“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

*********************************************

“පිළිකා කාරක පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවි බිම්වලට යොදලා”

(16.04.2021 – mawbima.lk)

නිකුත් කරන ලද පිළිකා කාරක හා වකුගඩුවලට හානි කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් ගොවීන් වගා බිම්වලට යොදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කරයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට පැවැසුවේ, 2020 ඔක්තෝබර් මස මෙම පොහොර තොගය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත නොකර ඇති අතර ඒවා නැවත එම වසරේ ම දෙසැම්බර් මස ප්‍රමිති ආයතනය විසින් ම අනුමත කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එසේ නිකුත් කර ඇත්තේ පී.බී. ජයසුන්දරගේ අස්සනින් යුතු ලිපියකට අනුකූලව බවත් ය.

එම පිළිකා කාරක පොහොර තහනමට ලක්කර ඇත්තේ රසායනාගාර පරීක්ෂණ දත්තවලට අනුකූලව බව ද ඔහු කියයි.

අදාළ පොහොරවල කැඩ්මියම්, ලෙඩ්, ආසනික් වැනි බැරලෝහ අඩංගු වනවා සේ ම නයිට්‍රේට් ප්‍රමාණය ද ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එමගින් වකුගඩු රෝග, පිළිකා, මළ දරු උපත්, ප්‍රතිශක්තිකරණය දුර්වලවීම ඇතුළු බරපතළ රෝග වැලඳීමේ ප්‍රවණතාව පවතින බවත් එම දත්තවල සඳහන් කර ඇති බව කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

ඔහු විමසා සිටියේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ම අනුමත නොකළ පොහොර එම ආයතනය ම අනුමත කළේ කාගේ අනුදැනුම ඇතිව ද? යන්න ය.

විශේෂයෙන් ම මෙම බැරලෝහ අඩංගු පොහොර වගාබිම්වලට යෙදවීම ඉතා බරපතළ බැවින් වහා ම ඒ ගැන පරීක්ෂා කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය ෴

******************************************

(16.04.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (15) දිනය තුළ දිවයින පුරා සිදුවු රිය අනතුරු හේතුවෙන් මරණ 16 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අතරින් මරණ 8 ක් ඊයේ (15) දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් සිදු වූ ඒවා වන අතර අනෙක් මරණයන් 8 ඊට පෙර සිදු වූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයින්ගේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ.

මේ අනුව ගෙවී ගිය කාල සීමාව තුළ රිය අනතුරු හේතුවෙන් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඊයේ (15) දිනයේ දී.

ඊයේ (15) දිනය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් අසූ දෙනකු (80) පමණ තුවාල ලබා ඇති අතර මියගිය 16 දෙනාගෙන් 12 දෙනකුම යතුරුපැදිකරුවන් වීම විශේෂත්වයක් ෴

******************************************

(16.04.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් තන්නිමුරුප්පු තුනේ කණුව ප්‍රදේශයේ එකම කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තුන් දෙනෙකු (3) ඊයේ (15)දා සවස එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම ගොවීන් තුන් දෙනා (3) කුඹුරු යායේ ස්ථාන තුනක (3) සිට ඇති අතර වර්ෂාවත් සමගම පුපුරා ගිය අකුණක සැර වැදීමෙන් ඔවුන් කුඹුරේදීම මිය ගොස් තිබෙනවා.

මියගිය ගොවීන් තුන් දෙනා (3) මුලතිව් බටහිර කුමුලමුනෙයි පදිංචි කනපතිපිල්ලේ මයුරන් වයස අවුරුදු (35), පී.ස්වර්ණන් වයස අවුරුදු (35) හා මුලතිව් ව්ට්ටාපලෙයි පදිංචි එස්.සුජීවන් නමැති වයස අවුරුදු (46) යන තුන් දෙනාය (3).

මුලතිව් පොලීසියට සිද්ධිය පිළිබදව දැණුම් දීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා ෴

******************************************

(16.04.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

බීමතින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙහිදී විශේෂයෙන් බීමත් රියෑදුරන් හඳුනා ගැනීම සඳහා ශ්වසන වායු පරීක්ෂණය සිදුකෙරෙන අතර මත්පැන් වලට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේ දැයි සොයා බැලීම සඳහා සැකකෙරෙන රියැදුරන් රුධිර පරීක්ෂාවන් සඳහා යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

දිවයින පුරා සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම සහ ඒ තුළින් අහිමිවන ජීවිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මෙම මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

මෙලෙස බීමතින් හෝ මත්ද්‍රව්‍ය ලබාගෙන රිය පැදවීමේ වරදට වැරදිකරුවන් වන අයවලුන්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව හෝ පූර්ණ වශයෙන් අහෝසි කිරීම සහ මාස 6 කට නොවැඩි සිර දඩුවමකට යටත් වීම යන දඩුවම් වලට යටත් වීමට ද සිදු වනවා.

එමෙන්ම රථවාහන පොලිස් නිලධාරින් විසින් මහමගදී සිදුකෙරෙන ස්වසන වායු පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් මත්පැන් භාවිතා කර රිය ධාවනයේ යෙදෙන්නන් ලෙස සැලකීමට සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පවසන්නේ ෴

******************************************

(16.04.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව අමුඇටමුල්ල ප්‍රදේශයේ කොට්ටාව පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර ගංජා කිලෝ 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.

මේ සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබාගැනීමේ නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි තුන් (23) හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකු සහ විසි නව (29) හැවිරිදි රථ වාහන කුලියට සපයන්නෙක්.

******************************************

(16.04.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලැබුනද රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට එය ප්‍රබල හේතු සාධකයක් නොවන බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල ඊයේ (15) මෙරටට ලැබුනේ පසුගිය වසරේ මාර්තු මස 18 වනදින අත්සන් කරන ලද 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමේ කොටසක් ලෙසයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (15) නැවතත් ඉතිහාසයේ අවම අගය සළකුණු කළ අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 204.62 ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට අටකට (8%) වැඩි ප්‍රමාණකින් අවප්‍රමාණ වී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ චීනයෙන් ලබාගත් ණය මුදල කෙටිකාලීනව රුපියල අවප්‍රමාණය යම්තාක් දුරකට වළක්වා ගැනීමට පමණක් උපකාරී වනු ඇති බවයි.

කෙසේ වෙතත්, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ මේ තුළින් සංචිත සහ රුපියල ශක්තිමත්වීමට ඉවහල් වනු ඇති බවයි ෴

******************************************

(16.04.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

තවත් අන්තවාදී සංවිධාන කිහිපයක් ඉදිරියේදී පියවරෙන් පියවර තහනම් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

කොළඹ ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා (14) නිකුත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා, අල්කයිඩා, සේව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙලෙස තහනම් කෙරුණා.

අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන එකොලහේ (11) සාමාජිකයින් මේ වනවිට මුස්ලිම් පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම් ඔවුන්ට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස වකුෆ් සභාව දැනුම් දෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් සඳහන් කළේ ඊයේ (15) පැවති වකුෆ් සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි ෴

******************************************

(16.04.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

විල්ගමුව – හිංගඟේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව එහි ගල් තලාවක් මත කොටුව සිටි පුද්ගලයන් 13 දෙනෙකු බේරාගැනීමට හැකිව තිබෙනවා.

ගිනිපෙට්ටි පාලම අසළින් දිය නෑමට ගිය ඔවුන් මීගමුව, කටාන, මාළිගාවත්ත සහ මහියංගණය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊයේ (15) පස්වරු 04:30 ට පමණ ඔවුන් මෙම සිද්ධියට මුහුණ පෑ අතර, පොලිස් ජීවිතාරක්ෂක අංශය, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමට එක්වුණා.

ඒ අනුව ඊයේ (15) රාත්‍රි 11:30 ට පමණ ඔවුන් බේරාගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

******************************************

(16.04.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොල් වගාව පිළිබඳ නිසි අවධානයක් යොමුකොට ඊට අදාළ පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම්, පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය සිදුකිරීමට අවශ්‍ය නොවන බව පොල් වගාකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ වාර්ෂිකව පොල්තෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් පමණ පාරිභෝජනය සඳහා අවශ්‍ය වන බවයි.

මේ වනවිටත් ඉන් මෙට්‍රික් ටොන් 40,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක මෙරට තුල නිෂ්පාදනය කෙරෙන අතර, එය තවදුරටත් වර්ධනය කිරීම සඳහා රජය මැදිහත් වී ක්‍රියා කළ යුතු බවටයි පොල් වගාකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

(16.04.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්වයට පත්වීම පිළිබිඹු කරමින් පසුගිය මාර්තු මාසයේ නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67 ක් ලෙස මාස 9 කින් ඉහළම අගය වාර්තා කර තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ නිෂ්පාදනය, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි. විශේෂයෙන් ආහාරපාන වර්ග නිෂ්පාදනය සහ රෙදිපිළි සහ ඇඟළුම් නිෂ්පාදන අංශවල නව ඇණවුම් සහ නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.

අලුත් අවුරුදු උත්සව සමය ආසන්න වීම හේතුවෙන් ආහාරපාන නිෂ්පාදන අංශයේ විකිණුම් මෙන්ම නිෂ්පාදනය ඉහළ ගිය බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා නිෂ්පාදනය ඉහළ නැංවීම ඇඟළුම් අංශයේ එම වර්ධනයට හේතුවක් ෴

******************************************

(16.04.2021 – 09:53 +0530 – hirunews.lk/sinhala)

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ආසියාතික වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර, නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතාට උසස්වීමක් පිරිනැමීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා තීරණය කර තිබෙනවා.

මෙම උසස්වීම ඊයේ (15) ගුවන් හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කෙරුණා.

ඒ අනුව ඔහු නායක ගුවන් භට තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කෙරුණා.

මෙම උසස් වීම ඊයේ (15) දින සිට ක්‍රියාත්මකයි.

පසුගිය අප්‍රේල් එකොළොස් වැනිදා (11) තලේමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත හැරී තලෙයිමන්නාරමට පිහිනා ඒමට රොෂාන් මහතා ගත කර තිබුණේ පැය විසි අටයි (28) විනාඩි 19 තත්පර 43 ක කාලයක්.

රොෂාන් මහතා මෙහිදී බිඳ දැමුවේ 1971 වසරේදී පිහිනුම් ශූර කුමාර් ආනන්දන් මහතා විසින් පිහිටුවා තිබූ වසර 50 ක් පැරණි වාර්තාවයි.

එහිදී කුමාර් ආනන්දන් මහතා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරන්නට පැය 51 ක කාලයක් ගෙන තිබුණා.

දිගු දුර පිහිනුම් වාර්තා කිහිපයකට හිමිකම් කියන රොෂාන් මහතා මීට පෙර මාතර සිට කොග්ගල දක්වා කිලෝ මීටර 25 ක දුර ප්‍රමාණයක් පැය 10 යි විනාඩි 37 යි තත්පර 4 ක කාලයකින් නිමා කරමින් වාර්තාවක් පිහිටුවා තිබුණා.

එමෙන්ම රොෂාන් මහතා පසුගිය පෙබරවාරි 27 වන දින මාතර සිට හික්කඩුව දක්වා පිහිනා ගොස් නැවත උණවටුනේ සිය පිහිනිම හමාර කළේ පැය 23 විනාඩි 10 ක කාලයක් වැයකරමින්.

මෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිස් නවයක් (49).

අමරිකානු පිහිනුම් උපදේශකවරුන්ගේ සංගමයේ තෙවන (3) පන්තියේ සහතිකයක් හිමි පිහිනුම් උපදේශකයෙකු වන රොෂාන් මහතා මෙරටින් බිහි වූ කීර්තිමත් පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලින් මහතා යටතේ පුහුණුව ලබනවා ෴

******************************************

(16.04.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – වෙඩිකන්ද ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (15) රාත්‍රියේ තල්මසෙකු ගොඩගසා තිබෙනවා.

අඩි විස්සක් (20) පමණ වන මෙම තල්මසාගේ හිස සහ වරල් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම මෙම සත්වයා දින කිහිපයට පෙර මියගොස්, පසුව වෙරළට ගොඩගසා ගොස් ඇතැයි විශ්වාස කරන බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

******************************************

(16.04.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට ඔවුන් උත්සාහ දරා ඇති බවයි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වෙඩි තැබීමේදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා (2) පලාගොස් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් 23 සහ 26 හැවිරිදි වියේ පසුවන්නන්. සිද්ධියට අදාළ කැබ් රථය සොයා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

@@@@@@@@@@@@@

(16.04.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 608 දක්වා ඉහළ ගියා. පන්නිපිටිය, එල්ලක්කල, මාරස්සන සහ දෙණියාය යන ප්‍රදේශ වලින් ඊයේ (15) දිනයේදී මෙම මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයින් 212 දෙනෙකු ඊයේ (15) දිනයේදී අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 95,949 ක්.

මීට අමතරව ඊයේ (15) දිනයේදී කොරෝනා ආසාදිතයින් 157 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව 92,308 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3,033 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු අද (16) දිනයේ හඳුනා ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

(16.04.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැළකෙන ‘ෆයිසර් බයෝ එන්ටෙක්’ කොරෝනා එන්නතේ තුන්වන (3) මාත්‍රාවක් ලබාදීමට සිදුවිය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බෝ(ර්)ලා පවසනවා.

ඇමරිකානු රූපවාහිනි සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු කියා සිටියේ පූර්ණ එන්නත්කරණ වර්ධකයක් ලෙස එලෙස තුන්වන (3) මාත්‍රාවක් මාස 6 ත් 12 ත් අතර කාලයක් තුළ ලබාදිය යුතුදැයි සළකා බලමින් සිටින බවයි.

මේ අතර ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ කොරෝනා එන්නත ලබාදී රුධිර කැටිති වර්ධනය වූ පුද්ගලයන් හතරදෙනෙකු (4) මියගොස් ඇති බව ඉතාලියෙන් වාර්තාවනවා.

කෙසේ නමුත් පසුගිය මාර්තු 26 වනදා වනවිට ඉතාලියේ කොරෝනා එන්නත් ලබාදුන් මිලියන 9 ඉක්මවූ ජනතාව අතුරින් දරුණු අතුරු විපාක ඇතිවී තිබෙන්නේ සියයට දශම බින්දුවයි හතරක (0.04%) ප්‍රමාණයක්.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් සරසවිය සිය නවතම අධ්‍යයනයකින් අනතුරුව ප්‍රකාශ කළේ සිය එන්නතට වඩා කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් රුධිර කැටිති ඇතිවීමේ හැකියාව අටගුණයක් (8) හෝ දස ගුණයක් (10) පමණ වන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *