්තේ ඉන් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වීම හේතුවෙන්.

එසේම ඊයේ (17) දිනයේදී කොරෝනා ආසාදිත පුද්ගල මරණ දෙකක් (2) මෙරටින් වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 73 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ 71 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 617 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *