වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

*********************************************

වරාය නගර පනත් කෙටුම්පතට පාර්ශව රැසක විරෝධය – පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(15.04.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය – ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් කැඳවීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 15 ක් පමණ ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ වරාය නගරය – ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට අනුව එම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර එය සාමාජිකයන් 5 දෙනෙකුට නොඅඩු සහ සාමාජිකයන් 7 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුයි.

එම කොමිෂන් සභාව පිහිටුවනු ලබන්නේ කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ සහ එහි සිට සිදුකරන ව්‍යාපාර සහ වෙනත් මෙහෙයුම් හා සම්බන්ධ සියලු‍ කාරණා පරිපාලනය කිරීම, නියාමනය කිරීම හා පාලනය කිරීම වෙනුවෙන්.

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් සහ ආකර්ෂණීය ආයෝජනයක් බවට පත් කිරීම, රට තුළට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණ වනවා.

කෙසේ වෙතත්, මේ වනවිට එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින්.

ඒ අනුව පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 15 ක පමණ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

මේ හේතුවෙන් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සම් ලබන 19 වැනිදා අගවිනිසුරු ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මේ අතර, අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

+++++++++++

+++++++++++

“වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා”

(15.04.2021 – 16:16 +0530 – lankadeepa.lk)

කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය. විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද කීවේය :

“අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100 ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14 න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.”

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝද අදහස් දක්වමින් මෙසේ කීය :

“වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) පෙත්සමක් ගොනු කළා.

තම සංවිධානය ඉදිරිපත් කළේ එම පනතට එරෙහි පහළොස්වැනි (15) පෙත්සම බවද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් නොවන බවද දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් (8) වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වන බවද ආනන්ද හිමියෝ සඳහන් කළහ.

(ඩයනා උදයංගනී සහ මුදිතා දයානන්ද)

+++++++++++

+++++++++++++

ජනාධි ගෝ අද පඹයෙක් කරලා.. නිල නොවන ජනාධි බසල්.. – දාසවිජේ

(16.04.2021 – news-c-lanka)

මෙරට නිල නොවන ජනාධි බසල් බව දාසවිජේ පක්ෂරාජ මහතා සඳහන් කරයි.

අද වන විට ගෝ මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙකුගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ ‘මිස්ටර් 20%’ නොහොත් බසල් විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

අද ජනාධි ගෝ, බසල්ගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

හේන්පිටනාරා ශ්‍රී රාමඅභයාහිදී ඊයේ (15) දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය ෴

+++++++++++++

ගෝඨාභය ආණ්ඩුවේ ආයුෂ ගැන විජේදාසගේ අනාවැකිය

(16.04.2021 – am.lk)

සිංහල – හින්දු අලුත් අවුරුද්දේ උණුසුම යාමටත් මත්තෙන් මතභේදාත්මක මාධ්‍ය සාකච්ඡාවක් තැබූ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එහිදී තමන්ද නියෝජනය කරන ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳව අනාවැකියක්ද ප්‍රකාශ කරන ලදී.

සිංහල – හින්දු අලුත් අවුරුදු දිනට පසු දින නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැත්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වත්මන් ආණ්ඩුව වසර දෙකක් (2) යාමටත් මත්තෙන්ම බැසිල් රාජපක්ෂ විසින් විනාශ කර දමන බවට අනාවැකියක් විජයදාස රාජපක්ෂ මහතා විසින් එහිදී මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

2010 දී වසර 6 කට පසුව මහින්ද රාජපක්ෂ මහතාව වසර 4 න් බලයෙන් පහ කිරීමට කටයුතු කළේද බැසිල් රාජපක්ෂ බවට හෙළිදරව්වක් කරන විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද වසර 2 ක් යන විට බලය අහිමි කරන තැනට බැසිල් රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙයි.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටද වැඩක් කිරීමට නොදී කොන් කොට තිබෙන බවද එම මාධ්‍ය සාකච්ඡාවේදී රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ යන දෙදෙනාගේම දරුවන් ජීවත්වන්නේ ඇමරිකාවේ බව පෙන්වා පෙන්වාදුන් රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් දිනක මේ දෙපළගේ දේශපාලන පරාජයෙන් පසු ඔවුන් මේ රටේ ජීවත් වන්නේ නැති බවද ඔවුන් විසින් ගන්නා ලබන තීරණවල වන්දිය මේ රටේ ජීවත්වෙන පුරවැසියන්ට ගෙවීමට සිදුවන බවද පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට දැඩි මහින්ද රාජපක්ෂ හිතවාදියකු වන නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද සහභාගි වීම විශේෂත්වයකි.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ද නියෝජනය කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ මෙන්ම ආණ්ඩුව තුළ සිදුවන වංචා හා දූෂණ පිළිබඳවද විවේචනයන් ඉදිරිපත් කළ රාජපක්ෂ මන්ත්‍රීවරයා වරාය නගරය හරහා ශ්‍රී ලංකාව චීන කොලනියක් වීමේ අවදානමද පෙන්වා දෙන ලදී ෴

+++++++++++++

+++++++++++++

++++++++++++++

[ https://www.youtube.com/watch?v=SbshRKSsCiY ]

++++++++++++++

16-04-2021

******************************************

(15.04.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

බහිරව පූජාවක් සිදුකර මුදල් දෙගුණ කර ගැනීමට ගිය ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 8 ක මුදලක් අහිමිවූ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, බහිරව පූජාව මුවාවෙන් මුදල් වංචාව කිරීමේ චෝදනාවට එම ව්‍යාපාරිකයාගේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ව්‍යාපාරිකයා හලාවත – ඉලුප්පන්දෙණියේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාර සේවකයා උස්වැටකෙයියාවේ පදිංචිකරුවෙක්.

පොලීසිය ප්‍රකාශ කළේ අදාල ව්‍යාපාරිකයා විසින් ණය මුලදලක් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 8 ක මුදලක් බහිරව පූජාවක් පවත්වා දෙගුණ කර දෙන බව පවසමින් සැකකරු මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

සේවකයාගේ ප්‍රකාශය අනුව, කටාන ප්‍රදේශයේ පාලු නිවසක බහිරව පූජාව ආරම්භ කර ඇති අතර, රුපියල් ලක්ෂ 8 ක මුදල බහිරව තටුව මත තබා පූජාවේ වැඩ කටයුතු කරගෙන ගොස් තිබෙනවා.

එහිදී සේවකයා ආරූඪ වෙසක් ගෙන ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයා මස් මාංශ අනුභව කර පැමිණ ඇති බැවින් වහාම ස්නානය කර යළි පිරිසිදුව පැමිණෙන ලෙසයි.

ඒ අනුව, පූජාව පැවති ස්ථානයෙන් පිටතට ගිය ව්‍යාපාරිකයා ස්නානය කර යළි පැමිණ පරීක්ෂා කරන විට බහිරව තටුවේ මුදල් වෙනුවට තිබී ඇත්තේ වැලි පිරවූ කවර කිහිපයක්.

සේවකයාගෙන් කරුණු විමසීමේදී මුදල් වැලි වීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ඔහු ප්‍රකාශ කර තිබුණා.

පසුව, ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(15.04.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අවුරුදු නැකත් චාරිත්‍රයේ පැල සිටුවීම හෙට (16) දින පූර්ව භාග 06:40 ට නැගෙනහිර බලා සිදුකෙරෙනවා.

පැළ සිටවීමේ නැකත් චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්සේ පිහිටි නිවස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

******************************************

(15.04.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී ඇතුළු පාර්ශව වලට සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබන සඳුදා (19) දිනය දක්වා ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අද (15) දිනයේදීත් එම දීමනාව ලබාදුන් අතර, මේ වනවිට පවුල් ඒකක ලක්ෂ 18 කට පමණ දීමනාව ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(15.04.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ජාතීන් අතර සංහිඳියාවට බලපෑම් කරන සහ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අනුබලදෙන ප්‍රකාශ සිදුකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

කොළඹ අද (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා ෴

******************************************

(15.04.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන එකොලහේ (11) සාමාජිකයින් මේ වනවිට මුස්ලිම් පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම් ඔවුන්ට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස වකුෆ් සභාව දැනුම් දෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් සඳහන් කළේ අද (15) පැවති වකුෆ් සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11 ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා (13) නිකුත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා, අල්කයිඩා, සේව් ද පර්ල් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙලෙස තහනම් කෙරුණා.

මෙම ගැසට් නිවේදනයට අනුව අදාළ සංවිධානවල සාමාජිකයෙකු වීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම් සංකේත, ලාංඡන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම තහනම් වනවා.

එසේම, රැස්වීම් කැඳවීම, පැවැත්වීම හෝ ඊට සහභාගිවීම, එම සංවිධාන ප්‍රවර්ධනය කිරීම, උපදෙස් දීම, ආධාර කිරීම, ගණුදෙනුවල නිරත වීම සහ ඒ වෙනුවෙන් තොරතුරු පතුරුවා හැරීමද තහනම් වන බව ද අදාල ගැසට් නිවේදනයේ දක්වා තිබුණා.

ඒ අනුව, අදාළ තීරණය ගනු ලැබූ බවයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(15.04.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල බෝපිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් (1) පුද්ගලයකු මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව බදුල්ල පොලිසිය පවසනවා ෴

******************************************

(15.04.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala)

බොහෝ දෙනා මේ දිනවල අලුත් අවුරුද්දේ සතුට විදිමින් නිවෙස්වල කල්ගත කරනවා.

නමුත් ඔබ අතුරින් කෙනෙකුට මඟ හැරුණු කෙනෙක් අප පෙන්වන මේ නිවසේ සිටිය හැකියි.

මේ වෙද්දි ඔබ, අම්මා, තාත්තා, දුව, පුතා එක්ක එකතුවෙලා සතුටින් අවුරුදු නිවාඩුව ගතකරනවා ඇති.

නමුත් තමන්ගේ දරුවෙක් හෝ පවුලේ අය ළඟ නැතිව මේ අලුත් අවුරුද්දෙත් තනිවම කල්ගෙවන පිරිසක් මේ.

මේ අත් එකතුවෙන්නේ තාලෙට පණ දෙන්න වුණත්, කිරි කළ ලෙයින් – වැගිරූ දහදියෙන් උස්මහත් කළ දරුවෙක් මායිම් නොකෙරූ නිසා මේ අම්මාවරුන් හා පියවරුන් ඉන්නේ වැඩිහිටි නිවාසයක.

******************************************

(15.04.2021 – 21:59 +0530 – hirunews.lk/sinhala)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද (15) පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ හිස කොටස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ හිස කොටසක්ද එසේ නොමැති නම් දිවි හානිකරගත් පුද්ගලයෙකුගේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මාතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

******************************************

(16.04.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.4 ක් සමඟ සැකකරුවෙකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින කිහිපයක් තුල කළ වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 128 ක් සමඟ සැකකරුවන් 13 ක්, වත්තල, ජාඇල සහ සපුගස්කන්ද ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා ෴

@@@@@@@@@@@@@@@

(15.04.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ නෑගම් සහ විනෝද චාරිකාවල නිරතවන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව පොලිසිය පවසනවා.

මේ අතර, අද (15) තවත් කොවිඩ් ආසාදිතයින් 127 දෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමග මෙරට කොවඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 95,864 ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූයේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම ගණන 26ක්.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වනවා.

ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් (2) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 604 ක් ලෙසයි.

හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මේ අතර, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2982 කු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 92,150 ක්.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 925,242 කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය 11 වැනිදා සිට එන්නත් ලබාදීම සිදු නොකෙරුණු බවයි එම ඒකකය වාර්තා කළේ.

මේ අතර, අලුත් අවුරුදු උත්සව සමයේ නුවරඑළිය නගරයට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් සිටින බව නුවරඑළිය මහනගර සභාවේ සභාපති චන්දන ලාල් කරුණාරත්න මහතා පවසනවා.

මේ හේතුවෙන් නුවරඑළිය නගරයේ පිහිටි නවාතැන් ලබාගැනීමේ ස්ථානද පිරීගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි නුවරඑළිය මහනගර සභාව සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින නිවෙස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දී කටයුතු කරන ලෙස සේඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *